විනය පිටකය හා සෙඛියා ධර්ම

rashi
By rashi
10 Min Read

ආචාර්ය වල්පොල විමලඥාන හිමි

අටළොස් නිකායන් අතරෙන් අඩුම ගණනේ නිකායන් සයක්වත් සතු ස්වාධීන විනය පිටක තිබූ බව දැනට ශේෂ වී තිබෙන විනය සාහිත්‍ය දෙස බැලීමෙන් පෙනී යයි. මේ නොයෙකුත් විනය පිටකයන් අඩංගු කරුණු අතින් තරමක සමානත්වයක් දක්වන නමුදු සාමාන්‍ය සැලැස්ම හා ඒවායේ දැක්වෙන නිදන් කතා ආදියෙන් එකිනෙකට වෙනස් වන්නේය. මින් එක් විනය පිටකයක් ‘පාහියන්හිමිතුමා විසින් පාඨලීපුත්‍ර නගරයේ මහායාන ආරාමයක තිබී සොයාගන්නා ලදුව ක්‍රි.ව. 916දී පමණ චීන බසට නඟන ලදී. මහායානිකයන්ගේම අනුනිකායක් වශයෙන් ගැනෙන ලෝකෝත්තරවාදීන්ගේ ‘මහා වස්තු’ නම් වූ බෞද්ධ සංස්කෘත ග්‍රන්ථයෙහි විනය ප්‍රඥප්තියේ කිසිවක් සඳහන් නොවන බැවින් එය නියම විනය ග්‍රන්ථයක් වශයෙන් නොව, එම නිකාය සතුව තිබූ විනය පිටකයකින් ශේෂ වූ කොටසක් ලෙස සැලකිය යුතුව තිබේ. මහීසාසක විනය පිටකයේ පිටපතක් ද පාහියන් ලංකාවේදී සොයාගන්නා ලදුව එය ක්‍රි.ව. 423දී පමණ ‘බුද්ධජීව’ නමැත්තකු විසින් චීන බසට නඟන ලදී. සර්‍වාස්තිවාදී විනය පිටකයක් ක්‍රි.ව. 404දී පමණ කුමාරජීව හා තවත් කීපදෙනකු විසින් ද ධර්‍මගුප්තික විනය ක්‍රි.ව. 410දී පමණ ‘බුද්ධ යෂශ්’ නම් තැනැත්තාගේ ප්‍රධානත්වයෙන් ද චීන බසට නඟන ලද බව චීන වාර්තාවලින් අනාවරණය වේ. ක්‍රි.ව. 703දී පමණ ‘ඊචිං’ නමැත්තා විසින් චීන බසට නඟන ලද ‘දුල්වා’ නම් ටිබැට් විනය ග්‍රන්ථය ද මූලසර්‍වාස්තිවාදී විනය පිටකයේම අනුවාදයකි.

ඉහත සඳහන් නිකායයන්ට වඩා පරිපූර්ණවූත්, ක්‍රමිකවූත් විනය පිටකයක් ථෙරවාදීන් සතුව ඇත. පාලි විනය පිටකය සර්වාස්තිවාදී ධර්මගුප්තික හා මහීසාසක, විනය පිටකවලට බොහෝදුරට සම වන බව විචාරකයෝ පවසති. ඒවායේ දැක්වෙන ඇතැම් විස්තර හා කතා පුවත්වල යම් විසදෘශතාවයක් වේ නම් එයට හේතුව ඒවා මුඛ පරම්පරාගතව ආ බැවිනැයි ඔවුහු නිගමනය කරති.

මෙම විවිධ නිකායයන්ට අයත් විනය පිටකවල සාම්‍යය පිළිබඳ විමර්ශනයේදී අපට හැඟීයන්නේ මේ සෑම නිකායකටම පොදු වූ ඉපැරණි විනය සාහිත්‍යයක් තිබූ බවය. එය මහා සංඝයා අටළොස් නිකායක් වශයෙන් බෙදීයෑමට පෙර එනම් ක්‍රි.පූ. 4 වැන්නේදී පමණ ව්‍යවහාරයෙහි පැවතුණු බවත් ඒ කාලසීමාවෙහි භික්ෂු සංඝයා එම විනය නීති පද්ධතියෙන් මෙහෙයවනු ලැබූ බවත් පිළිගැනීම සාධාරණ වෙයි. මේ හැර අනෙක් නිකායන් සතු විනය පිටක පාලි විනය පිටකයේ අනුවාදයන් සේ පෙන්වාදීමට සාක්ෂි නැත. මෙම මූලික විනය පිටකය වුවද ක්‍රමයෙන් ගොඩනැඟුණ බව පිළිගත යුතුව තිබේ. එය එසේම හුදු නීති මාලාවක් පමණක් නොව බුදුන්ගේ නියමයන් නැතහොත් පැනවීම ඇතුළත් කතා පුවත්වලින් සමන්විත වුවක් සේ ද සැලකිය යුතුය. අභ්‍යන්තර සාධක අනුව මෙහි ඇතුළත් වූ විනය නීති රාශියක්ම භික්ෂුන් වහන්සේලා ආවාසික නැතහොත් ආරාමික ජීවිතයට පිළිපන් අවස්ථාවේදී පිළියෙල වූ බව පෙනී යයි. ඒවායේ මුඛ්‍ය පරමාර්ථය වූයේ සංඝයා සංවිධානාත්මක සංස්ථාවක් බවට පත් කිරීමයි. එබැවින් ඒවායෙහි පැරණි පැනවීම් මෙන්ම මෑත කාලීන පැනවීම් එයින් හටගැනුණු පරස්පර විරෝධීතාවන් ද විiමානව ඇත. මූලික විනය ප්‍රඥප්තීන්ට පරිබාහිර වූ අතිරේක පැනවීම් හා වෛකල්පික නීති රීති ද මෙහි ඇතුළත් වී ඇත්තේ එහෙයිනි. එබැවින් විනය පිටකාගත පැනවීම් භික්ෂුන් වහන්සේලා සංචාරක ජීවිතයෙන් ආරාමික ජීවිතයට සංක්‍රමණය වූ අවස්ථාව දක්වා වරින්වර පිළියෙල වූ ඒවා බවත් ඉන්පසුව භික්ෂු ජීවිතයේ අවශ්‍යතාවන් අනුව ප්‍රතිසංස්ශෝධනය වූ ඒවා බවත් පැහැදිලිව පෙනේ. මෙපරිද්දෙන් එක් වූ විනය නීති සියල්ලම යම්කිසි අවස්ථාවකදී එක් රැස් කර යම් කිසි ආකෘතියකට අනුව සකස් කොට නීති මාලාවක් වශයෙන් පමණක් නොව ශාස්තෘන් විසින්ම කරන ලද දේශනාවක් වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ දේශනාපාලිය ආරක්ෂා කරගෙන ආ භික්ෂු පරම්පරාව විසින් යැයි අපරදිග විචාරකයෝ පවසති.

භික්ෂු – භික්ෂුණි දෙපිරිසෙහි කාය – වාග් සංචාරය පදනම්කොට ගොඩනැඟුණ විනය, ධර්මය වර්ගීකරණය කළ සංගීතිකාරකයෝ වෙනම ම පිටකයක් වශයෙන් බෙදා දැක්වූහ. විනය යන්නට අටුවා සපයන බුදුගොස් මාහිමියෝ විවිධවූත් විශේෂවූත් න්‍යායන් මගින් ශ්‍රාවකයන්ගේ කාය – වාග් සංවරය ඇති කරන බැවින් එයට විනය යැයි වහරණ බව සඳහන් කරති.

විනය පිටකයෙහි විෂය භික්ෂු – භික්ෂුණී සංඝයාම බව අප විසින් සලකා ගත යුතුය. බෞද්ධ සංඝයා පිළිබඳ ව්‍යවස්ථා, භික්ෂු – භික්ෂුණීන් පිළිබඳ කටයුතු, දේශනා නියම, වස් විසීම පිළිබඳ නියම, සිව් පස පිළිබඳ නියම, සංඝයාගේ පැවැත්ම පිළිබඳ නියම, සංඝ සාමග්‍රීය ගොඩනැඟීම පිළිබඳ නියම ආදී කරුණු සමුදායක් විනය පිටකයෙහි අන්තර්ගතය වී තිබේ.

බුද්ධත්වයෙන් ගෙවී ගිය පළමු දශක දෙක තුළ විනය ප්‍රඥාප්ති පැනවීමක් සිදු වූ බවක් නොපෙනේ. එයට හේතු වන්නට ඇත්තේ ආරම්භයේ දී සසුන්වන් මහ පිරිස සැදෑහැයෙන්ම සසුන්වන් අයවීමත් බුදුන් වහන්සේගේ අසමසම චරිතාපදානය උන්වහන්සේලාට හික්මීම සඳහා හොඳටම ප්‍රමාණවත් වීමත් ය.

ප්‍රාති මෝක්ෂයෙහි දක්නා 227ක් පමණ කුඩා – අනුකුඩා සික පද සමූහය විනය පිටකය පුරා විස්තර වෙයි. ප්‍රාතිමෝක්ෂය පසුබිම්කොට ගොඩනැඟුණ – විනය පිටකය ග්‍රන්ථ පහකින් සමන්විතය. එයින් පළමුවැන්න වූ භික්ෂු විභංගය අනෙක් ග්‍රන්ථ 4ටම වඩා වැදගත් වෙයි. එහි 227ක් පමණ වූ ශික්ෂා පද පමණක් නොව, ඒවාට කරන ලද පැරණි අටුවා කථනවලින් හා එකී ශික්ෂා පදවල උචිත හා ඒවා බලපාන, බලනොපාන අවස්ථා පැහැදිලි කරන නිදාන කතාදියෙන් ද සමන්විතය. ප්‍රාතිමෝක්ෂ ශික්ෂා පදවලට අතිරේකව පැනවුණ විනය නීති ආදිය මහාවංශය හා චුල්ලවග්ග වැනි ග්‍රන්ථයන්හි අන්තර්ගතය පරිවාර නම් වූ විනය පිටකයෙහි අවසාන ග්‍රන්ථය ඉහත කී පොත්වල පරිශිෂ්ටය වශයෙන් සැකසුණ පොතක් ලෙස ගැනීම උචිතය.

සෙඛියා ධර්‍ම

භික්ෂුන් වහන්සේලා ආචාරශීලි මෙන්ම ආදර්ශවත් දිවිමඟකට යොමුකිරීමේ අපේක්ෂාව මුලකොට සෙඛියා ධර්‍ම ගොඩනඟා තිබෙනු පෙනෙයි. සෙඛියා දහම්වල එන බොහෝ කරුණු උතුම් පුරුෂාර්ථ රැගත් ජන සමාජයක්

ගොඩනැඟීමෙහි ලා කාල දේශ විනිර්මුත්තව එකසේ ප්‍රයෝජනයට ගත හැකි සනාතනික අගයකින් යුත් ඉගැන්වීම් සමුදායකි. මේවා එකක් එකක් කඩා විභාග කොට බැලීමේදී පෙනී යන්නේ එම ඉගැන්වීම් මගින් භික්ෂු ජීවිතය ක්‍රමිකව හා සංවිධානාත්මකව ගොඩනැඟීම සඳහා දැඩි අවධානයක් යොමු කොට ඇති බවයි.

ථෙරවාදී විනය පිටකයට අයත් සෙඛියා ධර්‍ම වර්‍ග හතකට බෙදා දක්වා තිබේ.

  1. හැඳීම් පෙරවීම් මුල්කොට කෙරෙන විස්තර ඇතුළත් පරිමණ්ඩල වග්ගය
  2. කායවාග් සංවරය මුල් කොට ගත් උජත්‍ථග්ගික වග්ගය
  3. ඇතුළුගම පිඬුසිඟායෑම මුල්කොට ගත් ඛම්හකත වග්ගය
  4. පිණ්ඩපාත පරිභෝජනය මුල් කොට ගත් සක්කච්ච වග්ගය
  5. ආහාර අනුභවය මුල්කොට ගත් කබල වග්ගය
  6. ආහාර අනුභවය හා ආගම් දෙසිය යුතු, නොදෙසිය යුතු පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇතුළත් සුරු සුරු වග්ගය
  7. ආගම් නොදෙසිය යුතු පුද්ගලයන් හා අවස්ථා මෙන්ම පරිසරය රැකගත යුතු අයුරු විස්තර කෙරෙන පාදුකා වග්ගය

භික්ෂු සමාජය ගොඩනැඟූ බුදුන් වහන්සේ සමකාලීන බ්‍රාහ්මණ සමාජය තුළ බලපෑ විවිධ දුර්වලතාවලින් භික්ෂුන් වහන්සේලා මුදා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකොට තිබෙන බව සෙඛියා දහම්වලින් කැපීපෙනෙයි.

හැඳීම්, පෙරවීම්, යාම් ඊම් හා කෑම් බීම් පිළිබඳ දෛනික ක්‍රියාවලියේ සංවිධික සැලැස්මක් මෙම සෙඛියා ධර්‍මවලින් අපේක්ෂිතය. වර්‍ග 7කට පමණ බෙදා දක්වා ඇති මෙම සෙඛියා ධර්‍මවලින් පිළිවෙළින් 56ක් පමණ අන්තර්ගතය. ඉහත කී ආචාර සමාචාර සඳහා වෙන්ව ඇති අතර අවශේෂ සෙඛියා ධර්‍ම කරුණු මුල්කොට පවතින බවක් පෙනෙයි. පරිසරය හා මිනිසා අතර පවතින සනාතනික සම්බන්ධය පිළිබඳව ගැඹුරින් සැලකූ මහ තෙරුන් වහන්සේලා තමා අවට පරිසරය සුහදශීලිව රැකගැනීම සඳහා මහෝපකාරි වන සදුපදේශ කිහිපයක් ද එයට එක් කළහ.

සැරියුත් හිමියන් වේරංජාවේදී විනය නීති පනවන ලෙස බුදුන් වහන්සේට ඇරයුම් කළ කල්හි සසුන ද කාලයත් සමග වෙනස්වීම්වලට භාජනය වන්නක් බව, බුදුන්වහන්සේ විස්තර කරති. විනය නීති පනවා පාමොක් උදෙසීමට නියම කළ ශාස්තෘවරයන්ගේ සසුන් බොහෝ කල් පැවති බවද මෙහිදී උන්වහන්සේ තවදුරටත් අවධාරණය කරති. කාලයත් සමග සසුනෙහි ඇතිවන විවිධ නොසන්සුන්තාවයන් පාලනය කරගැනීම අනිවාර්යයෙන්ම කළ යුක්තක් බවද බුදුන් වහන්සේ නිතර සඳහන් කොට තිබේ.

  1. රත්තඤඤු මහත්තතා
  2. වෙපුල්ල මහත්තතා
  3. ලාභග්ග මහත්තතා
  4. බාහුසච්ච මහත්තතා

යනුවෙන් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා අතරේ පැනනඟින දුර්වලතා වර්ගීකරණය කළහ. පාරජිකා පාලියෙහි වේරඤ්ජ ඛන්‍ධකයෙහි එන මේ අදහස මජ්ඣිම නිකාය, මජ්ඣිම පණ්ණාසක භද්දාලි සූත්‍රයෙන් ද අවධාරණය කෙරෙයි.

භික්ෂු සමාජය තුළ ඉහත කී විවිධ හේතු මත පහළ වූ දුර්විනිත සිදුවීම් අකාමකා එය සුපිරිසිදුව රැකගැනීම වස් සුපිළිපන් මහ තෙරවරු විවිධ ශික්‍ෂාපද ඒකරාශී කරමින් දිගු කලක් තිස්සේ මේ සෙඛියා ධර්‍ම ගොඩනැඟුවා විය හැකියි. ක්‍රමිකව හැඳ පෙරව සිටීමත්, අනුනට පිළිකුල් නූපදනවන සේ ආහාර පාන ගැනීමත් කවර දා කවර සමාජයක වුව උසස් කොට සලකනු නොඅනුමානය. මේ අදහස අගය කළ මහ තෙරවරු සෙඛියා ධර්‍ම මගින් ඒවා ස්ථාපිත කළහ. සංස්ථාවක් වශයෙන් ශාසනය බොහෝ කල් සුරක්ෂිත කිරීම සඳහා අභ්‍යන්තර මෙන්ම බාහිර ආකල්ප ද එකසේ සංවර්ධිත විය යුතු බව ඇදහූ බුදුන් වහන්සේ පැවිද්ද සඳහා පුද්ගලයන් තෝරා බේරා ගැනීමේදී ද එම අදහස නීතිරීති මගින්ම තහවුරු කළහ.

භික්ෂුන්ගේ යාම් ඊම් ආදිය හා සිහිඑළවා ගතයුතු කරුණු ස්වල්පයක් අන්තර්ගත සෙඛියා ධර්‍ම ශික්‍ෂාපද වශයෙන් එතරම් වැදගත්කමක් නොදක්වයි. මේ නිසා සෙඛියා ධර්‍ම මුල් යුගයේදී ශික්‍ෂාපද වශයෙන් පිළිනොගත් අතර මේවා ප්‍රාතිමෝක්‍ෂය ගොඩනැඟූ භික්ෂුන් එයට ඇතුළත් කරන්නට ඇතුවා විය හැකියි. නිකායාන්තරිකයන් අතර වුවද වඩාලාත්ම මතභේද දැකිය හැක්කේ සෙඛියා ධර්‍ම පිළිබඳවය. මේවා පශ්චාත්කාලීන සංග්‍රහ වශයෙන් පිළිගැනීමට මෙය ද බලවත් සාධකයක් වෙයි. පඨම සංගීතියෙහි ද මේ සෙඛියා පිළිබඳ කිසිවක් සඳහන් නොවේ.

බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 250කට පමණ පසුව සෙඛියා ධර්‍ම චීනයට එකතු වූ බව ඇතමුන්ගේ මතයයි. සංඛ්‍යා වශයෙන් මෙන්ම අර්‍ථ හා ශික්ෂාපද වශයෙන් ද ඒවායේ වෙනස්කම් දක්නා නමුදු සියලුම නිකායික ප්‍රාතිමෝක්ෂයෙන්හි ඒවා අන්තර්ගතව පවතී. මේ සියලු සෙඛියා ධර්‍ම ඡබ්බග්හිය භික්ෂුන් අරමුණුකොට දේශනා කිරීමත් සැවැත්නුවරදීම සියල්ල දේශනාකිරීමත් විශේෂත්වයක් ගනී. ක්‍රි.පූ. 7 වෙනි ශතකයට අයත්සේ සැලකෙන ගෞතම ආපස්තම්හ බ්‍රාහ්මණ සූත්‍රයන්හි ද සෙඛියා ධර්‍මයන්ට සමාන ශික්ෂාපද රාශියක් දක්නා ලැබෙන බව විචාරකයෝ පෙන්වා දෙති.

සෙඛියා ප්‍රඥප්තින්හි දක්නා තවද විශේෂත්වයක් නම් අනෙක් ආපත්තීන් පැනවීමේදී මෙන් සෙඛියාවක් කඩකළ පුද්ගලයා අසවල් ඇවතට පැමිණෙතැයි සඳහන් නොවීමයි. අටුවාවෙහි සඳහන් වන්නේ සෙඛියා කඩකරන්නාට දුක්කටාපත්ති වන බවයි. එහෙත් ඒ බවක් ප්‍රඥප්තියෙහි නොදැක්වේ. සෑම සෙඛියාවක්ම අවසන් වනුයේ “සික්ඛා කරණීයා” යනුවෙනි. මෙසේ ප්‍රකාශ වීමට හේතුව සෙඛියාවන්ගෙන් චාරිත්‍රයක්ම ප්‍රකාශ වීම බව අටුවාව සඳහන් කරයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *