ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්
(1981 වසරේ පළ වූ ප්‍රකාශනයකිනි)
තම තමන්ගේ විෂයයන්හි විශේෂඥයන් වන සුප්‍රකට විද්‍යාඥයන් විසිතුන්දෙනකුගෙන් යුත් සම්මන්ත්‍රණයක් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ මෙහෙයවීමෙන් මෑතදී ග්‍රීසියේ ඇතෑන්ස් නගරයේදී පවත්වන ලදී. රටවල් දහඅටකින් තෝරාගන්නා ලද විද්‍යාඥයෝ එහි වූහ. එම විශේෂඥ කණ්ඩායම වෛද්‍යවරුන් ගෙන්, ජනකාණු විද්‍යාඥයන්ගෙන්, මානව විද්‍යාඥයන්ගෙන් සහ සමාජ විද්‍යාඥයන්ගෙන් ද යුක්ත විය. නීතිවේදියෙක්, ඉතිහාසඥයෙක් සහ භාෂා තත්ත්ව විද්‍යාඥයෙක් ඔවුනතරෙහි වූහ. දවස් කිහිපයක් මුළුල්ලෙහි කරන ලද දීර්ඝ සාකච්ඡාවලින් පසුව එළැඹුණු ඒකමතික තීරණය වූයේ මනුෂ්‍ය වර්ගය එකම ජාතියක් බවත් විවිධ ජාතිවලට මනුෂ්‍යයා බෙදා වෙන් කිරීම විද්‍යාත්මක නොවන බවත්ය. මෙම තීරණයම තවත් නොයෙකුත් විද්‍යාඥයන් විසින් විවිධ අවස්ථාවන්හිදී අවධාරණයෙන්ම ප්‍රකාශ කර ඇත.
විද්‍යාඥ ලෝකය මෙම තීරණයට එළැඹීමට අවුරුදු දෙදහස් පන්සියයකට ඉහතදී බුදුන් වහන්සේ විසින් මෙයම ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කර ඇති බැව් පාලි ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල දක්නට තිබේ.
මෙහිදී අප විසින් ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වන්නේ එයින් එක අවස්ථාවක් පමණය. එනම් සූත්‍ර පිටකයේ ඛුද්දක නිකාය නම් ග්‍රන්ථ මාලාවට අයත් සුත්තනිපාත නම් පොතෙහි දැක්වෙන වාසෙට්ඨ සූත්‍රයයි.
ජාතිවාදය පිළිබඳ මතභේදයක් වාසෙට්ඨ නම් බ්‍රාහ්මණ තරුණයාත් ඔහුගේ මිත්‍රයකු වූ භාරද්වාජ නම් බ්‍රාහ්මණ තරුණයාත් අතර ඇති විය. බ්‍රාහ්මණයකු වන්නේ සත්මුතු පරම්පරාව දක්වා පිරිසුදුව පැවැති බ්‍රාහ්මණ ජාතියෙහි ඉපදීමෙන් යැයි භාරද්වාජ තරුණයා පැවසූ අතර, බ්‍රාහ්මණයකු වන්නේ පිරිසුදු පැවැත්මෙන් සහ යහපත් ක්‍රියාවෙන් යැයි වාසෙට්ඨ කියා සිටියේය. ප්‍රශ්නය නිරාකරණය කරගත නොහැකි වූ ඔවුහු බුදුන් වහන්සේ වෙත ගොස් බ්‍රාහ්මණයකු වන්නේ උත්පත්තියෙන් ද එසේ නැතහොත් ක්‍රියාවෙන් දැයි උන්වහන්සේ ගෙන් විචාලෝය. වාසෙට්ඨ සූත්‍රයෙහි ඇතුළත් වන්නේ උන්වහන්සේ විසින් ඊට දෙන ලද විස්තරාත්මක පිළිතුරය. එම සූත්‍රයෙහි පෙළත්, සිංහල අනුවාදයත්, එම සූත්‍රයෙහි පෙළත් සම්පූර්ණයෙන් කියවා ඉගෙනගන්න. එම සූත්‍රය පිළිබඳ අර්ථකථනයක් කිරීම අපේ අදහස නොවේ. එහෙත් එහි පෙනෙන වචනයක් දෙකක් ගැන යමක් මෙහිදී සඳහන් කිරීම අවශ්‍යය.
මනුෂ්‍යයා ඇතුළු සත්ත්වයන්ගේ ජාති භේදය ගැන විස්තර කිරීමෙහිදී ‘ලිංගං ජාතිමයං’ යන වචන නැවත නැවත සඳහන් වෙයි. වර්තමාන ව්‍යවහාරයේදී ‘ලිංග’ යන වචනය සාමාන්‍ය වශයෙන් පාවිච්චි වන්නේ ස්ත්‍රී – පුරුෂ භේදය දැක්වීම සඳහාය. එහෙත් පාලි සහ සංස්කෘත භාෂාවන්හි මෙම වචනය මූලික වශයෙන් ව්‍යවහාර වන්නේ ඊට වඩා පළල් අර්ථයකින්ය. යම්කිසි දෙයක් අනික් දේවල්වලින් වෙන්කර හඳුනාගැනීමට ආධාර වන විශේෂ ලක්ෂණය දැක්වීමටය. එවිට ‘ලිංගං ජාතිමයං’ යන්නෙහි අර්ථය වන්නේ ‘ජාතියෙන් සැදුණු හෙවත් උත්පත්තියෙන්ම හටගත් විශේෂ ලක්ෂණය’ යන්නය. තෘණ පැළෑටිය සහ කොස් ගස යන ගස් ජාති දෙක වෙන්කර දැක්වෙන්නේ උත්පත්තියෙන්ම ඒ දෙවර්ගයෙහි පිහිටි ලිංගයෙන්ය හෙවත් ලක්ෂණයෙන්ය. එමෙන්ම කුඩා සතුන් අතරෙහි පණු ජාතිය සහ පළඟැටි ජාතිය ද සිව්පා සතුන් අතරෙහි කොටි ජාතිය සහ ගව ජාතිය ද උරගයන් අතරෙහි නයා සහ පොළඟා ද මත්ස්‍යයන් අතරෙහි තෝරා සහ මෝරා ද පක්ෂීන් අතරෙහි කපුටා සහ මොනරා ද එකිනෙකින් වෙන්කර දැක්වෙන්නේ උත්පත්තියෙන්ම පිහිටි ලිංගයෙන්ය, හෙවත් විශේෂ ලක්ෂණයෙන්ය. එහෙත් ලෝකයෙහි වාසය කරන මනුෂ්‍ය කොට්ඨාසයන් අතරෙහි උත්පත්තිය නිසා ඇතිවූ ලිංගයක් හෙවත් විශේෂ ලක්ෂණයක් නැත්තේය.
‘යථා එතාසු ජාතීසු – ලිඞගං ජාතිමයං පුථූ
එවං නත්ථි මනුසෙසසු – ලිඞගං ජාතිමයං පුථූ’
(යම් සේ මේ ජාතීන් අතරෙහි ඒ ඒ ජාතිය නිසා ඇති වූ ස්වාභාවික ලක්ෂණ ඇත්තාහු වෙත් ද එලෙසම මනුෂ්‍යයන් අතරෙහි ජාතිය නිසා ඇති වූ විවිධ ස්වාභාවික ලක්ෂණ නැත.)
ලෝකයේ කොතැන සිටියත් මනුෂ්‍යයා එකම ජාතියක් වන්නේ එහෙයින්ය.

