වප් පොහොය දින වැදගත්කම

rashi
By rashi
7 Min Read

ගිහි පැවිදි දෙපිරිස ම එක් ව සිදුකරන මහගු පින්කම

වසරේ මාස දොළස හේමන්ත, ගිම්හාන, වස්සාන යන සෘතු තුනට අයත් වේ. නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි යන සාර මාසය හේමන්ත සෘතුව, මාර්තු අප්‍රියෙල් මැයි ජූනි යන සාර මාසය ගිම්හාන සෘතුව, ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝම්බර් යන සාර මාසය වස්සාන සෘතුව ලෙසත් පිළිගැනේ.

වස්සාන සෘතුව පුරා එක දිගට වැසි හට ගනී. ගිම්හානයෙන් (ඉඩෝර කාලයෙන්) පසු ඇති වන මෙම වැසි කාලය එක් අතකින් යහපත් කාල පරිච්ඡේදයක් වනවා මෙන් ම අනික් අතින් කරදරකාරී කාලවකවානුවක් ද වේ. මෙම වැසි සමයේ ද භික්‍ෂූහු දහම් චාරිකාවේ හැසිරෙති; පිඬු පිණිස වඩිති. තෙත බරිත සිවුරු දරමින් ඇතැම් විට මඩ ද තැවරී චාරිකා කරන භික්‍ෂූහු දුටු ඇතමෙක් චෝදනා මුඛයෙන් කථා කළහ; නොයෙක් අපවාද කීහ. මේ තත්වය දුටු බුදුරජාණන්වහන්සේ භික්‍ෂූන් රැස්කරවා කරුණු වටහා දී භික්‍ෂූන්ගේ පහසු විහරණය උදෙසාත් වස් විසීමට අනුදැන වදාළහ; වස් විසූ විට දායකකාරකාදීන්ට ද සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් පින් රැස් කර ගත හැකි බවත් වදාළහ. බුදුරජාණන්වහන්සේ වස් වැස නිම කළ භික්‍ෂූන්ගේ පහසුව උදෙසා කඨින චීවර පූජාව ද අනුදැන වදාළහ.

ශාසන ප්‍රතිපත්තිවලට අනුව භික්‍ෂූන් වහන්සේලාට වස් එළඹීම් දෙකකි. ඒ පෙරවස් විසීම හා පසුවස් විසීම යනුවෙනි. ඇසළ පුර පොහෝ දින පොහොය කර්ම කොට පසු දින (අවපෑළවිය) පෙරවස් එළඹිය යුතුය. පෙරවස් එළඹීමට නොහැකි වූ භික්‍ෂූන් වහන්සේ පසුවස් එළඹිය යුතුය. නිකිණි පුර පොහොය දා පොහොය කර්ම කොට පසු දින පසුවස් එළඹීම සිදු කරයි.උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක් නියමිත දින වස් නො එළඹිය හොත් දුක්කටාපත්ති ඇවැත සිදු වේ. එනිසා උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක් වස්විසීමට ආරාධනා කළත් නොකළත් වස් එළඹීම සිදු කළ යුතුය. වස් සමාදන් වූ උපසම්පදා භික්‍ෂූහු වස් ඡේදනය නොවී ආරක්‍ෂා කර ගනිමින් පිළිවෙත් පුරති.පෙරවස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලා වප් පුර පොහොය දිනයේත්, පසුවස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලා ඉල් පුර පොහොය දිනයේත් මහා පවාරණ විනය කර්මය සිදු කරති.

වස්සාන සෘතුවේ මුල් මාස තුන භික්‍ෂූන් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලයයි. අවසන් මාසය වස් විසූ භික්‍ෂූන් වහන්සේට කඨින චීවර පූජා කරන මාසයයි. “කඨිනස්ස අත්ථාරමාසො ජානිතබ්බොති වස්සානස්ස පච්ඡිමො, මාසො ජානිතබ්බො” යනුවෙන් විනය පිටකයෙහි පරිවාර පාළියෙහි සඳහන් වන අන්දමට වස්සාන සෘතුවේ අවසාන මාසය කඨිනත්ථාර (කඨිනය පිළිගැන්වීම)කාලය වේ. වප් මස පුර පොහොය දිනට පසු දින (අවපෑළවිය) සිට ඉල් මස පුර පොහොය තෙක් ඇති දින විසිනමය කඨිනත්ථාර කාලය වේ. එම මාසයට චීවර මාසය යැයි ද ව්‍යවහාර කරති. චීවර මාසය තුළ වස් විසූ සෑම විහාරයකම / ආරාමයකම කඨින පින්කම පවත්වනු ලැබේ.

කඨින චීවර පූජාව උදාර බලසම්පන්න කුසල කර්මයකි.

“පඨවිරිවන ජාතු කම්පතෙ
න චලති මෙරු රිවාති වායුනා
වජිරමිච න භිජ්ජතෙ ඝනං
තමිදමිතො කඨිනන්ති වුච්චති”

‘මහ පොළොව මෙන් කිසිකලෙකත් කම්පා නොවන, මහා මේරු පර්වතය මෙන් අධික සුළඟින් නො සෙල්වෙන ඒක ඝන වූ (එකට ගුලි වූ) වජ්‍ර පර්වතය මෙන් නො බිඳෙන හෙයින් කඨින යැයි කියනු ලැබේ.’

කඨින යනු ස්ථිර වූ සෙලවිය නොහැකි සැප විපාක ගෙන දෙන කුසල කර්මයකි. සමහර බලවත් අකුසල කර්ම හේතුවෙන් කුසල කර්ම විනාශ වන අවස්ථා තිබෙනමුත් කඨින පූජාවෙන් ලැබෙන ආනිසංස වෙන කිසිත් අකුසල කර්මයකින් වළක්වන්නට නොහැකි වේ. කඨිනය යන්න භාවිත කෙරෙනුයේ මේ අරුත් ඇතිවය.

කඨින චීවර පූජාව ලොව ඇති උසස් ම කුසල කර්ම අටට (අටමහ කුසල්) අයත් වේ. කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස කරවීම, බුදුපාමොක් මහ සඟනට දන්දීම, ධර්ම ග්‍රන්ථ ලිවීම, කෙත්වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා කරවීම හා වැසිකිළි කැසිකිළි කරවීම යන මෙම අටමහ කුසල් කිරීමෙන් විශේෂ ආනිසංස ලැබේ.

මේ අතරින් කඨින චීවර පූජාවට හිමිවන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානයකි. වෙනත් ඕනෑම පින්කමක් තමන්ට කැමති වේලාවක සිදු කළ හැකි නමුත් කඨින චීවර පූජාව කළ හැක්කේ වසරකට එක් ස්ථානයක එක් වරක් පමණි. සෑම ස්ථානයක ම කඨින පින්කම සිදු කළ නොහැකිය. පෙර වස් විසූ, වස් ආරක්‍ෂා කරගෙන, අනතුරුව පවාරණ විනය කර්මය සිදු කළභික්‍ෂූන් වහන්සේලා වැඩ වෙසෙන ස්ථානයක් විය යුතුය. ඒ සඳහා ද පස් නමකට නො අඩු භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටිය යුතුය.

කඨීන වස්ත්‍රය නො ඉරුණු, නො කිළිටි, තුන් සිවුරෙන් (දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර) එක් සිවුරකට ප්‍රමාණ වන පරිදි විය යුතුය. විහාරස්ථානයක දායක පිරිස එක්ව කඨින චීවරය සඳහා සුදුසු වස්ත්‍රයක් සකස් කර ගනිති. එය චීවර මාසය තුළ යොදා ගත් දිනයක දායක පින්වතෙකුගේ නිවසක සිට අලුයම් කාලයේ ගරුබුහුමන් සහිත ව පෙරහැරකින් විහාරයට වැඩමවාගෙන විත් “ඉමං කඨින දුස්සං සංඝස්ස දේම” යන වාක්‍යයෙන් තෙවරක් කියා මහා සංඝරත්නයට පූජා කරති. කඨින වස්ත්‍රය භාර ගන්නා මහා සංඝරත්නය එදින ම සේදීම, කඩ (කොටස්වලට)බෙදීම, කඩකැපීම, කඩ (කොටස්) එකතු කිරීම, මැසීම, පඬු පෙවීම හා කප් බින්දු තැබීම (විනයානුකූල බව තහවුරු කිරීමට යොදන සළකුණු)යන පූර්ව කෘත්‍ය හත සිදු කරති.

කඨීන පූජා වස්ත්‍රය සිවුරක් කර ගත් පසු විහාරස්ථානයේ වස් විසූ භික්‍ෂූන් වහන්සේලා අතුරෙන් සුදුසු භික්‍ෂූන් වහන්සේ නමකට සංඝ සීමාවක් තුළ දී සම්මතයෙන් කර්ම වාක්‍යයක් කියා පවරති. කඨින සිවුර පිළිගත් භික්‍ෂූන් වහන්සේ එම සිවුර පොරවා ගෙන කඨිනානිසංස දේශනාව පවත්වති. (වර්තමානයේ ඇතැම් විට මසා නිම කළ චීවරයක් කඨින චීවරය වශයෙන් පූජා කෙරේ.)

කඨින චීවර පූජාව සිදු කරන පාර්ශවයට පමණක් නොව එය ලබන භික්‍ෂූන් වහන්සේටත් විශේෂ ආනිසංස ලැබේ. කඨින චීවරය ලැබූ භික්‍ෂූන් වහන්සේට වරප්‍රසාද පහක් හිමි වේ. ඒවා මෙසේය. විහාරස්ථානයෙහි වැඩ සිටින අනෙක් භික්‍ෂූන්ට නො දන්වා දායක කුලවල ඇවිදිය හැකිය/ තමන් කැමති තැනකට යා හැකිය (අනාමත්තචාරය); තුන් සිවුරෙන්තමන් කැමති සිවුරක් දැරිය හැකිය (අසමාදානචාරය); අකැප වශයෙන් කළ ආරාධනාවකට වුවද ගොස් දානය පිළිගත හැකිය (ගණ භෝජනය); අතිරේක සිවුරු පරිභෝගයට හැකිය (යාවදත්ථචීවරය); විහාරස්ථානයට ලැබෙන සිවුරු පිරිකර එම භික්‍ෂුවට හිමි වේ (යාවතත්ථවීවරුප්පාදය). මෙම වරප්‍රසාද පස්මසක් ගතවන තුරු (මැදින් පුර පොහොය තෙක්)භුක්ති විදීමට එම භික්‍ෂූන් වහන්සේට හිමිකමක් ලැබේ.

“සබ්බදානං දදන්තෙන
අස්මිං පුථුවි මණ්ඩලේ
සංඝස්ස දින්නං කඨිනං
අග්ගං බුද්ධෙන වණ්ණිතං”

‘මේ පෘථිවි මණ්ඩලයෙහි විවිධාකාර දාන දෙන්නවුන් විසින් මහා සංඝරත්නයට දෙන ලද්දා වූ කඨින චීවරය උතුම් ම පින්කම වන්නේ යැයි බුදුරජාණන්වහන්සේ විසින් වර්ණනා කොට ඇත’ යනු ඉහත ගාථා පාඨයේ අර්ථයයි.

ආපදානපාළියේ නාගිතාපදානයේ කඨින චීවර පූජාවේ ආනිසංස මැනවින් විස්තර කොට ඇත. කඨින චීවර පූජාව නිසා නිරයේ නො ඉපද සුගතිගාමී ව දිව්‍ය – බ්‍රහ්ම සම්පත් ලැබූ බවත්, මනුෂ්‍ය ආත්මයක් ලැබූ සෑම විටකම ධන සම්පත් ආඪ්‍ය වූ පවුලක උපත ලැබූ බවත් නාගිතාපදානයේ සඳහන් විස්තර අතර වේ.

ලක්දිව රජ පැමිණි රාජ රාජමහාමාත්‍යාදීහු ඉතා උත්කර්ෂවත් අන්දමින් කඨින චීවර පූජා පින්කම් සිදු කළ බව ඉතිහාස ගත කරුණුවලින් අනාවරණය වේ. ලජ්ජිතිස්ස, අග්‍රබෝධි, සේන, පණ්ඩිත පරාක්‍රමබාහු ආදි රජවරු ඒ අතරින් මුල් පෙළෙහි ලා සැලකිය හැකිය.

ගිහිපැවිදි දෙපිරිස ම එක් ව සිදු කරන කඨින චීවර පූජාව වසරකට වරක් පමණක් සිදු කළ හැකි මාහැඟි පින්කමකි. එනිසා කඨින පින්කමට සහභාගිවීමට හැකිවීමත් දුලබ අවස්ථාවක් සේ බෞද්ධයෝ සලකති.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *