පූජ්‍ය ආලංකුලමේ පේමසිරි හිමි
(පසුගිය ලිපි හා සම්බන්ධයි)
විඤ්ඤාණය
පසුගිය ලිපියේ සාකච්ඡා කළ නාමරූපයන් හටගැනීමට හේතු ප්‍රත්‍ය වන විඤ්ඤාණය පිළිබඳව අද අපි දැන ගනිමු. පටිච්චසමුප්පාදයෙහි ඉගැන්වෙන බොහෝ දෙනකුට තේරුම් ගැනීමට අපහසු තැනකි, මෙය. “භව පච්චයා ජාති” යන්නෙන් භාග්‍යවතුන් වහන්සේ පටිච්චසමුප්පාදයෙහි අනාගත ජාතිය පිළිබඳව වදාළ දේශනාව මේ භවයෙහි ජාතිය පිළිබඳව වදාළ ආකාරයයි, “සංඛාර පච්චයා විඤ්ඤාණං” යන්නෙන් විස්තර වන්නේ. “භව පච්චයා ජාති” යන්නෙහි නො කළ විස්තර කතාවක් භාග්‍යවතුන් වහන්සේ මෙහි දී පැහැදිලි කර දී ඇත. විශේෂයෙන් මෙහි දී පැහැදිලි කර දෙන්නේ උපත සිදු වන ආකාරයයි.
“විඤ්ඤාණ පච්චයා නාමරූපං” යැ යි කී විට කෙනෙකුට පෙර භවයේ විඤ්ඤාණය හෙවත් සිත මේ භවයෙහි හටගන්නවා යැ යි සිතක් පහළ විය හැකි ය. සාති භික්ෂූන් වහන්සේ ද මේ පටලැවිල්ලෙහි සිටිය බව “මහා තණ්හා සංඛය” සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. මෙය ගැඹුරු කතාවකි. විඤ්ඤාණය පහළ වෙනවා යැ යි කී විට මේ භවයෙහි අවසාන සිත වන චුති සිත ඊළඟ උපත සිදු කර දෙනවා යැ යි මෙකල ද ඇතමුන් වරදවා තේරුම්ගෙන ඇත්තේ මේ නිසා ය. විඤ්ඤාණය ඒ ඒ තැන්හි හටගෙන නිරුද්ධ වන්නකි. එහි ආයුෂ චිත්තක්ෂණයකි. චුති සිත නැවත පහළ වන්නේ නැත. එය චුත වී හමාර ය. චුති සිත පමණක් නො ව භවය අතරතුර පහළ වන සිත් සියල්ලක් එසේ ම ය. හටගන්නේ අලුත් ම සිතකි. එහෙත් සන්තති වශයෙන් හෙවත් පරම්පරා වශයෙන් මෙයට සම්බන්ධතාවක් ඇත. එහි අබ්භොච්ඡින්න භාවය හෙවත් නො සිඳී පැවැත්ම තේරුම් ගැනීමට බොහෝ දෙනෙකුට අපහසු නිසා ඇතැම්හු උච්ඡේද දෘෂ්ටියට පැමිණ මරණින් මතු උපතක් නැතැ යි සිතා ක්‍රියා කළ හ. ඇතැම්හු ශාස්වත දෘෂ්ටියට පැමිණ ස්ථිර ආත්මයක් ඇතැ යි යන දෘෂ්ටියෙන් වෙළුණ හ.
හෘදය වස්තු රූපය අක්‍රිය වීමෙන් ශරීරය නිරුද්ධ වී යෑම නිසා විඤ්ඤාණය පිහිටා සිටීමට තැනක් නොමැති වීමෙන් ශරීරයේ සිත් ඉපදවීමට තැනක් නොමැති වීම නිසා ශරීරයේ උපදනා අන්තිම සිත නිරුද්ධ වූ විට එනම් සත්ත්වයා මළ පසු ඊළඟ සිත වෙනත් තැනක පහළ වීම සිදු වේ. එයට දින හතක් තුන් මාසයක් වැනි කාලයක් ගන්නවා යැ යි නො සිතිය යුතු ය. එය සිදු වන්නේ ක්ෂණයක් තුළ ය. එය මේ භවයෙන් ගිය විඤ්ඤාණයක් නො ව පැවැති විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් උපන් අලුත් විඤ්ඤාණයක් ම ය. එහි ඇත්තේ පරම්පරා සම්බන්ධයකි. පරම්පරා සම්බන්ධයක් යැ යි කී විට ඔබ තරමක් පැටලෙනු ඇත. එය උදාහරණයකින් පැහැදිලි කරමු.
