සතිපට්ඨාන දේශනාව අසා කිරිවවුලන් පන් සිය දෙනකු මිනිසත් බව ලැබ රහත් බව ලැබූ තලගුරු විහාරය

rashi
By rashi
4 Min Read

සුදත් ඒකනායක

සද්ධාතිස්ස රජ සමයේ (ක්‍රි.පූ. 137-119) ආරම්භ කරන ලද රජරට ශ්‍රී විභූතිය විදහා දක්වන පුණ්‍ය භූමියකි, අනුරාධපුර, ගල්කුලම තලගුරු පුරාණ රජමහ විහාරය. කටාරම් කොටන ලද එහි එක ම ස්ථානයෙහි ලෙන් විහාර දෙකකි.

රජ සමයේ විහාරයේ වැඩ විසූ වියත් තෙරුන්වහන්සේ නමක් තල්පත්හි ලිවීමේ ශිල්පය ප්‍රගුණ කර ඇති බවත්, එම තෙර නමට දක්වන සැලකිල්ලක් ලෙසින් එම විහාරය තලතුරු විහාරය වී පසු කල තල ගුරු වෙහෙර නමින් ඉතිහාසගත වී ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන් ය.

තලගුරු වෙහෙර පිළිබඳව ලේඛනගත තොරතුරු පෙන්වන පරිදි ප්‍රඥාසම්පන්න මහරහත් ධම්මදින්න තෙරුන්වහන්සේ මෙම පින් බිමෙහි වැඩ වෙසෙමින් සතිපට්ඨාන භාවනාව වැඩූ බව සඳහන් ය.

ධම්මදින්න තෙරුන්වහන්සේ සතිපට්ඨාන දේශනාව මධුර ලෙස සජ්ඣායනා කර ඇති බවත්, එම දේශනාවට සවන් යොමු කර සිටි කිරිවවුලන් පන් සියයකින් යුතු පිරිසක් එම අවස්ථාවේ දී ම ස්වාභාවික හේතුවක් මත මරණයට පත් ව එම ශ්‍රවණානිශංසය හේතුවෙන් මනුෂ්‍ය ආත්ම ලැබ මෙම පින් බිමට පැමිණ පැවිදි ව බවුන් වඩා රහත් වූ බවත් සාසන ඉතිහාසයේ දැක්වෙයි.

දඹුල්ල, රැස්වෙහෙර, ඇලගමුව, රිටිගල, බඹරහෙල, කිණිහිරිකන්ද, දොරමඩලාව ගල්ලෙන් අනුව තලගුරු විහාරයේ කටාරම් කොටන ලද ලෙන් විහාර දෙකකි. කඳු මුදුනට ආසන්න ව ඇති ලෙන් විහාරවලට යෑමට ඒමට පඩි පෙළක් සකසා ඇත. වම්පස ලෙන ඉදිරිපිට ගල් පර්වතයෙහි විශාල ශ්‍රී පතුලක් අලංකාර ව නිර්මාණය කර තිබීම විශේෂ ලක්‍ෂණයකි.

ගල්ලෙන් දෙකෙහි ම සමාධි පිළිමය හා පිරිනිවන් මංචකය දැක්වෙන බොදු සිත් පහන් කරන පිළිම රැසකි. ඒවා ඉපැරණි පිළිම වන අතර බිතු සිතුවම් මහනුවර යුගයේ ඒවා බව විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත මහනෙළුබෑවේ රතනසාර හිමියෝ සඳහන් කරති.

කන්ද මුදුනේ ගරාවැටුණ වෙහෙර

තලගුරු වෙහෙර පුරාවිද්‍යා ස්ථානයකි. වෙහෙර ආසන්නයේ තිබුණු ඉපැරණි ජල පොකුණ, නව පොකුණු ඉදිකිරීමේ ව්‍යාපෘතියකට ඩෝසර් කර වළක් බවට පත් කර ඇත. පැරණි පොකුණේ තිබුණ ගල් රලපනාව දැන් දක්නට නැත.
තලගුරු වෙහෙර ආසන්නයේ කන්ද මුදුනේ රජදවසේ ඉදි කර තිබුණු චෛත්‍යය ගරා වැටී විනාශ වෙමින් තිබේ. එම කඳු මුදුනේ දාගැබ තිබුණු ස්ථානයට අනුරාධපුර උඩමළුව මනාව දිස් වේ. අනුරාධපුර මානෑව කන්ද මුදුනේ ඇති විෂකුම්භණ වෙහෙර, කහල්ල කන්දේ ඇති උපුල්වන් වෙහෙර ඉපැරණි ඒවා ය. මෙම කඳු මුදුන්වල ඇති දාගැබ් පිළිබඳ ව මෙතෙක් පුරාවිද්‍යාවෙන් සොයා බැලීමක් සිදු කර නැත.

තලගුරු වෙහෙර පුදබිමෙහි ගල් පව්වේ කොටන ලද සිරිපා සටහනකි. ධර්මචක්‍රය, මහ බෝධිය, වජ්‍රාසනය සහ සිරිපතුල් යන සටහන් සහිත ව ගලින් නෙළුෑ කැටයම් ගෞතම බුදුන් වහන්සේ වෙනුවට වන්දනා කරන ලද වස්තු හෙවත් උද්දේසික චෛත්‍ය කිහිපයකි. එම වන්දනා ක්‍රම වඩාත් ප්‍රකට ව පැවතුණේ බුද්ධ ප්‍රතිමා නෙළීමට පෙර සමයේ දී ය. ධර්මචක්‍ර සටහනෙන් බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත් මහ බෝධියෙන් උන්වහන්සේ බුද්ධත්වය ලැබීමත් නිරූපිත ය. වජ්‍රාසනය යනු සිදුහත් තවුසාණන් වැඩසිට බුදු වූ ආසනයයි. එයින් ද බුද්ධත්වය නිරූපණය කෙරේ. මංගල ලකුණින් හෙබි බුදුන් වහන්සේගේ ශ්‍රී පාද සටහන සිරිපතුල් ගල් මඟින් දැක්වේ. තලගුරු වෙහෙරේ ගල්පර්වතයේ කොටා ඇති විශාල ශ්‍රීපතුල අනුව මෙම තලගුරු වෙහෙර බුද්ධ ප්‍රතිමා වන්දනාවට පෙර යුගයේ දී ම ඉදිවූවක් විය හැකි ය.

තලගුරු කඳුමුදුනේ ගරා වැටී ඇති වෙහෙර නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු ව තිබේ. කඳු මුදුනේ එම වෙහෙර නැවත ඉදි වුවොත් දිව්‍ය විමනක් ලෙසින් උඩමළුවට දිස් වනු ඇත. වැඩි විස්තර විහාරාධිපති හිමිපාණන් 0715683955 හෝ 0724426401 දුරකථන අංකවලින් සම්බන්ධ කරගැනීමෙන් ලබාගත හැකි ය.

වම්පස විහාරය
දකුණුපස විහාරය
Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *