කැණිමඬල බින්දොත් හරි හපනා

rashi
By rashi
7 Min Read

ගුණතිලක මැටියගනේ

අපේ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයේ අසිරිමත් සුරුවිරුකම් පෙන්වන විස්මකුරු කලා නිර්මාණයක් නම් කැණිමඬලයි. කැණිමඬලක් සහිත සුවිශේෂ ගෘහයක් නිමැවීම ලේසි පාසු බාසුන්නැහේ කෙනකුට කළ නොහැකි කර්මාන්තයක්. ඇයි එහෙම කියන්නේ? සතර දිසාවට දිවෙන පරාල සමූහයක් වහල මුදුනින්, කුරුපා නැතිව, එකට සම්බන්ධ කොට සවි ශක්තිය රඳවා ගැනීම හස්තසාර නිපුණත්වයෙන් ගණිතමය සූත්‍රයක් පදනම් කොට ගත්තක් වීම, වහලයේ බර සියලු පරාලවලට සම සේ බෙදී යන පරිදි කැණිමඬලේ තව් විද ගත යුතු වීමයි එහි රහස.

ගොන් බඳින කරත්තයක බොස්ගෙඩිය නම් දැව උපාංගයෙහි තව් විදීමත් එවැනි සූක්ෂ්ම ගණිතමය හරි හපන්කමක්.

බොස්ගෙඩියට සම්බන්ධ කෙරෙන ගරාදිවලට රෝදයේ බර සමානව බෙදී යන අයුරින් එහි සිදුරු සලකුණු කැර ගත යුතු වෙනවා. අපේ තාත්තාත් සිග්සැග් ක්‍රමයට එලෙස තව් විද ගැනීම පිළිබඳ දක්ෂ වඩුවෙක්.

එංගලන්තයේ සුදු මුතුන්මිත්තන් ඉහට හෙවණක් ගොඩනඟා ගන්න දැනුමක් හැකියාවක් නොමැතිව ගස් ගල් බෙනවල ලගින සමයේ තමයි අපේ රටේ කලා ශිල්පීන් අභයගිරිය, රුවන්වැලි මහ සෑය වැනි විස්මිත ගණිත කෝණමානවලට සරිලන මහා නිර්මාණ ගොඩනැංවූයේ. ඒවා ඝණ්ටාකාර, ඝටාකාර, ධාන්‍යාගාර, පද්මාකාර ආදී අලංකාර විස්මෘත හැඩතලවලින් සමන්විත වුණා.

බොහෝ විට පන්සලක දේවාලයක වැනි අසමාන ගෘහයක තමයි කැණිමඬල යොදාගෙන වහල තැනෙන්නේ. අද අපට අංග පරිපූර්ණ කැණිමඬලක් සහිත වහලක් දැකගත හැකි වන්නේ, සුපතල ඇම්බැක්කේ දේවාලයේදී.

අපේ බුදුපියාණන් වහන්සේත්, මේ අසමසම කලා නිමැවුම උපමාවකට රැගෙන කූට සූත්‍රය නමින් සූත්‍ර නිකායේ ඕපම්ම සංයුක්තයෙහි සංග්‍රහ වෙන ඉතා කෙටි ධර්මානුශාසනාවක් අපට කියා දෙනවා. මෙය සැවැත් නුවරදී කළ දේශනාවක්. බණවර ඉතා කෙටි වුවත් අපට මේ සසර බන්ධනයෙන් ගැලැවී ගතහැකි ක්‍රමෝපාය උන්වහන්සේ අපට උගන්වන සේක්.

එතකොට ඒ වහලයේ යම්තාක් පරාල සංඛ්‍යාවක් ඇත්නම් ඒ සියල්ලක්ම මුදුනට සවිවෙලා ඇත්තේ ඒ කැණිමඬලට කූට නම් වන මුදුන යන අර්ථයෙන්. මතකනෙ බුද්ධ කාලෙ කූටාගාර ශාලාව එහෙම. සිදුහත් තවුසාණන් තුන්ලෝකාග්‍ර බුද්ධ ඥානය උදාපත් කැරගෙන සතුට වැඩිකමට පළ කළ උදාන වාක්‍යයෙත් සටහන් වෙනවානෙ, ‘ගහකූටං විසංඛිතං.’ (ඔන්න මම ඒ කැණිමඬල කඩා බිඳ සුණු විසුණු කළා’ ය කියල.)

කැණිමඬල නැසුණොත් සියලු පරාල එකින් එක බිඳවැටෙනවා. ‘අන්න ඒ වගේ මහණෙනි, සත්ත්වයා තුළ යම්තාක් ගැටගැසුණු අකුසල් මුල් වේ නම් ඒ සියල්ල මුදුන් වී ඇත්තේ අවිද්‍යාවට. (කැණිමඬලට) අවිද්‍යාව දුරු වූවා නම් අන් සියලු අකුසලුත් සුන්.’

කුමක්ද මේ අවිද්‍යාව යනු? එනම් චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ඇති ‘නොදන්නාකම’ යි. ‘දුක’ නම් වූ පරම සත්‍යය කුමක්ද? ඊට හේතු සාධක වන පරම සත්‍යයන් මොනවා ද? දුකෙන් තොර වූ සදාකාලික පරමාර්ථ සත්‍යයක් ඇති ද? තිබේ නම් එය සාක්ෂාත් කැර ගත හැකි නිරාමිස පරම සත්‍ය ප්‍රතිපදාවන් මොනවා ද?

‘දුකෙඛ පතිට්ඨිතො ලොකෙ’ (ලෝකය දුක මත පිහිටා ඇත්තේය) එවිට ලෝකය නම් වන්නේ? එනම් සතර මහා

ධාතූන්ගෙන් සැදුම්ලත් ගත නම් වන ස්කන්ධය තුළ පහළවන පංච උපාදානක්ඛන්ධයයි. අශ්‍රැතවත් පෘථග්ජනයන් වන අපි සැප යැයි සිතමින් මුවා නදී දිය සොයමින් වෙහෙසවන්නාක් මෙන් දුකෙහිම ගැලී හිට මියයනවා.

අවිද්‍යාවෙන් පෙඟුණු සත්ත්වයා සැබෑ සසර දුක දැක හඳුනා නොගෙන පසිඳුරන්ට ගෝචර වන දේ ඇත්තක් යැයි සිතා ඒ පසුපස නොනවතින ධාවනයක. ඒත් බුදු වදන නම් ‘යදනිච්චං තං දුක්ඛං’ යනුවෙනුයි (අනිත්‍ය වූ යමක් වේ ද එය දුකම ළඟාකැර ගෙන දෙයි.) එසේ ක්ෂණයක් තුළ ඇතිවී නැතිවී යන සියල්ල ඇතුළේ පවතින දෙයක් හඹා යෑමේ නිරන්තර අරගලයකටයි ජීවිතය කියන්නේ. යමක් සදාකාලිකව තබා එක් ක්ෂණයක්වත් ස්ථිරව නොපැවතීමයි දුක. ඒ සංකත ධර්ම පොල්මඃකාර අයිතියට සින්න කර ගන්න උත්සාහ දරනවා.

මෙහෙව් අඳබාල තලයක සිටින තරුණ පරපුරට ගී සින්දු හදන උන්නැහැලා දෙන ආදුරුසය බලන්නකො, ‘ලියාගන්න සින්කක්කර දෙනවද මට ඔය ඇස් දෙක…//’ එහෙම සිංදුවලට ‘වහවැටී’ මෝහනයට පත් හාදයෙක්නෙ පෙර දවසක සුභා තෙරණියගෙ ඇස් දෙක වර්ණනා කර කර පෙරැත්ත කරන වෙලාවෙ, ඒ මෑණියො ‘ඉඳා! උඹට එච්චර වටින මේ ඇස්ගෙඩි අරගෙන පලයන්! ය’ කියා ඒවා ගලවා ඔහුට පිරිනමන්නෙ. හොඳින් හෝ නරකින් හෝ දිනාගත් දේට තද ඇල්මකින් බැඳෙනවානෙ. එතැනයි උපාදාන කර ගැනීම. අන්න තණ්හාව නමැති වෙඩි නූලට ගිනි දැල්වෙන වෙලාව.

උදේන සූත්‍රයෙනුත් තෝරා බේරා දෙන්නෙ ඒ උපාදාන වස්තුන් රැක පරෙස්සම් කරන්න පංච දුශ්චරිතයෙහි යෙදෙන ආකාරය. ඒ විදියට ලෝකය සදාකාලිකයි සිතා අඳභාවයට පත් මිනිසා අතින් මොන පාපතර ක්‍රියාවද නොකෙරෙන්නෙ?

මහ මුගලන් තෙරුන් ද පෙර භවයකදී තම ඇඹේණිය කියන පැණිහැළිය උපාදාන කැරගෙන ඈගේ ගතු කීම්බස් අසා රැවටී තම අඳ මහලු මාපිය දෙපළ රවටා වනයට ගෙනගොස් මැරෙන තුරු තළා පොඩි කොට දමා ආනන්තරිය පාප කර්මයට කරගහන්නෙ.

අනවතග්ග සූත්‍රයෙනුත් විග්‍රහ වෙන්නෙ අවිද්‍යාවෙන් අන්ධ වූ සත්ත්වයා තණ්හාවෙන් සසරට බැඳෙන හැටි! මේ ලෝකය නම් නොඅල්ලන්න මයි සුදුසු, කලකිරෙන්නමයි සුදුසු, ඈත්කොට තබන්නමයි සුදුසු, (අලං විරජ්ජිතො) වශයෙන්,

අපේ ලෝකයේ මහාමේරුව සේ විරාජමාන වන අවිද්‍යාවට පහර එල්ල කරන්න නම් ඊට උඩගෙඩි දෙන ප්‍රත්‍ය (ආහාර) හඳුනාගෙන ඒවා නැති කළ යුතුයි. අවිද්‍යාව පෝෂණය කෙරෙන ඒ පළමු ආහාර කාණ්ඩය නම් පංච නීවරණ ධර්මයි. ඒවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ඡ, ථීනමිද්ධ, විචිකිච්ඡා නමින් මාරයා විසින් පේටන්ට් අයිතිය ලියා ගත්තුවා.

මේ පංච නීවරණ ධර්ම තවදුරටත් විද්‍යාගාරයකදී විච්ඡේදනයට ලක් කරන කොට හමුවෙනවා ඊට මුල්වන ආකාරය ත්‍රිවිධ දුෂ්චරිතය බව. එනම් සිතින්, කයින්, වචනයෙන් කර්ම බවට පත්වන චේතනා, දුසිරිත්. මේ දුසිරිත්වලට ගොදුරු වන්නා වූ අරමුණුවල ඇලීම සහ බැඳීම. ඒ නොපනත් පාපකර්මවලට උඩගෙඩි දී උසිගන්වන්නේ ඉන්ද්‍රිය අසංවරයයි. අප ළඟ සිටින මේ පස්දෙනාට නාස් ලණු දාල ‘ඔහාට නෙමේ අපට ඕනෑ දිහාව යමන්’ කියා මෙල්ල කරගන්නා හැටි තමයි බුද්ධෝපදේශවල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නෙ. අමාරුවෙන් නමුත් කරගත්තොත් වැඩේ ගොඩ!

ඉන්ද්‍රිය අසංවරය චණ්ඩි පාට් දමන්නේ අශ්‍රද්ධාවේ බලමහිමයෙන් නාලාගිරියා වගේ පිඹගෙන ආවට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන කෙරෙහි අවබෝධයෙන් යුතුව පැහැදිලා හිට දහම් ප්‍රතිපදාවේ එඩිතරව නියැළේ නම් ඒ කෙනා ළඟ අශ්‍රද්ධාවත් දණ නමනවා. අශ්‍රද්ධාව පසුපසින් එන සහකාර මාර පුත්‍රයා නම් අයෝනිසෝ මනසිකාරයයි. ඒ ඒ මොහොතේ සිතට ගලා එන සිතිවිලි අස්සෙ රාග, දෝෂ, මෝහ චණ්ඩි පාතාලයන් සැඟව සිටිත්දැයි දැඩි විමසිල්ලෙන් යුතුව එළැඹ සිටි සිහියෙන් බෙද බෙදා බැලීමෙන්, අඳුරු සිතිවිල්ලක් ගිනි ගන්නා වහාම ඊට යෝනිසෝ මනසිකාරය නමැති දියපහර අල්ලා මැඬලිය යුතුයි.

අයෝනිසෝ මනසිකාරය දලු දමා පල හටගන්නෙත් අසද්ධම්ම ශ්‍රවණය හේතුකොටගෙනයි. ‘හෙටයි කියා දවසක් නෑ, අපේ ජීවිතේ, කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා, කර්ම පල විපාක නැත. පින් පව් කියා දෙයක් නැත. කඩුවක් අරගෙන මිනිසකු කපා දැමුවොත් වෙන්නෙ සතර මහා ධාතූන් අස්සෙන් තවත් සතර මහා ධාතුවක් ගියා පමණයි. මව පියා කියා විශේෂ සැලකීමක් අවශ්‍ය නෑ, මන්ද ඒ දෙන්නා තම සතුට පිනවා ගන්න කළ හැසිරීමේදී හටගත් අතුරු ඵල තමයි (by production) දරුවො කියන්නෙ. ඉතින් ඒ වගේ උල්පන්දම් අහන්ට ලැබෙන්නෙ අසත්පුරුෂ සේවනයේදිනෙ. එහෙනං අසත්පුරුෂ සේවනයෙන් අතමිදෙන්න නොහැකි ද? ඇයි බැරි? ලේසියි. මෙන්න මෙතැනයි ඔබට සත්පුරුෂ සංසේවනය යන ජය භූමියෙ ඉන්ද්‍රඛීලය පිහිටුවා ගත යුත්තෙ. එහි සිට ආපසු හැරී අවිද්‍යාව නමැති ඉලක්කය කේන්ද්‍ර කොටගෙන ඒ ඒ කටු කොහොල් ඉවත් කරගෙන ගිහින් කැණිමඬල සුනු විසුනු කළොත් සියලු බුදුවරුන් සාදුකාර දෙන්නේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *