යළි මවු කුසකට

rashi
By rashi
4 Min Read

දෙනගම සිරිවර්ධන

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙමින් කෝටි සංඛ්‍යාත ජනකායකට නිවන් සුවය සමීප කළ ද බේලට්ඨානික බමුණාට ඒ පිළිබඳව අසන්නට ලැබුණේ ඔහු වැඩිමහල්ලකු වූ පසුව ය.

කොසොල් රජුගේ උයනේ මහ පිරිසක් රැස්ව සිටිනු දුටු ඔහු එතැනට ගියේ ය. ඒ පිරිස සිටියේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනයකට සවන් දෙමිනි. ඔහුගේ සිත ද ඒ දේශනයට ඇදිණ.

“මේ දහම මා ඇදහූ දහමට වඩා කොපමණ වෙනස්ද? අපේ ගැලවීම ඇත්තේ අපේ අතේ. දෙවියන්ට හා බ්‍රහ්මයන්ට පූජා පැවැත්වීමෙන්, යාච්ඤා කිරීමෙන් අපට ගැලවීමක් ලබාගන්නට බැහැ. එය අපම ලබාගත යුතුයි. උන්වහන්සේ ඒ සඳහා මාර්ගය පෙන්වා දෙනවා”

ඔහුගේ සිත පැහැදිණි.

මෙතෙක් ගෙවූ ජීවිතයේ අරුත් සුන් බව ඔහුට වැටහිණ.

“බුදුරජාණන් වහන්ස, මම ද ඔබවහන්සේ අනුව එමි. ගිහිගෙයින් මිදෙමි”

ඔහු කීවේය. පැවිදි වූයේය.

බේලට්ඨානික තෙරුන් වහන්සේ නමින් ප්‍රකට වූ ඒ හිමියෝ විදසුන් වැඩීම සඳහා කමටහන් ගෙන සැවැත්නුවරට නුදුරින් වූ වනයකට වැඩියහ.

ශරීරයේ ඒ ඒ කොටස්ගෙන පිළිකුල් භාවනාව වඩන්නට වූ ඒ හිමියෝ සතියක් පමණ ගෙවෙනතුරු ත්‍රිලක්ෂණය අනුව ඒවා බැලීමට වෑයම් කළහ.

ගිහිගෙයින් මිදී පැවිදි බිමට පැමිණියේ සසර ගමන නතර කිරීමේ මඟ තමා ම පාදා ගැනීමට ය. එහෙත් මේ විදසුන් වැඩීම මට පීඩාවක්. සිත නොසන්සුන්ව ඉබාගාතේ යයි.

“කෙස් අනිත්‍යයි…” මම සිතමි. ඒ සමගම මට සිහිවන්නේ මගේ බිරිඳවූ සාමාගේ දිගු කෙස් කලබයි. එය සුන්දරයි. මුදා හළ විට දෙදණ දක්වා වැටෙයි. කදිම රැලි පෙළ. කෙස් සුන්දරයි. එහි අනිත්‍යය සිතට නොඑයි…

බේලට්ඨානික හිමියෝ භාවනාව අත්හළහ. තුරු සෙවණ හැරදමා කුටියට වැඩියහ.

තුරු සෙවණේ වැඩහිඳිමින් විදසුන් වඩන භික්ෂුන් වහන්සේ කීපනමක් උන්වහන්සේට පෙනිණ. සිතට තරහ පිවිසිණ. දත් සපමින් ගස් අතරින් වැඩියහ.

“මෝඩයෝ… ඇසට පෙනෙන නිත්‍ය දේ අනිත්‍යයයි කියන මෝඩයෝ…”

උන්වහන්සේ හඬනඟා කීහ.

ඉන්පසු බේලට්ඨානික හිමියන්ගේ මුව විවර වූයේ නපුරු වචන පිටකිරීමට සහ සැදැහැවතුන් ගෙනෙන ආහාරවලින් කුස පිරවීමට පමණි.

දවසේ වැඩි කාලයක් ගතවූයේ කුටිය තුළ යහනේ ය. දෙතුන් දෙනකු බුදින අහර උන්වහන්සේ තනිවම ගිල දැමූහ. සිරුර ඌරකුගේ මෙන් වැඩිණ.

අසල සිටින හැම අයකුටම ඒ හිමියෝ පරුෂ වචනවලින් ඇමතූහ.

උන්වහන්සේට පසුව පැවිදිවූ කීපනමක් රහත් ඵලයට පත්වූ බවද අසන්නට ලැබිණ.

ඈනුමක් අරිමින් ඒ පුවත උපේක්ෂාවෙන් බැහැර කළ බේලට්ඨානික හිමියෝ ඉදිරියට නෙරා ආ දැවැන්ත උදරය අතින් පිරිමදිමින් ඊළඟ දිනයේදී දානය සපයන දායක නිවස ගැන සිතන්නට වූහ.

මේ භික්ෂුවගේ පිරිහීම පිළිබඳව බුදුරජාණන් වහන්සේට අසන්නට ලැබිණ. නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය ඥානයේ මුහුකුරා යෑම එතුමන් සතු බව උන්වහන්සේට පෙනිණ.

දිනක් බුදුරජාණන් වහන්සේ ඒ හිමියන්ට මේ ගාථාව ඇසෙන්නට සැලැස්වූහ.

“හිත්වා ගිහී ත්වං අනවෝසිතත්තෝ
මුඛනංගලී ඕදරිකෝ කුසීතෝ
මහා වරාහෝව නිවාප පුට්ඨෝ
පුනප්පුනං ගබ්භමුපේති මන්දෝ”

මේ ගාථාව ඇසූ බේලට්ඨානික හිමියෝ ලජ්ජාවට පත්වූහ. මා පැවිදි වූයේ ඌරකු මෙන් ආහාර බුදිමින් තරවීමට ද? මුඛය නමැති නඟුලින් මම සාමි, පොළොව සාරමි. අනුන්ගේ සිත් රිදවන පරුෂ වචන කතා කරමි. ඉතින් මට මේ හැසිරීමෙන් නිවනක් ළං නොවේ. නැවත නැවත මවු කුසවල උපදින්නට සිදුවේවි. ගාථාවේ අරුත උන්වහන්සේට හොඳින් වැටහිණ.

සිත දැඩිවිය. විදසුන් වැඩීමේ වීර්යය පහළ විය. යළි තුරු සෙවණක හිඳගෙන විදසුන් වඩන්නට වූහ.

මඳ කලෙකින් උන්වහන්සේ රහත් බවට පත්වූහ. මා සසරින් මිදුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර ගාථාව නිසායි සිතමින් උන්වහන්සේ නිතර නිතර ඒ ගාථාව සිහිපත් කළහ.

සිය උදානය වශයෙන් ද උන්වහන්සේ පසු කලෙක ඉදිරිපත් කළේ ඒ ගාථාවයි. එහි සිංහල අරුතයි මේ.

ගිහිගෙය හැර පැමිණි නමුදු
අරිය මඟට නොවැටුණු ඔබ
මුව නඟුලක් කොටැ ගත්තේ
නපුරු බසින් සිත් රිදවයි

ඌරකු මෙන් කුස අහරින්
පුරවාගෙන සැතපෙන ඔබ
මරණින් පසු සැකයක් නෑ
යළි මවු කුසකට පිවිසෙයි

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *