ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය නිශාදිනී පීරිස්
අන් අයට සංව්දී විය යුතු ආකාරය පිළිබඳව හොඳ ම ගුරුහරුකම අපට ලබා දෙන්නේ අප මහා බුදුරජාණන්වහන්සේ ය. අපගේ තත්ත්වය, වැඩිහිටි බව ආදි විවිධ කරුණු සැලකිල්ලට ගනිමින්, අන් අය ඉදිරියේ ඔවුන් අප ළඟට පැමිණ ගරු බුහුමන් දක්වන තුරු අප බලා සිටිය යුතු බව අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නෙමු. එහෙත් අප මහා බුදුරජාණන්වහන්සේ අන් අය ඉදිරියේ ක්‍රියාත්මක වූයේ බෙහෙවින් වෙනස් ආකාරයකට ය. ලොව සිටින සියලු දෙනාට ම වඩා උත්තරීතර වූ බුදුරජාණන්වහන්සේ, තමන් වෙත පැමිණි තැනැත්තා ආචාර කර සංවාදය අරඹන තුරු බලා නො ඉඳ, සංවාදය පළමුවෙන් අරඹන සේක. මෙය බුදුරජාණන්වහන්සේ සතු ගුණාංගයකි. එසේ ම උන්වහන්සේ වෙත පැමිණෙන සෑම පුද්ගලයකුට ම ආමණ්ත්‍රණය කර, ඔවුන්ගේ සුවදුක් විමසීම බුදුරජාණන්වහන්සේ ප්‍රථමයෙන් ම සිදු කරන කාර්යයයි. අප අන් අය අප හා කථා කරන තුරු බලා සිටින්නේ බොහෝ විට අප තුළ පවතින මානය නිසා ය. බුද්ධානුගාමිකයන් වන අප අපගේ මානය අඩු කරගැනීමට නම් බුදුරජාණන්වහන්සේ අනුගමනය කිරීම කළ යුතු ය. අප සියලු දෙනාට ම වඩා උත්තරීතර වූ බුදුරජාණන්වහන්සේට අන් අයට එසේ පිළිගැනීමක් ලබා දිය හැකි නම්, අපට අන් අය ඉදිරියේ මානයක් ඇති කරගැනීමට හේතු නොමැති බව නිරතුරු ව මතක් කරගත යුතු ය.
බුදුරජාණන්වහන්සේ සැම විට ම අන් අය සිතන පතන ආකාරය, වටිනාකම්, අවබෝධය, හා අවශ්‍යතාව පිළිබඳව සංවේදී භාවයකින් ක්‍රියා කළ හ. අන් පුද්ගලයාගේ තත්ත්වයට සංවේදී ව ප්‍රතිචාර දැක්වූ හ. සූත්‍ර විනය පිටක පුරා මෙවැනි උදාහරණ රැසක් දැකිය හැකි ය. දීඝ නිකායෙහි මහාවග්ගයෙහි, වන සක්කපඤ්හ සූත්‍රයෙහි හමු වන සක්දෙවිඳුන්ගේ ගාන්ධාර්ව වූ පංචසිඛයන් හා බුදුරජාණන්වහන්සේ අතර ඇති වූ සංවාදය මෙයට නිදසුනක් ලෙස දැක්විය හැකි ය.
සක්දෙවිඳුන් තම ගාන්ධාර්ව වූ, පංචසිඛයන් හට තමාට පෙරටුව ගොස් බුදුරජාණන්වහන්සේ සතුටු කර, තමාට හමු වීමට සුදුසු පරිසරය සකසන වගකීම පැවරී ය. මෙම වගකීම භාරගත් පංචසිඛයන් බුදුරජාණන්වහන්සේ වෙත පැමිණ, තම බේලුව පණ්ඩු වීණාව වාදනය කරමින් ගීතයක් ගැයුවේ ය. එය තමා තුළ මාතලී නම් සංග්‍රාහකයාගේ පුතුට පෙම් බැඳි, භද්‍රා නම් වූ තිම්බරු නම් ගාන්ධර්ව රජුගේ, සුරියවච්ඡසා නම් වූ දුවණිය අරබයා තමා තුළ පැවැති ප්‍රේමය හා තෙරුවන් ගුණ සම කරමින් පබැඳි මධුර වූ ගීතයකි. පහත දැක්වෙන්නේ එම ගීතයෙහි කොටසකි.
“ධ්‍යානයෙන් එකඟ බවට පැමිණි නුවණින් හා සිහියෙන් යුක්ත වූ ශාක්‍ය පූත්‍ර වූ මුනීන්ද්‍ර තෙමේ, අමෘත වූ මහා නිර්වාණය සොයන්නාක් මෙන් මම තී සොයා හැසිරෙමි.
බුද්ධ මුනි තෙමේ උතුම් බුදු බවට පැමිණ යම් සේ සතුටු වන්නේ ද, සුන්දරිය තී හා එක් වීමට පැමිණියා වූ මම ද එපරිද්දෙන් සතුටු වෙමි.”
මෙම ගීයට සවන් දුන් බුදුරජාණන්වහන්සේ පංචසිකයට මෙසේ ප්‍රකාශ කළ හ.
“පංචසිකය, ඔබගේ වීණා තත් හඬ ගී හඬ සමග ද, ඔබගේ ගී හඬ වීණා තත් හඬ සමග ද, ගැළපේ. පංචසිකය, ඔබගේ වීණා තත් හඬ ගී හඬ ඉක්මවා නාද නො කෙරේ. ඔබගේ හඬ ගී හඬ වීණා තත් ඉක්මවා නාද නො කෙරේ. පංචසිකය, ඔබගේ බුදුගුණ, ධර්මයෙහි ගුණ, සංඝයාගේ ගුණ ඇති, කාම ගුණ දනවන මෙම පද කවර කලක පබැඳුවේ ද?”
බුදුරජාණන්වහන්සේගේ පැනයට පිළිතුරු දෙන පංචසිකයෝ, තමන් සුරියවච්ඡසාව දැක ඇයගේ කැමැත්ත ලබා ගැනීමෙහි අරමුණින්, ඇයට ඇසෙන ලෙස, ඇයගේ නිවස්නය අසල සිට, මෙම ගීය පබැඳ ගැයූ බවත්, එය ඇසූ සුරියවච්ඡසාව තෙරුවන් ගුණ ගැණ පැහැදී තමාට කැමැති වූ බවත්, දැන් ඇය තමා සමග නොමැති බවත්, බුදුරජාණන්වහන්සේට පැවසූ හ.
මෙම සාකච්ඡාව දෙස බැලීමෙහි දී බුදුරජාණන්වහන්සේ විසින් පංචසිකයන්ගේ තත්ත්වය වටහාගෙන ඔහුගේ කාර්යය ඉටු කිරීමට පංචසිකයනට පහසුකම් සලසා ඇති ආකාරය දැකිය හැකි ය. මෙහි දී තෙරුවන් ගුණ ගයා සුරියවච්ඡසාව කැමැති කරගැනීම වැරදි බව හෝ, තෙරුවන් ගුණයන් කාමය හා සැසඳීම නුසුදුසු බව හෝ පංචසිකයනට නො පැවසූ බුදුරජාණන්වහන්සේ ඔහු ගැයූ ගීතයෙහි සෞන්දර්යාත්මක බව ඇගයූ සේක. පංචසිකයන්ට සක් දෙවිඳුන් පැවරූ කාර්යය වූයේ බුදුරජාණන්වහන්සේ සතුටු කර තමාට හමු වීමට සුදුසු පරිසරය සැකසීම ය. එම නිසා බුදුරජාණන්වහන්සේ පංචසිකයන්ගේ ක්‍රියාවෙහි ඇගයිය හැකි දේ ඇගයූ හ. එසේ ම පංචසිකයනට බෙහෙවින් වැදගත් වූ එම ගීතයෙහි පසුබිම ද විමසා බැලූ හ. මෙසේ අවස්ථාව හා තමන් වෙත පැමිණෙන තැනැත්තාගේ තත්ත්වය වටහාගෙන ප්‍රතිචාර දැක්වීම අප ද පුහුණු කළ යුතු ගුණාංගයකි.
සෑම පුද්ගලයෙක් ම සෑම මාතෘකාවකට ම එක ලෙස කැමැත්තක් නො දක්වයි. එම නිසා අප අන් අය හා සන්නිවේදනය කිරීමේ දී එක් එක් පුද්ගලයා කැමැති අකැමැති මාතෘකා පිළිබඳ සංවේදී නො වුව හොත් අපගේ සන්නිවේදන ක්‍රියාවලිය ම අසාර්ථක වේ. එම නිසා එක් එක් පුද්ගලයාට ප්‍රිය හා අප්‍රිය මාතෘකාවනුත්, එසේ ප්‍රිය වීමට හෝ අප්‍රිය වීමට හේතු සාධකත් පිළිබඳව අවබෝධයක් අප සතු විය යුතු ය. අංගුත්තර නිකායෙහි, පංචක නිපාතයෙහි, සද්ධම්ම වග්ගයෙහි, දුක්කථා සූත්‍රයට අනුව,
- සැදැහැවත් තැනැත්තාට ශ්‍රද්ධාව සම්බන්ධ කථාව
- සිල්වත් තැනැත්තාට සීලය සම්බන්ධ කථාව
- ප්‍රඥාවත් තැනැත්තාට ප්‍රඥාව සම්බන්ධ කථාව
- ත්‍යාගයට යොමු වූ තැනැත්තාට ත්‍යාගය සම්බන්ධ කථාව
- බහුස්‍රැත තැනැත්තාට බහුස්‍රැත බව සම්බන්ධ කථාව
ප්‍රියමනාප ය.
සාකච්ඡා කරන ගුණය තමා තුළ පවතින බව දැනීම නිසා සතුටට පත් වන නිසා එවැනි කථාවන් ඔවුනට ප්‍රියමනාප වේ. එසේ ම අකුසලයට යොමු වූ පුද්ගලයාට කුසලයට යොමු වූ සාකච්ඡාවන් ප්‍රියමනාප නො වේ. එම නිසා,
- සැදැහැවත් නැති තැනැත්තාට ශ්‍රද්ධාව සම්බන්ධ කථාව
- සිල්වත් නැති තැනැත්තාට සීලය සම්බන්ධ කථාව
- ප්‍රඥාවත් නොමැති තැනැත්තාට ප්‍රඥාව සම්බන්ධ කථාව
- මසුරු තැනැත්තාට ත්‍යාගය සම්බන්ධ කථාව
- අල්පස්‍රැත තැනැත්තාට බහුස්‍රැත බව සම්බන්ධ කථාව
ප්‍රියමනාප නො වේ. තමා තුළ නොමැති ගුණයන් පිළිබඳව සාකච්ඡා කරන විට එම ගුණයන් තමා තුළ නොමැති බව සිහිපත් වීමෙන් දුකට, කෝපයට, ද්වේශයට, පත් වන එවැනි පුද්ගලයන් ඒ පිළිබඳ ව ප්‍රිය නො වේ. එවැනි අවස්ථාවක පුද්ගලයාට ප්‍රියමනාප වන මාතෘකාවකින් සාකච්ඡාව ඇරඹිය හැකි නම්, අන් අයගේ විශ්වාසය හා ප්‍රසාදය දිනාගැනීමට පහසුවක් වේ. එසේ ම අප බලාපොරොත්තු වන සන්නිවේදනය ද පහසුවෙන් කළ හැකි වේ. මේ ආකාරයට එක් එක් පුද්ගලයා ගැන මනා අවධානයකින් ඔවුනට ප්‍රිය දෙයින් ඔවුන් හා සන්නිවේදනය ආරම්භ කළ හැකි නම්, එය ම අවශ්‍ය පණිවිඩය වෙත අනෙක් පුද්ගලයාගේ අවධානය ලබා ගැනීමට පහසුවක් වේ. භික්ෂු සංඝයා වෙත හෝ වෙනත් පුද්ගලයන් සිටින තැනකට හෝ බුදුරජාණන්වහන්සේ වැඩිය අවස්ථාවල උන්වහන්සේ පළමුවෙන් ම විමසන්නේ තමන් පැමිණීමට ප්‍රථම ඔවුන් සාකච්ඡා කරමින් සිටියේ කුමක් ද යන්න ය. උන්වහන්සේ සාකච්ඡා ආරම්භ කරන්නේ එම මාතෘකාව පදනම් කරගෙන ය. එවිට අසා සිටින්නන්ට බුදුරජාණන්වහන්සේ පවසන දේ තමාට සමීප බව දැනෙයි. මෙසේ අන් අයගේ අදහස් උදහස්වලට ගරු කරමින් ක්‍රියා කිරීම සන්නිවේදනට සාර්ථක කර ගැනීමට පහසුවක් සලසයි.
බුදුරජාණන්වහන්සේ වෙත පැමිණෙන තැනැත්තා තුළ පවතින අවබෝධය, වටිනාකම්, හා සිතන පතන ආකාරය වැරැදි සහගත වුවත්, එය බොහෝ සංවේදී ව ප්‍රකාශ කළ හ. මජ්ක්‍ධිම නිකායෙහි, මජ්ක්‍ධිම පණ්ණාසකයෙහි, කුක්කුරවතික සූත්‍රය මෙයට එක් නිදසුනකි. ගෝවෘතය (ගවයකු ලෙස හැසිරීම) සමාදන් වූ පුණ්ණ නමැති කෝලිය පුත්‍රයා හා සුනඛවෘතය (සුනඛයකු ලෙස හැසිරීම) සමාදන් වූ සේනිය නමැති අචේලකයන් ද බුදුරජාණන්වහන්සේ වෙත පැමිණ තමන් සමාදන් වූ වෘතයන් නිසා ලබන පරලොව ගතිය කුමක් විය හැකි දැයි විමසූ හ. එයට පිළිතුරු දෙන බුදුරජාණන්වහන්සේ එය නො විමසන ලෙස ඔවුනට පැවසූ හ. තෙවරක් දක්වා ම විමසූ පසු සුනඛවෘතය සමාදන් වූ පුද්ගලයා එම චර්යාව තුළ දිගු කලක් හැසිරීම නිසා, සුනඛයකු ලෙසත්, ගෝවෘතය සමාදන් වූ පුද්ගලයා එම චර්යාව තුළ දිගු කලක් හැසිරීම නිසා, ගවයකු ලෙසත්, උපත ලබන බව බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළ හ. තම වෘතයන් නිසා තමා සුගතියක උපදිනු ඇතැ යි විශ්වාස කළ මෙම වෘතධාරීන් දෙදෙනාට එහි යථා ස්වභාවය එකවර ප්‍රකාශ නො කළ සේක. පළමුව ඔවුන්ගේ විශ්වාසයෙහි ගැටලුවක් පවතින බව දැනෙන්නට හැර පසුව එය පැහැදිලි කළ නිසා එම දෙදනාට ම තමන්ගේ විශ්වාසය වැරැදි බව භාරගැනීමට පහසුවක් ඇති විය.
අන් අය හා සාර්ථක ව සන්නිවේදනය කිරීම පහසු කටයුත්තක් නො වේ. එය පහසු කරගත හැකි පහසු ම ක්‍රමය බුදුරජාණන්වහන්සේගේ සන්නිවේදනය කිරීමේ ස්වභාවය අධ්‍යයනය කර එය ප්‍රායෝගික ව යොදාගැනීමයි.