අජාන් චා හිමියන් වදාළ උපමා බණ

rashi
By rashi
4 Min Read

පරිවර්තනය: කසුන් හේමතිලක

පිටවාන

ඔබ වේල්ලක් තනන විට පිටවානක් ද තැනිය යුතු වේ. එවිට, ජල මට්ටම ප්‍රමාණය ඉක්මවා ඉහළ නඟින විට, එකී ජලයට ගැටලුවකින් තොර ව ඉවතට ගලා යෑමට පුළුවන. ඔබේ මනසේ සංජානන ධාරිතාව ද පමණ ඉක්ම වූ විට ඔබ ඔබේ වාන් දොරටු විවර කරන්න. ඔබට ද මෙවැනි ආරක්ෂිත පිටවීමේ දොරටුවක් තිබිය යුතු ය.

අනිත්‍යය අවබෝධ කරගැනීම, ආර්ය පුද්ගලයන්ගේ ආරක්ෂිත පිටවීමේ දොරටුවයි. ඔබට ද මෙකී පිටවීමේ දොරටුවක් ඇති නම් ඔබ ද සාමය අත්විඳිනු ඇත.

කලබලකාරී වඳුරා

පාලනයෙන් තොර මනස නිරර්ථක ලෙස ඔබ මොබ පනින කලබලකාරී වඳුරකු වැනි ය. ඔබ එය පාලනය කිරීමට ඉගෙන ගත යුතු ය. අනියත, අතෘප්තිකර සහ හිස් බව යන මනසේ යථා ස්වභාවය දකින්න. හුදෙක් ඌ පැන පැන යන අතට ඌ අනුගමනය නො කරන්න. ඌ දමනය කිරීමට ඉගෙනගන්න. ඌ යදමින් බැඳ දමා තබා විඩාවට පත් ව මිය යෑමට ඉඩ හරින්න. එවිට ඔබ සතු ව මළ වඳුරකු සිටිනු ඇති අතර අවසානයේ ඔබට සිතේ සාමය උදා වනු ඇත.

ගංගා සහ කුඩා දිය දහරා

පුද්ගලයන් දහම නැමැති ජල ප්‍රවාහයට බැස ගත් කල්හි එය ඒකායන දහමයි. ඔවුන් එකිනෙකට වෙනස් පෙදෙස්වලින් පැමිණිය ද, ඔවුහු එක ම රිද්මයකට අනුගත වී එකිනෙකා හා මුසු වෙති. ඒ මුහුද කරා ඇදී යන ගංගා සහ කුඩා දිය දහරා පරිද්දෙනි… ඒවා මුහුද කරා එළැඹි කල්හි ඒ සියල්ල එක ම රසයෙන් හා පැහැයෙන් යුක්ත වේ. පුද්ගලයන් හා සම්බන්ධ ව ද එය එසේ ම ය.

කඹය

ප්‍රථමයෙන් හේතුව අවබෝධ කරගැනීමෙන් තොර ව දුක කෙළවර කිරීමට උත්සාහ කිරීම, සිර ව ඇති කඹයක් ඇදීමට සමාන ය. ඔබ හුදෙක් කඹයේ මේ කෙළවරෙන් අදියි. කඹයේ අනෙක් කෙළවර තවමත් ඔබ්බෙහි තැනක සිර ව පවතී; එබැවින් එය කිසි දා ඇදී නො එයි. එය ඇදී ඒම සඳහා කුමක් නම් කළ යුතු ද? එහි හේතුව – මූලය ඔබ කිසි විටෙක නො සෙවූ බැවින් එය නිදහස් ව නො එයි. ඔබ මේ අන්තයෙන් ඇද මුළා වනවා පමණකි. එය සිර ව ඇත්තේ කිනම් දෙයක ද? එය කිසිවක සිර ව තිබෙනවා වනු ඇත – එය ඇදී නො එන්නේ එබැවිනි. මූලාශ්‍රය වෙත යන්න; ගැටය ලිහන්න; නිදහස් වන්න.

වැලි සහ ලුණු

ප්‍රශ්න උද්ගත වනුයේ මිනිසුන් සම්මුතීන්ට ඇලී සිටින නිසා සහ දේවල් මේ මේ අයුරින් විය යුතු යැ යි ඔවුන් සිතන නිසා ය. එසේ වුව ද, පරමාර්ථ වශයෙන්, ඔබ සමීප ව නිරීක්ෂණය කර බලතොත්, දේවල් සැබැවින් ම පැවැත්මකින් තොර බව ඔබ වටහාගනු ඇත. අපේ නිවස, අපේ පවුල, අපේ මුදල් යනු අප විසින් නිර්මිත සම්මුතීන් ය. ධර්මාලෝකය යොමු කොට බලතොත්, ඒවා අපට අයත් නො වේ. මේ කය පවා සැබැවින් ම අපට අයත් නො වන අතර, හුදෙක් කය අපගේ යැ යි අප සිතූ පමණින් එය එලෙස සිදු නො වෙයි.

එය, වැලි අහුරක් ගෙන එයට ලුණු යැ යි පැවසීමට එකඟ වීමක් වැනි ය. එමඟින් එය ලුණු වේ ද? ඔව් – එලෙස වනු ඇත! එහෙත් ඒ නාමමාත්‍රික ව මිස සැබැවින් නො වේ. එනමුදු ඔබට ඒවා යොදා අහර පිසීමට නො හැකි වනු ඇත. මන්ද යත්, ඔබ ඊට කිනම් නමක් යෙදුව ද, එය තව මත් වැලි වන බැවිනි. වැලි ලුණු යැ යි සිතීමෙන්, වැලි ලුණු බවට පත් නො වේ.

පාසල් සිසුවා

ධර්මය ප්‍රගුණ කිරීම දරුවකු අකුරු ලිවීම හුරු වනවා වැනි ය. ප්‍රථමයෙන් බලි කුරුටු, දිගටි සහ ඇද අකුරු ලියන ඔහු හොඳින් නො ලියයි. ඔහු ළමයකු මෙන් ලියයි. නො බෝ වේලාවකින් පුහුණුවත් සමග ලිවීම වැඩිදියුණු වෙයි. ධර්මය ප්‍රගුණ කිරීමත් මෙවැනි වේ. ප්‍රථමයෙන් ඔබට නුරුස්නා බවක්, ඇතැම් විට සාමකාමී බවක් – ඇතැම් විට එසේ නොමැති බවක් දැනෙයි. ඒ මොනවා ද යන්න වත් ඔබ සැබැවින් ම නො දනී. ඇතැමෙක් මෙයින් අධෛර්යයට පත් වෙති. නමුත් ඔබ යොදන වීර්යය ලිහිල් නො කරන්න. පාසල් සිසුවා මෙන්, උත්සාහවන්ත වෙමින් ජීවත් වන්න. ඔහු වයසින් මුහුකුරා යන විට තව තවත් හොඳින් ලියයි. අසාර්ථක ලෙස ලිවීම ලස්සන ලිවීමක් බවට හරවමින් ඔහු වැඩෙන අතර, ඒ සියල්ල වන්නේ කුඩා අවධියේ සිට කරන පුහුණුව හේතුවෙනි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *