දෛනික පැවැත්ම

cmadurawala
6 Min Read

රාණි සේනාරත්න රාජපක්ෂ

සර්වඥයන් වහන්සේ දානය වැළඳුවේ දවසට එක් වරක් පමණකි. “මම ඒකාසන භෝජනය වළඳමි. එවිට මම අල්පාබාධ බව ද නිදුක් බව ද සැහැල්ලු බවද කාය බලය ද සුඛ විහරණය ද දනිමි” (ම.නි. 1 – කකචූපම සූත්‍රය; ම. නි. 2 – භද්දාලි සූත්‍රය; කීටාගිරි සූත්‍රය)

දානය පිළිබඳ එක ක්‍රමයක් වූයේ නිවාසවලට වැඩම කිරීමය. සාමාන්‍යයෙන් ගිහියෝ පෙර දවසේ උන්වහන්සේට දානයට නිමන්ත්‍රණය කරති. පසුවදා දානය පිළියෙලකොට උන්වහන්සේ වෙත එළැඹ ඒ බව දැන්වූ කල, උන්වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එහි වැඩම කරති. ඒ පිළිබඳ කදිම විස්තරයක් බෝධිරාජ කුමාර සූත්‍රයෙහි දැක්වේ. උන්වහන්සේ භගු රට වැඩවසද්දී අලුතින් කොකනද නමැති ප්‍රාසාදය තැනූ බෝධිරාජ කුමාරයා පළමුවන වරට සර්වඥයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට ප්‍රාසාදයේ දානයක් දීමට තීරණය කරයි. හෙතෙම සංජිකාපුත්‍ර මානවකට “යහළු සංජිකාපුත්‍ර, භාග්‍යවතුන් කරා යන්න. මාගේ බසින් භාග්‍යවතුන්ගේ පා සඟල සිරසින් වඳින්න. ආරෝග්‍ය බව, නිදුක් බව, කයේ සැහැල්ලු බව, කාය බලය, පහසු විහරණ විමසන්න. “බෝධිරාජ කුමාරයා භාග්‍යවතුන්ගේ පා සඟල සිරසින් වඳී. ආරෝග්‍ය බව, නිදුක් බව, කයේ සැහැල්ලු බව, කාය බලය, පහසු විහරණය විමසයි” කියා. ඉක්බිති මෙසේත් කියන්න.

‘භාග්‍යවතුන් වහන්සේ සෙට බෝධිරාජ කුමරුගේ බත භික්ෂු සංඝයා සමග ඉවසන සේක්වා’ යයි.

සංජිකාපුත්‍ර භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ සතුටු විය යුතු, සිහි කටයුතු කතා කොට නිමවා එකත්පස්ව වාඩි විය. ඉක්බිති බෝධිරාජ කුමරු උගන්වා යැවූ වාක්‍ය එලෙසින්ම කීය. සර්වඥයන් වහන්සේ තුෂ්ණීම් භාවයෙන් ඉවසූහ. (ම.නි. 2 – බෝධිරාජකුමාර සූත්‍රය). ආරාධනයක් පිළිගත් විට තුෂ්ණීම් භාවයෙන් සිටීම සර්වඥයන් වහන්සේගේ ද භික්ෂුන් වහන්සේලාගේ ද චාරිත්‍රය විය. උන්වහන්සේ හැඳ පෙරව පාත්‍රා සිවුරු ගෙන භික්ෂු සංඝයා පිරිවරා වැඩම කරති.

බෝධිරාජ කුමරු උන්වහන්සේ එනතෙක් බිහිදොර කොටුවට වී බලා සිට, පෙරගමන් කොට වැඳ පිළිගෙන උන්වහන්සේ පෙරටුකොට ආවේය. මෙසේ යම් නිවෙසකට වැඩම කර, පැනවූ ආසනයේ වාඩි වූ කල ගෙහිමියා “ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් තුමූම සියතින් බෙදමින් සතපා ලයි. මනාකොට පවරයි.” ඉක්බිති “වළඳා නිම වූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත එක්තරා මිටි ආසනයක් ගෙන එකත්පස්ව වාඩි වෙයි.” එකල්හි තථාගතයන් වහන්සේ දායකයාට සුදුසු දැහැමි කතාවෙන් කරුණු දන්වා සමාදන් කරවා තෙදගන්වා සිත් පහන් කරති. (ම.නි. 2 – අභයරාජකුමාර සූත්‍රය: බෝධිරාජ කුමාර සූත්‍රය; අං. නි. 5 – සීහ සේනාපති සූත්‍රය).

උන්වහන්සේගේ දානය පිළිබඳ තවත් බහුල විධියක් වූයේ නගරයක හෝ ගමක ගෙපිළිවෙළින් පිඬුසිඟා වැඩීමයි. භික්ෂු සංඝයා සමග හෝ හුදෙකලාව වැඩම කළ බව පෙනේ. ඇතැම් අවස්ථාවලදී වෙනත් භික්ෂුන් කැටුව ගිය බවක් නොසඳහන්ය. (එහෙත් පශ්චාත් ශ්‍රමණයන් වහන්සේ නමක් යන්නට ඇත). ඇතැම් විටෙක පිඬු පිණිස හැසිරීමට තවම උදාසන යැයි සලකා, යම් පරිබ්‍රාජකාරාමයකට හෝ එවැනි තැනකට වැඩම කරති. පරිබ්‍රාජකයන් හා සුදුසු කතාවක යෙදී, ඇතැම් විටෙක ගැඹුරු ධර්ම දේශනා කරති.

පිණ්ඩපාතයෙන් පසුව බොහෝ විට වනයක රුකක් මුල දිවා විහරණයේ යෙදීම (පටිසල්ලානය) සර්වඥයන් වහන්සේගේ සිරිත විය. වරෙක ජේතවනාරාමයේ වැඩවිසූ උන්වහන්සේ ආනන්ද හිමියන් සමග දිවා විහරණයට පූර්වාරාමයට වැඩම කළ බව සඳහන් ය. (ම. නි. 1 – අරියපරියේසන සූත්‍රය). බොහෝ විට ඒ සඳහා මහ වනයට වැඩම කළ බව සූත්‍ර රාශියක සඳහන් වේ. මහ වනයේ තරුණ බෙලි ගසක් මුල එසේ වැඩ සිටියහයි. කීප තැනක එයි. (ම. නි. 1 – මධුපිණ්ඩික සූත්‍රය: සං. නි. 3 – පිණ්ඩොල්‍ය සූත්‍රය). වනයට ගොස් තණ පරණලා පත් එකතු කොට ඒ මත පලක් බැඳගෙන සතියෙන් යුක්තව සිටින බව වදාළහ. (නිද: අං. නි. 1 – බ්‍රාහ්මණ වර්ගය).

උන්වහන්සේ පටිසල්ලානයේ වැදගත්කම නිතර වදාළහ. “භික්ෂුණි, කාය විවේකයෙහි යෙදීමට පැමිණෙන්න. කාය විවේකයෙන් යුත් භික්ෂුව යථාභූත ලෙස දැනගනී. කුමක් යථාභූත ලෙස දැනගනීද යත්, ඇස අනිත්‍යය, රූපය අනිත්‍යය, චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය, චක්ඛු ස්පර්ශය අනිත්‍යය, ඉන් ලැබෙන ත්‍රිවිධ වින්දනය අනිත්‍ය යැයි දැනගනී. කන… නාසය… (පංචඉන්ද්‍රියම) භික්ෂුණි, කාය විවේකයෙහි යෙදෙන්න. කාය විවේකයෙන් යුත් භික්ෂුව… යථාභූතව දැනගනියි.” (සං නි. 4 – පටිසල්ලාන සූත්‍රය). ඉන් ගම්‍ය වන්නේ දිවා විහරණයේදීත් සති සම්පඤ්ඤයෙන් යුක්තව භාවනානුයෝගීව සිටි බවයි.

ධර්මයේ ඵාසු විහරණය අතිශයින් අගය කළ උන්වහන්සේ පටිසල්ලාන වශයෙන් විවේකයට – විවේක වාසයට – යෑමෙහි ආනිශංස දෙකක් දුටහ: එකක් දිට්ඨධම්ම සුඛ විහරයයි; තමන් වහන්සේ ලබාගත් සමාධි සුවය, ඵල සුවය මේ ජීවිතයේ දීම ලැබීමයි. දෙවැන්න පශ්චිම ජනතාවට අනුකම්පා පිණිසයි; ශාසනයට ආදර්ශයක් දීමටයි. එය සාර්ථක වූ බව, උන්වහන්සේ ආදර්ශයට ගෙන අන්ධ වනය ආදී වනරොදවල පටිසල්ලානයේ යෙදුණු රහතන් වහන්සේලා සහ රහත් මෙහෙණින් වහන්සේලා ගැන සූත්‍ර මහත් රාශියක සඳහන් වීමෙන් පෙනෙයි.

උන්වහන්සේ ශූන්‍යතා විහරණයෙහි අගය දේශනා කළ කදිම අවස්ථාවක්: කෝසල ජනපදයේ චාරිකාවකදී වේනාගපුර බ්‍රාහ්මණ ගමට වැඩම කළ උන්වහන්සේ දැකීමට බමුණු ගෘහපතියෝ පැමිණියහ. වච්ඡගොත්ත උන්වහන්සේගේ අතිඋතුම් මනහර රූප සෞන්දර්යය වර්ණනා කර, ඉතාම සුඛෝපභෝගී ගෘහ උපකරණ, ආස්තරණ, පලස්, තිර ආදී ගණනාවක්ම සඳහන් කොට, ඒ සුඛෝපභෝගී උච්චාසයන, මහාසයන ගෞතමට රිසි සේ නිදුකින් මහත් සේ ලැබෙනු ඇතැයි කීය.

එකල්හි සර්වඥයන් වහන්සේ ඒවා පැවිද්දන්ට දුර්ලභය, අකැපය යි වදාළහ. ඉක්බිති, “බ්‍රාහ්මණය, මා දැන් රිසි සේ නිදුකින් මහත් සේ ලබන උච්චාසයන, මහාසයන තුනක් ඇත. එනම් දිව්‍ය, බ්‍රහ්ම හා ආර්ය උච්චාසයන, මහාසයනයි.”

“ගෞතමයෙනි, ඒ දිව්‍ය ආසන මොනවාද?”

“මම යම් ගමක් හෝ නියම්ගමක් අසල වසන විට පෙරවරුවේ හැඳ පෙරව, පාත්‍රය ගෙන පිඬු පිණිස ඒ ගමට යමි. පසුබත් කාලයේ පිඬුයෙන් වැළකී වනයටම යමි. තණ පරණලා එකතු කොට පලක් බැඳ කය ඍජුව තබාගෙන සතිය පෙරටු කරගෙන සිටිමි. මම ප්‍රථම ධ්‍යානයට… ද්විතීය ධ්‍යානයට… තෘතීය ධ්‍යානයට… චතුර්ථ ධ්‍යානයට පැමිණ වසමි. මෙසේ හිඳින විට මෙසේ සක්මන් කරන විට ඒ මාගේ දිව්‍ය හිඳීම වේ.”

“ගෞතමයෙනි, ආශ්චර්යයි. බ්‍රහ්ම උච්චාසයන, මහාසයන කවරේද?”

“…මම පෙරවැවේ…. පිඬු පිණිස ඒ ගමට යමි. පසුබත් කාලයේ පිඬුයෙන් වැළකී වනයටම යමි. තණ පරණලා එකතු කොට පලක් බැඳ කය ඍජුව තබාගෙන සතිය පෙරටු කරගෙන සිටිමි. මෛත්‍රී සහගත සිතින්… කරුණා… මුදිතා… උපේක්ෂා සහගත සිතින්… මුළු මහත් ලොව…. මෙත් සිත පතුරුවා වසමි. ඒ මාගේ බ්‍රහ්ම උච්චාසයන, මහාසයන වේ…. පසුබත් කාලයේ…. සතිය පෙරටු කරගෙන සිටිමි. ඒ මම රාගය… ද්වේෂය… මෝහය… මතුයෙහි නූපදනා ලෙස අවසාන කරන ලද්දේ යැයි දනිමි…. ඒ මාගේ ආර්ය උච්චාසයන, මහාසයන වේ.” (අං. නි. 1 – බ්‍රාහ්මණ වර්ගය)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *