අනුබුදු මුවින් ඇසුණු බුදු වදන්

rashi
By rashi
23 Min Read

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි

තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ව ධර්මදූතයන් වහන්සේලා යවන ලද රටවල් නවය අතර තම්බපණ්ණි දේශය ද එක් රටක් ලෙස අට්ඨකථාවල දැක්වෙයි. තම්බපණ්ණි දේශය යනු වත්මන් ශ්‍රී ලංකාවයි. මෙහි පැමිණි ධර්මදූත කණ්ඩායම වූයේ මහින්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරුන් වහන්සේලා පස් නම සහ සුමන සාමණේරයන්, භණ්ඩුක උපාසක යන සත් දෙනා ය. වංශකථා සහ අට්ඨකථාගත තොරතුරුවලට අනුව අශෝක මහාධිරාජ්‍යයාගේ පුත්‍ර මහා මහින්ද තෙරුන්ගේ මූලිකත්වයෙන් යුතු ව සිදු වුණු මෙම ධර්මදූත මෙහෙවර අහඹුවක් නො ව, බුදුරජාණන් වහන්සේගේ පවා ආශිර්වාදය ඇති ව සිදු වූවකි.

සමන්තපාසාදිකා නම් වූ විනය අට්ඨකථාවේ සඳහන් පරිදි මහින්ද තෙරුන් ප්‍රමුඛ ධර්මදූත පිරිස ලක්දිවට පැමිණෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස් හය වැන්නෙහි ය. ඒ වන විට මිහිඳු මාහිමියන් උපසම්පදාවෙන් දොළොස් වස් ඇත්තේ විය. ධර්ම ප්‍රචාරය සඳහා ලක්දිවට පැමිණීමට සංඝයා විසින් මහින්ද තෙරුන් සම්මත කරන ලද නමුත් ඒ වන විට ලක්දිව මුටසීව රජුගේ රාජ්‍ය සමයෙහි අවසන් භාගය වූ බැවින් උන්වහන්සේ ගමන ප්‍රමාද කළ හ. මුටසීව රජුගේ පුත් තිස්ස කුමරු ලක් රජය භාරගත් පසු ‘දේවානම්පියතිස්ස’ නමින් අශෝක අධිරාජයාගේ අනුග්‍රහය යටතේ දෙවැනි වරට අභිෂේකගන්වා මසක් ගත වූ තැන මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදු විය.

ධර්ම සන්නිවේදන ක්‍රියාවලියේ සාඵල්‍යය සඳහා සන්නිවේදකයකු වශයෙන් අවශ්‍ය සුදුසුකම් ඉතා ඉහළ මට්ටමකින් මිහිඳු මාහිමියන් සතු ව පැවැතුණි. රටක රජු ධාර්මික වන විට රාජපුරුෂයන් ද, බ්‍රාහ්මණ ගෘහපතියන් ද, නිගම ජනපදවාසීන් ද අනුක්‍රමයෙන් ධාර්මික වන බව තථාගතයන් වහන්සේ අධම්මික සූත්‍රයේ දී දේශනා කරති. එම න්‍යාය මැනැවින් අනුගමනය කරමින් මිහිඳු මාහිමියන් ධර්ම සන්නිවේදනයේ පළමු ග්‍රාහකයා ලෙස රජු ම තෝරාගත් බව පෙනෙයි.

මිහිඳු මාහිමි ප්‍රමුඛ ධර්මදූත පිරිසත් තිස්ස රජුත් මිස්සක පව්වේ දී සම්මුඛ වූ හ. කෙටි සුහද පිළිසඳරකින් එකිනෙකා හඳුනා ගැනීමෙන් අනතුරු ව, මිහිඳු මාහිමියෝ රජු ගෙන් අඹ පැනයත් ඥාති පැනයත් විචාළ හ. එහි දී මූලික වශයෙන් රජුගේ විචාරපූර්වක බව පිළිබඳ වැටහීමක් ඇති කරගත් උන්වහන්සේ, ඉන් අනතුරු ව තෙරුවන් හඳුනාගැනීම සඳහා විචාරශීලී බව උපයෝගි කරගත යුතු ආකාරය පැහැදිලි කරමින් චූළහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ හ. දේශනාවසානයෙහි රජු ප්‍රමුඛ හතළිස් දහසක් පිරිවර ජනයා සරණ ශීලයෙහි පිහිටි බව මහාවංශය සඳහන් කරයි.

සම්බුදු සසුනේ ස්ථාවරය පිළිබඳ ව සලකා බලන විට චූළහත්ථිපදෝපම සූත්‍රය පළමු ව දේශනා කිරීම ඉතා ම යෝග්‍ය යැයි හැඟේ. එයට හේතුව, කෙනෙකුට දහම් මඟට ප්‍රවේශ වීම සඳහා අත්‍යවශ්‍ය මූලික සාධක දෙකක් පිළිබඳ ව මෙම සූත්‍රයේ දී අවධානය යොමු කර තිබීමයි. එනම්, රත්නත්‍රය පිළිබඳව ආකාරවතී ශ්‍රද්ධාව හෙවත් ගුණ දැන පැහැදීම සහ ඒ සඳහා වූ විචාරපූර්වක (ආර්ය) පර්යේෂණයයි.

