සිතුවිලි නිසා සිත අසරණ කරගන්නා අයටයි මෙම දහම් කතාව

rashi
By rashi
8 Min Read

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමි

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස!!!

“චරතො චේපි භික්ඛවෙ භික්ඛුනො උප්පජ්ජති කාම විතක්කෝවා ව්‍යාපාද විතක්කෝවා විහිංසා විතක්කෝවා, තඤ්චෙ භික්ඛවෙ භික්ඛු අධිවාසේති නප්පජහති න විනොදේති න බසන්තී කරෝති න අනභාවං ගමේති, චරම්පි භික්ඛවෙ භික්ඛු ඒවම්භූතො අනාතාපි අනොත්තප්පී සතතං සමිතං කුසීතො හීනවිරියෝති වුච්චති”

මහණෙනි හැසිරෙන්නා වූ ද භික්‍ෂුහට ඉදින් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදීද, ඉදින් ඒ මහණ තෙමේ ඒ විතර්කය ඉවසාද පහ නොකෙරේද සිතින් බැහැර නොකෙරේද කෙළවර නොකෙරේද නැවත නොඉපදීමට නොපමුණුවාද, මහණෙනි, හැසිරෙන්නාවූද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය නැති පවෙහි බිය නැති නිතර කුසීත වූ වීර්ය නැත්තෙකැයි කියනු ලැබේ.

ඛුද්දක නිකායේ ඉතිවුත්තක පාළියෙහි චර සූත්‍රය ඇසුරු කරගෙන මෙම දහම් විවරණය කරන්නෙමි. මෙම සූත්‍ර දේශනාවෙහි “භික්ඛවේ” මහණෙනි, යයි ආමන්ත්‍රණය කළත්, මෙම දහම් මඟ නිවන අරමුණු කරන ආර්ය මාර්ගයට පිවිසීමට කැමති සියලුදෙනාම වෙනුවෙන්ය. එනම් භික්‍ෂු භික්‍ෂුණි උපාසක උපාසිකා නම් වූ සිව් පිරිසම සඳහාය. මේ නිසා මෙය කියවන ඔබ විසින් ඔබටම ආරෝපණය කරගන්න.

“මහණෙනි, ඉදින් සිටියාවූ ද මහණ හට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදීද ඒ මහණ තෙමේ ඉදින් එම විතර්කය ඉවසාද පහ නොකෙරේද, බැහැර නොකෙරේද කෙළවර නොකෙරේද, නැවත නොඉපදවීමට නොපමුණුවාද, මහණෙනි, සිටියා වූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය නැති පවෙහි බිය නැති නිතොර කුසීත වූ වීර්ය නැත්තෙකැයි කියනු ලැබේ.”

“මහණෙනි හුන්නාවූ ද මහණ හට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදී ද ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්කය ඉවසාද පහ නොකෙරේද බැහැර නොකෙරේද කෙළවර නොකෙරේද නැවත නොඉපදීමට නොපමුණුවාද මහණෙනි, හුන්නා වූද මෙබඳු මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය නැති පවෙහි බිය නැති, නිතොර කුසීත වූ වීර්ය නැත්තෙකැයි කියනු ලැබේ.

“මහණෙනි, නිදන්නා වූද නොනිදන්නා වූද මහණ හට ඉදින් කාම විතර්කයෙක් හෝ ව්‍යාපාද විතර්කයෙක් හෝ විහිංසා විතර්කයෙක් හෝ උපදී ද ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්කය ඉවසාද පහ නොකෙරේද බැහැර නොකෙරේද කෙළවර නොකෙරේද නැවත නොඉපදීමට නොපමුණුවාද, මහණෙනි, නිදන්නා වූ ද නොනිදන්නා වූද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය නැති පවෙහි බිය නැති නිතොර කුසීත වූ වීර්ය නැත්තෙකැයි කියනු ලැබේ.”

නිවන අරමුණු කරන්නා වූ භික්‍ෂුවක් හෝ වේවා භික්‍ෂුණියක් හෝ වේවා, උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ වේවා කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයන් වැඩෙන්නට ඉඩ දෙන්නේ නම්, සිතින් අවබෝධයෙන් යුතුව බැහැර නොකොට, කෙළවර නොකොට, නැවත නොඉපදීමට සිත නොවඩන්නේ නම් එවැනි පුද්ගලයා කවර අයෙක්ද? මේ පුද්ගලයා කෙලෙස් තවන වීර්ය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ වීර්ය නැත්තෙක් ලෙස හඳුන්වා දෙයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලබන මීළඟ දහම් විවරණය මෙසේයි. “මහණෙනි, හැසිරෙන්නා වූ හෝ සිටියා වූ හෝ හුන්නා වූ හෝ නිදන්නා වූ ද නොනිදන්නා වූද හෝ වේවා මහණ හට ඉදින් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදීද, ඒ මහණ තෙමේ, ඉදින් ඒ විතර්කය නොඉවසාද සිතින් පහකෙරේද බැහැර කෙරේද කෙළවර කෙරේද නැවත නොඉපදීමට පමුණුවාද, මහණෙනි, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය ඇති, පවෙහි බිය ඇති, නිතොර පටන් ගත් වීර්ය ඇති, නිවන් කරා මෙහෙය වූ සිත් ඇත්තෙකැයි කියනු ලැබේ.”

මෙම සදහම් පෙළ තව දුරටත් මෙසේ විස්තර කෙරෙයි. “හැසිරෙන්නා වූ හෝ සිටින්නා වූ හෝ හුන්නා වූ හෝ නිදන්නා වූ නොනිදන්නා වූ යම් මහණෙක් තෙමේ ළාමක වූ පඤ්චකාම ගුණ ඇසුරු කළ යම් විතර්කයක් කල්පනා කෙරේද, නින්දිත මාර්ගයට බැස ගත්තා වූ, රූපාදී අරමුණුවල මෝහය උපදවන, මුළා වූ එබඳු මහණ තෙමේ උතුම් සම්බෝධිය හෙවත් අර්හත් මාර්ගඵල ඥානය ස්පර්ශ කරන්නට සුදුස්සෙක් නොවේ. හැසිරෙන්නා වූ හෝ සිටින්නා වූ හෝ හුන්නා වූ හෝ නිදන්නා වූ හෝ මහණෙක් කාමාදී ත්‍රිවිධ විතර්කයන් සංසිඳුවාලීමෙහි යුතු වූයේ නම් එබඳු මහණ තෙමේ උතුම් අර්හත් මාර්ගඵල ඥානය ස්පර්ශ කරන්නට සුදුස්සෙක් වේ.

අවිiාව හෙවත් මෝහය නිසා (චතුරාර්ය සත්‍ය ධර්මය කෙරේ ඇති අනවබෝධය) තෘෂ්ණාවෙන් සසරට බැඳෙන සත්ත්වයෝ අපමණ දුක් විඳිමින් ගමන් කරති. මෙම සසර හෙවත් භව ගමනේදී අකුසල කර්ම ගෙවීමෙන් මිනිස් ලොවට පැමිණියේද කෙලෙස් හෙවත් ආශ්‍රවයන් ද මූල බීජ සහිතව ඇත්තේය. මිනිස් හෝ දෙව්ලෝ හෝ බඹ ලෝ හෝ තලයකට පැමිණියේ ඒ ඒ ආකාරයෙන් කුසලාරම්මණයන් මුල්වීම හෝ බලවත්වීම නිසාය. එනමුත් නැවත නැවතත් අකුසල් සකස් කරන ආශ්‍රවයන් ද යටපත්ව ඇත්තේය. මේවා යටපත්ව පැවතෙමින් අවිiාවට හසුවන සත්ත්වයන්ගේ සිත්හි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි නම් වූ ආරම්මණ ඔස්සේ මතුවෙයි. සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් ක්‍රියාත්මක විය හැක්කේය. මේවා අනුසය නමින් හැඳින්වෙයි. සිත්හි මතුපිටට පැනනැඟෙන අවස්ථා පරියුට්ඨාන ලෙසිනුත්, ක්‍රියාත්මක වන අවස්ථා වීතික්කම ලෙසිනුත් දැක්වෙයි. මෙවැනි ආශ්‍රව සතක් පෙන්වා දී තිබේ. රාගානුසය, මානානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය සහ භවරාගානුසය වශයෙනි. මේ නිසා භාවිත සිත් ඇත්තෙක් ලෙස සතර සතිපට්ඨානයෙහි පුරුදු කරන ලද සතියෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍යයි. සියලු සංඛත, සංස්කාර ධර්මයෝ අනිච්ච, දුක්ඛ අනත්ත නම් වූ තිලක්ඛණ ධර්මයට යටත්ය නම් වූ “උදයත්ථ ගාමිනිය, පඤ්ඤා” නම් වූ අවස්ථාවට පැමිණීම අවශ්‍යයි. මෙහිදී ‘සමුදය වය ධම්මානුපස්සීවා විහරති” එනම් හටගැනීම හෝ පනවා ගැනීම සහ ව්‍යය වීම, ක්‍ෂයවීම, නිරුද්ධවීම සම්‍යක් ප්‍රඥාවෙන් දැකගෙන වාසය කිරීමට අවස්ථාව සැලසෙයි. අප අවබෝධයෙන් සරණ යන ඒ භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඤාණයෙන් පෙන්වා දුන් “සැනසුමේ මග” අනුමාන ඤාණයෙන් මෙසේ සාකච්ඡා කළ ද අප සියලුදෙනා විසින් ප්‍රත්‍යක්‍ෂ ඤාණයෙන්ම අවබෝධ කර ගැනීමට සම්මා සතිය, සම්මා වීර්ය, සම්මා ප්‍රඥාව මෙහෙයවිය යුතුය.

