කපිල පීරිස්
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළ දුක පිණිස හේතුවන අනිත්‍යය තරම් වෙනත් ධර්මතාවයක් නොමැති තරම්ය. එසේම පසක් කොට ගතහොත් දුකින් මිදීමට ඉවහල් වන වෙනත් ධර්මතාවක්ද නොමැත.
“යදනීච්චං තං දුක්ඛං” යන්න සහ “අනිච්චාවත සංඛාරා” යන පාඨ දෙක ගැන සැලකූවිට අනිච්චය යන්න අවබෝධය කෙසේ වෙතත් යම් ආකාරයක සංගත, පැහැදිලි බවකින් එසේම දුකින් නිදහස් වීමට ප්‍රවේශයක් ලැබෙන පරිදි විමසීමක් කළ හැක. සංස්කාර යනු යම් යම් හේතු ප්‍රත්‍ය නිසා හටගත් දේ ලෙස ඉතා පුළුල්ව එනම් ඕලාරික ලෙස හැඳින්විය හැක. අපේ සිරුරු ද ඇතුළත් බාහිර රූප ලෙස ගැනෙන සියල්ල සඳහා මේ හැඳින්වීම ඉතා යෝග්‍යය. හේතු ප්‍රත්‍යවලින් හටගන්නා නිසා මේවා සංඛත ධර්මයන් ලෙස ද දැක්වේ. මේ සංඛතයන් නිරතුරුව වෙනස් වේ. එහෙත් මේ සියලු වෙනස්වීම් සිදුවන්නේ පංච නියාම ධර්ම තුළ බව අප අමතක නොකළ යුතුය. මෙහිදී කිසිවක් ආකස්මිකව-අහඹු ලෙස සිදු නොවේ. එකවරම පොල් ගස්වල දෙල් හටගන්නේ නැත, ඉහළ සිට අතහල යමක් එක් වරම පහළ නොවැටී ඉහළ යන්නේ නැත. රැය දහවල පොහොය ඇතිවීම, තාරකාවල හැසිරීම, කාලගුණය ආදී සියල්ලේම යම් රටා ඇත. සියලු ගහකොළ ගෙවල් දොරවල් යාන වාහන ආදිය දිරා ජරාවට පත් වූවත් ඒ සඳහා ද රටාවක් ඇත. එනම් ඒවා විපරිණාමයට’ පත් වුවත් එය සිදුවන්නේ යම් රටාවක් අනුවය.
හදිසියේ කෙනකු මියයා හැකි වුවත් එයද සිදුවන්නේ පංච නියාම ධර්ම තුළය. සාමාන්‍ය කෙනකුට ඒ ක්‍රියාවලියේ හේතු ප්‍රත්‍යය ගෝචර නොවිය හැකි වුවත්, භාග්‍යවතුන් වහන්සේ නමකට ඒ සියල්ල දත හැකිය. දැනගැනීම යන්න අරුත් ගැන්වෙන යමක් වේද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට විශදය. භාග්‍යවතුන් වහන්සේට විශද වන්නේ යම් පමණකටද විශද වීම, දැන ගැනීම යන්න අරුත් ගැන්වෙන්නේද එපමණකටය.
බාහිර රූප පිළිබඳ තත්ත්වය එපරිදි වුවත් සත්ත්වයා යනු නාම / රූප, එසේ නොමැති නම් පංචස්කන්ධ ක්‍රියාවලියයි. එහිලා නාම කොටස තීරණාත්මකය. බාහිර රූප ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, උද්දේස වශයෙන් නාමය තුළ අධි වචන සම්පස්සය ලබනවා. මෙසේ නාමය නිසා ආකාර, ලිංග, නිමිති, උද්දේස (විශේෂ උපුටා දැක්වීම් වශයෙන්) ලෙස සනිටුවහන් වන රූපය පෙරළා නාමය තුළ පටිඝ සම්පස්සය ඇති කරයි. මේ අනුව නාමය නිසා රූපයද රූපය නිසා නාමයද අරුත් ගැන්වේ. (අන්ධයාගේ සහ කොරාගේ උපමාව). මේ අනුව භාග්‍යවතුන් වහන්සේ වදාරණ ‘මහණෙනි රූපය අනිත්‍යය, ඇස අනිත්‍යය ඒ නිසා ඒවා කරණකොට ඇතිවන, විඤ්ඤාණය ද අනිත්‍යය’ යන්න තේරුම් ගත යුතුය. මෙහි රූපය යනු බාහිර භෞතික රූපයක් නොව ආකාර, ලිංග, නිමිති, උද්දේස ලෙස නාමයේ පතිත වන රූපයයි. ඇස එනම් චක්ඛු ප්‍රසාද රූපයේ ස්වභාවය ද ඒ අනුව තේරුම් ගත යුතුය. මේ අනුව නාම-රූප ක්‍රියාවලියේ අනිත්‍යය යනු ප්‍රධාන වශයෙන් නාමය සහිත සිතේ, විඤ්ඤාණයේ, මනසේ අනිත්‍යය බව තේරුම් ගත යුතුය. අපට දුකින් මිදීමේ කර්තව්‍යයේදී වැදගත් වන්නේ එයයි. මෙම ක්‍රියාවලිය පසෙකලූ හුදු භෞතික බාහිර රූපයක අනිත්‍යය ඔස්සේ ලුහු බැඳීම තේරුමක් ඇති වැඩක් නොවේ.
අද පංචේන්ද්‍රීය දැනුම-සංවේදන ඔස්සේ සියල්ල තේරුම් ගැනීමට තතනන ඊනියා විද්‍යාඥයන් නියැලෙන්නේ මේ කර්තව්‍යයේය. ඔවුන් අද තත්පරයෙන් කෝටි පංගුවල වේගයෙන් වෙනස් වන අංශු ගැන කතා කරයි, තරංග-අංශු, තරංග දාම ගැන කතා කරයි, ඇත්තේ හුදු ශක්ති මාත්‍රයක් පමණක් යැයි සඳහන් කරයි. එහෙත් ඔවුනට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන අනිත්‍යය දුරවබෝධය. නැති නම් ඔවුන් මේ වනවිට දුකින් මිදී නිවන් දැක තිබිය යුතුය. එහෙත් එවැන්නක් සිදු වනවා වෙනුවට ඔවුන් තව දුරටත් බාහිර රූපයම අල්ලාගෙන විවිධ සංකල්ප තනමින් එනම් තම සෝමනස්සය-සතුට පතා සංස්කාර ගොඩ නගමින් සිටී.
විඤ්ඤාණය, සිත, මනස ආදී ලෙස විවිධ සංදර්භවල හැඳින්වෙන මේ නාම කොටසේ මූලික සංරචක වන්නේ ඵස්ස, වේදනා, චේතනා, සංඥා මනසිකාර යන ධර්මතාය. සිතේ මේ මූලික කොටස් (සිතේ සංරචකවලට චෛතසික යන නම යෙදේ) වලට අමතරව ප්‍රකීර්ණක ලෙස ගැනෙන චෛතසික බයක්, ශෝභන සාධාරණ ලෙස චෛතසික එකුන් විස්සක් සහ අකුසල චෛතසික තුදුසක් ලෙස තවත් චෛතසික ගණනාවක් අපේ සිත්වල විවිධාකාරයට යෙදේ. ඉන්ද්‍රියකට අරමුණක් ගැටීම සමග ඇතිවන චිත්ත විථියේ විවිධ සිත්වල මේ චෛතසික විවිධාකාරයට යෙදේ. මේ සඳහන් කළ සියලු චෛසික යනු සිතේ පවත්නා මූලික නාම ධර්මතාය. මේවායින් අකුසල චෛතසික කරණ කොට ගෙන සිතේ සෝමස්සය – සතුට උදෙසා අනේකවිධ දිට්ඨි අපි ගොඩනගා ගනිමු. මේ සකස් කර කිරීම්ය චිත්තාභ්‍යන්තර දිට්ඨි සංකාර වන්නේ. මෙසේ චිත්තාභ්‍යන්තරයේ සකස් කර ගත් දිට්ඨි – සංකාර අනිත්‍යය!
තණ්හාව සහ මානය (මම ලෙස ගෙන මැනීම – සැසැඳීම) කරණකොටගෙන අපි අපේ සෝමනස්සය – සතුට සඳහා යැයි සිතමින් විවිධ දිට්ඨි ගොඩනගමු. තණ්හා (සෝමනස්සයට – සතුටට ඇති ඇලීම හා දෝමනස්සයට ගැටීම) දිට්ඨි, මාන ලෙස දැක්වෙන ප්‍රපංචකරණය යනු එයයි. දිට්ඨි, සංඛාර සැකසෙන්නේ එපරිදිය. මඤ්ඤාණ කිරීම යනුද එයයි.
බාහිර විපරිනණාමීය ලෝකයෙන් ලැබෙන අරමුණු සහ බාහිර ලෝකය සහ චිත්තාභ්‍යන්තර දිට්ඨි – සංකාරද ඇසුරුකරගෙන මනින්ද්‍රියට ගෝචර වන විවිධ ධම්ම (මානසික අරමුණු) චිත්තාභ්‍යන්තර දිට්ඨි සංකාර ද ඇසුරු කරගෙන මනින්ද්‍රියට ගෝචර වන විවිධ මානසික අරමුණු චිත්තාභ්‍යන්තර දිටිඨි සමග සැසදෙන විට රාගය සහිත සොම්නස ද ගැටෙන විට ද්වේශය සහිත දොම්නස ද මධ්‍යස්ථ වන විට උපේක්ෂාවද හට ගනී. මේ උපේක්ෂා වේදනාවේදී සිත මුලාවට පත්වේ.
එහෙත් මේ අනිත්‍ය වූ චිත්තාභ්‍යන්තර දිට්ඨි සංඛාර බාහිර විපරිණාමීය වූ ලෝකයෙන් ලැබෙන අරමුණු සමග පෑහෙන්නේ ඉතා සුළු වශයෙනි, ඉතා තාවකාලිකවය. අප සුළු ආස්වාදයක් ලබන්නේ එවිටය. එහෙත් වහාම මේ විපරිණාමය හා අනිත්‍යතාව මේ තත්ත්වය වෙනස් කරයි. එවිට හට ගන්නේ ආදීනවයයි-දෝමනස්සයයි. වරෙක බාහිර රූප ඇසුරු කරගෙන සතුට ගෙන දෙන දිට්ඨි – සංඛාරයක් ඒ බාහිර රූපයේ ප්‍රකට වෙනසක් නොවීම මොහොතින් වෙනස් වී දෝමනස්සයක් ගෙන දේ. මේ දිට්ඨි-සංකාරවල අනිත්‍යයට නියාම ධර්ම නැත ! අප අපේ කැමැත්ත-සෝමනස්සය සඳහා සකසන්නේ කවර දිට්ඨියක්ද-සංඛාරයක්ද එය වහා වෙනස් වේ. එනම් දෝමනස්සයක් ගෙන දෙන දෙයක් බවට පත්වේ. මේ අනිත්‍යයේ ලක්ෂණය වන්නේ ඇති වී නැති වී යාමය. ඒ අනුව මේ චිත්ත සංඛාරයන් ඇති වෙමින් නැති වේ. පෙර නොතිබී හට ගෙන ඉතිරි නැතිව නැතිවී යයි. සතුට ඇති කළ සංස්කාරයක් වහා වෙනස් වී (නැති වී) දුක හට ගන්නා එකක් බවට පත් වේ. සංස්කාරවල මේ අනිත්‍යය තමයි දුක! ආස්වාද, ආදීනව යනු මෙයයි මෙහි සරණක් නැත!
මේ සෝමනස්සය-සතුට වෙනුවෙන් සකසා ගත් දිට්ඨි-සංඛාර වලින් පිරි සිත මේවයෙන් පිරිසිදු වූ විට (එවිට මේවා ගොඩනැඟීමට ඉවහල් වන අකුසල චෛතසිකයන් ද වියැකී යයි. මන්ද දිට්ඨි-සංඛාර ගොඩනැගෙන විභවය නැති වූ විට මේ චෛතසිකවල කාර්යභාරයද අහෝසි වී යන නිසාය) බාහිර අරමුණු සමග ගැටීමට චිත්තාභ්‍යන්තරයේ කිසිවක් නැත. ඒ නිසාම වේදනා නැත (මානසික) මෙයයි අවේදයීත සුවය! නිවීම!
ඉහත සඳහන් අකුසල චෛතසිකයන් කාගේත් සිත්වල පොදුවේ ඇති දෑය. මේවා පොදූ වූවත් මේවා කරණ කොට ගෙන එක් එක් අයගේ සිත්වල පහළ වන දිට්ඨි-සංඛාර විවිධ වේ. තණ්හාව, මානය ආදී අකුසල චෛතසික කාටත් පොදු වූවත් මේවා නිසා එක් එක් අයගේ සිත්වල පහළ වන, සැකසෙන දිට්ඨි ඒ ඒ අයගේ පසුබිම්වලට, සමාජ පරිසරවලට සාංසාරික පුරුදුවලට, පින් පව්වලට, සංස්කෘතිවලට සාපේක්ෂකය. එක් එක්කෙනා සතුට – සොම්නස ලබන්නේ එක් එක් ආකාරයේ දිට්ඨි සංඛාර වලින්ය. ‘මම’ නැමැති දිට්ඨියෙන් (සක්කාය දිට්ඨිය ) ඇරඹෙන මේ දිට්ඨි-සංඛාර ගොඩනැඟීමේ ක්‍රියාවලිය එක් එක් අය උදෙසා විවිධ වපසරි පුරා පැතිරේ මේ වපසරිය ඒ කෙනාගේ අජ්ඣත්තය සනිටුවහන් කරයි. එයා මෙ අජ්ඣත්තය යන්න සමස්ත පොදු ක්‍රියාවලියෙන් විශේෂ කොටසක් ලෙස දකී (පුහුදුන් ක්‍රියාවලිය) මේ කොටස “මම”ට සතුට-සොම්නස ගෙන දෙන පරිදි වන මගේ කොටසකි! එය මගේ වසඟයේ පැවතිය යුතුය! මේ විපල්ලාස දැක්මය ගැටලුව, දුක. මේ මගේ කොටසේ – අජ්ඣත්තයේ මගේ සතුටට එරෙහි වන වෙනසක් වූ විටය මට දුක. ඒ වෙනසම බහිද්ධයේ වූ විට මට දුක නැත. මගේ ඤාතියෙකු මියගිය විට ඇති වන දුක වෙනත් අයෙකු මියගිය විට ඇති වන්නේ නැත. වෙනත් අයෙකු මියගිය විට මට ඇතිවන්නේ විපරණාමීය අත්දැකීමය එහෙත් ඤාතියකු මිය ගිය විට මට ඇතිවෙන්නේ චිත්තාභ්‍යන්තර දිට්ඨි සංඛාරවල අනිත්‍ය නිසා හට ගන්නා සංඛාර දුකය. එය ප්‍රබලය එයයි සෑබෑ දුක.
මෙසේ තම සතුට-සොම්නස වෙනුවෙන් සමස්තයෙන් කොටසක් වෙන් කරගෙන ගොඩනගන “මම” යන්න හිස් ප්‍රලාපයකි. ඒ “මම” ට අයත් ඒ “මම” ගේ වසඟයේ තබා ගත හැකි (මගේ ආත්මය ලෙස ) එනම් ඒ “මම”ගේ සතුට-සොම්නස වෙනුවෙන් තබා ගතහැකි කිසිවක් නැත. ඒ අනුව ඒ කිසිවක් “මම” නොවේ. “මගේ” නොවේ මගේ ආත්මය නොවේ.
මේ සියල්ලට හේතු වන්නේ මේ විකෘති අජ්ඣත්වයන් ඇසුරු කරගෙන සකසා ගන්නා, සංස්කරණය (සතුට-සොම්නස වෙනුවෙන්) කර ගන්න දිට්ඨි-සංඛාරවල අනිත්‍යයි, එසේම ඒවයේ ඇති පරඬැල් බඳු හිස් ස්වභාවයයි. මේ දිට්ඨි – සංඛාර දුරු වූ විට අජ්ඣත්ත- බහිද්ධ භේදය නැති වී යයි. රහතන් වහන්සේට මේ භේදය නොමැත.
ඉතින් සැප-දුක නැමැති දුක් චක්‍රයෙන් මිදීමට නම් දැනට අපි අපේ සිත් සතන්වල ගලේ කෙටූ සටහන් ලෙස සනිටුහන් කරගෙන සිටින මේ පරඬැල් බඳු දිට්ඨි-සංකාරවල අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කර ගත යුතුය. මේ අනිත්‍ය තුළ සැප-දුක් වේදනා චක්‍රය ක්‍රියාත්මක වන අයුරු පසිඳලා ගත යුතුය.
මේ අපේ සතුට සඳහා යැයි අප සාදාගෙන සිටින දිට්ඨි-සංඛාරවල අනිත්‍ය, හිස් බව ප්‍රත්‍යක්ෂ නොකර ඒවාට ඇති තණ්හාව දුරුකළ නොහැක. අපේ තණ්හාව ඇත්තේ යම් යම් වස්තු වලට, තත්ත්වවලට ආදියට නොව ඒවායින් අප බලාපොරොත්තු වන සොම්නස – සතුටටය එය බැඳී ඇත්තේ අදාළ දිට්ඨ සංඛාර වලටය. ඉතින් මේ දිට්ඨී සංඛාර දුරු වන විට තණ්හාවද දුරුවේ. එයයි නිවීම.
අපේ සිත් සතන්වල මේ දිට්ඨි සංඛාර පිළිබඳව අප ඉතා විමසිලිමත් විය යුත්තේ බොහෝ විට මේවා සිත්වල පැලපැදියන් වන්නේ නිතතින්ම වන නිසාය. අපට නොදැනීම අපේ සතුට – සොම්නස නෙුවෙන් කියා විවිධ දෑ ඇසුරු කරගෙන විවිධ දිට්ඨි-සංඛාර ගොඩනැඟේ මේවායේ කටුකත්වය අප අත්දකින්නේ මේවායේ අනිත්‍ය තුළ නැති වී ගිය විට ඇති වන වේදනා ඔස්සේය.
උපාදානවීම යනු යමක් හෝ යම් තත්ත්වයක් ඇසුරු කරගෙන සතුට – සොම්නස වෙනුවෙන් දිට්ඨි-සංඛාර ගොඩනැඟීමය. මේ අනුව උපාදන නොවී මේ ලෝකයේ ක්‍රියාත්මක විය යුතු අයුරු තේරුම් ගත යුතුය. එයයි සොඳුරු හුදකලාව. අනෙක් අතට මේ උපදාන වලින් මිදුණු කෙනා ජීවත් වන්නේ මේ මොහොතේය. අතීත අත්දැකීම් මත අනාගතය සැලසුම් කෙරෙන්නේ මේ මොහොතේය. එහෙත් එයාට සතුටු සොම්නස උදෙසා අතීතයට හෝ – හා අනාගතයට බැදීම් නොමැත පශ්චාත්තාප, අනාගත බිය කිසිවක් නොමැත. සෑම මොහොතක්ම නැවුම්ය. මේ උපදාන වලින් මිදුණු කෙනාට බාහිරින් සතුට – සොම්නස අවශ්‍ය නැත. එයා වෙසෙන්නේ තමාම පිළිසරණ කරගෙනය. ධමම්පදයේ මුල්ම ගාථාව වන මනෝ පුබ්බංගමා ධම්මා… හි මනෝ ලෙස ගැනෙන්නේ ද මේ දිට්ඨි – සංඛාර සහිත මනසය. බාහිර ෂඩ් අරමුණු සමග ගැටීම් ඇති කරන්නේ මේ දිට්ඨි – සංඛාරයන්ය. මේ ගැටීම් නිසා හටගන්නා වේදනා ඔස්සේය සියල්ල සිදුවන්නේ. මේ මොහොතේද වේදනා ඇති කරමින් අනාගත වේදනා සඳහා කර්ම රැස්කරන්නේද මේ ගැටීම්ය.