වෙනත් වචනවලින් කිව හොත් බුදුදහමේ කියැවෙන ඥානමාර්ගය පිළිබඳව වටිනා මාර්ගෝපදේශයක් එම සූත්‍රයෙන් සපයයි. එමෙන්ම එහි දැක්වෙන හස්ති උපමාව ලක්වැසියන්ගේ ජනජීවිතයට සමීප වූවක් නිසා සුඛාවබෝධය පිණිස ද හේතු වෙයි. ධර්මය හඳුන්වා දීම සඳහා පළමුවෙන් කළ දම්දෙසුම රැස් ව සිටි එම පිරිසට පමණක් නො ව, මෙරට සම්බුදුසසුන පවතින තුරු සැම දෙනාගේ අවධානය යොමු විය යුතු කරුණකි. එම විචාරපූර්වක මඟ යම්තාක් කල් අනුගමනය කරයි ද ඒ තාක් කල් සම්බුදු සසුන පවතිනු ඇත.

රැස් ව සිටි ජනතාව රජු සමග නික්ම ගිය පසු එදින සැඳෑ සමයේ සුමන සාමණේරයන් ලවා කාලඝෝෂා කරවා මිහිඳු මාහිමියන් ධර්මදේශනා කරන්නේ මිනිසුන්ට නො ව, දෙවියන් ඇතුළු අමනුෂ්‍ය ගණයාට ය. මෙම අවස්ථාව ද කරුණු කිහිපයක් නිසා වැදගත් වේ. සම්බුද්ධ ශාසනයේ පිහිට ලැබුවේ මිනිසුන් පමණක් නො ව දෙව්බඹුන් ඇතුළු අමනුෂ්‍ය සමූහයා ද ඒ අතර වේ. තථාගතයන් වහන්සේ ‘සත්‍ථා දේවමනුස්සානං’ යන ගුණ පදයෙන් හඳුන්වන්නේ ද එබැවිනි. උන්වහන්සේ ජීවමාන අවධියේ රාත්‍රී මධ්‍යම යාමය දෙවිබඹුන්ට දහම් දෙසීම සඳහා යොදාගත් බව සඳහන් ය. එනිසා දෙවිබඹුන්ට ද දහම් ඇසීමේ අවස්ථාව සලසා දීම බුදුසසුනට ආගන්තුක නො වේ. දෙවිබඹුන් දැන, දැක සාකච්ඡා කිරීමේ හැකියාව සෑම ශ්‍රාවකයකුට ම නැතත්, සෑම ධර්ම දේශනාවක් ආරම්භයේ දී ම, ධර්මශ්‍රවණය සඳහා දෙවියන්ට ඇරයුම් කරමින් කාලඝෝෂා කිරීම අදටත් ක්‍රියාත්මක වන ධර්ම සන්නිවේදන චාරිත්‍රයකි.

එදා මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන්ට උපදෙස් දුන්නේ මුළු තම්බපණ්ණියට ම ඇසෙන සේ කාලඝෝෂා කිරීමට බව මහාවංසය කියයි. එය මිනිසුන්ට දෙසන දහම අසන්නට කළ සාම්ප්‍රදායික ඇරයුමක් නො ව, දෙවියන් සඳහා ම කරන දම් දෙසුමක් ශ්‍රවණය කිරීමට කළ විශේෂ ඇරයුමකි. ලංකාද්වීපයට වැඩම කළ පළමු දිනයේ ම ප්‍රජාවගේ අධිපති වූ රජු ප්‍රමුඛ පිරිසට දම් දෙසුවා සේ ම, දීපවාසී දෙවියන් ඇතුළු සමස්ත දෙවිබඹුන් වෙත ඇරයුම් කොට දම්දෙසීම ද වැදගත් අවස්ථාවකි. කරණීයමෙත්ත සූත්‍ර නිදානය, ආටානාටිය සූත්‍ර දේශනාව ආදිය විමසා බලන විට පෙනෙන්නේ යම් ප්‍රදේශයකට බුද්ධශ්‍රාවකයන් පැමිණේ ද එහි සිටින අමනුෂ්‍ය ගණයා දැනුවත් කොට එම පිරිසගේ සහයෝගය ද ලබාගැනීම කාර්ය සාධනයට මහෝපකාරී වන බවයි. එසේ නො කිරීමෙන් අනවශ්‍ය ගැටලු මතු විය හැකි බව ද එම දේශනාවලින් අනාවරණය වෙයි. විශේෂ ගැටලුවක් මතු නො වුණ ද යම් ප්‍රදේශයට ආගන්තුක ව පැමිණ නැවුම් කටයුත්තක් ආරම්භ කිරීමේ දී ප්‍රදේශාධිපතීන්, ප්‍රභූන් දැනුවත් කිරීම උසස් චාරිත්‍රයකි. සියලු දෙනාගේ ප්‍රසාදය හා ආශිර්වාදය ඇති ව යම් ක්‍රියාවක් ආරම්භ කිරීම, එම ක්‍රියාවේ සඵලත්වයට මෙන්ම චිර පැවැත්මට ද හේතු වේ.

බෞද්ධ ධර්ම සන්නිවේදනය මනුෂ්‍යයන්ට පමණක් සීමා වූවක් නො වන බව ප්‍රථම භික්‍ෂු පිරිසට ධර්ම චාරිකාවේ යෙදෙන ලෙස කළ අවවාදයේ දී පවා සිහිපත් කර ඇත. (චරථ භික්ඛවේ චාරිකං… අත්‍ථාය හිතාය සුඛාය දේවමනුස්සානං) මිහිඳු මාහිමියන් එහි දී දෙවියන් වෙනුවෙන් කළ දම්දෙසුම ලෙස දැක්වෙන්නේ සමචිත්තපරියාය සූත්‍රයයි. මෙම සූත්‍ර දේශනාව සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් සැවැත්නුවර පූර්වාරාමයේ දී දේශනා කළ සූත්‍රයකි. ආධ්‍යාත්මික සංයෝජන හා බාහිර සංයෝජන සහිත පුද්ගලයන් පිළිබඳ සංයෝජන පර්යාය විවරණය කෙරෙන මෙම සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීම සඳහා දසදහසක් සක්වල දෙවිබඹුන් පැමිණ මෙම සක්වල පුරා රැස් වූ බව අංගුත්තර නිකායට්ඨකථාව සඳහන් කරයි. ඒ දෙවියන් අතර සමසිත් ඇති ඇතැම් දෙවිවරු දස දෙනෙක් ද, විසි දෙනෙක් ද, තිස් දෙනෙක් ද, සතළිස් දෙනෙක් ද, පණස් දෙනෙක් ද, හැට දෙනෙක් ද ඉඳිකටු තුඩක් තරම් සුළු ඉඩ ප්‍රමාණයක ඔවුනොවුන්ට පීඩා නො කොට රැස් ව සිටිය හ. සැරියුත් තෙරුන් දෙසූ එම සූත්‍ර දේශනාව ඇසූ දෙවිබඹුන් කෝටි ලක්ෂයක් ධර්මාවබෝධය ලැබූ බව අට්ඨකථාව සඳහන් කරන අතර මිහිඳු මාහිමියන්ගේ දම්දෙසුම ඇසූ දෙවිබඹුන් අතර ද ගණන් කළ නොහැකි තරම් විශාල පිරිසක් (අසංඛියානං දේවානං ධම්මාභිසමයෝ අහු) ධර්මාවබෝධය කළ බව මහාවංසය සඳහන් කරයි.

පසුදින දානය සඳහා භික්‍ෂු පිරිස සමග රජ මාළිගාවට වැඩම කළ තෙරුන් වහන්සේ දන් වළඳා අවසන රජු, අනුලා දේවිය ඇතුළු රාජකීය පිරිසට සහ මහජනතාවට පේතවත්ථු, විමානවත්ථු සහ සච්චසංයුත්තය දේශනා කළ හ. මෙහි දී තථාගතයන් වහන්සේ අනුදැන වදාළ ‘ආනුපුබ්බී කථා’ ක්‍රමයට උන්වහන්සේ ධර්ම දේශනා කර ඇති බවක් පෙනේ. අකුසල් සිදු කිරීමෙන් ප්‍රේතාත්ම ලබන ආකාරය, කුසල් කොට දෙව්ලොව දිව්‍ය විමානවල උපදින ආකාරය දේශනා කොට අවසන කාමයන්ගේ ආදීනව දක්වමින් චතුරාර්ය සත්‍ය දේශනා කළ බව සිතිය හැකි ය. ධර්ම දේශනාවසානයේ පන්සියයක් ස්ත්‍රීන් සෝවාන් ඵලයට පත්වූ බව සඳහන් වේ. මහාවංසයේ එන තොරතුරුවලට අනුව මිහිඳු මාහිමියන්ගේ දම්දෙසුම් ශ්‍රවණය කොට පළමුවෙන් ම දහම් අවබෝධය කළ ලංකාදීපවාසී මනුෂ්‍ය පිරිස මේ පිරිස ය. ඉන් අනතුරු ව එක් රැස් වූ ජනතාවට ඇත්හළේ දී දේවදූත සූත්‍රය දේශනා කළ අතර එහි දී ද දහසක් දෙනා ධර්මාවබෝධය ලැබූ හ.

මජ්ඣිම නිකායේ එන දේවදූත සූත්‍රය ප්‍රායෝගික උදාහරණ මගින් සසර බිය පෙන්වා දෙන සූත්‍ර දේශනාවකි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක සහ වරද කිරීමෙන් අත්විඳීමට සිදුවන දිට්ඨධම්මවේදනීය හා සම්පරායික දුක මිනිසුන්ට සිහිපත් කරදෙන දේවදූතයන් පස් දෙනෙකු පිළිබඳව මෙම සූත්‍රයේ දක්වා තිබේ.

එනම් කුඩා බිළිඳෙක්, දුබල වෘද්ධයෙක්, රෝගියෙක්, මළ මිනියක් සහ වරදට නීතියෙන් දඬුවම් ලබන පුද්ගලයෙක් යන මේ පස් දෙනා ය. බුදුදහම සමාජගත කිරීමේ පරමාර්ථය සත්ත්වයා දුකින් එතෙර කිරීම ය. ඒ සඳහා පළමු ආර්ය සත්‍යය වූ දුක්ඛ සත්‍යය පිරිසිඳ දත යුතු ය. පඤ්චස්කන්ධය පැවැත්වීමේ ආදීනවය හෙවත් දුක්ඛාර්ය සත්‍යය අපට සිහි කර දෙන බැවින් ඉහත පුද්ගලයන් පස්දෙනා ‘දේවදූතයන්’ ලෙස හඳුන්වා දෙනු ලැබේ. එම දේවදූතයන් දකිද්දී ජීවිතයේ යථාර්ථය වටහාගෙන පව්කම්වලින් වැළකීම, කුසල් වැඩීම, සිත පිරිසිදු කිරීම යන ප්‍රතිපදාවෙහි නිරත වුව හොත් විමුක්තිය හෝ සුගතිය හිමි වනු ඇත. දේවදූතයන් දැක දැකත් ප්‍රමාදී ව අකුසල් රැස් කරන තැනැත්තා මරණින් මතු නිරයේ ඉපිද දුක් විඳින ආකාරය මෙම සූත්‍රයේ දී දීර්ඝ වශයෙන් පැහැදිලි කරයි. නිරයේ උපන් තැනැත්තාට පස් ආකාරයකින් දුක් පමුණුවන බවත්, ඉන් අනතුරු ව මහා නිරයෙහි දිගු කලක් දැවෙන ආකාරයත්, ඉන් ඔබ්බට තවදුරටත් අකුසලය ශේෂ ව ඇතොත් ගූථනිරය, කුක්කුල (උණු අළු) නිරය, සිම්බලී වන (ඉඹුල් වන) නිරය, අසිපත් නිරය, වේතරණී නිරය යන නිරයන්හි විඳින දුක් වේදනාවන් හා ලෝගුලි, ලෝදිය ආදියෙන් දැවෙන ආකාරයත් මෙම සූත්‍ර දේශනාව පැහැදිලි කරයි. ලංකාදීපවාසී ජනතාව ප්‍රාණඝාතාදී අකුසලයෙන් මුදවා කුසල මාර්ගයෙහි යෙදවීමට මෙම දේශනාව බෙහෙවින් උපකාර වන්නට ඇත.

දේවදූත සූත්‍රයෙහි ඇතුළත් විස්තර අසා නිරය භයින් තැතිගත් මිනිසුන්ට තෙරුන් වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කළ බව දීපවංශය සඳහන් කරයි.

පසු ව ඇත්හළ ඉඩකඩ මඳ වූයෙන් නන්දන වනෝද්‍යානයට මහජනතාව රැස් කරවා එහි ධර්මාසනය පනවන ලදී. මිහිඳු මාහිමියෝ එහි රැස් වූ ජනතාවට ආසිවිසෝපම සූත්‍රය දේශනා කළ හ. සංයුත්ත නිකායේ සඳහන් වන මෙම සූත්‍ර දේශනාව ඍජු ව ම නිවන අරමුණු කොට දේශනා කරන ලද්දකි. සසර පැවැත්මේ බිය ජනක බව හා නිවනෙහි ක්ෂේම බව උපමා එකොළසකින් එහි දී පැහැදිලි කරයි. ඒ මෙසේ ය.

i. උග්‍ර විෂ ඇති සර්පයෝ සතර දෙනෙකි. ඔවුන් නෑවීම, කැවීම, පෙවීම, නිදි කරවීම ආදී සියල්ල කළ යුතු අතර සුළු වැරදීමකින් පවා වහා කුපිත වෙයි. (එනම්, සතර මහා ධාතු)

ii. එයට බියෙන් පලා යන පුරුෂයා පසුපස වධකයෝ පස්දෙනෙක් නිරතුරු හඹා එති. (එනම්, පඤ්ච උපාදානස්කන්ධයයි.)

iii. වධකයන්ට බියෙන් පලා යෑමට උත්සාහ කළත් ඇතුළත හැසිරෙන සවැනි වධකයෙක් ඔහු නැසීමට අවකාශ සොයයි. (එනම්, නන්දිරාගයයි)

iv. එසේ පලා යන හෙතෙම හිස් ගමකට පැමිණෙයි. (එනම් ආධ්‍යාත්මික ආයතන සයයි)

v. ගම් පහරන සොරුන් ගෙන් එම ගමට උවදුරු පැමිණෙයි. (එනම්, බාහිර ආයතන සයයි.)

vi. එයින් පලා යන හෙතෙම මහත් ජලාශයක් වෙත පැමිණෙයි. (එනම්, සත2 ඕඝයයි)

vii. එම ජලාශයේ මෙතෙර ඉහත කියන ලද කරුණු නිසා බියජනක ය. (එනම්, සක්කාය සංඛ්‍යාත ත්‍රෛභූමක පඤ්චස්කන්ධයයි)

viii. එම ජලාශයේ පරතෙර බිය රහිත ය. (එනම්, නිවනයි)

ix. හෙතෙම දැව, දඬු, පරඬලා ආදිය එක් කොට පහුරක් තනා ගනියි. (එනම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.)

x. එම පහුරට නැඟී එතෙර වීම සඳහා අතින් ද පයින් ද වෑයම් කරයි. (එනම්, අරඹන ලද වීර්යයයි)

xi. තරණය කළ බමුණු තෙමේ සුවසේ පරතෙර හිඳී. (එනම් රහතන් වහන්සේයි.)

පඤ්චස්කන්ධය උපාදාන කොට සිටින ප්‍රාථමික තත්ත්වයේ සිට අර්හත්වය දක්වා අනුපූර්ව ප්‍රතිපදාව මෙහි දී උපමා එකොළසකින් දක්වා ඇත. මිහිඳු මාහිමියන් විසින් දේශිත මෙම ගම්භීර සූත්‍ර දේශනාව අසා දහසක් දෙනා සෝවාන් ඵලය සාක්ෂාත් කළ බව මහාවංසය සඳහන් කරයි. නැවත නන්දන වනෝiානයෙහි දී ම කුලවත් කාන්තාවන් මුල් කොටගෙන බාලපණ්ඩිත සූත්‍රය දේශනා කළ බව ද එහි සඳහන් වේ.

මජ්ඣිමනිකායේ එන බාල පණ්ඩිත සූත්‍රය බාලයා සහ පණ්ඩිතයා හඳුනාගත හැකි ලක්ෂණ සහ ඔවුන් සසර සැපදුක් විඳින ආකාරය පහදා දෙයි. එම සූත්‍රයෙහි දී මෙසේ පියවර දහයකින් එම කරුණු පැහැදිලි කෙරේ. එනම්,

i. බාලයාගේ බාල ලක්ෂණ

ii. බාලයා මෙලොව දී ම අවස්ථා තුනක දී දුක්, දොම්නස් විඳින ආකාරය

iii. පරලොව නිරයෙහි ඉපිද පස් ආකාරයකින් දුක් ලැබීම

iv. මහානිරයෙහි දැවීම

v. තිරිසන් ලොව ඉපිද දුක් විඳීම

vi. දිගු කලකින් පසු මනුලොව උපන්න ද පහත් කුලයේ ඉපිද දුක් විඳීම

vii. පණ්ඩිතයා හඳුනාගත හැකි ලක්ෂණ

viii. ඔහු මෙලොව දී ම අවස්ථා තුනක දී සුව සොම්නස් විඳීම

ix. මරණින් මතු දෙව්ලොව සැප ලැබීම

x. මනුලොව උපදින කල්හි උසස් කුලවල ඉපිද සැප ලැබීම

මෙසේ සර්වාකාරයෙන් බාලභූමිය සහ පණ්ඩිත භූමිය මෙම සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරයි. තමන් පිළිබඳ වත්, අනුන් පිළිබඳ වත් නිවැරදි දැක්මක් ඇති කර ගැනීමට සහ අකුසල විපාක කෙරෙහි බිය ඇති වීමටත්, කුසලය කෙරෙහි ඡන්දය ඇති වීමටත් මෙම දේශනාවෙන් මඟ සැලසෙයි. මිහිඳු මාහිමියන් දෙසූ මෙම දේශනාව ඇසීමෙන් ද දහසක් දෙනා මාර්ගඵල ලැබූ බව සඳහන් වෙයි.

මහින්ද තෙරුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයා උදෙසා මහමෙව්නා උයන පූජා කළ අවස්ථාවේ, වේළුවනාරාම පූජාව පිළිබඳව සිහිපත් කරමින් ආරාම පූජාව පිළිබඳ අනුමෝදනාව කළ හ. නැවත පසුදින රැස් වූ ජනතාවට අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කළ හ. මෙම දේශනාව දුසිල්වත් ව හිඳ සිවුපස පරිභෝජනය කිරීමේ ආදීනව දක්වමින් තථාගතයන් වහන්සේ විසින් භික්‍ෂූන්ට දේශනා කරන ලද්දකි. ඇතැම් විට රජුගේ ආරාම පූජාව පිළිගත් භික්‍ෂූන් වහන්සේලා එය පිළිගත්තේ කවර පදනමක සිටිමින් දැ යි මහජනයාට පහදා දීමට මෙම දේශනාව උපකාර වන්නට ඇත. එමෙන්ම ඉදිරියේ පැවිදි වීමට අපේක්‍ෂා කරන සැමට එහි ඇති බරපතළකම ද මෙයින් වටහා දෙන්නට ඇත. කෙසේ වෙතත් එම දේශනාව අසා දහසක් දෙනා ධර්මාවබෝධය කළ බව සඳහන් වීමෙන්, දේශනාව මහජනයාට සාර්ථක වූ බව පැහැදිලි වෙයි.

මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයෙන් පස්වැනි දිනයෙහි නන්දන වනයෙහි රැස් වූ ජනතාවට ඛජ්ජනීය සූත්‍රය දේශනා කළ හ. සංයුත්ත නිකායෙහි දැක්වෙන ඛජ්ජනීය සූත්‍රය, පුබ්බේනිවාසානුස්සතිය ඇතොත් එය පාදක කොටගෙන (එසේ නැතත්) පඤ්චුපාදානස්කන්ධයේ ආදීනවය දැක ඉන් මිදෙන ආකාරය පැහැදිලි කරයි. අතීතය සිහි කිරීම් වශයෙන් සැවොම සිහි කරනුයේ පඤ්චුපාදානස්කන්ධය හෝ ඉන් කොටසකි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යනු රුප්පන, වේදන, සංජානන, අභිසංස්කරණ, විජානන ක්‍රියා මාත්‍රයකැ යි නුවණින් දකින පුද්ගලයා මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරයි.

“මම වනාහි රූපය විසින් කනු ලබමි. අතීතයෙහි ද මම රූපය විසින් කනු ලැබීමි. මම අනාගතයේ රූපය පතන්නෙම් නම් එහි ද රූපය විසින් කනු ලබන්නෙමි.”

වේදනා, සංඥා, සංඛාර, විඥානයන් පිළිබඳ වත් මෙසේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා අතීත පඤ්චස්කන්ධය කෙරෙහි නිරපේක්ෂ වෙයි. අනාගත පඤ්චස්කන්ධය නො පතයි. ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්ධයේ නිර්වේදය, විරාගය, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. හෙතෙම පඤ්චස්කන්ධය බැහැර කරයි;

රැස් නො කරයි; දුරලයි; නො ගනියි; විසුරුවයි; කැටි නො කරයි; නිවයි; නො දල්වයි. හෙතෙම පඤ්චස්කන්ධය කෙරෙහි නිර්වේදයට පැමිණේ; නිර්වේදයෙන් විරත්ත වෙයි; විරාගයෙන් විමුක්ත වෙයි; විමුක්ත වූයේ ‘විමුක්තයෙමි’ යි දැන ගනී. එසේ විමුක්ත වූ භික්‍ෂුවට ඉන්ද්‍ර, බ්‍රහ්ම, ප්‍රජාපතී සහිත දෙවියෝ දුර සිට ම නමස්කාර කරති. මිහිඳු මාහිමියන් විසින් මෙම සූත්‍රය දේශනා කරන කල්හි ද දහසක් දෙනා මාර්ගඵල අවබෝධ කළ බව කියැවේ.

මහාවංසයේ මෙම විස්තරය දක්වන පසළොස් වැනි පරිච්ඡේදයෙහි දෙසිය විසිඑක් වැනි ගාථාවේ සඳහන් වන්නේ එම දහසක් දෙනා අර්හත්වයට පැමිණි බව දක්වන ‘අරහත්තං’ යන වචනයයි. ඒ අය දෙවියන් නො ව, මිනිසුන් බව ද ‘සහස්සමානුසේ’ යන වචනයෙන් අවධාරණය කරයි. එහෙත් එම දහසක් දෙනා ආසන්න දිනෙක පැවිදි වූ බවක් හෝ පිරිනිවන් පෑ බවක් හෝ මහාවංසය, දීපවංසය හෝ සමන්තපාසාදිකාදී අට්ඨකථාවන්හි හෝ හමු නො වේ. එහෙත් මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ දෙවන දිනයේ පටන් ම උන්වහන්සේ හඳුන්වද්දී ‘මහාගණී’ යන වචනය දීපවංසයේ හමු වෙයි. එයින් අදහස් කරන ලද්දේ ‘පැවිදි ශිෂ්‍ය ගණයා’ ද, ‘ගිහි ශ්‍රාවක ගණයා’ ද යන්න පැහැදිලි නැත.

නැවත තෙරුන් වහන්සේ නන්දන වනයෙහි දී ම ගෝමයපිණ්ඩූපම සූත්‍රය සහ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දෙසූ හ. සංයුත්තනිකායේ ඛන්‍ධසංයුත්තයෙහි එන ගෝමයපිණ්ඩූපම සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ භික්‍ෂුවක් විසින් අසන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන පඤ්චස්කන්ධයන් අතර නිත්‍ය වූ, ශාස්වත වූ, අවිපරිණාමී වූ කිසිවක්ම හෝ ඇත්දැයි එක්තරා භික්‍ෂුවක් බුදුන් වහන්සේගෙන් විමසී ය. ඉතා කුඩා ගොම පිඬක් ගෙන දැක්වූ තථාගතයන් වහන්සේ නිත්‍ය වූ, ධ්‍රැව වූ, ශාස්වත වූ, අවිපරිණාමී වූ, එතරම් ස්වල්ප වූ ආත්මභාව ප්‍රතිලාභයක් හෝ වෙත් නම්, දුක් කෙළවර කිරීම පිණිස බඹසර විසීම නිෂ්ඵල වන බවත්, එබඳු අත්බවක් නැති නිසා ම බඹසර විසීම ඵලදායක වන බවත් පැහැදිලි කරමින් තමන් වහන්සේ පෙර අත්බවක සියල්ලෙන් සුවාසූදහස බැගින් සම්පත් පිරිවර කොට ඇති චක්‍රවර්තී රජෙකු ව උපන් බවත්, ඒ සියල්ල කාලයාගේ ඇවෑමෙන් කිසිවක් ඉතිරි නො වී අනිත්‍ය ධර්මයට යටත් වූ බවත් සිහිපත් කළ හ. මිහිඳු මාහිමියන් විසින් මෙම සූත්‍ර දේශනාව සිදු කරන ලද අවස්ථාවේ ද දහසක් දෙනා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන මාර්ගඵලවලට පත් වූ බව සඳහන් වෙයි. දම්සක් පැවතුම් දේශනාවසානයෙහි ද එසේ ම දහසක් දෙනා ත්‍රිවිධ මාර්ගඵලවලට පත් වූ හ. මෙසේ තෙරුන් වහන්සේලාගේ පැමිණීමෙන් සත්වැනි දිනය වන විට අට දහස් පන් සියයක් දෙනා මාර්ගඵල ලැබූ හ.

මිහිඳු මාහිමියන් මෙම දින හත ඇතුළත දේශනා කළ සූත්‍ර දේශනා පිළිබඳව සඳහන් කරද්දී දීපවංසය, මහාවංසය සහ සමන්තපාසාදිකාව අතර යම් යම් වෙනස්කම් දැකිය හැකිය. සමන්තපාසාදිකාවේ බාලපණ්ඩිත, ඛජ්ජනීය, ගෝමයපිණ්ඩූපම, ධම්මචක්කප්පවත්තන යන සූත්‍ර පිළිබඳව සඳහන් නො වේ. දීපවංශයෙහි ඛජ්ජනීය සූත්‍රය සඳහන් නො වන අතර අනමතග්ග සූත්‍රයක් හා චරියාපිටකය ද දේශනා කළ බව සඳහන් වේ. එහෙත් මහාවංසයෙහි අනමතග්ග සූත්‍රයක් හෝ චරියාපිටකය දෙසූ බවක් සඳහන් නො වේ. එම සූත්‍ර දේශනා කරන ලද අනුපිළිවෙළෙහි ද සුළු වෙනස්කම් ඉහත මූලාශ්‍රයන් අතර දැකිය හැකි ය. එම වෙනස්කම් හා අතිශයෝක්ති බැහැර කළ කල්හි වුව ද මිහිඳු මාහිමියන් අවස්ථාව, පුද්ගලයන් හා ප්‍රස්තුතය මැනවින් වටහාගෙන ව්‍යක්ත ලෙස දහම් දෙසූ බවත් එම දේශනා ශ්‍රාවකයන්ට ඵලදායක වූ බවත් තහවුරු කරගත හැකි ය.

උන්වහන්සේ ලක්දිවට වැඩම කිරීමට පෙරත්, පසුත් කටයුතු සැලසුම් කර ඇති ආකාරය විමසා බලන විට උන්වහන්සේ සතු උපාය කෞශල්‍යය ද මැනවින් ප්‍රකට වෙයි. අප ඉහත සඳහන් කළ පරිදි මොග්ගලීපුත්ත තිස්ස මහතෙරුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා විසින් ‘ලක්දිව පහදවන්න’ ය යි මහින්ද තෙරුන් ප්‍රමුඛ ධර්මදූත පිරිස නම් කළ පසු ව, ‘තවම ගමනට කාලය නො වේ යැ’ යි නිසි කල් පැමිණෙන තුරු දක්ඛිණගිරියෙහි සහ වේදසගිරියෙහි චාරිකා කළ හ. මුටසීව රජුගේ ඇවෑමෙන් තම පියාගේ නො දුටු මිතුරෙකු වූ තිස්ස රජු රාජ්‍යත්වයට පැමිණි බව දැන රත්නත්‍රය පිළිබඳ පණිවුඩය ද පියා විසින් ලක් රජුට දන්වනු ලැබූ පසු ධර්මදූත මෙහෙවර සඳහා පිටත් වූ හ.

පොසොන් පොහෝ දින මිස්සක පව්වට පිරිවර සමග වැඩම කළ මිහිඳු මාහිමියෝ චූළහත්ථිපදෝපම සූත්‍ර දේශනාවෙන් රජු ප්‍රමුඛ ජනතාව ද, සමචිත්තපරියාය සූත්‍ර දේශනාවෙන් දීපවාසී දෙවියන් ඇතුළු සියලු අමනුෂ්‍ය ගණයා ද පළමු දිනයෙහි ම පහදවන්නට සමත් වූ හ. දෙවන දිනයෙහි දානය සඳහා රජමැඳුරට වැඩම කළ උන්වහන්සේ අසුන් පනවා තිබූ අයුරු දැක ‘ශාස්තෘන් වහන්සේගේ ශාසනය මහ පොළොව මෙන් නිශ්චල ව මේ ලංකාද්වීපයෙහි පිහිටන්නේ යැ’ යි දැනගත් හ.

පසුදින මහමේඝවනාරාම පූජාවෙන් පසු ව, දහම් අසා සකෘදාගාමී ඵලයට පැමිණ සිටි අනුලා දේවිය පන් සියයක් කාන්තාවන් සමග පැවිදි වීමට කැමැත්ත පළ කළ අවස්ථාවේ, ඒ සඳහා තම සොහොයුරිය වූ සංඝමිත්තා රහත් තෙරණිය ජයශ්‍රී මහා බෝධි ශාඛාවක් ද සමග වැඩම කරවා ගන්නා ලෙස රජුට උපදෙස් දුන් හ. ඉන් අනතුරු ව කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිවු බුදුවරුන් සහ උන්වහන්සේලාගේ ශාසනයත් ලක්දෙරණෙහි පිහිටි අයුරු සහ මතුවටත් පිහිටන අයුරු පහදා දෙමින් මහාථූපය, ශ්‍රී මහා බෝධිය ඇතුළු අවශේෂ විහාරාංග පිහිටන ස්ථාන කල් ඇති ව ම රජුට පෙන්වා දුන් හ.

තෙරුන් වහන්සේ වැඩම කොට තුන්වැනි දිනයෙහි ‘ස්වාමීනි, ලක්දෙරණෙහි බුදුසසුන පිහිටියේ දැ’ යි දෙවනපෑතිස් රජු මිහිඳු මාහිමියන් ගෙන් විමසී ය. “තව ම නැත රජතුමනි, බුදුරදුන්ගේ අණ පරිදි උපෝසථකර්ම සඳහා මෙහි සීමාවක් බැන්ද විට සසුන පිහිටන්නේ යැ” යි තෙරුන් වහන්සේ පිළිතුරු දුන් හ. ඉන්පසු සිව්වැනි දිනයෙහි සියලු කටයුතු සංවිධානය කළ රජු රන් නගුල ගෙන මහතෙරුන් පෙන්වන මායිම් සටහන් කරනුයේ තමා ද බුද්ධාඥාව තුළ වසනු කැමැති බව පවසා නගරය ද ඇතුළු වන පරිදි සීමාමායිම් සලකුණු කළේ ය. දින කිහිපයක් ඇතුළත දෙවනපෑතිස් රජු බුද්ධාඥාව, සංඝාඥාව අනුව ක්‍රියා කිරීමට සැදී පැහැදී සිටින සම්බුද්ධශාසනයෙහි අතිශය ප්‍රසන්න උපාසකයෙකු බවට පමුණුවන්නට මහින්ද තෙරුන් වහන්සේ සමත් ව ඇති බව මෙම ප්‍රකාශය අනුව වටහාගත හැකි ය. සීමාබන්ධනය ඇතුළු විහාරාංග පිහිටුවීමේ දී භූමිකම්පනාදී අසිරිමත් සිදුවීම් සිදු වූ බව ද වංසකථාවන්හි සඳහන් වෙයි. එම තොරතුරුවලට අනුව සත්දිනක් ඇතුළත රජු හා රාජකීයයන් ප්‍රමුඛ දස දහස් ගණනින් ජනතාව සරණ ශීලයෙහි පිහිටුවන්නටත්, දහස් ගණනකට ධර්මාවබෝධය ලබා දීමටත් තෙරුන් වහන්සේ සමත් වූ හ. රජු ඇතුළු පිරිස ද නන්දන වනෝද්‍යානය (පසු ව ජෝතිවනය) මහාමේඝ වනෝද්‍යානය ඇතුළු සුදුසු භූමිභාගයක් සම්බුදු සසුනට පූජා කොට ඇසළ පෝයට පෙරාතුවම බොහෝ විහාරාංග ඉදිකිරීම පවා ආරම්භ කර ඇත.

රජමැඳුරෙහි දන් වළඳමින්, ජනසංග්‍රහය පිණිස දහම් දෙසමින් මිහිඳු මාහිමියන් ප්‍රමුඛ භික්‍ෂු පිරිස මහමෙව්නාවේ දින විසිහයක් ගත කළ හ. කොතෙක් දෙනා දහම් ඇසුවත්, මාර්ගඵල ලැබුවත් මේ වන තුරු ලංකාදීපවාසී කිසිවෙකු පැවිදි වූ බවක් සඳහන් නො වේ. අනුලා දේවිය ප්‍රමුඛ කාන්තාවන් පන් සියයක් පැවිද්ද සඳහා ඉදිරිපත් වුව ද සඟමිත් තෙරණිය වැඩමවන තෙක් එය පමා කිරීමට සිදු විය. මිහිඳු මාහිමියන් ප්‍රමුඛ භික්‍ෂු පිරිස ඇසළ මස පුර තෙළෙස්වක දිනයෙහි රජමැඳුරෙහි දන් වළඳා මහා අප්පමාද සූත්‍රයෙන් දහම් දෙසා චේතිය පබ්බතයට වැඩම කළ බව මහාවංසයෙහි සඳහන් ය. එහි දී දෙසූ සූත්‍ර දේශනාව අප්පමාද සූත්‍රය බව සමන්තපාසාදිකාවේ සඳහන් වෙයි. එහෙත් දීපවංසයෙහි සඳහන් වනුයේ මහාසමය සූත්‍රය වශයෙනි. මහා අප්පමාද සූත්‍රය ලෙස විශේෂ කරන ලද සූත්‍රයක් සූත්‍රපිටකයෙහි හමු නො වන බැවින් මහාවංසයෙහි එන සඳහන ද ‘අප්පමාද සූත්‍රය’ ලෙස ම ගැනීමට සිදු වෙයි.

සංයුත්ත නිකායේ සහ අංගුත්තර නිකායේ අප්පමාද සූත්‍ර කිහිපයක් හමු වන අතර පොදුවේ ඒ සියල්ලෙහි ම කුසල් දහම් සඳහා අප්‍රමාදය මුල් වන බව හා ඒ පිළිබඳ විවිධ උපමා දක්වා තිබේ. සංයුත්තනිකායේ කෝසල සංයුත්තයේ එන අප්පමාද සූත්‍රය කොසොල් රජුට දෙසූවකි. මෙලොව – පරලොව අභිවෘද්ධිය හා ආයුෂ, නීරෝගී බව, ශරීර වර්ණය, ස්වර්ගය, උසස් කුල ඇති බව ආදිය ප්‍රාර්ථනා කරන තැනැත්තා පුණ්‍ය ක්‍රියාවෙහි අප්‍රමාදී විය යුතු බව එහි දැක්වේ.

රජුට අවවාද කොට, චේතියපබ්බතයට නික්මෙන බව නො පවසා ම තෙරුන් වහන්සේ ඇතුළු පිරිස නික්ම ගිය බව සඳහන් වීම විශේෂයකි. එසේ කිරීම සාමාන්‍ය සිරිත නො වන බැවින් තෙරුන් වහන්සේ එසේ කළේ යම් අර්ථයක් සලකාගෙන විය යුතු ය. එහි ප්‍රතිඵලයක් ලෙස රජු ඇතුළු රාජකීය පිරිස කලබල වී තෙරුන් වහන්සේ සොයා චේතියපබ්බතයට ගිය හ. ‘තමන් වහන්සේලා වස්විසීම සඳහා පැමිණි බව’ සිහිපත් කළ තෙරුන් වහන්සේ වස්සූපනායිකඛන්‍ධකයෙන් දහම් දෙසූ හ. ඒ දහම් ඇසූ අරිට්ඨ කුමරු සමග සොහොයුරෝ පණස්පස් දෙනෙක් පැවිදි වූ හ. ඔවුහු කෙස් කපද්දී ම අර්හත්වයට පැමිණිය හ. ඒ අනුව වස් එළැඹීම සඳහා රහත් භික්‍ෂූන් වහන්සේලා හැට දෙනමක් වූ හ.

සිතුවම: අවංසිකා නිමුතුමාන

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *