අනාගත ලෝකයේ බුද්ධිමතුන්ගේ වගකීම

rashi
By rashi
7 Min Read

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

“තාක්‍ෂණ විපර්යාසය සිදුවන්නේ එක්තරා නියාම ධර්මයක් අනුව යයි කිව හැකි ය. ඒ කුමක් ද යත් තාක්ෂණ විපර්යාසය යම් පමණකට සංකීර්ණ වේ ද එපමණට මනුෂ්‍යයා ජීවිතයෙන් දූරීභූත වේ.”

අවුරුදු කිහිපයක් උසස් විද්‍යායතනයක ගුරු ආශ්‍රය ලබා ශිල්පෝද්ග්‍රහණය කරමින් විවික්ත ව හිඳ නොබෝ දවසකින් බාහිර ලෝකයට පිවිස තමන්ට පැවරෙන වගකීම් භාරගන්නා වූ විද්‍යාර්ථින් කෙරෙහි අපේ විශේෂ අවධානය යොමුවීම ස්වාභාවිකයි, සාධාරණයි. ඒ ඇත්තන්ට මම අවධාරණය කොට කියන්න කැමැති කරුණක් තිබෙනවා. ඒ කුමක් ද යත් ඔබ පිවිසෙන්නේ මෑත භාගයෙහි බොහෝ සෙයින් වෙනස් වූත්, ගැටලු වූත්, සංකීර්ණ වූත්, පහසුවෙන් වටහා ගැනීමට නොහැකි වූත් ලෝකයකට බවයි. ඔබ මේ තතු සැලකිය යුත්තේ ඔබේ බුද්ධියටත් කාලයක් මුළුල්ලේ ඔබ ලැබූ විනයටත් අභියෝගයක් ලෙසටයි. තර්කානුකූලව හේතුප්‍රත්‍ය සලකා, අගතිගාමී චින්තනයෙන් මිදී යෝනිසෝ මනසිකාරයෙන්, රාග දෝස මෝහ යන චෛතසිකයන්ගේ වසඟයට පත් නොවී සිතීමට පුහුණු වූ ඔබ වැන්නන් වර්තමාන ලෝකයට අවශ්‍ය බව සිහිකිරීම ඔබේ සැනසීමට හේතු විය යුතුයි.

අද දවසේ වර්තමාන ලෝකය ගැනත් අනාගත ලෝකය ගැනත් චින්තකයෝ විවිධ මති මතාන්තර පවසනවා. මේවා අතර සත්‍යය කුමක් ද අසත්‍යය කුමක් ද කියා, කිරි දියරින් වෙන් කරන හංස රාජයා වගේ තෝරා බේරා සෙසු ජනතාවට පහදාදීම ඔබේ යුතුකම යයි මම හිතනවා.

පසුගිය අවුරුදුවල දී බටහිර රටවලින් මතවාද ප්‍රහාරයකට අපි ගොදුරු වුණා. ඒවායින් කවර මතවාද අපි පිළිගත යුතු ද කවර මතවාද ප්‍රතික්ෂේප කළ යුතු ද යන්න අපට තීරණය කර ගැනීම අපහසු කාර්යයක් වුණා. බටහිර රටවල බිහි වුණු පාරිභෝගික සමාජය අපේ රටේ ද පිහිටුවනු වස් අවුරුදු කිහිපයකට පෙර කාර්යාවලියක් ආරම්භ කරන්ට යෙදුණා. එම සංවර්ධනයේ ප්‍රතිඵල ඉතා අනර්ථදායී බව අපට කල්යෑමේ දී ප්‍රත්‍යක්‍ෂ වුණා. එයින් සිදු වූයේ පොහොසතුන් තව තව පොහොසත් වීමත් දුප්පතුන් තව තව දුප්පත් වීමත් පමණයි. එයින් සමාජයේ පෙර නුවූ විරූ විෂමතාවක් ඇති වුණා. කලින් පැවතුණු පන්ති පරතරය උග්‍ර වී පන්ති වෛරයක් බවට පරිවර්තනය වීමට රුකුලක් වූයේ ස්වල්ප දෙනෙක් පිට රටින් යාන වාහන, කෑම බීම, ඇඳුම් පැළඳුම් හා වෙනත් උපභෝග පරිභෝග දේ ආනයනය කරමින් සැප සම්පත් විඳීම නිසා පමණක් නොව තමන් සෙසු අයට නැති සම්පත් විඳින බව පෙන්වීමට ප්‍රදර්ශනාත්මක පරිභූංජනයෙහි යෙදීම ද නිසාය.

මෙසේ හැසුරුණු ව්‍යාපාරික පංතිය යටත් විජිත යුගයෙහි ඉංග්‍රීසි චාරිත්‍ර වාරිත්‍ර වැළඳගත් අය මෙන් දේශීය සංස්කෘතිය කෙරෙහි අල්පමාත්‍ර ඇල්මක් වත් දැක්වූයේ නෑ. මේ ආකාර සංවර්ධනයක් නිසා රටේ ආර්ථිකයට වූ හානිය කෙතරම් ද කියා මම කියන්න ඕන නෑ. එපමණක් නොව එම සංවර්ධන ව්‍යාපාරයේ ඉතාමත් අනර්ථදායී ප්‍රතිඵලය වූයේ පසිඳුරන් පිනවීම ජීවිතයේ පරමාර්ථය ලෙස සැලකූ ලෝකායත දර්ශනය රේඩියෝ, ටෙලිවිෂන් වැනි බහුජන මාධ්‍යයෙන් ජනතාව අතර පැතිරවීම බව කිව යුතුයි. මේ හේතුවෙන් චර්යා ධර්මය අතින් මිනිසුන් පිරිහුණා, ඥාන ගවේෂණය වැනි උසස් පුරුෂාර්ථ කෙරෙහි විශ්වාසය තුනී වුණා. මුදල් සෙවීමත් පරිභෝග උපභෝග භාණ්ඩ මුදල් දී ලබාගෙන ඒවා පරිභූංජනය කිරීමත් ජීවිතයේ ඉතා ප්‍රශංසනීය දේ ලෙස ගැනුණා.

දේශීය සංස්කෘතිය අන්තර්ධාන වී ගොස් ඒ වෙනුවෙන් භූතල ව්‍යාප්ත තාක්ෂණික සංස්කෘතියක් ප්‍රාදුර්භූත වේ යයි ඇතැම් සමාජ විද්‍යාඥයන් පවසන මතය විභාග කොට එහි සත්‍ය අසත්‍ය පහදා දීම අද බිහිවන තරුණ බුද්ධිමතුන්ගේ වගකීම බව මම පවසන්නට කැමතියි. මේ මතය ඉදිරිපත් කරන විද්‍යාඥයන් කියන්නේ මතු දවසේ ලෝකයේ නොයෙක් රටවල තිබෙන දේශීය සංස්කෘති සියල්ල අතුරුදහන් වී ඒ වෙනුවට විශ්ව ව්‍යාප්ත තාක්‍ෂණික සංස්කෘතියක් ස්ථාපනය වේයයි කියාය. මෙවැනි මතයක් ඒ විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ හැම රටකම වාගේ ක්‍රම ක්‍රමයෙන් පාරම්පරික සංස්කෘති අතුරුදහන් වෙමින් තාක්‍ෂණික සංස්කෘතිය පිවිසෙන බව දකිමින්ය. එහෙත් එවැනි විපර්යාසයක් සිදු වේයයි සිතිය හැකි ද? විවිධ ජාතීන් විසින් අනාදිමත් කාලයක පටන් ආත්මීය කොට පිළිදැගුම් කරමින් පරම්පරාවෙන් පරම්පරාවට දායාද කොට ආදරයෙන් රැකගෙන හුන් භාෂාව, සාහිත්‍යය, චාරිත්‍ර, කලාත්මක නිර්මාණ, චර්යා ධර්ම පද්ධතිය ආදී සියල්ල අත්හැර, අමුතුවෙන් හඳුනාගත් සිත් පිත් නැති සංස්කෘතියක් මුළුමනින්ම වැළඳගනීවියි කියා අපට සිතන්ට පුළුවන් ද? අද ලෝකයෙහි සිදුවන දෙයින් එබඳු ප්‍රවණතාවක් ඇති බව පෙනේ ද? ඉස්ලාම් ජාතිකයන් මූලධර්ම සොයමින් සිටින, යටත් විජිත වාදයේ බැමිවලින් මිදුණු ජාතීන් තම තමන්ගේ ජාතික අනන්‍යතාව කුමක් දැයි සොයන අද දවසේ එබඳු දෙයක් සිදු වේ යයි සිතිය හැකි ද?

බටහිර රටවල චින්තකයන් තාක්‍ෂණික සංස්කෘතියේ ආදිනව හා අනිෂ්ට විපාක ගැන දැන් දැන් කතා කරන්නට පටන්ගෙන තිබෙන බව පෙනේ. මිෂිගන් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ මහාචාර්ය හෙන්රික් ස්කොලිමව්ස්කි මෙසේ පවසයි.

තාක්‍ෂණික සංස්කෘතිය විසින් සමාජයට ප්‍රදානය කරන ලද දායාදය ගැන අපි මනා ලෙස ආවර්ජන කොට බැලිය යුතු යයි මම සිතනවා. මම අදහස් කරන්නේ තාක්‍ෂණ විපර්යාසය ඔස්සේ ප්‍රාදූර්භූත අලුත් නිපදවීම් ගැනයි. තාක්‍ෂණ විපර්යාසය හේතුකොට ගෙන සමාජයෙහි ඇති වූ අහිතකර ප්‍රතිඵල අතරින් එකක් නම් පවුල් සංස්ථාව බිඳී යාමය. තවත් එකක් නම් බොත්තන් තද කරමින් ලෝකයා සමඟ සම්බන්ධ වන මුත් අසල්වැසියන් සමග හෝ තමා සමග සම්බන්ධ විය නොහැකි හුදෙකලා වූ පුද්ගල වර්ගයා බිහිවීම ය.

මතු අනාගතයෙහි එන කොම්පියුටර් යුගය ගැන පවසන නන්දෙඩවිලි මෙකල එමට ඇසෙන්නට ලැබේ. කොම්පියුටර් නිසා අපට කවර නිදහසක් ද ලැබෙන්නේ? හුදෙක් ප්‍රවෘත්ති හෝ තොරතුරු දැන ගැනීම අපට නිදහසක් නොදේ. කොම්පියුටර් පරිහරණය කිරීමෙන් වඩා සාර්ථක ලෙස අපට අන්‍යොන්‍යයන් සමග සංවාදයක යෙදිය හැකි ද? මනුෂ්‍යයන් අතර සැබෑ හෘදය සංවාදයක් ඇති වන්නේ අන්‍ය පුද්ගලයකුගේ චිත්තාභ්‍යන්තරයෙහි ජනිත වන වේiයන්ට අනුකූලව තම හෘදය ස්පන්දනය වූ කල ය. එනම් අන් කෙනකුගේ හෘදය ස්පන්දනය දැනුණු විට ය.”

මහාචාර්ය ස්කොල්මොව්ස්කි මෙසේ ද කියයි:

“තාක්‍ෂණ විපර්යාසය සිදුවන්නේ එක්තරා නියාම ධර්මයක් අනුව යයි කිව හැකි ය. ඒ කුමක් ද යත් තාක්ෂණ විපර්යාසය යම් පමණකට සංකීර්ණ වේ ද එපමණට මනුෂ්‍යයා ජීවිතයෙන් දූරීභූත වේ.”

කෙටියෙන් මහාචාර්යවරයා කියන්නේ “තාක්ෂණ සංස්කෘතිය නිසා අප යන්ත්‍ර සූත්‍රවලට වහල් වන බවයි. මේ හෙයින් අපි වගකීමෙන් පලායන්ට මාන බලනවා. පාරිභෝගික සමාජයෙහි අපි නිතරම වගකීමෙන් පලායන්ට වෑයම් කරනවා. වගකීමෙන් ගැළ වුණොත් අපේ ජීවිත කාර්යය වඩා පහසු වේ යයි වඩා සාර්ථක වේ යයි අපි සිතනවා. ඇත්ත වශයෙන් සිදුවන්නේ අපේ ජීවිත තව තව ලාබාල වීමයි. තුච්ඡ වීමයි. යම් සේ රුධිරය ශරීරයට වේ ද වගකීම චිත්තයට වේ. මනුෂ්‍යයෙකු ලෙස ජීවත්වීම නම් වගකීමෙන් යුතුව ජීවත්වීමයි.”

ඔබ ලෝකයට පිවිසුණා ම මේ අදහස් විවේක බුද්ධියෙන් විමසන්න කියා මම ඔබගෙන් ඉල්ලනවා. ප්‍රත්‍යක්‍ෂය හා අනුමානය යන ඥාන මාර්ග දෙකෙහි පිහිටා සිතීමට පුරුදු වූ ඔබ වැන්නන් අද අපේ සමාජයට අවශ්‍ය බව මම යළිත් අවධාරණයෙන් කියන්ට කැමතියි. සංස්කෘතියයි කියන්නෙ වෙන අය අප වෙත පටවන දෙයක් නොවේ, අප විසින් ම නිර්මාණය කොට අපට රුචි පරිදි හැඩගසා භාවිත කරන භාෂාව, කලා ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර චර්යා ධර්මය හා පුරුෂාර්ථ සමූහයයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *