කවර කරදර බාධකවලට මුහුණපෑවත් දහම් මගින් බැහැර නොවන්නට අදිටන් කරමි

cmadurawala
6 Min Read

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමි

අශ්‍රැතවත් පෘථග්ජන ලෝකයා ප්‍රිය අරමුණුවල බැඳීමත් අකැමැති අරමුණුවල ගැටීමත් සමගින් ජීවිත පවත්වති. දිගු සසර ගමනෙහි සත්ත්වයෝ ලෝබයෙන්, ද්වේෂයෙන් සහ මෝහයෙන් සිත් කිලිටි කරගත්තෝය. මේ නිසා මනුෂ්‍ය ජීවිත ලැබුව ද ඇලීම සහ ගැටීම සසරෙහි පුරුදු පරිදිම සිදුවෙයි. පටිසන්ධි විඤ්ඤාණය පහළ වී භවාංගයට වැටෙන අවස්ථාව පිරිසිදුය. එනමුත් අභාවිත සිත විසින් බාහිර අරමුණු මුල්කොටගෙන මෙම ලෝබ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් වඩාගනී. සසරෙහි පටන් භාවිත සිත් ඇති අය පෘථග්ජන භවෙහි පිහිටියත් ලෝබාදී කෙලෙස් නිසා සිත් කිලිටි නොකොටගෙන කුසල චිත්තයම, අලෝබ, අදෝෂ, අමෝහ මුල්කොට ගත් සිත් උපදවා ගන්නටත්, දියුණු කර ගන්නටත් හැකියාව ලබති. භාවිත සිත් නම්, හේතූන් ප්‍රත්‍ය කරගෙන හටගන්නා වූ සවිඤ්ඤාණක අවිඤ්ඤාණ වස්තූන් (සංඛත) ඒ හේතු ප්‍රත්‍යයන්ගේම විසිර යෑමෙන් නැතිව යති. එනම් උප්පාද, ථිති, භංග අවස්ථාවන් වටහා ගැනීමයි. මේ නිසා සම්මුති හෙවත් ව්‍යවහාර අර්ථයෙන් මේ සංඛත ධර්මයන් ඇසුරු කළත් පරමාර්ථ සත්‍ය තේරුම් ගෙන සිත් උපාදාන හෙවත් අරමුණු…. මම ය, මාගේ ය නම් වූ දෘෂ්ටියෙන් දැඩිව නොගනී. ඒ භාවිත සිත්වල ස්වභාවයයි.

බොහෝ පිරිසකට දහම් මඟ පිළිබඳ යම් වූද නිවැරදි දැනුමක් පැවතිය ද භාවිත, බහුලීකත බව නොමැතිවීම නිසා ඉහත සඳහන් කළ ආකාරයෙන්ම ඇලෙති. බැඳෙති. ගැටෙති. දැනුවත්ව හෝ නොදැනුවත්වම පාපයෙහි නියුක්ත වෙති. අනන්ත අප්‍රමාණ කාලයක් පුරා කෙළවරක් දකින්නට නැති අගක් මුලක් නොපෙනෙන සසරෙහි බොහෝ දුක්විඳ අපහසුවෙන් ලද මේ මනුෂ්‍ය ජීවිතයෙන් උතුම්ම ප්‍රයෝජනය ලැබීමට නම් අකුසල් බැහැර කොට කුසල් සිත් පවත්වා ගැනීමේ හැකියාව අපට තිබිය යුතු වන්නේමය. ආර්ථික, සාමාජික ප්‍රශ්නවලට මෙන්ම, ජීවිත පවත්වා ගැනීමේදී ඇතිවන ගැටලුවලට ද විසඳුම් සොයාගත යුතු වන්නේය. ඉගෙනීම, රැකියා, විවාහ, දූ දරු, ලෙඩ දුක්, සමාජ යුතුකම් ආදී ලෙසින් මේ ජීවිත ගමනේ මුහුණ දිය යුතු අවස්ථාවන්ය. ගැටලුය. ප්‍රශ්නයන්ය. එනමුත්, කෙටි ජීවිතයක පවත්නා වූ මේවා නිසා අමාරුවෙන් ලද දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය සතර අපා මඟට දමාගත යුතු නොවන්නේය.

භාග්‍යවතුන් වහන්සේ විසින් විතක්ක සණ්ඨාන සූත්‍රයේදී වදාළ දහම් කරුණු කීපයක් කෙරේ අපි සිත් යොමු කරමු. යම් කරුණක් මුල්කොට ගෙන ලෝබ, ද්වේෂ, මෝහ නම් වූ අකුසල් සිතුවිලි උපදින විට, එම අවස්ථාවේදී ලෝබාදී අකුසල්වලට හේතු වූ අරමුණුවලින් සිත බැහැර කොට අලෝබ, අදෝෂ, අමෝහ නම් වූ කුසල අරමුණකට සිත යොමුකර ගැනීමයි. එවිට සිත තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. කුඩා ඇණයකින් ලොකු ඇණයක් ගලවා දමනවා වගේ යහපත් සිතුවිලිවලින් අයහපත් වූ සිතුවිලි වළක්වා ගැනීමට හැකියාවක් ලබයි. පාපී සිතුවිලි සිතට නැඟී එන විට පින් සිතුවිලි සිතට නැඟ ගැනීම මින් අදහස් කෙරේ. විදර්ශනා මඟේදී චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස කුසල චිත්තයම පිහිටුවා ගැනීමයි.

තවදුරටත් රාගය, කාම සිතුවිලි, තරහව, වෛරය, පළිගැනීම, මමය, මාගේය ලෙස උපදින දැඩි දෘෂ්ටීන් හටගන්නා විට එම අකුසල, පාපී සිතුවිලිවල බියකරු බව, ආදීනවයන්, විඳින්නට සිදුවන නරක විපාක නැවත නැවතත් සිහිකොට එමගින් බැහැර කරගන්නේ වෙයි. මෙහිදී අස්සාද, ආදීනව, නිස්සරණ නම් වූ අවස්ථාවන් සිහිපත් කළ හැකියි. මෙම ක්‍රියාවලිය උපමාවකින් දැක්වුවොත් මේ ලෙසිනුයි. ප්‍රසන්නව සැරසී සිටින අයකුගේ බෙල්ලට සර්ප කුණක් හෝ සුනඛ කුණක් හෝ මිනිස් කුණක් හෝ වැටුණොත් පිළිකුල් කොට, ලැජ්ජාවෙලා, අකැමැත්තෙන් ඉවත් කරන්නේය. ඒ ආකාරයෙන්ම පාපයට, අකුසලයට බියක්, ලැජ්ජාවක් ඇතිකොට ගෙන සිත ලෝබාදී අකුසලයන්ගෙන් වළක්වා ගත යුත්තේය. සිතේ තැන්පත් බව, එකඟ බව, සමාධිගත බව රැකගත යුතු වෙයි.

තවදුරටත් ඇස, කන ආදී ඉඳුරන් ඔස්සේ ලෝබාදී අකුසල සිතුවිලි ගලාගෙන එන විට ඒවා සිහිනොකරන්නට, මෙනෙහි නොකරන්නට උපදෙස් දෙයි. මේ සඳහා පතිරූප දේසය, යහපත් පරිසරය, කල්‍යාණමිත්‍ර සම්පත්තිය උපකාරී වෙයි. තමාට දකින්නට, අසන්නට ලැබෙන්නේ යහපත් වූ දේවල් නම් සිතෙහි මතුවන පාපී අකුසල සිතුවිලි බැහැරවීමට උපකාරී වෙයි. මෙය උපමාවකින් දක්වන්නේ නම් අකැමැති කෙනෙක් දෙස නොබලනවා හෝ අකැමැති දෙයක් නොබලනවා වැනිය. මින් අදහස් කරන්නේ දැඩි ආශාව, තරහව, මුළාව වැනි සිතුවිලි සිතෙහි සඟවා හෝ බලයෙන් යටපත් නොකොට ගෙන මෙතෙක් පුරුදු කරන ලද අවබෝධය සමගින්ම අකුසල සිතුවිලි මෙනෙහි නොකොට සිටීමයි.

තවදුරටත් පාපි, අකුසල සිතුවිලි උපදින්නේ නම්, එම සිතුවිලිවල පිහිටීම, මුල, ආරම්භය, ස්වභාවය මෙනෙහි කළ යුතු වන්නේය. අනුක්‍රමයෙන් ඇතිකරගත් භාවිත සිත සමගින් අකුසල සිතිවිලි පහළවන ආකාරය විමසන විට ලෝබාදී අකුසල සිතුවිලි බැහැර වෙමින් තමා කෙරේ සිත පිහිටන්නේය. එකඟ වන්නේය. සමාධිගත වන්නේය. භාග්‍යවතුන් වහන්සේ දෙසූ උපමාව මෙයයි. වේගයෙන් ගමන් කරන අයෙක්, කුමක් නිසා වේගයෙන් ගමන් කරන්නේදැයි සිතා සෙමින් ගමන් කරන්නේය. සෙමින් ගමන් කරන්නේ කුමක් නිසා දැයි සිතා නතර වන්නේය. කුමක් නිසා නතර වී සිටින්නේදැයි සිතා වාඩිවෙන්නේය. එසේ කුමක් නිසාදැයි සිතා හාන්සි වෙන්නේය. අනුක්‍රමයෙන් සකස් වුණා වූ අවබෝධය නිසාම සිත පිහිටයි. තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

තවදුරටත් ලෝබ, ද්වේෂ, මෝහාදී අකුසල් සිත්වලට නැඟීඑන්නේ නම් දත් දෙපළ එකට තබා තදකරගෙන, දිව තල්ලට තබා තදකරගෙන කුසල් සිතින්ම, අකුසල් සිතට නිග්‍රහ කළ යුතු වන්නේය. නිග්‍රහය යන වචනයෙන් තරහවක් ගම්‍ය නොවේ. ලෝබාදී විතර්කවල එරෙහිව අවබෝධයෙන් ඇතිකර ගන්නා වූ බලවත් චිත්ත ශක්තියයි. උපමාවකින් දැක්වුවොත් මෙසේයි. ශක්ති සම්පන්න පුද්ගලයෙක් දුර්වල පුද්ගලයකුගේ ඔළුවෙන් හෝ කඳෙන් හෝ අල්ලාගෙන තදින් පෙළන්නේ නම්, වෙහෙස වන්නේ නම්, ඒ ලෙසම ලෝබාදී අකුසල සිතුවිලි පෙළිය යුතු වන්නේය. එවිට සිත තමා කෙරේ පිහිටයි. තැන්පත් වෙයි. එකඟවෙයි. සමාධිගත වෙයි.

අප විසින් මෙසේ සාකච්ඡා කරනු ලැබුවේ ඝෝර සසරේ බියකරු බව නුවණින් දකින ශ්‍රාවක ශ්‍රාවිකාවගේ නිවන් මඟේ ප්‍රතිපදාව පිළිබඳවයි. සාමාන්‍ය ලෝකයා සසරේ ඇති බියකරු බව මැනවින් අවබෝධ නොකරගන්නාතාක් පස්පව්, දස අකුසලයන්හි ද ඇලීම්, බැඳීම්, ගැටීම්, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඔස්සේ ජීවිත ගමන පවත්වා ගනිති. ලෞකික ප්‍රශ්න ඉදිරියේ මඟහැරීමක් හෝ ප්‍රශ්නවලින් පැනයෑමක් බුදු දහමෙහි පෙන්වා නොදෙයි. බෞද්ධ දර්ශනය හේතුඵල දහමකි. විනය ශික්‍ෂණය ඇතිව ප්‍රශ්න, ගැටලුවලට විසඳුම් සෙවීම අවශ්‍යයය. රටක සමාජයක සම්මුති පැවැත්මට, දියුණුවට කටයුතු කළ යුතු වන්නේය. එනමුත් සසර දුකින් මිදීම විනා සසර දුක නැවත නැවතත් නොඋපදවාගත යුතු වන්නේය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *