ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී, දේශාභිමානී පී. චන්ද්‍රරත්න
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ උඳුවප් පෝය ලැබීමත් සමඟය. සිරිපා කරුණා කිරීම හා සමනොළ කන්ද පිළිබඳව බොහෝ බොදු බැති ගී ලියවී ඇති නමුත් අද තෝරාගත් “මුනි නන්දන සිරිපාද වඳිම් සමනළ කන්දේ” විශේෂ වන්නේ එහි බැති ගී රසයට අමතරව සිරිපා වන්දනා ගමන පිළිබඳව සවිස්තරව දැක්වෙන බැවිනි. තරමක් දිගු ගීයක් වන මෙහි ප්‍රබන්ධය යූ.ඩී. පෙරේරා විසින් කර කර ඇති අතර මුල් ගායනය ග්‍රේටා ජෙනට් ද සිල්වා සහ විජිතා විසිනි. පසුව කළ නව ගායනා ද තිබේ.
මුණි නන්දන සිරි පාද වඳිම් සමනළ කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත පැහැදී
ළිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල් පඩි නගිමින්
තුන් සරණේ පිහිට පතාලා
සන්තෝසිනේ ඉන් පිටත් වෙලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත පැහැදී
ගෙත්තම් කර සිරිත ලෙසින් ගෙත්තම් පානේ
සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
මළුව පෙනෙයි යමු නැවතී හැරමිටි පානේ
සමන් දෙවි කරුණාවයි
නඩේ හැමටම සෙත වෙයි
පිහිටෙන් සුමන සුරින්දේ සිත පැහැදී
ඇහැළ කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා
අහස් ගව්ව පසු කරමින් සාදු කියාලා
මහා මළුවට විත් ගිරි දඹ නැගලා
සිරි පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුණාලා
බුදුරජාණන් වහන්සේගේ තුන්වැනි ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේදී වෙසක් පසළොස්වක දිනයේදී බව බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ. මහියංගණයට වැඩි උන්වහන්සේ එහිදී සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල කඳු මුදුනේ සිරිපා ලකුණ පිහිටුවෝය. එතැන් පටන් ශ්‍රී පාද පද්මය වැඳපුදා ගැනීම ලාංකික බෞද්ධයන්ගේ උතුම් වන්දනා ගමන විය. ගීතයෙහි දැක්වෙන ලෙසටම අතීතයේ සිරිපා වන්දනාව අතිශය දුෂ්කර මෙන්ම අවදානම් සහිත ගමනක්ද විය. වර්තමානයේ දක්නට ලැබෙන කිසිදු පහසුකමක් දූරාතීතයේදී නොතිබූ බැවින් ඒ සඳහා සුමන සමන් දෙවියන්ගේ පිහිට යැදීම හැර අන් පිළිසරණක් නොවීය. ගීය ඇරඹෙන්නේ සිරිපා වන්දනාවට සුමන සමන් සුරිඳු පිහිට පතමිනි.
මෙතරම් දුෂ්කරතා විඳ නලළ බිම ඇන වන්දනා කිරීමට තරම් සිරිපා ලාංඡනයේ අසිරිමත් බව කුමක්ද? තුන් ලොව කිසිදු පුද්ගලයකුගේ පාද පතුලක නොපිහිටි අසාමාන්‍ය මංගල ලකුණු 216ක් එක් පතුලක 108 බැගින් පිහිටා තිබූ බව පූජාවලියෙහි දැක්වේ. එනිසාම ශ්‍රී පාද පද්මය ලෙස වන්දනාවට බඳුන් වේ. එම මංගල ලකුණු ලොවිතුරා බුදුවරයකුගේ පාදයක පමණක් පිහිටන ඒවා වේ.

පුරාතන හිමගත වර්ණනාව යන ජනකවි මාලාවේද එලෙස මඟුල් ලකුණු දෙසිය දහසක් වූ බව මෙසේ දැක්වේ.
මහමේරුව පිහිටවු සිරි පතු ලේ
බඹ ලෝ හැම පිහිටවු සිරි පතු ලේ
දෙසිය සොළොස් ලකුණෙන් හෙබි පතුලේ
අපි යමු වඳිනට ඒ සිරි පතු ලේ
- (සිංහල බුදු සමය, 14 පිටුව, ජේ.බී. දිසානායක)
මෙම මංගල ලකුණු ප්‍රථමයෙන්ම දුටුවේ සිදුහත් කුමරු දක්නට පැමිණි කාලදේවල හෙවත් අසිත තවුසා විසිනි. මිණි කැටපත් සුං දෙකක් බලන්නා සේ සිරිපතුල් සුං දෙක තමන් දෑතින් අල්වාගෙන මඟුල් ලකුණු බලන්නාහු පළමු කොට විසිතුරු වූ මලස්නක් සේ දෙපතුල් පුරා තිබූ අටතුරා සියක් මඟුල් ලකුණු දුටහ. (පූජාවලිය – 153 පිටුව)
එවන් අසිරිමත් වූ සිරිපතුල් ලාංඡන සමනළ කඳු මුදුනෙහි ගල මත මුද්‍රණය කළා සේ පිහිට වූ බව සමන්තකූට වර්ණණාවෙහි දැක්වේ.
පතඞ්ගිකා සිත්‍ථක මත්‍ථකමහි – යථඞ්කිතා ඛත්තයා මුද්දිකාය
ආසෙව’මේවං ජිනපාද ලක්‍ද්ඡං – සමන්තකූටම්හි නමසසනීයං (සමන්තකූට වණ්ණනා – 781)
ඉටි මත පතංගිකා නම් කුඩා මැස්සිය, ක්‍ෂත්‍රිය මුද්‍රිකාවෙන් යම් සේ මුද්‍රණය (සලකුණු) කරන ලද්දීද, ඒ පරිද්දෙන්ම සමන්තකූට පර්වතයෙහි නමස්කාර කටයුතුවූ, බුදුන් සිරිපා ලකුණ වී.
ගීතයෙහි දැක්වෙන්නේ ඒ අසිරිමත් සිරිපා ලකුණ වන්දනා කිරීමට කන්ද පහළ සිට කෙරෙන ගමනෙහි විස්තරයකි. දෙවියන්ගේ අඩවියට පිවිසෙන ළිහිණි හෙළ අම්බලමේ ගිමන් නිවා ගන්නා බව ගීතයෙහි දැක්වේ. අතීතයේ මෙම ස්ථානයේ පිහිටි ප්‍රපාතයෙන් ඇඳ වැටී ළිහිණි අක්කා නම් තැනැත්තිය සිහිවීම පිණිස එම නම ලැබී ඇත. ඇතමුන් අදත් ඇය සිහිකර එහිදී ළිහිණි අක්කේ! යැයි හඬ නගා කෑ ගැසූ විට මිය ගිය ඇය ද ළිහිණි අක්කේ යනුවෙන් පිළිතුරු දෙනු ඇසේ. එය ශෝචනීය පුවතක් වුවද සැබවින්ම ඒ හඬ තමාගේම දෝංකාරය බව පෙනේ.
ගීතයෙහි දැක්වෙන ලෙසට අනතුරුව ගල්පඩි ගනිමින් තරණය කරන්නේ “ධර්මරාජ ගලය” මෙම යෙදුමද සමන්තකූට වර්ණනාව ඇසුරින් වන ව්‍යවහාරයක් විය හැකිය.
එවං සො ධම්මරාජා ජනහිතවිහිතො වීත දොසාරිවග්ගො
ලඞ්කාරාමාය රමෙම සුමනගිරිසිරෙ’ කාසි යං පදලක්‍දඡං
තං වො සග්ගා’ පවගගං දදති මුනිසමං චිත්ත මත්තෙ පසනෙත
තසමා හො! හො! පහටඨා නමථ මහථ තං සාධු සාධුප්පසත්‍ථං (සමන්තකූට වර්ණණා – 796)
මෙසේ ඒ ධර්මරාජයන් වහන්සේ ජනයා කෙරෙහි කළ හිත මැඩ ඇති සේක්, පහ කළ ද්වේශ නමැති ශත්‍රැ වර්ගයා ඇති සේක් ලංකා ලක්ෂ්මියගේ රම්‍ය ස්ථාන වූ සමන්පව් මුදුන්හි යම් සිරිපා ලකුණක් ස්ථාපනය කළ සේක්ද, ඒ ශ්‍රී පාද ලාංජනය තෙම, චිත්තමාත්‍රයක් පහන් කල්හිම යුෂ්මතුන්ට මුනිඳුන් මෙන් ස්වර්ගයෙහි සැප දෙන සේක. එහෙයින් භවත්නි පහටු වූවාහු සජ්ජනයන් විසින් පසන්නා ලද ඒ ශ්‍රී පාද ලාංජනය මනා කොට වදිමි. පුදමි.
