තථාගත චාරිකා

rashi
By rashi
9 Min Read

ලාංකේය බොදුනුවනට සරණාගමනය පවා අමතක ව ගිය සමයකි නුවරයුගය. එවකට මේ ධර්මද්වීපයට අහිමි ව ගොස් තිබූ පිරිසිදු උපසම්පදාව සියම් දේශයෙන් රැගෙන විත් නැවත පිහිටුවන්නේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් ප්‍රමුඛ සිල්වතුන් වහන්සේලා පිරිසකගේ දැඩි කැප වීමෙනි. එතැන් පටන් නැවත ලක් බුදුසසුනෙහි දීප්තිය වැඩි වන්නට විය. ලක්වැසියන් දහම් දැනුමෙන් පෝෂණය කරවන නව දහම් පොත් සම්පාදනය වන්නට විය.

සඟරජ හිමියන්ගේ උපසම්පදා වාරයේ දී ම පස් වැනි ව උපසම්පදාව ලත් තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිතාභිධාන හිමියන් විසින් ව්‍යවහාර වර්ෂ 1773 දී රචනා කරන ලද “‍ශ්‍රී සද්ධර්මාවවාද සංග්‍රහය” නමැති ග්‍රන්ථය නුවරයුගයේ ශාසනික නවෝදයෙහි එක් ආලෝක කිරණකි. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙහි මහානායක ධුරය සේ ම සෙංකඩගල පොහොයමළු විහාරයෙහි නායක ධුරයත් රිදීවිහාරයෙහි අධිපති ධුරයත් දැරූ ගත්කතුවරයාණන් වහන්සේ, ව්‍යක්ත ලෙස ධර්ම ග්‍රන්ථ රචනයෙහි යෙදෙන අතර ම පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ පටන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා වූ ඉතිහාසය පාලි පද්‍යයෙන් ලියා මහාවංශයට එක් කළ බහුශ්‍රැත හිමිනමකි. එක් ව උපසම්පදාව ලත් සඟරජ හිමියන්ට පළමු ව අපවත් වී වදාළ උන්වහන්සේගේ භස්මාවශේෂ මහත් පුද පෙරහරින් රිදීවිහාර භූමියෙහි තැන්පත් කරන ලදි.

බුදුගුණ පාඨයෙහි සත් වැනි ව එන ‘සත්ථා දේවමනුස්සානං’ යන බුදුගුණය වර්ණනා කරමින් ලියැවුණු ශ්‍රී සද්ධර්මාවවාද සංග්‍රහය, බොදුනුවන් වශයෙන් දැනගත යුතු බොහෝ ධර්ම කරුණු පිඬු කළ සද්ධර්මකෝෂයකි. කලින් කලට වල්වැදුණු ලක්වැසියන්ගේ ධර්ම ඥානය එසේ ශුද්ධ කොට වදාළ මහතෙරුන් වහන්සේලාට උපහාර පිණිස, පූජ්‍ය පණ්ඩිත වේරගොඩ අමරමෝලි නාහිමියන් විසින් ශුද්ධ කොට වර්ෂ 1956 දී මුද්‍රණය කරන ලද ශ්‍රී සද්ධර්මාවවාද සංග්‍රහයෙන් උපුටාගත් කොටසක් මෙසේ පළ කෙරේ.

අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිතාභිධාන මහ නාහිමි

සත්ත්වානුකම්පා ඇති බුදුරජාණන්වහන්සේ තුරිතාතුරිත චාරිකා වශයෙන් දෙව්ලොව ද, බඹලොව ද, මිනිස් ලොව ද හැසිරීමෙන් දිව්‍යමනුෂ්‍යාදී වූ අප්‍රමාණ සත්නට අප්‍රමාණ වූ සද්ධර්‍මානුශාසනා කළ සේක. ඒ කෙසේ ද යත්?

තුරිත චාරිකා කිරීමෙන් සත්වානුග්‍රහ කරන අප භාග්‍යවතුන්වහන්සේ පැවිදි වෙස් ගෙන තමන් වහන්සේ කරා එන මහාකාශ්‍යප ස්ථවිරාදීන් නිසා ඇසිල්ලකින් තුන්ගවු මඟ ගෙවා යෑමෙන් ද, අංගුලිමාල ආලවකාදීන් නිසා එසේ ම එක් සිය විසි ගවු මඟ ගෙවා යෑමෙන් ද, ධනියස්ථවිරාදීන් නිසා දෙ දාස් අට සියයක් වූ ද, චූළෝදර මහෝදරාදීන් නිසා අන්‍යද්වීපයෙහි ද, මහා බ්‍රහ්මලෝකයෙහි ද, මාතෘදිව්‍ය පුත්‍රාදීන් නිසා දිව්‍ය ලෝකයෙහි ද එක්‍ෂණයෙහි පෙනී යෑමෙන් ඔවුනොවුන්ට නොයෙක් ඍද්ධිප්‍රාතිහාර්ය හා ධර්‍ම දේශනාදිය කිරීමෙන් අප්‍රමාණවූ සත්නට වැඩ සාදා වදාළ බව තුරිතචාරිකා නම් වේ.

තව ද අතුරිත චාරිකා වශයෙන් දනවු සැරිසරා වැඩ සත්වානුග්‍රහ කරන බුදුරජාණන් වහන්සේ, දඹදිව අන්තෝමණ්ඩලය, මධ්‍යමණ්ඩලය, මහා මණ්ඩලය යන මණ්ඩලත්‍රයෙහි ගම් නියම්ගම් රාජධානි දනවු පිළිවෙළින් දවස යොදුනක් අඩයොදුනක් පමණ තැන් මඟ ගෙවා වැඩ පිණ්ඩපාත චර්යාදී වශයෙන් ලෝකයාට අනුග්‍රහ කෙරෙමින් හැසුරුණු බව අතුරිතචාරිකා නම් වේ.

එයින් නව සියයක් යොදුන් පමණ වූ මහා මණ්ඩලයෙහි, යම් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැරිසරා වඩනා කැමතිසේක් වී නම්, වප්මස මැදිපොහෝ ලද මහා පවාරණ දවස්හි පවරා, ඊට දෙවැනි පෑළවිය දිනයෙහි මහ සඟ පිරිවරින් නික්ම, වඩනට පටන් ගන්නා සේක. එකල්හි ඒ වඩනා තැනට වට හාත්පසින් සාර සියක් ගවු පමණ තැන මනුෂ්‍ය පිරිසින් ගහණ ව ඒක කෝලාහල වෙයි. එසේ මහ පිරිස් ගහණ බැවින් පළමු පළමුව ම ආවාහු ම, බුදුන් දැක සිත් සේ ආරාධනා කිරීමට අවකාශ ලබති. සෙසු මණ්ඩල දෙකෙහි මනුෂ්‍යයෝ ද; අනේක ප්‍රකාර පූජා සත්කාර ගෙන, ඒ මහා මණ්ඩලයෙහි ම රැස් වන්නාහු ය. එකල්හි බුදුරජාණන් වහන්සේ ඒ ඒ ගම් නියම්ගම්වල එක් දවසක් දෙ දවසක් තුන් දවසක් බැගින් වැස ඒ මහජනයාගේ ආමිස පිළිගැන්මෙන් අනුකම්පා කොට ඒ සා මහ පිරිස් අදහස් බලා ඔවුන්ගේ චරිත ලෙස ධර්‍ම දේශනා කිරීමෙන්, ඒ රැස් වන තාක් හැම සතුන්ට නිර්වාණගාමී කුශලධර්‍මයන්ගේ වර්ධනය කර වදාරා, නව මසකින් ඒ මහා මණ්ඩල චාරිකාව නිමවා වඩනා සේක. ඉදින් ඇතැම් අවුරුද්දෙක වස් ඉටා විසූ තුන් මස ඇතුළත භික්‍ෂූන්ගේ සමථ විදර්ශනාවෝ තරුණ ව, අධිගමය නො ලද්දාහු නම් යට කියන ලද ක්‍රමයෙන් මහා පවාරණය දවස්හි පවාරණය නො කොට, පවරාණ සංග්‍රහය දී ඉල්මස මැදි පොහෝ දිනයෙහි පවාරණය කොට, පෑළවිය දවස්හි මහා භික්‍ෂු සංඝයා වහන්සේත් පිරිවරා නික්ම සසියයක් යොදුන් පමණ වූ මධ්‍ය මණ්ඩලයෙහි කියන ලද ක්‍රමයෙන් යොදුන් සියක් ඒකකෝලාහල කෙරෙමින් සත්වයන්ට කුශලරාශි සංවර්ධනයෙන් වඩනට පටන් ගන්නා සේක. එකල්හි සෙසු මණ්ඩල දෙක්හි සියලු පූජා සත්කාර ද ගෙණ ඒ මධ්‍ය මණ්ඩලයට රැස් වන්නාහු ය. එසේ රැස් වූ මහජනයාට පළමු පරිද්දෙන් ම අනුකම්පා කිරීමෙන් කුශල වර්ධනය කොට ලෝවැඩ සාදා අට මසකින් ඒ මධ්‍ය මණ්ඩල චාරිකාව නිමවා වඩන සේක.

ඉදින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇතැම් අවුරුද්දෙක දක්වන ලද ක්‍රමයෙන් එක් විහාරයෙක සාරමසක් ම වස් වසා විනෙයජනයන්ට අනුශාසනා කිරීමෙනුදු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයෝ මුහු කළාහු වී නම් ඔවුන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්ගේ මුහු කිරීම බලන සේක් එයින් ඔබ්බෙහි අන්‍ය වූ ද එක් මසක් හෝ දෙමසක් හෝ තුන් මසක් හෝ සාරමසක් හෝ එහි ම වාසය කර වදාරමින් ඒ විනේය පුද්ගලයන්ට වැඩ සාදා වදාරා ඊට ඉක්බිති ව මහ සඟ පිරිවරින් නික්ම තුන් සියයක් යොදුන් පමණ අන්තෝමණ්ඩලයෙහි දනවු සැරිසරා වඩනා සේක. ඒ වඩනා තැනට ද හාත්පසින් ගවු සාරසියයක් පමණ තැන් ඒක කෝලාහල ව රැස් වන මහ පිරිස් සද්ධර්‍මානුශාසනා කිරීමෙන් නවත්ව නවත්වා, ඒ ඒ තන්හි දවසක් හෝ දෙතුන් දවසක් හෝ වැඩසිට, පිණ්ඩපාතචර්යාදී වශයෙන් සත්වානුකම්පා කොට, ඔවුනොවුන්ගේ චරිත බලා සද්ධර්‍ම වස්ව වස්වා වඩිනට පටන් ගත් කල්හි ඉතිරි ව සිටි මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය යන මණ්ඩල දෙක්හිදු පූජා සත්කාර ගෙනවුත් ඒ හැම බුදුන් වඩනා අන්තෝ මණ්ඩලයෙහි ම රැස්වන්නාහු ය. ඒ සියලු මහජනයාට මෙලෝ පරලෝ වැඩ දක්වා සද්ධර්‍මානුශාසනා පැවැත්වීම් ආදී වශයෙන් නිර්වාණගාමී කුශල මාර්ගය පාදා, සත්වානුග්‍රහ කොට ලෝවැඩ සාදා, සත් මසකින් හෝ සමසකින් හෝ පස් මසකින් හෝ සාර මසකින් හෝ අන්තෝ මණ්ඩල චාරිකාව නිමවා වඩනා සේක. මෙසේ මේ ත්‍රිවිධ මණ්ඩලයෙහි දනවු සැරිසරා වඩනා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චීවරාදී යම් කිසි ප්‍රත්‍යලාභයක් පිණිස වඩනා සේක නො වෙයි. අන්‍ය වූ නොයෙක් කාරණා හේතු කොට ගෙන අනන්ත වූ බුදුවරයන් වහන්සේ ලෝවැඩ පිණිස ම වඩන සේක් ම ය. ඒ කෙසේ ද? යත්,

ඒ ජනපදාදියෙහි වසන දුගී දුප්පත් ජනයෝ ද, බාල ළදරුවෝ ද, ජරාජීර්ණ මහලු සත්වයෝ ද, අනේකප්‍රකාර ව්‍යාධිපීඩිත සත්වයෝ ද යන මොවුහු කවර දවසෙක කෙසේ නම් අවුත් තථාගත වූ මා දක්නට සමත් වෙද්ද, එහෙයින් මා දනවු සැරිසරා ගිය කල්හි ඒ හැම දෙනා හා මහජන සමූහයෝ ඔවුනොවුන් සිත් සේ මා දැක වැඳ පුදා බණ අසා ගැන්මෙහි අවකාශ ලබන්නාහු ය. එහි සමහර කෙනෙක් සිත් පහදවාගෙන කුශල සහගත ප්‍රීතියෙන් කුසල් වඩාගන්නාහු ය. සමහර කෙනෙක් මාලාදී අනේකප්‍රකාර පූජා වස්තුවෙන් පුදන්නාහු ය. සමහර කෙනෙක් බත් සැන්දක් පමණ වත් භික්‍ෂාදානය දෙන්නාහු ය. සමහර කෙනෙක් මිථ්‍යා දෘෂ්ටිය හැර සම්‍යක්දෘෂ්ටි වන්නාහු ය. එසේ සියලු කුශල ධර්‍මයන්ගේ රැස් කිරීම ඔවුන්ට බොහෝ දීර්ඝ කාලයක් හිත සැප පිණිස වන්නේ යැ යි දැන වදාරා ලෝක සත්වයන් කෙරෙහි පතළ මහාකරුණාවෙන් අප බුදුරජාණන් වහන්සේ ද අනත්තාපරිමාණ වූ බුදුවරයන්ගේ ප්‍රවේණි ධර්‍මය නො හැර දනවූ සැරිසරා වඩිමින් මෙසේ සත්වානුග්‍රහ කළ සේක.

තව ද, එපමණක් නො වෙයි. අන්‍ය වූ ද චාරිකා විහාර වශයෙන් ගමන් යෑම හේතු කොටගෙන ශරීරඵාසුව පිණිස ද, අත්තෝත්පත්ති කාරණා කල් බලන පිණිස ද, භික්‍ෂූන්ට ශික්‍ෂාපද පණවන පිණිස ද, ඒ ඒ තන්හි වසන්නා වූ ශ්‍රද්ධා, වීර්ය, ස්මෘති, සමාධි, ප්‍රඥා යන පංචේන්ද්‍රියන්ගේ වැඩීමෙන් පින් මෝරා සිටි විනේය ජනයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ද යන කාරණා සතරක් හේතු කොට ගෙන සියලු බුදුවරයෝ ම දනවු සැරිසරා වඩනාහු ය. තව ද, එසේ ඇති කල්හි ඒ ඒ ජනපදාදියෙහි වසන සත්වයෝ බුත්සරණ යන්නාහු ය යි කියා ද, දහම් සරණ යන්නහු ය යි කියා ද, මහත් ධර්‍මානුශාසන වර්ෂාවෙන් සිවුවණක් පිරිස් සන්තර්පණය කෙරෙමි යි කියා ද යන මේ කාරණා සතරකින් හා තව ද ඒ ඒ තන්හි වසන සත්වයෝ පාණාතිපාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මෘෂාවාද, සුරාපාන යන අකුශලයන් ගෙන් දුරුවන්නාහු ය යි කියා ද යන මේ කාරණයන් හා තව ද එසේ ම ඒ ඒ සත්වයෝ සුගතෝවාද උපදේශ ලදින් ප්‍රථමධ්‍යානය, ද්විතීයධ්‍යානය, තෘතීයධ්‍යානය, චතුර්ථධ්‍යානය, ආකාශානඤ්චායතනධ්‍යානය, විඤ්ඤාණඤ්චායතනධ්‍යානය, ආකිඤ්චඤ්ඤායතනධ්‍යානය, නේවසඤ්ඤානාසඤ්ඤායතනධ්‍යානය යන මේ අෂ්ටසමාපත්තිලාභී වන්නාහු ය යි කියා ද යන මේ කරුණු අටකින් හා තව ද සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, අර්හත් මාර්ගය, අර්හත් ඵලය යන මේ සතර මඟ සතර ඵලයට සත්වයෝ පැමිණෙන්නාහු ය යි කියා ද යන කාරණා අටකින් හා මෙසේ මෙසේ වූ නොයෙක් කාරණා හේතු කොටගෙන සියලු බුදුවරයන්ගේ බුදු සිරිත් ලෙස දනවු සැරිසරා ගම් නියම් ගම් රාජධානි පිළිවෙළින් අවුරුදු පතා වඩිමින් ලෝකානුශාසනා කොට බුදු ව වැඩහුන් පන්සාළිස් අවුරුද්ද මුළුල්ලෙහි මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ ද මෙසේ සත්වානුග්‍රහ කළ සේක.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *