සවෙ උත්තම පොරිසො…

cmadurawala
9 Min Read

මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමි

බුදු දහම අනුව මිනිස් සන්තානයෙහි අනුසය වශයෙන් මුල් බැස පවත්නා රාග, ද්වේශ, මෝහාදී සකල ක්ලේශයන් නැවත නූපදිනා පරිදි සර්ව ප්‍රකාරයෙන්ම ප්‍රහීණ කරලීමෙන් උදාකරගත හැකි උත්තරීතර පෞරුෂය නම් අර්හත්වයි. ඒ රහතුන් වහන්සේ බෞද්ධ මූල ග්‍රන්ථයන්හි හඳුන්වා ඇත්තේ, අරහං (රහසිනුදු පව් නොකරන – සියලු අයුරින්ම සුදුසු, යෝග්‍ය තත්ත්වයට පත්), ඛීණාසවො (සියලු කෙලෙස් ක්ෂය කළ), වුසිතවන්තො (බඹසර වැස නිමවූ), කතකරණියො (චතුර් මාර්ග ඥානයෙන් කළයුත්ත කළ), ඔහිතහාරො (බහාතැබූ ස්කන්ධ බර ඇති), අනුප්පන්ත සදත්ථො (පැමිණි පදර්ථ ඇති), පරික්ඛීණා භව සංයොජනො, ක්ෂය කළ භව බන්ධන ඇති), සම්මදඤ්ඤා විමුත්තෝ (මැනවින් දැන කෙලෙසුන් කෙරන් මිදුණු) යනාදී පදවලිනි. උන්වහන්සේ වූකලි යථාර්ථය තමන් විසින්ම දැන දැක පසක් කොට එයට එළැඹ වසන සේක. සියලු අකුසල ධර්මයන් ප්‍රහීන කළහ. සියලු කුසල ධර්මයන්ගෙන් යුක්ත වූහ. ථෙරවාද බුදුදහම අනුව මානව සදාචාරය පිළිබඳ විශිෂ්ටතම පරමාදර්ශය රහතුන් වහන්සේය. බෞද්ධ සදාචාර ශික්ෂණයෙහි සාරය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළ සදාචාරාත්මක පාරප්‍රාප්තියට පත් මුනිවරයා උන්වහන්සේය. බුදුදහම අනුව සංසාරගත ජාති ජරා මරණාදී දුක්ඛයන්ගේ නිධානය නම් ආශ්‍රව ධර්මයන්ය. උපධීන්ය. සියලු ආශ්‍රවයන් නසා දුකින් මිදුණු නිරෝධය විමුක්තිය උදාකරගත් පුද්ගලයා රහතුන් වහන්සේය.

විමුක්තිලාභියා වූකලී නෙළුම් මලක් හා සමාන වන්නේ යැයි බුදු දහමෙහි දැක්වෙයි. ඒ නෙළුම් හට ගන්නේ මඩ සහිත ජලයෙහිය. අපිරිසිදු මඩ ගොහොරුවෙන් එය පෝෂණය ලබයි. එහෙත් එය ජලය ඉක්මවා සිටියි. එහි නො ඇලෙයි, එයින් කිලිටි නොවේ, හිරු රැස් පහස විඳිමින් විකසිතව බබළයි. එම නෙළුම ජලයෙහි දිවි ගෙවයි. එහෙත් එයින් උඩට මතුවී එහි නොගෑවී සිටියි. රහතුන් වහන්සේ ද වසනුයේ මේ රාගාදී කෙලෙස් මඩ වතුර පිරුණු ලෝකයේමය. එහිමැ පහළව, එහිමැ දිවි ගෙවන උන්වහන්සේ එය ඉක්මවා එහි නොඇලී වසති.

අසාරවූ, අතෘප්තිකර වූ තුච්ඡවූ, අපරිපූර්ණවූ, අර්ථ ශුන්‍යවූ, දුක් සහිත සසරින් එතරවගත් (තිණ්ණෝ, පාරගතො) රහතුන් වහන්සේ නිර්වාණ ලාභීය. උන්වහන්සේ පහනක් නිවී ගියාක්මෙන් නිවීමට පත්ව ඇති බව බෞද්ධ ඉගැන්වීමය. යම් සේ වාත වේගයෙන් ගසා හරින ලද ගින්න අස්තංගමයට යේද එහි ස්වභාවය තීරණාත්මකව සලකාගත නොහැකිද, එසේම නාම කයින් මිදුණු මුනිවරයා ද අස්තංගමය, තීරණාත්මකව උන්වහන්සේ දැක්විය නොහැකිය. උන්වහන්සේට ප්‍රමාණකරණයක් නැත. ගොම, පරඬලා දී ප්‍රත්‍යයන් ඇතිකල්හි ගින්න දිලෙනු දැල්වෙනු පෙනේ. එබඳු ප්‍රත්‍යයන් නැති කල්හි ගින්න නිවේ. එය වේය (හොති), නොවේය (නහොති) යනාදී වශයෙන් දක්වනු නොහැකිය. තථාගත නම් වූ රහතුන් වහන්සේගේ ස්වභාවය ද එබඳුය.

රහතුන් වහන්සේ වූකලී රාග ද්වේශාදී වශයෙන් දක්වන ලද ආශ්‍රව ධර්මයන් හෙවත් මිනිස් සන්තානගත වූ සහජ ගතිලක්ෂණයන් ප්‍රහීන කළ උතුමාය. මෙකී සන්තාන ගත වූ අද්විතීය පරිවර්තනය නිසාම උන්වහන්සේ චර්යාත්මකව ද පරමාදර්ශී වෙති. සන්සුන් වූ සිසිල් වූ පරම පවිත්‍රවූ සන්තානයක් ඇති උන්වහන්සේ කායික හා වාචසික වශයෙන් සියලු සාවද්‍ය චර්යාවන්ගෙන් ද තොරවෙති. කෙලෙස් සහිත මිනිසුන් විසින් කයින් වචනයෙන් හා සිතින් යම් පව්කමක් කරන්නේද ඒ කිසිදු පව්කමෙන් කෙලෙස් රහිතවූ සන්තාන ඇති රහතුන් අතින් සිදුවීම අභව්‍යය. රාග, ද්වේශ, මෝහ යන ත්‍රිවිධ අකුසල මූලයන් උන්වහන්සේ විසින් ප්‍රහීන කරන ලදී. කාමච්ඡන්‍ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ඡ, කුක්කුච්ඡ, විචිකිච්ඡා යන නීවරණයන් මුලිනුපුටා දමන ලද්දේය. කාමාශාව, විචිකිච්ඡා යන නීවරණයන් මුලිනුපුටා දමන ලද්දේය. කාමාසව, භවාසව, දිට්ඨාසව. අවිජ්ජාසව යන ආශ්‍රවයන් හෙවත් චතුරෝඝයන් තරණය කරන ලද්දේය. කාමුපාදාන, දිට්ඨි උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදානයන්ගෙන් තොර වූයේය. ස්කන්ධ, ධාතු ආයතනාදී පටිච්ච සමුප්පන්න වූ ධර්මයන් හැර දමන ලද්දේය. කිසිදු දෘෂ්ටියක එල්බ නොගත් උන්වහන්සේ සියලු වාද පථයන් හැර දැමූහ. මෙම සන්තානගත පරිවර්තනය අනුව රහතුන් වහන්සේ සඤ්ඤා විපල්ලාස, දිට්ඨි විපල්ලාස, චිත්ත විපල්ලාසයන්ගෙන් තොර වෙති. අනිත්‍ය වූ ධර්මයන් අනිත්‍ය ලෙසම දකිති. අනාත්ම වූ ධර්මයන් අනාත්ම ලෙසම දකිති. අසුබ වූ ධර්මයන් අසුබ වශයෙන්ම දකිති. ස්කන්ධාදීන් අරභයා (එතං මම) මෙය මගේය (එසො හම ස්මි) මෙයින් මා නියෝජනය වේ. (එසො මෙ අත්තා) මේ මගේ ආත්මයයි. යන අයොනිසො මනසි – කාරයෙන් තොර වෙති. මෙය මගේ නොවේ (නෙතං මම) මෙයින් මා නියෝජනය නොවේ (නෙසො හමස්මි) මේ මගේ ආත්මය නොවේ (නෙසො මේ අත්තා) යන යථා භූත ඥාන දර්ශනය තුළින් උපන් යොනිසො මනසිකාරය උන්වහන්සේ වෙත පවත්නේය. එබැවින් රාගාදී කෙලෙස් දහමින් ආතුරවූ ලෝකයෙහි ආතුරවූ මිනිසුන් අතර රහතුන් වහන්සේ අනාතුරයහ. උන්වහන්සේ සුවසේ වසන්නේය. අටලෝ දහමින් කම්පා නොවන සිත් ඇති උන්වහන්සේ ශෝක නොකරති. රජසින් තොරවෙති. නිර්භය වෙති. ජීවිතය හා ලෝකය පිළිබඳ යථාර්ථය මැනවින් දැන මිදුණු උන්වහන්සේගේ මනස ශාන්තය. වචනය ද ශාන්තය. ක්‍රියාව ද ශාන්තය. උන්වහන්සේ සසර ගෙවුණු අතීතය (අතීත ස්කන්ධ සන්තතිය) ගැන ශෝක නොකරති. මතු සිඳීගිය (අනාගත ස්කන්ධයන්) ගැන නොතැවෙති. වර්තමානයෙන්ම යැපෙති. එබැවින් උන්වහන්සේගේ වර්ණය ප්‍රසාදජනකය. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

