රාණි සේනාරත්න රාජපක්ෂ
පූජනීය කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේගේ 80 වැනි ජන්ම දිනය යෙදී ඇත්තේ ලබන සිකුරාදාට, එනම් 2020 ජූලි මස 10 වැනි දිනට ය. ඒ නිමිත්තෙන් මේ ලිපිය පළ කෙරේ. උන්වහන්සේ අපවත් වී දැනට වසර දෙකකුත් මාස තුනක් පමණ ගෙවීගොස් ඇත. එහෙත් ලාංකේය බෞද්ධ ජනයාට තවමත් ඤාණනන්ද ස්වාමීන් වහන්සේගේ නාමය ආගන්තුක ය.
විටෙක ජනමාධ්‍ය යනු නූතන ලෝකය දෙසට දිගු කළ මාරයාගේ හස්තය වැනි ය. එකී මාර හස්තයට තමන්වහන්සේගේ අසලට වත් ඒමට ඤාණනන්ද හිමියෝ ඉඩ නො දුන් හ. ඉතා මෑත යුගයක වැඩවිසූ නමුත් උන්වහන්සේගේ නිශ්චල ඡායාරූප පවා දුර්ලභ වීම ඊට නිදසුනකි.
ධර්මය ලොවට ප්‍රකට කරමින් තමන්වහන්සේ අප්‍රකට ව වැඩවිසීම උන්වහන්සේගේ පිළිවෙත වීය. සසුනෙන් ගිලිහීගිය විකල්ප ධර්මාර්ථ ලොවට ප්‍රකට කළ උන්වහන්සේ, විකල්පයෙහි තිබිය යුතු ප්‍රමිතිය හඳුන්වාදුන් සේක. අමිල වූ ධර්මයට මිලක් නියම නො කළ උන්වහන්සේ, ධර්මකාමීන්ට පිරිසිදු ධර්ම දානය දුන් සේක.
අදටත් ‘කටුකුරුන්දේ ඤාණනන්ද සදහම් සෙනසුන් භාරය’ මඟින් උන්වහන්සේගේ මුද්‍රිත සහ පටිගත කළ සදහම් ප්‍රකාශන නොමිලයේ බෙදා හැරේ. එම සියලු සදහම් ප්‍රකාශන පහසුවෙන් ලබාගැනීමට, https://seeingthroughthenet.net/si/ යොමුව ඔස්සේ අන්තර්ජාලයට පිවිසෙන්න.
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව කටුකුරුන්ද ග්‍රාමයේ වාසය කළ විදුහල්පතිවරයකු වූ එච්. ජී. නිකුලස් අබේවර්ධන මහතාගේ සහ ලිසියා වීරසේකර මහත්මියගේ පුත්‍රයා ලෙස 1940 ජූලි 10 වන දින උපන් නන්දසිරි අබේවර්ධන ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය. ඉක්බිති පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වී විශේෂ විෂය ලෙස පාලි භාෂාව හදාරා, 1962 දී ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් දිනාගත්තේ ය. 1967 වන තෙක් එහි කථිකාචාර්ය ධුරයක් දැරී ය.
විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා හෙතෙම Concept and Reality in Early Buddhist Thought යන මාතෘකාව යටතේ බුදු දහම පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කරමින් නිබන්ධන යෝජනාව ඉංග්‍රීසි බසින් ලිවී ය. එම කෙටුම්පත කියැවූ ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපෝණික ස්වාමීන් වහන්සේ එය බෙහෙවින් අගය කරමින්, මහනුවර බෞද්ධ ග්රන්ථ ප්‍රකාශන සංගමය ලවා 1971 දී මුද්‍රණය කරන්නට සැලැස්වූ හ. මෙය අද බෞද්ධ ලෝකයේ මහත් සම්භාවනාවට පත් ප්‍රාමාණික ග්රන්ථයක් වී ඇත. (පැවිදි වූ පසු ඤාණනන්ද ස්වාමීන් වහන්සේම එය “පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය” යන නමින් සිංහල බසට පරිවර්තනය කළ හ.)
බුද්ධ ධර්මය පිළිබඳ අති ගැඹුරු සහ පුළුල් අවබෝධයෙන් යුක්ත වූ අබේවර්ධන තරුණයා ගිහි ජීවිතය අත්හැර 1967 වසරේ දී දොඩන්දූව පොල්ගස්දූව අරණ්‍ය සේනාසනයෙහි දී කටුකුරුන්දේ ඤාණනන්ද නමින් පැවිදි විය. උන්වහන්සේ ජර්මන් ජාතික පූජ්‍ය ඤාණවිමල මාහිමියන්ගෙන් මුල් කාලයේ දී භාවනාව ඉගෙනගත් හ. වර්ෂ 1972 දී මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනයට වැඩම කොට, මාතර ශ්‍රී ඥානාරාම නායක ස්වාමීන් වහන්සේ යටතේ භාවනා ප්‍රගුණ කළ හ. දශක දෙකක් පුරා කිට්ටු ආචාර්ය ශිෂ්‍ය සම්බන්ධතාවකින් බැඳුණ මේ ශ්‍රේෂ්ඨ යතිවරයින් දෙදෙනා වහන්සේගේ සහසම්බන්ධය, තථාගත ධර්මය අවබෝධ කිරීමත් එය භාවනා මාර්ගයෙන් දැක ප්රත්යක්ෂ කිරීමත් එක් කළ අගනා නව යුගයක් විය. එක් ආකාරයකින් සලකන විට, විදර්ශනා ධුරය සහ ග්රන්ථ ධුරය එක් කළ අද්විතීය ශ්‍රේෂ්ඨ යුගයක් විය.
නිස්සරණ වනය අරණ්‍ය සේනාසනයේ වාසය කළ යෝගාවචර භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනාවලියක් පවත්වන ලෙස නායක පූජ්‍ය ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ කළ ආරාධනයක් පරිදි ඤාණනන්ද හිමියෝ 1988 වර්ෂයේ දී දේශනා පෙළක් පැවැත්වූ හ. තථාගතයන් වහන්සේ විසින් දේශිත ගම්භීර වූ ගම්භීරාර්ථවත් වූ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර, ථෙරවාදී අට්ඨකථා සම්ප්‍රදායට ගැති නො වී අදීනව විග්රහ කරමින් පැවැත්වූ මෙම ගැඹුරු දේශනා තිස්තුන පසු කලෙක “නිවනේ නිවීම” යනුවෙන් ග්රන්ථ පෙළක් ලෙස පළ විය. එම ගැඹුරු සූත්‍ර කොටස් පිළිබඳව අට්ඨකථාවල ඇති නිරවද්‍ය නො වන හෝ අසම්පූර්ණ විග්රහ ප්‍රඥාවන්ත හා කුශාග්‍ර ලෙස විමසමින්, වචනයක් පාසා විශ්ලේෂණය කරමින්, වචනවල ලේශාර්ථ සහ නිරුක්ති විග්රහ කරමින්, මැණික් පතලකින් මහාර්ඝ මැණික් මතු කරන්නා සේ නිර්මල බුද්ධ ධර්මය මතු කරමින් උන්වහන්සේ කළ මේ විග්‍රහය අද්විතීය වේ. මෙයින් උන්වහන්සේගේ ධර්ම ගම්භීරත්වය ද විශ්ලේෂණ කුසලතාව ද මැනැවින් ප්‍රකට වෙයි. නිර්මල බුද්ධ ධර්මය නම් මේ යයි විග්රහ කොට හෙළි කළ මෙම දේශනාවලිය බුද්ධ ශාසනයේ චිරස්ථිතියට මහෝපකාරී වෙයි.
ගිහි කාලයේ පටන්ම ශාස්ත්‍රීය සහ බුද්ධි ගවේෂණයට මහත් රුචියක් දැක්වූ හෙයින් ඤාණනන්ද ස්වාමීන් වහන්සේ පාලි, සංස්කෘත සහ ඉංග්‍රීසි භාෂා ඥානය ද ත්‍රිපිටකය පිළිබඳ ගැඹුරු ඥානය ද ඇසුරින් ග්රන්ථ රාශියක් ලියූ හ. පටිච්ච සමුප්පාද ධර්මය, මනසේ මායාව, පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය, “පහන් කණුව” ධර්ම දේශනා පෙළ, ස්පර්ශයේ ආශ්චර්යය, ආදී පොත් ඉතා විශද ලෙස බුදු දහමේ ගැඹුරු කරුණු විග්රහ කරයි. උන්වහන්සේ විසින් සිංහල භාෂාවෙන් පොත් 65 ක් ලියන ලදි.
උන්වහන්සේ විසින්ම මෙයින් පොත් 30 ක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදි. මෙම පොත්වල ඇති ධර්ම කරුණු කොයි තරම් ගැඹුරු ද යත්, ඒවා පරිවර්තනය කළ හැක්කේ ද උන්වහන්සේට ම පමණකියි විද්වත්හු එක හෙළා පවසති. මේවා බෞද්ධ ලෝකයේ රටවල් රාශියක විද්වතුන් විසින් පරිශීලනය කරනු ලැබේ. මේ බෞද්ධ පඬිතුමන් වහන්සේ මෙන්ම මෙම කෘති ද ඔවුන්ගේ මහත් ගෞරව බහුමානයට පාත්‍ර වී ඇත. ඉංග්‍රීසි, ජර්මන්, ප්රන්ස ආදී ජාත්‍යන්තර භාෂාවලටත් මෙම කෘති කීපයක් පරිවර්තනය කොට තිබේ. ඤාණනන්ද ස්වාමීන් වහන්සේගේ ගැඹුරු සහ පුළුල් ධර්ම ඥානයත් ප්‍රඥාවත් සියුම් විශ්ලේෂණ කුශලතාවත් සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි යන භාෂාවල විශිෂ්ට දැනුමත් නිසා මෙම ග්රන්ථ ඉමහත් ශාස්ත්‍රීය අගයකින් යුතු වේ.
පූජ්‍ය ඥානාරාම නායක තෙරුන් වහන්සේ අපවත් වීමෙන් පසු පූජ්‍ය ඤාණනන්ද හිමියෝ 1995.02.23 දින මීතිරිගලින් වෙන් වී, කෑගල්ලේ දේවාලේගම පොත්ගුල්ගල අරණ්‍යයෙහි වාසයට ගිය හ. එහි වසර විස්සක් පමණ තිස්සේ ග්‍රන්ථකරණයේ, ධර්ම දේශනා පැවැත්වීමේ සහ භාවනා උගැන්වීමේ යෙදුණ හ. ඉක්බිතිව 2015.06.28 දින ඉංගිරියේ කරඳන දම්මුල්ලේ සේනාසනයට වැඩම කොට ඉතා ම අප්‍රකට ව භාවනානුයෝගී ව වාසය කළ හ. ගැඹුරු අසහාය ධර්ම ඥානයත් අතිශය අල්පේච්ඡ බවත් සිල්වත් බවත් රූක්ෂ දිවි පෙවෙතත් නිසා බෞද්ධ ලෝකයාගේ මහත් ගෞරවාදරයට සහ අභිවාදනයට පත් වූ උන්වහන්සේ 2018 පෙබරවාරි 22 දින අපවත් වූ හ.
අති පූජ්‍ය ඤාණනන්ද ස්වාමීන් වහන්සේ අපවත් වීමෙන් පසු ව ද, උන්වහන්සේ විසින් ජීවිත කාලය තුළ දී හෙළි කරන ලද ගැඹුරු නිර්මල බුද්ධ ධර්මය ඇතුළත් ග්රන්ථ මුද්‍රණය කරමින් සහ අන්තර්ජාලයට ඇතුළු කරමින් “කටුකුරුන්දේ ඤාණනන්ද සදහම් සෙනසුන් භාරය” උන්වහන්සේගේ කාර්ය සාධනය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යයි. එහෙයින් උන්වහන්සේගේ ග්රන්ථ සියල්ල ම මෙරට සහ විදේශවල බෞද්ධ ගිහි පැවිදි සියලුදෙනාට නො කඩ ව පරිශීලනය කිරීමට අවස්ථාව සැලසී ඇත.
පූජනීය කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේගේ ග්රන්ථ:
- නිවනේ නිවීම (වෙළුම් 1‐11)
- පහන් කණුව ධර්ම දේශනා (වෙළුම් 1‐21)
- පටිච්ච සමුප්පාද ධර්මය (වෙළුම් 1‐4)
- හිතක මහිම (වෙළුම් 1‐3)
- විදසුන් උපදෙස්
- භාවනා මාර්ගය
- උත්තරීතර හුදෙකලාව
- කය අනුව ගිය සිහිය
- හිත තැනීම
- තිසරණ මහිම
- දිවි කතරේ සැඳෑ අඳුර
- පින් රුකෙක මහිම
- අබිනික්මන
- පිළිවෙතින් පිළිවෙතට
- කයේ කතාව
- මා පිය උවටැන
- ප්‍රතිපත්ති පූජාව
- පැවැත්ම හා නැවැත්ම
- කර්ම චක්‍රයෙන් ධර්ම චක්‍රයට
- මෙත් සිතේ විමුක්තිය
- ඇති හැටි දැක්ම
- තපෝ ගුණ මහිම
- සක්මනේ නිවන
- සසුන් පිළිවෙත
- සබ්බාසව සූත්‍රයේ මැදුම් මග
- චලන චිත්‍රය
- දිය සුළිය
- බුදු සමය පුද්ගලයා හා සමාජය
- ස්පර්ශයේ ආශ්චර්යය
- පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය
- මනසේ මායාව
- සසරේ රඟ
- Concept and Reality in Early Buddhist Thought
- Nibbāna – The Mind Stilled (Volume I-VII)
- The Law of Dependent Arising (Volume I-IV)
- From Topsy-turvydom to Wisdom (Volume I, II)
- Seeing Through
- Towards Calm and Insight
- Saṁyutta Nikāya – An Anthology
- Ideal Solitude
- Towards A Better World
- The Magic of the Mind
- Nibbāna and The Fire Simile
- A Majestic Tree of Merit
- The End of the World in Buddhist Perspective
- Walk to Nibbāna
- Deliverance of the Heart through Universal Love
- Questions and Answers on Dhamma
- The Miracle of Contact
- From The Wheel of Kamma To The Wheel of Dhamma
- Reminiscences of Venerable Ñāṇavimala Mahāthera