විදුලි බල්බයක් හෝ පහනක් දැල්වූ විට අපට පෙනෙන්නේ දැල්වී තිබෙන විදුලි ආලෝකය හෝ පහන් ආලෝකයයි. එහෙත් එතන සිදු වන්නේ පැමිණෙන විදුලි ධාරා හෝ ආලෝක ධාරා හටගන්නා තැන ම විනාශ වීමයි. හටගැනීමත් විනාශ වීමත් අතර කපොල්ලක් නො පෙනෙන තරමට ඒ ක්‍රියාවලිය වේගවත් නිසා අපට එහි නිරුද්ධ වීම හෝ හට ගැනීම තේරුම් ගැනීම අපහසු ය. නමුත් සිදු වී ඇත්තේ ඒ දෙක පමණි. ඒ උදය වය දෙකෙහි දැකිය නොහැකි වේගවත් සම්බන්ධය වැනි දෙයකි මේ පරම්පරා කතාව. “නච සෝ නච අඤ්ඤෝ” (ඔහුත් නො වේ. වෙන කෙනෙකුත් නො වේ.) යනුවෙන් සඳහන් වන්නේ එයයි.
එක භවයක් අවසන් කරන සිතට චුති සිත යැ යි කියන අතර යම් තැනක පළමුවෙන් හටගන්නා සිතට ප්‍රතිසන්ධි සිත යැ යි කියනු ලැබේ. ප්‍රතිසන්ධි විඥානය යනු ද මෙයයි. සත්ත්වයාගේ මරණයේ දී කය විනාශ වුවත් විඤ්ඤාණය නිරුද්ධ නො වී යළි හට ගන්නේ පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාර හා ආනෙඤ්ජාභිසංඛාර නිසාවෙනි. සංඛාර, භව, කර්ම යන මේ සෑම වචනයකින් ම හඳුන්වන්නේ එය මයි. කුසලාකුසල කර්ම නොමැති නම් මරණින් මතු චිත්ත පරම්පරාවක පැවැත්මක් සිදුවන්නේ නැත. කර්ම ඇතත් අවිද්‍යා තෘෂ්ණා දෙක නොමැති නම් එකී කර්මයන්ට ද සත්ත්වයාට උපතක් ඇති කර දීමට හැකියාවක් නැත. රහතන් වහන්සේ නැවත නූපදින්නේ ඒ නිසයි.
මේ භවයෙන් මිය යන දෙවියෙකු මිනිසකු තිරිසනකු ආදි කවර සත්ත්වයෙකු වුවත් එකී මනුෂ්‍ය තිරිසන් දේවාදී ස්වභාවයෙන් ම හෝ ඊට හාත්පසින් වෙනස් ස්වභාවයන් ගෙන් ද උපදින්නට හේතු වන්නේ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුනෙන් එකක් මරණාසන්නයේ දී අනිවාර්යයෙන් ඉදිරිපත් වන හෙයිනි. මරණාසන්නයේ දී හෝ ඊට පෙර හෝ බොහෝ ඈත කවර භවයක හෝ සිදු කරන ලද කුසල හෝ අකුසල කර්මයක් මරණාසන්නයේ දී ඉදිරිපත් වීම කර්ම යන්නෙන් අදහස් කෙරේ. කර්ම නිමිත්ත යනු කර්මය කිරීමට උපකාර වූ උපකරණ හෝ පුද්ගලයන් මරණාසන්න සත්ත්වයාගේ සිතට එළඹීමයි. ඒ ඒ භවවල තිබෙන යම් යම් නිමිති (ගිනිදැල් දිව්‍ය රථ ආදි වශයෙන්) මරණාසන්නයේ දී ඉදිරිපත් වීම ගති නිමිතියි. දස කුසලයෙහි හා දස අකුසලයෙහි යෙදී සිටි කෙනෙක් සුගතියෙහි හා දුගතියෙහි යන දෙකෙන් කවරෙක උපදිනවා දැ යි නිශ්චය වශයෙන් කිව නොහැක්කේ මේ කාරණය නිසා.
(මතු සම්බන්ධයි)