කර්මය අභිබවා යන මහේශාක්‍ය බව

rashi
By rashi
10 Min Read

පාපය දිය කරන පුණ්‍ය ගංගාව

මේ ලිපි පෙළ තුළින් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ කර්මය අභිබවා යන ආකාරය පිළිබඳව.  බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මනසින් දුබල වෙනවා නම්, මනසින් හීන දීන වෙනවා නම් ඒ පුද්ගලයා යට කොට කර්ම වේගය ක්‍රියාත්මක වෙනවා. යම් පුද්ගලයෙක් මානසික වශයෙන් ශක්තිමත් වෙනව ද බලවත් වෙනව ද ඒ පුද්ගලයාට පුළුවන් කම තියෙනවා කර්මය අභිබවා යන්න.  ඒ වගේ ම ඇතැම් කර්ම විපාක යට කොට ක්‍රියාත්මක වෙන්නට.

පුද්ගල ජීවිතයක් පිළිබඳව බලපාන සාධක පහක් ධර්‍මයේ දැක්වෙනවා. ඒවාට කියනවා නියාම ධර්‍ම කියලා. ඒ නියාම ධර්‍ම පහ අතරින් කර්‍ම නියාමය සහ චිත්ත නියාමය වඩා බලවත් වෙනවා.  පුද්ගලයා පිළිබඳ ඕනෑ ම කරුණක දී මේ සාධක දෙක මුලට ම ගැනෙනවා. නමුත් සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනා මේ අතරින් කර්‍මයට වැඩි තැනක් දීලා කථා කරන බව ක්‍රියා කරන බව පේනවා. “මොනවා කරන්න ද ඉතිං කරුම ගෙවන්න එපා යැ”, “මේ අපි ලබා උපන් හැටි තමයි”, “දෛවය අපට වෙනස් කරන්න බෑ නේ”, “කරුම කරගෙන තියෙනව නම් විඳවන්න එපා යැ”. මෙවැනි  ප්‍රකාශ කරන බොහෝ  දෙනා හිතන්නෙ කර්‍මය කියන්නෙ කොහොම වත් වෙනස් කළ නොහැකි සාධකයක් කියලා. ඒක වැරදි මතයක්.  අපට අවශ්‍ය නම් කර්‍මය වෙනස් කළ හැකියි.  කරගෙන තියෙන කර්‍මවල විපාකත් අඩුවැඩි කරගන්න හෝ යටපත් කරගන්න පුළුවන්.  නමුත් එය රඳා පවතින්නෙ චිත්ත නියාමය හසුරුවන ආකාරය මතයි.

චිත්තය සහ කර්‍මය එක ම ධාවන පථයක එකට දුවන ක්‍රීඩකයො දෙන්නෙක් වගෙයි.  දෙන්නා ගෙන් දිනන්නෙ කවුද කියලා ඇහුවොත් අපට කියන්න වෙන්නෙ “වැඩිපුර ජවය ඇති කෙනා දිනනවා” කියලයි. ඒ වගේ සිත සහ කර්‍මය යන දෙකෙන් දිනන්නෙ වඩා ජවය ඇති එකයි.  කර්‍මයේ ජවය බලය වැඩි වෙලා සිතේ බලය අඩු වුණොත් සියල්ල යට කරගෙන කර්‍මය ක්‍රියාත්මක වෙනවා. නමුත් කර්මයේ බලයට වඩා සිතේ බලය වැඩි කරන්න පුළුවන් නම් කර්‍මය අභිබවා සිතට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ චිත්ත බලය නිසා ම ඇතැම් කර්‍ම විපාක අඩු වැඩි කරගන්න හෝ යටපත් කරන්න පුළුවන්. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍ර ධර්මයක් අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වෙනවා “ලෝණ ඵල සූත්‍රය” නමින්.

දුබලයා තැලෙනවා

“ලෝණ ඵල” කියලා කියන්නේ ලුණු පුපුර.  ලුණු පුපුරයි කියන්නේ කුඩා ම කුඩා ලුණු කැටයක්. බුදුරජාණන් වහන්සේ කුඩා ලුණු කැටයක් උපමා කරගෙන කරන ලද දේශනාවක් නිසා මේ සූත්‍ර දේශනාව ලෝණ ඵල සූත්‍රය නමින් හැඳින්වෙනවා. තථාගතයන් වහන්සේ මෙහි දී දක්වනවා “මහණෙනි, යම්කිසි පුද්ගලයෙක් ඉතා ම කුඩා අකුසල කර්මයක් කරගෙන තියනවා. ඒ තැනැත්තාට ඒ කුඩා ම කුඩා අකුසල කර්මයෙහි විපාකය මහා බරපතළ ආකාරයෙන් තමන්ගේ ජීවිතය යට කොට, තමන්ගේ ආත්ම භාවය යට කොට ක්‍රියාත්මක වෙනවා. එහි විපාක වශයෙන් ඒ තැනැත්තා නිරයට පැමිණිලා බොහෝ දුක් විඳිනවා.”

තවත් යම්කිසි කෙනෙක් එපමණ ම ඉතා කුඩා අකුසල කර්මයක් සිද්ද කරගෙන තියනවා.  නමුත් ඒ තැනැත්තාට එබඳු මහා විපාකයක් ඇති කරන්නේ නැහැ. දිට්ඨධම්මවේදනීය වශයෙන්; ඒ කියන්නේ මෙලොව දී ම සුළු විපාකයක් මතු කරනවා විනා මතු භවයෙහි නැවත විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නෑ. එහෙම නම් ඉන් එහා විපාකයක් පිළිබඳ ව කියනුම කවරේ ද?” කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා.

එතකොට එක හා සමාන අකුසල කර්මයක් ඇතැම් කෙනෙකුට නිරයෙහි ඉපදිලා මහා දුක් විපාක ගෙන දෙන්නට සමත් වෙනවා. නමුත් තවත් කෙනෙකුන්ට ඉතා සුළු විපාකයක් ඇති කරලා, එය යටපත් වෙලා, අහෝසි වෙලා යනවා. කුමක් ද ඒකට හේතුව? ඒ ඒ පුද්ගලයාගේ අල්පේශාක්‍ය මහේශාක්‍ය භාවයයි ඒ සඳහා බලපාන ප්‍රධාන සාධකය.

යම්කිසි කෙනෙක් අල්පේශාක්‍ය නම් ඒ පුද්ගලයා ඉතා කුඩා අකුසල කර්මයක් කරගත්තා වුණත් එය මහා විපාක ඇති කරලා මහා දුක් ඇති කරන්නට සමත් වෙනවා. යම්කිසි කෙනෙක් මහේශාක්‍ය නම් ඒ තැනැත්තා එබඳු ම යම් අකුසල කර්මයක් සිද්ධ කරගෙන තිබුණත් එය දිට්ඨධම්මවේදනීය වශයෙන් ඉතා කුඩා විපාකයක් ඇති කරලා අහෝසි වෙලා යනවා විනා මතු භවයේ මහා විපාකයක් ඇති කර දෙන්නට සමත් වෙන්නේ නෑ.

වතුර බහින්නෙ මිටි තැනින්

මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් “අපි මෙපමණ කාලයක් හිතාගෙන හිටියේ අනිත් මොනවා නැතත් කර්මය වත් හැම දෙනාටම සාධාරණ ව විපාක දෙනවයි කියලා. දැන් බැලුවහම කර්මයත් ලොකු ලොකු මිනිස්සුන්ට එක විදිහකට, පොඩි පොඩි මිනිස්සුන්ට තව විදිහකට ද විපාක

දෙන්නේ” කියලා හිතෙන්න පුළුවන්. සාමාන්‍ය සමාජයේ කතාවක් තියනවා “මිටි තැනින් තමයි වතුර බහින්නේ” කියලා. මොනවා කරන්න ද ඉතින් හැම දෙයක් ම අපේ කර පිටින් ම තමයි යන්නේ කියලා බොහෝ ම දුක්මුසු ස්වභාවයෙන් කියන ආකාරය විටින් විට අපට ඇහෙනවා.  එහෙම කියන්නේ කුමක් නිසා ද? මිටි තැනින් වතුර බහින එක අසාධාරණයි වගේ හැඟීමකින් තමයි ඒ අය එහෙම කතා කරන්නේ. අපි එය සාධාරණයි කියලා හිතුවත් අසාධාරණයි කියලා හිතුවත් මේ ලෝකය තුල විශ්ව ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන රටාව වෙනස් වෙන්නේ නැහැ.

අපි මේ ලෝකය තුළ ජීවත් වෙද්දී දුක් අඩු කරගෙන සැප වැඩි කරගෙන ජීවත් වෙන්න නම්, මම කැමැති හැටියට – මම අකැමැති හැටියට ලෝකය විනිශ්චය කරනවා වෙනුවට මේ විශ්ව ධර්මතාවයන්හි පොදු සිද්ධාන්තය කුමක් ද, ඒ පොදු විශ්ව ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද කියලා වටහා ගෙන ක්‍රියා කිරීමයි වඩා අවශ්‍ය වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ගැඹුරට යෑමට නම්, ලෝක ධර්මතාවයන් අභිබවා යෑමට නම් මේ විශ්ව ධර්මයේ ක්‍රියාකාරිත්වය මැනවින් අවබෝධ කර ගැනීම අවශ්‍යයි. ඒ නිසා මිටි තැනින් වතුර බැසීමට අකැමැති වීම නෙමෙයි කළ යුත්තේ, මිටි තැනින් වතුර බහින මේ ධර්මතාවය කුමක් ද, ඇයි ද මිටි තැනින් වතුර බහින්නේ කියලා හඳුනා ගැනීමයි. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දී දක්වන්නේ අල්පේශාක්‍ය පුද්ගලයාට, මනසින් හීන දීන පුද්ගලයාට කර්ම විපාකය බරපතළ ආකාරයෙන් විපාක දෙනවා. නිරයෙහි උපද්දවලා මහා දුක් විපාක ඇති කර දෙන්නට සමත් වෙනවා.  නමුත් මනසින් ශක්තිමත් වූ මහේශාක්‍ය පුද්ගලයාට එබඳු මහා විපාකයක් ඇති කර දෙන්නට සමත් වෙන්නේ නෑ.

මෙහි දී අවධාරණය කරන ප්‍රධාන කාරණය තමයි මිටි තැනින් වතුර බහිනවා නම් කුමට ද මිටි වෙන්නේ? අල්පේශාක්‍ය පුද්ගලයා මැඩගෙන කර්ම විපාකය මහා දුක් ඇති කරනවා නම් තමන් කුමට ද අල්පේශාක්‍ය වෙන්නේ? මහේශාක්‍ය වෙන්නට ශක්තිමත් වෙන්නට නැඟී සිටින්නට ඕනෑම කෙනෙකුන්ට පුළුවන්. එසේ නැඟී සිටින්නට පුහුණු කළයුතු ධර්මතා මොනව ද කියන බවත් මේ ලෝණ ඵල සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ දක්වනවා.

ලුණු පුපුර

මේ කාරණය පැහැදිලි කරන්නට, වඩා තහවුරු කරන්නට තථාගතයන් වහන්සේ කුඩාම කුඩා ලුණු කැටයක් උපමාවට ගන්නවා.  ඒ නිසයි මේ සූත්‍ර දේශනාව ලෝණ ඵල සූත්‍රය නමින් දැක්වෙන්නේ. තථාගතයන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගෙන් විමසනවා “මහණෙනි, ඉතා ම කුඩා ලුණු පුපුරක් එහෙම නැත්නම් පුංචි ම පුංචි ලුණු කැටයක් අරගෙන බඳුනක ඇති කුඩා ජල බිඳකට අර ලුණු කැටය දමනවා.  මහණෙනි, ටික වේලාවකින් කුමක් සිදු වේ ද?” භික්‍ෂූන් වහන්සේලා පිළිතුරු දෙනවා “ස්වාමීනි ලුණු කැටය දිය වෙලා යනවා.” “මහණෙනි, ඒ ජලයට කුමක් වේ ද?”

“ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඒ ජලය ස්වල්පය ලුණු රස බවට පත් වෙනවා.  ඊලඟට බුදුරජාණන් වහන්සේ විමසනවා

“මහණෙනි, යම්කිසි කෙනෙක් ඒ ප්‍රමාණයේ ම කුඩා ලුණු කැටයක් අරගෙන ගිහින් ගඟට දානවා.  ටික වේලාවක් යන කොට ලුණු කැටය දිය වෙලා යනවා.  මහණෙනි, ගංගා ජලය ලුණු රස බවට පත් වෙනවා ද නැද්ද? “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ගං දිය එබඳු කුඩා ලුණු කැටයකින් ලුණු රස බවට පමුණුවන්නට පුළුවන් කමක් නෑ.”

ඊලඟට බුදුරජාණන් වහන්සේ විමසනවා “මහණෙනි, එක හා සමාන ලුණු කැටවලින් එකක් ජල බඳුනෙහි තිබුණ ස්වල්ප ජලය ලුණු රස බවට පමුණුවන්නට, ඒ ජලයේ ප්‍රකෘති ස්වභාවය විකෘති කරලා විපරීත කරන්නට සමත් වුණා.  නමුත් එබඳු ම ලුණු කැටයක් ගඟට දැමූ විට ඒ ගං දිය විපරීත කරන්නට විකෘති කරන්නට ඒ ලුණු කැටය සමත් වුණේ නෑ. මහණෙනි, කුමක් නිසා ද එක හා සමාන ලුණු කැට දෙකක් දෙයාකාර අවස්ථාවක දී දෙයාකාර ප්‍රතිඵලයක් ඇති කළේ? බඳුනේ තිබුණ ස්වල්ප ජලය ලුණු රස බවට පැමිණෙන්නටත් ගංදිය ලුණු රස නො වෙන්නටත් හේතුව

කුමක් ද?” භික්‍ෂූන් වහන්සේලා පිළිතුරු දෙනවා “ස්වාමීනී බුදුරජාණන් වහන්ස, බඳුනෙහි තිබුණ ජලය ඉතා ස්වල්පයි.  ජලය ස්වල්ප නිසා, අල්පේශාක්‍ය භාවය නිසා තමන්ගේ තත්ත්වය රැක ගන්නට බැරි වුණා.  බාහිරින් පැමිණුණ ඉතා කුඩා බාධකයෙන් තමන් විපරීත වෙලා විකෘති වෙලා තමන්ගේ තත්ත්වය විනාශ කර ගත්තා. නමුත් ස්වාමීනී බුදුරජාණන් වහන්ස, ගංගාවෙහි ජල කඳ සුවිශාලයි. එය මහේශාක්‍යයි.  ඒ නිසා ස්වාමීනි ඒ ගං දියට එබඳු ලුණු කැටයක් තබා ඊට වඩා මහත් වූ ලුණු කඳක් දැම්මත් ඒ ගංගා ජලය සහමුලින් ම ලුණු රස බවට පමුණුවන්නට කෙනෙක් සමත් වන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, අන්න ඒ වගේ තමයි අල්පේශාක්‍ය පුද්ගලයා, ගුණයෙන් හීන මානසික ශක්තියෙන් හීන දීන වූ පුද්ගලයා තමන් සතු ඉතා කුඩා අකුසල කර්මයෙනුත් මහා දුක් ඇති කර ගෙන සසර ගමනේ අප්‍රමාණ දුක් පීඩාවලට භාජනය වෙනවා.  නමුත් යම්කිසි කෙනෙක් මනසින් ශක්තිමත් නම් මහේශාක්‍ය නම් ගුණ නුවණින් පිරිපුන් නම්, යම් හේතුවක් නිසා එබඳු පුද්ගලයා අතින් අකුසල කර්මයක් සිදු වෙලා තිබුණත්, එය දිට්ඨධම්මවේදනීය වශයෙන් සුළු විපාකයක් ඇති කරනවා විනා මහා විපාකයක් ඇති කරලා ඒ තැනැත්තා යට කොට ක්‍රියාත්මක වෙන්නට සමත් වෙන්නේ නෑ.” එහෙම නම් අල්පේශාක්‍ය පුද්ගලයා යට කොට කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා.  මහේශාක්‍ය පුද්ගලයා තමන්ගේ මානසික ශක්තිය තුළින් කර්ම වේගය යට කොට ක්‍රියාත්මක වෙනවා.

(මතු සම්බන්ධයි)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *