මහාචාර්ය අමිලසිත් යාපා
බෝධි වෘක්ෂ පිළිබඳව මා තුළ උනන්දුවක් ඇති වූයේ මීට දශක දෙකකට පමණ පෙරය. ඒ පිල්ලෑව, කොහුවල, බත්තරමුල්ල, මාදිවෙල, කැලණිය, පිළියන්දල, උඩහමුල්ල, බොරලැස්ගමුව වැනි අවට පෙදෙස්වල විහාරස්ථානයන්හි බෝධීන් වහන්සේලා තුළ පසුගිය කාලයන්හි විද්‍යමාන වූ ව්‍යාධීමය තත්ත්වයන්ට පිළියම් යොදන්නට ලැබුණු ඉල්ලීම් නිසාවෙනි. සරසවියේ තවත් උද්භිද විද්‍යාඥයන් සිටිය ද මා වෙතම එම ඉල්ලීම් යොමු වූයේ මාගේ පෙර පිනකටයි සිතුණු අවස්ථා ද නැත්තේ නොවේ.
දූෂණයට ලක්වූ පාරිසරික තත්ත්වයන් තුළ පවත්නා බෝධීන් වහන්සේලා තුළ ද අසාමාන්‍ය ලක්ෂණ වරින්වර විද්‍යමාන වීම පුදුමයට කරුණක් නොවේ. වෙනස් වන පාරිසරික තත්ත්වයන්, බෝධීන් වහන්සේලාගේ යහපැවැත්ම කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම, එම බෝධීන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම පැත්තෙන් බැලූ විට කාලීන අවශ්‍යතාවයක් බැව් සඳහන් කළ යුතු වේ. ඇසතු බෝධීන් වහන්සේට මෙන්ම අනෙකුත් බුදුවරයන් වහන්සේලාට බුද්ධත්වය සඳහා සෙවණ දුන් ශාක විශේෂ කෙරෙහි ද ගෞරවාදරයන් දැක්වීම බෞද්ධයන්ගේ යුතුකමකි. එමගින් එම බෝධීන් වහන්සේලා ආරක්ෂා වනවා පමණක් නොව අනෙකුත් ශාක විශේෂ ද රැකගත යුතු යයි යන හැඟීම සිත්හි නිතැතින්ම ජනිත වේ.
මේ පොත් පිංච පළකිරීමේ අරමුණ වූයේ අටවිසි බුදුන් වහන්සේලාට බුද්ධත්වය සඳහා සෙවණ දුන් බෝධි වෘක්ෂ පිළිබඳව බෞද්ධ ජනතාව දැනුවත් කොට ඒවා රැකගැනීම කෙරෙහි ඔවුන් උනන්දු කරවීමය. එම බෝධි වෘක්ෂවල පිළිබඳව කෙටි උද්භිද විද්‍යාත්මක විස්තරයක් එම බෝධි වෘක්ෂවල ඖෂධීය ගුණයන් දක්වා ඇත්තේ තොරතුරුවල අංග සම්පූර්ණත්වය සඳහා මිස එම වෘක්ෂ ඖෂධීය කටයුතු සඳහා යොදා ගැනීමට දිරිමත් කිරීමට නොවේ. එම ගුණ ඇති වෙනත් ශාක විශේෂ ඕනෑ තරම් තිබේ.
මුල් පාලි කෘතිවල සඳහන් බෝධි වෘක්ෂ නාම පසු කාලීනව ව්‍යවහාරික ශාක නාම හා ගැළපීමේදී යම් යම් නොගැළපීම් පිළිබඳ දුෂ්කරතා ඇතිවී තිබෙන බැව් පෙනේ. නිදසුනක් වශයෙන් පියදස්සී බුදුන් වහන්සේට බුද්ධත්වය සඳහා සෙවණ දුන්නේ යැයි පාලියෙන් සඳහන් වන කුකුධ ශාකය යනු රුක් ශාකය යැයි එක් තැනක සඳහන් වුවද තවත් තැනක සඳහන් වන්නේ කුඹුක් ශාකය යනුවෙනි.
මා මිත්‍ර හැරිටස් වරුෂවිතානයන් සහ එම මැතිනිය විසින් මීට දශක දෙකකට පමණ පෙර ස්වකීය ධන හා ඉඩම් පරිත්‍යාගයෙන් ගොඩනඟන ලද කොක්කාවිල වනරතන භාවනා මධ්‍යස්ථානයේ 2013 මාර්තු මාසයේ සිදුකරන්නට යන අටවිසි බෝධි වෘක්ෂ රෝපණයට සමගාමීව මේ පොත් පිංච එළිදැක්වීමට හැකිවීම සතුටට කරුණකි. ඊට අනුශාසකත්වය සැපයූ වනරතන භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ඔක්කම්පිටියේ කස්සප හිමියනට මාගේ ගෞරවාදර ස්තූතිය පුද කරනු කැමැත්තෙමි. එසේම මේ පොත මුද්‍රණය සඳහා බැතිබර මූල්‍යමය දායකත්වය සැපයූ මර්ල් වරුෂවිතාන, හැරිටස් වරුෂවිතාන, ශ්‍රියානි යාපා යන මහත්ම මහත්මීන්ට ද මාගේ කෘතඥතාවය හිමි වේ.
| බෝධිය | බුදුරජාණන් වහන්සේ |
| රුක් අත්තන | තණ්හංකර |
| කෑල බෝධිය (ගස් කෑල) | මේධංකර |
| පාඨලී (පළොල්) | සරණංකර විපස්සි |
| පතන බෝධිය (කවුඩු බෝ) | දීපංකර |
| ශාල කල්‍යාණ (ඉන්දියානු සල්) | කොණ්ඩඤ්ඤ වෙස්සභු |
| නාග බෝධිය (නා) | මංගල, සුමන, රේවත,සෝභිත |
| අර්ජුන බෝධිය (කුඹුක්) | අනෝමදස්සි |
| මහාසොණ (මුරුත) | පදුම,නාරද |
| සරල බෝධිය (හොර) | පදුමුත්තර |
| නීප බෝධිය (බක් මී) | සුමේධ |
| වේළු බෝධිය (කොළ උණ) | සුජාත |
| කුකුධ බෝධිය (රුක්) | පියදස්සි |
| චම්පික බෝධිය (සපු) | අත්ථදස්සි |
| කුරාවක බෝධිය (රත්කරව්) | ධම්මදස්සි |
| කණිකාර බෝධිය (කිනිහිරියා) | සිද්ධාර්ථ |
| අසන බෝධිය | තිස්ස |
| ආමලක බෝධිය (නෙල්ලි) | ඵුස්ස |
| පුණ්ඩරික බෝධිය (ඇටඹ) | සිඛී |
| සිරිස බෝධිය (මාර) | කකුසඳ |
| උදුම්බර බෝධිය (අත්තික්කා) | කෝණාගම |
| නිග්‍රෝධ බෝධිය (නුග) | කාශ්‍යප |
| අස්සත්ථ බෝධිය (ඇසතු බෝ) | ගෞතම |
ලුම්බිණි සල් උයනෙහි සිද්ධාර්ථ කුමාරෝප්පතිය, ගයාවෙහි ජය ශ්‍රී මහ බෝ සෙවණේ සිදුහත් බෝසතුන්ගේ බුද්ධත්වයට පත්වීම හා කුසිනාරාවේ උපවත්තන සල් උයනේ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු බුදුන් වහන්සේගේ ජීවිතය පුරාම දක්නට ලැබෙන්නේ තුරුලතා ආශ්‍රිතව ගත කළ දිවි පෙවෙතකි. මේ පිළිබඳ කදිම විස්තරයක් ලුම්බිණි ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ බසන්ට් බිඩාරි විසින් රචිත බුදුන්ගේ ජීවිතය හා සබැඳුණු තුරුලතා නම් වූ කෘතියෙහි අඩංගු වෙයි. එම තුරුලතා අතර බුදුන් වහන්සේට සම්බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන් වෘක්ෂ, බෝධි වෘක්ෂ නමින් හැඳින්වෙයි. සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් සම්බුද්ධත්වයට පත් වූයේ ඇසතු බෝ වෘක්ෂයක් සෙවණේය.