ඇසට රූපයක් (වර්ණ සටහනක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක් (ආඝ්‍රාණ), දිවට රසයක්, කයට ස්පර්ශයක්, මනසට සිතුවිලි වශයෙන් අරමුණු සකස් වෙයි. පැනවෙයි හෝ පනවා ගනියි. මෙම ආරම්මණ සැප හෝ වේවා, දුක් වූ හෝ වේවා මැදහත් වූ හෝ වේවා හේතූන් (සතර මහා ධාතු, සංඥා, සංඛාර) නිසා හටගන්නා බවත්, ඒවායේ විසිර යෑමෙන් හෝ ක්‍ෂය වීමෙන් ඵල, විපාක නම් වූ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ඵොට්ඨබ්භ රූප ධම්ම රූප නම් වූ රූප ධර්මයෝ ද නිරුද්ධ වන බව විදසුන් නුවණින් දැකිය යුතුය. රූප චිත්තක්‍ෂණ වශයෙන් ඉපදී ඒ මොහොතේම නිරුද්ධ වන බව සිහියට හසුකර ගත යුතුය. අභාවිත සිත් ඇත්තා විසින් මෙම උදය – වය (හටගැනීම සහ නැතිවයෑම) අවබෝධ නොකර ගැනීම නිසා ඒවා “මම – මගේ” කර ගනී. උපාදානයට හසුවෙයි. එවිට තම සංඥා අනුව ප්‍රිය නම් තදින් ඇලෙයි. අකැමැත්තේ නම් ගැටෙයි. රාග, දෝස, මෝහ නැවත නැවතත් ක්‍රියාත්මක වෙයි.

මෙසේ අවබෝධයක් නැති අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් කාම සිතුවිල්ලක්, තරහ සිතුවිල්ලක්, විහිංසා සිතුවිල්ලක් පැනවුණ අවස්ථාවේ සමුදය නිරෝධය ලෙසට විදසුන් නුවණින් දකින්නට අදක්‍ෂ වෙයි. ඒ නිසා එය ඉවසයි. වැඩෙන්නට හරියි. දුකම උපදවා ගනී. මෙය විස්තර කළේ කෙලෙස් තවන වීර්ය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත, වීර්ය නැත්තකු ලෙසය. එනමුත් සම්මා ප්‍රඥාවෙන් යුතු භාවිත සිත් ඇත්තා විසින් මෙම රූප ධර්මයෝ උදය වයයට යටත් කොට, විදසුන් නුවණින් දැක කාම, ව්‍යාපාද, විහිංසා විතර්ක නොඉවසයි. සම්මා ප්‍රඥාවෙන් ලද භාවිත සිත නිසා “මමය – මාගේය” නම් වූ සක්කාය දිට්ඨියෙන් පනවා නොගනී. මෙය විස්තර කරන්නේ කෙලෙස් තවන වීර්ය ඇති, පවෙහි බිය ඇති, නිතොර පටන් ගත් වීර්යයෙන් යුතු නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැයි කියාය. මෙම දහම් කතාව දහම් ඇසින් දැක අවබෝධ කර ගනිමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *