නිශාන්ත ගුණසේකර
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ ක්‍රි.පූ. 543දී යැයි සැලකේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී ප්‍රතිමා නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් නොවීය. නමුත් පිරිනිවන් පෑමෙන් පසු, බුදුරජාණන් වහන්සේගේ කායික ශරීරය විද්‍යාමාන නොවීම නිසා ප්‍රතිමාවක් ලෙස නිර්මාණය කිරීමට කලා ශිල්පීහු පෙලඹුණහ. එය ද ජීවමාන බුදුරජාණන් වහන්සේගේ මානව රූපී ලක්ෂණ වෙනුවට බෝධිය, ඡත්‍රය, වජ්‍රාසනය, ශ්‍රීපාද ලාංඡන, ස්තූප, ධර්ම චක්‍ර වැනි සංකේත ආශ්‍රයෙන් බුදුන් වහන්සේ නිරූපණය කොට දැක්වීය. පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ආරම්භය ක්‍රි.පූ. දෙවැනි සියවසටත් එහා දිවේ. බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසීත්‍යනුවඤ්ජන ලක්ෂණ, ඉරියව්, මුද්‍රා ලක්ෂණ ආදිය ඉස්මතු කර දැක්වීමට ලාංකික කලා ශිල්පියා උත්සාහ කර ඇත.
බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මෙසේය.
- සුප්පතිට්ඨිත පාදොහොති – සුපිහිටි පාද ඇති ලක්ෂණය
- හෙට්ඨා පාදතලෙසු චක්කාහි ජාතාහි – යටි පතුලේ චක්‍ර ලක්ෂණය
- ආයතපණ්හි හොති – දිගැටි විළුඹක් ඇති ලක්ෂණය
- දීඝංගුලි හොති – දිගැටි ඇඟිලි ඇති ලක්ෂණය
- මදුතළුන හත්ථපාදො හොති – මොළොක් වූ පතුල් ඇති ලක්ෂණය
- ජාලහත්ථ පාදො හොති – දැල් කවුළුවකට බඳු අත් පා ඇති ලක්ෂණය
- උස්සංඛ පාදො හොති – මත්තෙහි ගොප් ඇටය පිහිටා ඇති ලක්ෂණය
- එණිජංගො හොති – ඕලු මුවන්ගේ වැනි කෙණ්ඩා ඇති ලක්ෂණය
- අනෝනමන්තො උභෝගි පාණිතලෙහි ජණ්ණුකානිපරිමසති – දීර්ඝ හස්ත ඇති ලක්ෂණය
- කොසොහි තවත්ථගුයිහො – පුරුෂ ව්‍යඤ්ජනය පියුම් කෙමියක් රොන් සලායෙන් සැඟවී තිබෙන්නා වූ ලක්ෂණය
- සුවණ්ණ වණ්ණෝ කඤ්චන සන්නිභත්තවො – ඡවි වර්ණ ඇති ලක්ෂණය
- සුබුමච්ඡවි රජොල්ලංකායෙන උපලිප්පති – පියුම් පතෙහි දිය නොඇලෙන්නා සේ රාජොල්ලිකාවක් ඇඟ නොදරන්නා වූ ලක්ෂණය
- එකේකලෝමො – එකී, එකී ලෝමකූපයෙහි එකී එකී ලෝමයක්ම ඇති ලක්ෂණය
- උද්ධග්ගලොමො දක්ඛිණවන්තක ඡාතාහි – සියලු ලෝමයන්ම දකුණට නැවී අඳුන්වන්ව ඇති ලක්ෂණය
- බ්‍රහ්මුජ්ජුගත්තො – හතර දිගට නොනැමී බ්‍රහ්මයාගේ සේ ඍජුව තිබෙන්නා වූ ගාත්‍රා ඇති ලක්ෂණය
- සත්තුස්සදො – දෙඅතුල් පතුල් දෙඅසංකූට පිටිකර යන මේ සප්ත ස්ථානය පිරී තිබෙන්නා වූ ලක්ෂණය
- සීහපුබ්බද්ධකයො – සිංහයකුගේ බඳු වූ ඌර්ධ්වකාය ඇති ලක්ෂණය
- චිතන්තරංසො – පිට රන් පෝරුවක් සේ තැනී තිබෙන්නා වූ අන්තරාංසයක් ඇති ලක්ෂණය
- න්‍යාග්‍රෝධ පරිමණ්ඩලො – නුග ගසක් සේ උස හා සම වූ ව්‍යාමය, ව්‍යාමය හා සම වූ උසය යන සම පරිමණ්ඩල වූ ලක්ෂණය
- සමවත්තක්ඛන්ධො – රන් බෙරක් සේ සමව වට වූ ග්‍රීවා ඇති ලක්ෂණය
- රසග්ගසග්ගී – සත් දහසක් රස නහරයන් නැඟී රස දිවට එක්ව උඩු බලා සිට රස ග්‍රාසය කරන්නා වූ ලක්ෂණය
- සීහහනු – සිංහයකු සේ වටව සිටිනා වූ හනුභාග ඇති ලක්ෂණය
- චත්තාළීසදන්තො – සම සතළිස් දන්ත ධාතුන් ඇති වන ලක්ෂණය
- සමදන්තො – ගායෙදූ සක්පත් වටක් සේ සමව සිටිනා දන්ත ධාතුන් ඇති ලක්ෂණය
- අවිරළදන්තො – එකපෙළ හිඳවාලූ වීදුරු පෙළක් සේ නොසිදුරුව තිබෙන්නා වූ දන්තයන් ඇති ලක්ෂණය
- සුසුක්කදාඨො – නකත තරු පෙළක් සේ සුදුරැස් විහිදුණු දන්තයන් ඇති ලක්ෂණය
- පහුතජිව්හො – දෙකන් සිදුරු, නළල්තල, නැහැමඬල පිරිමදනා වූ දිගු වූ ජීව් හා ධාතු ඇති ලක්ෂණය
- බ්‍රහ්මස්සරො – කුරවීක නාදයක් සේ ඉතා මධුර වූ අෂ්ටාංග සමුපේත බ්‍රහ්මනාද ඇති ලක්ෂණය
- අභීනීලනෙත්තො – නිලුපුල් දෙකක් සේ නිල් රැස් විහිදුණා වූ ඇස් ඇති ලක්ෂණය
- ගොපමුඛො – එමදු වැදු රතුවස්සකුගේ අක්ෂි මණ්ඩලය සේ ඇස් ඇති ලක්ෂණය
- උණ්ණාභමුඛන්තරෙ – ඌර්ණරෝම ධාතුව ඇති ලක්ෂණය
- උණ්හීසසීසො – දෙකන්සිළු පටන් නළල්තල රන්පටෙකින් වැසුවා සේ තිබෙන්නා වූ උණ්හීස සීස ලක්ෂණය
බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේදී මෙම ලක්ෂණ 32කම ඉස්මතු කර දැක්වීම අපහසුය. ඊට හේතුව මෙයින් ලක්ෂණ 12ක් බාහිරව විද්‍යාමාන නොවීමයි. එබැවින් ශ්‍රී ලාංකික කලාශිල්පියා බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී ලක්ෂණ 20ක් පමණ ඉස්මතු කර දැක්වීමට උත්සාහ කර ඇත.
බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේදී බුදුන් වහන්සේගේ හිසින් නික්මෙන බුද්ධ රශ්මිය සංකේතවත් කිරීමට කේතුමාලාව නිර්මාණය කිරීමට කලාශිල්පියා උත්සුක වී ඇත. සිරස්පත නමින් ද හැඳින්වෙන මෙය ඒ ඒ යුගවලදී විවිධ නිර්මාණ ශිල්පීන් විවිධ හැඩයන්ගෙන් නිර්මාණය කර ඇත.

බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී හිටි පිළිම, හිඳි පිළිම, සැතපෙන පිළිම සහ චංකමන පිළිම වශයෙන් ඉරියව් ලක්ෂණ 4ක් දක්නට ලැබෙන අතර මුද්‍රා ලක්ෂණ වශයෙන් සමාධි, අභය, වරද, භූමිස්පර්ශ, විතර්ක සහ ධර්මචක්‍ර යන හස්ත මුද්‍රා කීපයක් නිරූපණය කර ඇත.
ශ්‍රී ලාංකික බුද්ධ ප්‍රතිමා නිර්මාණ ශිල්පියා බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී චීවරය පෙරවීම නිරූපණය කිරීම නැතහොත් පාරුපණ ක්‍රම පිළිබඳව ද අවධානය යොමු කර තිබේ. ඒකාංශ පාරුපණ ක්‍රමය, උභයාංශ පාරුපණ ක්‍රමය සහ අර්ධ උභයාංශ පාරුපණ ක්‍රමය චීවරය පෙරවීම නිරූපණය කර ඇති ප්‍රධාන පාරුපණ ක්‍රම කීපයකි. බුදුන් වහන්සේගේ චීවරය කොටස් කීපයකින් යුක්ත වේ. එනම් දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය සහ පටියයි. තවද ප්‍රතිමා නිර්මාණයේදී මෙම චීවරය රැලි සහිතව සහ රැලි රහිතව ද නොයෙක් ස්ථානවලදී දක්නට ලැබේ.
මීට අමතරව ප්‍රතිමා නිර්මාණයේදී ශ්‍රී ලාංකික කලා ශිල්පියා ප්‍රතිමා ආසනය නැතහොත් පීඨය සම්බන්ධයෙන් ද සුවිශේෂී අවධානයක් යොමුකර ඇත. ශ්‍රී ලංකාවේ දැනට දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමා ආසන පහකි. එනම් අනන්තාසන, සිංහාසන, යෝගාසන, පද්මාසන සහ විමලාසන යනුවෙනි.
බුද්ධ ප්‍රතිමා නිර්මාණ ශිල්ප ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉතා උසස් ශිල්ප ඥානයක් සහ ඉතා දක්ෂ හැකියාවක් තිබූ ශ්‍රී ලාංකික කලා ශිල්පියා ප්‍රතිමා ප්‍රමාණ සහ සමමිතික ස්වභාවය නිසියාකාරයෙන් දැන සිටියේය. උත්තම නවතාල, මධ්‍යම නවතාල සහ අධම නවතාල යනුවෙන් ප්‍රතිමා නිර්මාණයේදී ප්‍රමාණ ගණනය කරන මිනුම් කීපයකි. බුද්ධ ප්‍රතිමාවක උස පාදාන්තයේ සිට කේශාන්තය දක්වා අඟල් 108කි. එය මුළු ශරීරය පුරා මෙසේ බෙදී යයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සෙල් පිළිම වහන්සේලා කීපයක් මෙතැන් සිට වැඳපුදා ගනිමු.
සමාධි බුදු පිළිමය

සමාධි පිළිමය පිහිටා තිබෙන්නේ අනුරාධපුර මහමෙව්නා උයනේ, අභයගිරි විහාර භූමියේ කුට්ටම් පොකුණටත් අභයගිරි ස්තූපයටත් අතර ප්‍රදේශයේය. ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසනයෙන් ද යුක්ත ඉතාමත් විශිෂ්ට ගණයේ ප්‍රතිමාවක් වන මෙම ප්‍රතිමාවෙහි උස අඩි 7යි අඟල් 6කි. පුරාවිද්‍යාත්මක සාධක අනුව ක්‍රි.ව. 6 වන ශත වර්ෂයට අයත් යැයි සැලකෙන මෙම ප්‍රතිමාව දේවානම්පියතිස්ස රජු කර වූ බව සැලකේ.
තොලුවිල බුදු පිළිමය
අනුරාධපුර අභයගිරි පෙදෙසේ තොලුවිල, ප්‍රතිමා මන්දිරයක තිබී සොයාගෙන ඇති තොලුවිල බුදු පිළිමය දැනට කොළඹ කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවන ස්ථානයේම තබා ඇත. ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසනයෙන් ද යුක්ත මෙම පිළිමයෙහි උස අඩි 5යි අඟල් 9කි. හිරිගල් වැනි මොළොක් ගල් විශේෂයකින් නෙළා ඇති මෙම ප්‍රතිමාව ක්‍රි.ව. 4 වන හෝ 5 වන ශත වර්ෂයන්ට අයත් යැයි සැලකේ.

පන්කුලිය බුදු පිළිමය
අනුරාධපුර මල්වතු ඔය අසබඩ ගල් පාලමට යන පාරේ පන්කුලිය විහාරයෙහි මෙම පිළිමය පිහිටා ඇත. දකුණු අත විතර්ක මුද්‍රාවෙන් ද වම් අත කටක මුද්‍රාවෙන් ද වැඩ හිඳින සේ හිරිගල් විශේෂයකින් නෙළා ඇති මෙම ප්‍රතිමාවේ උස අඩි 6යි අඟල් 9කි. මෙම බුදු පිළිමය 8 වැනි ශතවර්ෂයට අයත් යැයි සැලකේ.
අවුකන බුදු පිළිමය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවුකන නම් ග්‍රාමයෙහි කලා වැව අසබඩ මෙම බුදු පිළිමය පිහිටා ඇත. පිහිටි ගලෙන් නෙළා ඇති මෙම ප්‍රතිමාව අභය මුද්‍රාවෙන් යුක්තය. මෙම ප්‍රතිමාවෙහි උස අඩි 38යි අඟල් 10කි. පද්මාසනයත් සමග පිළිමයේ සම්පූර්ණ උස අඩි 46කි. ක්‍රි.ව. 8 වන ශත වර්ෂයට අයත් යැයි සැලකෙන මෙම ප්‍රතිමාව ධාතුසේන රජු පාලන සමයේදී නිමවූවක් බව සැලකේ.
මාලිගාවිල බුදු පිළිමය

බුත්තල, ඔක්කම්පිටිය ප්‍රදේශයේ මාලිගාවිල විහාරයෙහි ඇති මෙම ප්‍රතිමාව ස්ඵටික හුනුගලින් නෙළා ඇත. මෙම ප්‍රතිමාවෙහි උස අඩි 42ක් වන අතර අවුකන පිළිමයේ අංග ලක්ෂණවලට සමානය. ක්‍රි.ව. 6 වැනි ශත වර්ෂයට පමණ අයත් යැයි සැලකේ.
පොළොන්නරුව ගල් විහාරය
පොළොන්නරුවේ රජ කළ පළමු වැනි මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රි.ව. 1153 – 1186 කාලයේදී ගල් විහාරය නමින් හැඳින්වෙන උත්තරාරාමය කරවා ඇත. මුල් කාලයේදී ගඩොලින් ආවරණය වූ විශාල ගොඩනැඟිල්ලකින් ආවරණය වී තිබුණා යැයි විශ්වාස කළ හැකිය. මෙහි දැනට ඉතිරි වී ඇත්තේ අත්තිවාරම පමණි.
පළමු වන ප්‍රතිමාව
12 වැනි ශත වර්ෂයට අයත් මෙම බුද්ධ ප්‍රතිමාවෙහි උස අඩි 15කි. මෙහි ධ්‍යාන මුද්‍රාව සහ වීරාසනය නිරූපණය වන සේ නෙළා ඇත. වජ්‍රාසනයක වැඩ හිඳී.
දෙවන ප්‍රතිමාව
විද්‍යාධර ගුහාව ලෙස හැඳින්වෙන ගල හරහා සැදූ ගල් ගුහාවක් තුළ නෙළා ඇත. ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසනයෙන් ද යුක්ත මෙම ප්‍රතිමාව ඉඳි පිළිමයකි. ගලින්ම නෙළන ලද ඡත්‍රයක් යට වැඩ හිඳියි. මෙම පිළිමයෙහි උස අඩි 4යි අඟල් 7කි.
තුන් වන ප්‍රතිමාව
අත්දෙක බැඳගෙන සිටින අයුරින් නෙළා ඇති හිටි පිළිමයකි. තිභංග ලක්ෂණ ඇති පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව පිළිබිඹු වන සේ නෙළා ඇති මෙම ප්‍රතිමාවෙහි උස අඩි 22 අඟල් 9කි.
හතර වන ප්‍රතිමාව
සැතපෙන පිළිමයක් සේ නෙළා ඇති මෙහි හිස සිට සිරිපතුල දක්වා දිග අඩි 46කි. පොළොන්නරු යුගයේ කලා කුසලතාව පෙන්නුම් කරන ශ්‍රේෂ්ඨ ගණයේ පිළිමයක් සේ සැලකෙන මෙයින් සංකේතවත් වන්නේ බුද්ධ පරිනිර්වාණයයි.
පොළොන්නරුව වටදාගෙය
පොළොන්නරුව වටදාගෙයි හතර පැත්තේ දර්ශනීය බුද්ධ ප්‍රතිමා හතරක් ස්තූපය වටා පිහිටුවා ඇත. ගලින් නෙළා ඇති සමාධිගතව සිටින බුදු රජාණන් වහන්සේගේ ශාන්ත ගුණය පිළිබිඹු වන මෙම ප්‍රතිමා සිංහල කලාකරුවාගේ නිර්මාණ ශක්තිය ලොවට ඉදිරිපත් කරන ශ්‍රේෂ්ඨ කලාත්මක නිර්මාණයන්ය.
බුදුරුවගල බුදු පිළිමය

වැල්ලවාය – තිස්සමහාරාම මාර්ගයේ බුදුරුවගල පර්වතයෙහි නෙළා ඇති මෙම බුද්ධ ප්‍රතිමාවෙහි උස අඩි 50කි. 8 වන ශත වර්ෂයේදී පමණ එනම් අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයත් යැයි සැලකෙන මෙම පිළිමය දෙපස බෝසත් රූප නෙළා ඇත. දකුණු පසින් අවලෝකිතේශ්වර බෝසත් සහ තාරා දේවියගේ පිළිරූ දක්නට ඇත. වම්පසින් මංජු ශ්‍රී බෝධිසත්වයන් සහ බිසවගේ පිළිරූ බව හඳුනාගෙන ඇත.
රැස්වෙහෙර බුදු පිළිමය

කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක දෙක මායිමේ ගල්ගමුව – නිකවැව මාර්ගයේ මෙම පිළිමය පිහිටා ඇත. ක්‍රි. පූර්ව යුගයට අයත් මෙම රැස්වෙහෙර බුදු පිළිමය අවුකන පිළිමයට වඩා පැරැණිය. පිළිමය නෙළා ඇත්තේ ගල ඇතුළට කැපූ කුහරයක් තුළය. මහාසේන රජු විසින් කරවන ලදැයි සැලකෙන මෙම ප්‍රතිමාවෙහි උස අඩි 39 අඟල් 4කි.
තන්තිරිමලේ බුදු පිළිම
මල්වතු ඔයට දකුණින් තම්මැන්නාවේ සිට අනුරාධපුරයට යන මාර්ගය අසල තන්තිරිමලේ පිහිටා ඇත. මුල් කාලයේදී මෙම ගම්පියස තිවක්ක බමුණුගම නමින් හඳුන්වා ඇත. මෙහි ඉඳි පිළිමයක් සහ සැතපෙන පිළිමයක් ඇත.
ඉඳි පිළිමය
යෝධ ගල් කුළක් හාරා කාමරයක් ඇතුළත සිටින සේ නෙළා ඇති මෙම පිළිමය සමාධි පිළිමයකි. ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින සේ වජ්‍රාසනයක් මත නෙළා ඇත. මෙම පිළිමයේ උස අඩි 8ක් පමණ වේ.
සැතපෙත පිළිමය
සැතපෙත ඉරියව්වෙන් නෙළා ඇති මෙම බුදු පිළිමයේ දිග අඩි 45කි.