විවිධ බුදුවරයින් වහන්සේලාට බුද්ධත්වය අවබෝධ කර ගැනීම සඳහා සෙවණ දී ඇත්තේ විවිධ වූ ශාක විශේෂ බව පෙනේ. බෝධි යනුවෙන් හැඳින්වෙන්නේ අවබෝධයයි. උතුම් වූ ධර්මාවබෝධය සඳහා සෙවණ සලසා දුන් ඒ හැම ශාක විශේෂයක් ම පොදුවේ සැලකෙන්නේ බෝධිය නමිනි. එහෙත් අප අද බෝධිය ලෙස සලකන්නේ ගෞතම බුදු හිමියන්ට බුද්ධත්වය අවබෝධ කර ගැනීම සඳහා සෙවණ දුන් ඇසතු හෙවත් ඇහැටු නම් වූ බෝ වෘක්ෂය පමණි.
බෝධි වෘක්ෂයන් හි වැදගත්කම පිළිබඳව අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමියන් බෝධි පූජාව නම් වූ පොතෙහි දක්වන්නේ මෙසේය.
‘ශ්‍රාවක බෝධිසත්ත්වයන්ට හා ප්‍රත්‍යෙක බෝධිසත්ත්වයන්ට කොතැනකදී වුව ද ඒ තත්ත්වයට පැමිණිය හැකිය. රහත්වීමට පසේ බුදුවීමට නියම තැනක් නැත්තේය. මහා බෝධි සත්ත්වයනට එසේ කොතැකදී හෝ බුද්ධත්වයට නොපැමිණිය හැකිය. මිනිස් ලොවෙහිම මිස දිව්‍යලෝක බ්‍රහ්මලෝක නාගලෝකාදියෙහි ලොව්තුරා බුදු බව නොලැබිය හැකිය. එය ලැබිය හැක්කේ මිනිස් ලොවෙහිමය. එහි ද සෑම තැනකදීම බුද්ධත්වයට නොපැමිණිය හැකිය. සියලු මහා බෝධි සත්ත්වයන් බුදු බව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේය.’
‘ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලයයි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැයි ද ඒ බිමට කිසිවකුට ඇතුළු විය නොහෙන පරිදි එය වටා ප්‍රාකාරයක් මෙන් ගස් වැල් වැඩී ඇති තැනකැයි ද දෙවියකුට බ්‍රහ්මයකුට වුවද එයට උඩින් යා නොහෙන අනුහසක් ඇති තැනකැයි ද කාලිංග බෝධි ජාතකයේ කියා ඇත. එය අචල භූමිය කැයි ද එහි කියා තිබේ. එය දඹදිව මධ්‍ය දේශයේ නේරඤ්ජරා නම් ගඟට නුදුරු තැනකි.’
‘සියලුම බෝධි සත්ත්වයන් වහන්සේලා ලොව්තුරා බුදුබව ලබන්නේ යම්කිසි ගසක් මුලදීය. සිද්ධාර්ථ කුමාරයන් මවු කුසින් බිහි වූ දිනයේ ම ඉහත කී ජය භූමියෙහි ඇසටු ගසක් පැන නැඟිණ. එය පැන නැඟුණේ උන්වහන්සේට ලොව්තුරා බුදුවීමට ආධාර වීම සඳහා ය. ඒ අනුව සියලුම මහා බෝධිසත්ත්වයන්ට උපදින දිනයේ ම බෝධිය පැන නඟින බව සිතිය යුතුය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇසටු ගසය. ඇසටු ගස මුල බුදු වූ අන් බුදුවරයකු ගැන සඳහන් වී නැත. ඒ ඒ බුදුවරුන්ට බෝධිවනු පිණිස නොයෙක් වර්ගවල ගස් පැන නඟී.’