ගීතයෙහි දැක්වෙන ලෙස ගමනෙහි කිසිදු වෙහෙසක් නොදැනෙන්නේ තුන්සරණෙහි පිහිට පැතීම නිසා සමන් දෙවි පිහිටෙනි. එබැවින් ධර්මරාජගලෙන් ඔබ්බට ගමන් කරන්නේ සන්තොසිනි. අනතුරුව හමුවන ගෙත්තම්පහනෙහි පෙර සිරිත ලෙස ගෙත්තම් කරනු ලබයි. බුදුන් වහන්සේ සිරිපා වැඩමවීමේදී ඉරීගිය සිවුරු යළි මැසූ ස්ථානය ලෙස සලකා වන්දනාකරුවෝද තමන් ගෙනා නූල් ඉදිකටුවෙහි අමුණා ගමන් මඟ දිගේ රඳවා එම සිදුවීම සිහිපත් කරති. තුන්සරණය නම් ජනකවි සංග්‍රහයේ එම සිදුවීම මෙසේ සඳහන් කරයි.
ගෙත්තම් පහණට මුනි රජ වැඩලා
තෙලිසම් දිවසම් ආසන කරලා
ඉදිකටුවෙන් ගලවට ඉර ඇඳලා
ගෙත්තම් කර මුනි රජ පිටු පාලා
අනතුරුව හමුවන්නේ අයිස් මෙන් සීතල ජලය ඇති සීත ගඟුලය. ගීතයෙහි දැක්වෙන ලෙසට සීත ගඟුලෙන් නා පිරිසිදුව පඬුරු ගැටගසා ඉහළ බැලූවිට සිරිපා මළුව දිස්වේ. හැරමිටිපානට මළුව කදිමට දිස්වන බැවින් එහි මදක් නැවතී යළිත් ගමනට ආරාධනා කරන්නේ නඩයට සුමන සමන් සුරිඳුගේ පිහිට පතමිනි. එවිට සිතට පැහැදේ. ගීතයෙහි ඇහැළ කණුව පසුකර අහස්ගව්ව හමුවන බව සඳහන් වුවද මුලින් හමුවන්නේ අහස්ගව්වය. මේ වන විට හාත්පසින්ම දිස්වන්නේ වලාකුළු සහිත පසුබිමක් බැවින් තමන් අහසේ ගමන් කරන සෙයක් දැනේ.
ගීතයේ දැක්වෙන ලෙසට එහිදී සැදැහැවතුන්ගේ මුවට නැගෙන්නේ සාදු! යන්නය. ඉන්පසු “ඇහැළ කණුව” ට ළඟාවී සුදු පිරුවටයෙන් සැරසිය යුතුය. ගීතයෙහිද දැක්වෙන ලෙසට අනතුරුව දැඩි ප්‍රපාතාකාර මහගිරි දඹය තරණය කළ යුතුය.
ගීතයේ මහගිරි දඹ තරණය “ගිරිදඹ නැගලා” ලෙස ඉතා සරල ආකාරයෙන් දක්වන්නේ එය කෙතරම් වෙහෙසකර වුවද ඉන්පසු මහමළුව හෙවත් සිරිපා කඳු මුදුනට පැමිණීමේ සතුට හෙයින් විය යුතුය. ගීතයේ සදඟන් ලෙසට අවසානයේදී මහත් බැතියෙන් යුතුව සිරිපතුල නමදින්නේ උතුම් වූ නිර්වාණය ප්‍රාර්ථනා කරමිනි. එයද සමූහවාචී ලෙස ගීතයේ “වඳිමු” යනුවෙන් සඳහන් කර පිංකම බෙදා ගනී. එපමණක් නොව තමන් රැස්කරගත් පින සමන්තකූට අධිපති සමන් සුරිඳුන්ට අනුමෝදන් කිරීමට තරම් කෘතවේදී වේ. (එම පින් සමන් සුරිඳුටත් පමුණාලා)
සිරිපා වන්දනාවේදී පමණක් නොව ඕනෑම දිගු ගමනකදී බොහෝ විට ගායනා කර මහත් වින්දනයක් මෙන්ම සන්සුන් රසයක්ද විදින මෙවන් ගීත වර්තමානයේ බිහිනොවීම කණගාටුවට කරුණකි.