දිගු මගකට පිවිසි පුරුෂයකුට සැක බිය සහිත මෙතෙර ඇති සැක බිය රහිත එතෙර ඇති මහත්වූ දිය කඳක් හමුවෙයි. ඔහුට ඉන් එතර වීමට නැවක් හෝ හෙයක් නැත. එබැවින් මා විසින් තණ, ලී දඬු, අතු කොළ කඩා එක් කොට පහුරක් බැඳ අතින් පයින් වෑයම් කොට මේ දියකඳ තරණය කළ යුතු යැයි හෙතෙම සිතයි. එමතු ද නොව එලෙසම පහුර තනා සුවසේ එතර වෙයි. එතෙර වූ ඔහු මේ පහුරයි සිතන්නේ නම් එය යුතුකම් ඉටු කිරීමෙක් වන්නේ ද? නැත. එතෙර වූ ඔහු මේ පහුර මට මහත් උපකාරයක් විය. මම මෙය ගොඩට පමුණවා හෝ දියෙහි පාකොට යවා කැමති මගකින් යමි’යි සිතයි නම් එයම පහුරට යුතුකම් ඉටු කිරීමක් වන්නේය.

මේ බුදුන් වදාළ උපමාවෙකි. කුල්ලුපමාව නමින් මෙය හැඳින්වේ. රහතුන් වහන්සේ වූ කල මෙසේ මෙතෙර වූ සසරින් එතෙර වූ විමුක්තියට පත් වූයේය. උන්වහන්සේ පහුර කරතබාගෙන නොයති. දහම පහුරයි. පහුර එතරවීමටය. කරතබාගෙන යෑමට නොවේ. එතෙරට පැමිණි රහතුන් වහන්සේ කළ යුක්ත කළහ. උන්වහන්සේ මනසින් ශාන්තය. එබැවින්ම වචනයෙන් ද කයින් ද ශාන්තය. උපශාන්තය. එසේ වන්නේ යථාර්ථය මැනවින්ම දැන මිදුණු බැවිනි. සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි (නොඇලී) මිඳුණු සියලු කෙලෙස් ගැටලිහූ ඒ රහතුන් වහන්සේට දැවිල්ලක් නැත. යම් කෙනකුන්ගේ කර්මය හෝ සිව්පසය රැස්කිරීමක් නැද්ද, යමෙක් තමාගේ භෝජන සීමාව පිරිසිඳ දක්නේද, යමකුට රාගාදියෙන් මිදුණු එබඳු නිමිති රහිතවූ නිවන අරමුණු වේද එබඳු රහතුන් මරණින් මතු ගියමග හෝ යනමග දතනොහැකිය. අහසෙහි කුරුල්ලන්ගේ මග දත නොහැකිවාක් මෙනි. දක්ෂ රියැදුරකු විසින් මනාව හික්මවන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියන් සන්සිඳුණාහු ද මානය දුරු කළ ආශ්‍රව නැති අටලෝදහමින් කම්පා නොවන ගති ඇති ඒ රහතුන් වහන්සේට දෙවියෝත් කැමතිය. යමෙක් පොළොවමෙන් දුක් සැප දෙක්හිදීම සමව සිටිත්ද, ඉන්ද්‍රඛීලයක් මෙන් නොසෙල්වේද, මනා පැවතුම් ඇති මඩ නැති විලක් මෙන් ප්‍රසන්න වූ ඒ රහතුන් වහන්සේගේ සසර සැරිසැරීමෙක් නැත. යමෙක් සිය නුවණින්ම දැන දැක පසක් කරනාතුරු යමක් නොඅදහයිද, අනෙකකුගේ මැවීමක්, යෙදීමක් නොවූ නිවන ඒ අයුරින්ම අවබෝධ කර ගනියිද, සියලු සංසාර සන්ධීන් සිඳ දමයිද, මතු උපතට ඇති ඉඩ කඩ නැති කරයිද, සියලු ආශා වමාරා දමයිද ඔහු ඒකාන්තයෙන්ම උතුම් පුරුෂයෙකි (සවෙ උත්තම පොරිසො)

තම තමන් විමුක්ති ලාභී මුනිවරුන් ලෙස (රහතුන් ලෙස) හඳුන්වාගත්, විවිධාකාර වූ විමුක්ති මාර්ග හෙවත් ශුද්ධිවාදයන් ප්‍රකාශ කළ ශ්‍රමණ බ්‍රාහ්මණාදීහු බුද්ධකාලීන භාරතයෙහි විරල නොවූහ. ප්‍රකාශිත එකී ශුද්ධිවාදයන්ගේ විවිධත්වය නිසාම සැබෑ, නියම මුනිවරයා කෙබඳුද? කවරෙක්ද? කවර ශුද්ධිවාදයක් පවසන්නෙක්දැයි බුදුරදුන් හමුවී ප්‍රශ්න කළ විමසුම්සුලු චින්තකයන් පිළිබඳ තොරතුරු රැසක් සුත්ත නිපාත අට්ඨක – පාරායන වග්ගවල දක්නා ලැබේ. එම චින්තකයන්ට බුදුරදුන් දුන් පිළිතුරු ඇසුරින් රහතුන් වහන්සේ පිළිබඳ බෞද්ධ විග්‍රහය ඉතා පැහැදිලිව දැකගත හැකිය. එකී අට්ඨකතා හා පාරායන වග්ගවල සෑම සූත්‍රයක්ම පාහේ අවසන් වන්නේ රහතුන් වහන්සේ පිළිබඳ බෞද්ධ චින්තනය පෙන්වා දෙමිනි. කාමාදී සංඥාවන් මනා නුවණින් දැන ක්ලේශ ඕඝයන්ගෙන් එතරවූයේය. තණ්හා දිට්ඨීන්හි නොඇලුණේය. උපුටා දැමූ රාගාදී කෙලෙස් හුල් ඇති ඒ රහත්තෙම දෙලොවම නොපතන්නේය. තෘෂ්ණාදී නිශ්‍රය ඇති කල්හිමැ ඒ ඒ ධර්මයන් පිළිබඳව (මෙයමැ සත්‍යය, අන් සියල්ල අසත්‍යය යැයි වාදයට එළඹෙයි. එම නිශ්‍රයන් නැති කල්හි, කුමක් නිසා කෙසේ වාද කරන්නේද? මෙලොවැදීම සියලු දෘෂ්ටීන් (අන්තවාදී සාමයික මත මතාන්තරයන්) ප්‍රහීන කළ ඒ රහතුන් වෙත ආත්මවාදය ද නොවේ. අනාත්මවාදය ද නොවේ. ලොව යමකුට මාගේ යැයි ගන්නා ලද්දක් නැත්තේ ද, එබැවින්ම ශෝක නොකෙරේ ද, කවර ධර්මයක හෝ ඡන්දාදී වශයෙන් අගතියට නොයේද. ඒ රහතුන් වහන්සේ ඒකාන්තයෙන්ම උපශාන්ත යැයි කියනු ලැබේ. වාත වේගයෙන් බැහැර කරන ලද ගිනි සිලෙක් යම් සේ අස්තයට ගියේ වේ නම්, අසුවල් දිසාවට ගියේ යැයි ව්‍යවහාරයට නොයේ නම්, එලෙසින්ම මුනිතෙම නාම කයින් මිදුණේ, අස්තයට යෙයි. ව්‍යවහාරයට අසු නොවෙයි. උන්වහන්සේ පිළිබඳව ඇත, නැත යනාදී ප්‍රමාණයක් නැත. යම් ප්‍රමාණකරණයක් උන්වහන්සේ වෙත ආරෝපණය කරන්නේ නම් එය ද නැත. (ස්කන්ධාදී) සියලු ධර්මයන් නැසූ කල්හි (ශාස්වත උච්ඡෙදාදී) සියලු වාද පථයන් ද නසන ලද්දේ වෙයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *