සම්බුද්ධ දේශිත ධර්ම මාර්ගය උත්කෘෂ්ට අන්දමින් අනුගමනය කළ හැකි වූයේ ගෘහජීවිතය අත්හැර පැවිද්දට පත් පුද්ගලයන් විසින් පමණක් වන බැවින් බුදුන් කෙරෙහි පැහැදුණු බොහෝ අය භික්ෂුචර්යාව අනුගමනය කිරීමට පෙළඹී ඇති සැටි ආදී බෞද්ධ සූත්‍ර ධර්මයන්ගෙන් පැහැදිලි වෙයි. ආධ්‍යාත්මික ශාන්තිය පිළිබඳ තම පරමාර්ථය ඉටුකර ගැනීමේ ක්‍රියාමාර්ගයෙහිලා ජීවන ප්‍රතිපදාව වශයෙන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසින් ද තෝරා ගනු ලැබුවේ භික්ෂු චර්යාව බව මජ්ඣිම නිකාය සූත්‍රයකින් ප්‍රකට කෙරෙයි. (ඉධ මෙ අග්ගිවෙස්සන පුබ්බේව සම්බොධා අනභිසම්බුධස්ස සතො එතදහොසි. සම්බාධො ඝරාවසො. අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍යන්ති M. I. 240), බුදුන් පහළ වන අවධියෙහි භාරතීය ජනතාවට භික්ෂූත්වය පිළිබඳ සංකල්පය අමුතු වූවක් නොවේ. බ්‍රාහ්මණ ආගමික සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරමින් සත්‍යය හා පරම යහපත සෙවීමට කැප වූ ශ්‍රමණ සම්ප්‍රදායයේ බොහෝ අය ගිහි ජීවිතය හැර දැමුවෝ වූහ. තමන්ගේ පැවැත්ම සඳහා ස්වකීය වූ ජීවනෝපායයක් නොමැති බැවින් මේ අය අනුන් විසින් සැදැහැයෙන් දෙන භික්ෂාවෙන්ත් යැපීම හේතු කොටගෙන භික්ෂු (භික්ඛු) යන නමින් හඳුන්වනු ලැබූහ.
භික්ෂූත්වය ආගමික පරමාර්ථ ඉටුකර ගැනීමෙහි ලා පහසුම ක්‍රියාමාර්ගය ලෙස සලකනු ලැබිණ. ගෘහ ජීවිතයෙන් ඉවත්වීම නිසා අනුන් හා කිසිදු ආකාරයකින් බැඳීමක් නැති බැවින් වගකීම්වලින් නිදහස්ව සම්පූර්ණ ජීවිතයම ආත්මාර්ථ සාධනයෙහි කැප කළ හැකිවීම නිසා භික්ෂූත්වය සලකනු ලැබුවේ ගැටුම් රහිත අභ්‍යවකාශය මෙනි. (අබේසෝභාකාසොව පබ්බජ්ජා) මීට සාපේක්ෂව ගෘහ ජීවිතය හුදෙක් කෙලෙස් මලින් පිරුණු තැනක් ලෙස (ඝරාවාසොරජොපථො) පිළිගනු ලැබිණ. පැරණි භාරතීයයන් තම ජීවිතයෙහි සැඳෑ සමයෙහි ගෘහ ජීවිතය හැර දමා තවුස් දිවියකට එළැඹීම සිරිතක් වශයෙන් පැවැති බව පෙනේ. බ්‍රාහ්මණික ආශ්‍රම ධර්ම යටතේ තාරුණ්‍යයෙහි කම් සැප විඳ තරුණ වියට පත්වූ දූ දරුවනට දේපළ පවරා වෘද්ධත් – වයෙහි දී ගෘහ කටයුතු හැර දමා තවුස් දිවියක් ගෙවීමට නියමිතව තිබිණ. මෙසේ බොහෝ විට ගිහියන් නික්මෙනුයේ ආගමික වශයෙන් ආධ්‍යාත්මික සුඛ ගවේෂණය අරමුණු කොට ගෙන ය. මේ හැර ගෘහ ජීවිතය විවිධ හේතූන්ගෙන් අසාර්ථක වීම නිසා ද ගිහිගෙය හැරදමා තාපස වෘත්තියෙහි නියැලීමට ඇතැමුන් පුරුදුව සිටි බව ද පෙනේ. වයස්ගත වීම, රෝග වැළඳීම, ධන පරිහානිය හෝ ඥාති පරිහානිය යන කරුණු එසේ ගෘහ ජීවිතය හැර යෑමට හේතු වන බව රට්ඨපාල සූත්‍රයෙහි දී කොරව්‍ය රජු විසින් රට්ඨපාල තෙරුන්වහන්සේට පවසා ඇත.
ආදි බෞද්ධ භික්ෂුත්වය සඳහා ඉහතින් දක්වන ලද එක් කරුණකුදු අදාළ වූ බවක් නොපෙනේ. බෞද්ධ භික්ෂුත්වය ජීවිතයෙහි එක් වකවානුවක් උදෙසා උපයෝග වූවක් නොවේ. ජීවිතයෙහි ඕනෑම වයස් පරිච්ඡේදයක දී ඊට ඇතුළත් වීමට ඉඩ තිබිණ. බොහෝ විට බුදුන් වහන්සේගේ ධර්මය අසා පැහැදී භික්ෂුත්වයට පත්වූයේ භද්‍ර යෞවනයෙහි පසු වූ අය යි. ආදි බෞද්ධ ශ්‍රාවකයන් බොහෝ දෙනකු ඉහතින් දැක්වූ කරුණු සියල්ලට ප්‍රතිපක්ෂ වූ සාධකවලින් යුක්ත වූවන් බව පෙනේ. රට්ඨපාල තෙරුන්වහන්සේ හමුවෙහි කෞරව්‍ය රජතුමා එසේ පවසා ඇත්තේ බොහෝ දෙනෙකු ගෘහ ජීවිතය අත් හැරීමට තුඩුදුන් කරුණු රට්ඨපාල තෙරුන් කෙරෙහි නොවූ බැවිනි. ශ්‍රාවකයන් පමණක් නොව ශාස්තෘවරයා ද ගෘහ ජීවිතය අත් හළේ භද්‍ර යෞවනයෙහි ය. උන්වහන්සේ අප්‍රමාණ භෝග සම්පත් අත්හැර දැමුවේ ඒ පිළිබඳ කිසිදු අපේක්ෂාවකින් නොවේ. එසේම උන්වහන්සේ අතිවිශාල ඥාති පිරිසක් අත්හැර දමා අභිනිෂ්ක්‍රමණය කළ කෙනෙකි. බෞද්ධ භික්ෂුත්වයෙහි කැපී පෙනුණු මෙම ලක්ෂණ නිසා තත්කාලීන භාරතීයයන් බෞද්ධ භික්ෂුන් කෙරෙහි විශේෂ ගෞරවයක් දැක්වූ බව ද පෙනේ. සුප්‍රකට පඬිවරුන් බුදුන් හමුවට ගොස් උන්වහන්සේ සමග සාකච්ඡා කිරීමට පෙලඹීමටත් හේතු වූ කරුණු අතරෙහි බෞද්ධ භික්ෂුත්වයෙහි කැපී පෙනුණු ඉහත කී ලක්ෂණ ද සැලකිල්ලට ගත් බව සූත්‍රානුසාරයෙන් පැහැදිලි වෙයි.
භික්ෂූත්වයෙහි බාහිර ස්වරූපයෙහි සමානත්වයක් පැවැති නමුත් එක් එක් ආගමික නිකායන් අනුව භික්ෂු ප්‍රතිපදාවේ වෙනස්කම් පැවතිණ. බෞද්ධ භික්ෂු ප්‍රතිපදාව ඒ අනුව තත්කාලීන භාරතීය වෙනත් භික්ෂු නිකායයන්ගෙන් සම්පූර්ණයෙන් වෙනස්ව ගිය සැටියක් පෙනේ. බෞද්ධ භික්ෂුව සඳහා ශාස්තෲන් වහන්සේ විසින් ඉදිරිපත් කළ ජීවන ප්‍රතිපදාවක් පැවතිණ. මෙය තත්කාලීන වෙනත් භාරතීය භික්ෂු හෙවත් ශ්‍රමණ ප්‍රතිපදාවන්ගෙන් වෙනස් වූවකි. බෞද්ධ භික්ෂූත්වය වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණ ආගමික ප්‍රතිපදාවන්ගෙන් වෙනස්වූ ආකාරය දීඝ නිකාය සාමඤ්ඤඵල සූත්‍රයෙන් මනාව නිරූපණය වී තිබේ. මෙම සූත්‍රයට අනුව තත්කාලීන බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආගමික ජීවිතය උපයෝගී කොට ගෙන ඇත්තේ ආගමික අධිගමයන් සාධනය කර ගැනීමේ ක්‍රියාමාර්ගයකට වඩා ජීවනෝපාය සාදාගැනීමේ ක්‍රියා මාර්ගයක් වශයෙනි. සුඛෝපභෝගී ජීවන චයර්යාවකට මෙන්ම අති දුෂ්කර ව්‍රත චර්යාවන්ගෙන් ආත්ම වධයක් සිදුකර ගන්නා ක්‍රියා මාර්ගයකට ද හේතු කාරණා වන ප්‍රතිපදාවන් බෞද්ධ භික්ෂු ප්‍රතිපදාවෙන් ඉවත් කරනු දක්නට ලැබේ. බෞද්ධ භික්ෂු චර්යාව කෙබඳු විය යුත්තක් ද යන්න පිළිබඳ නිර්දේශයක් බුදුන් වහන්සේ විසින් සිය ප්‍රථම ධර්ම දේශනයෙන්ම ඉදිරිපත් කර තිබේ.
අන්තගාමී ජීවන ප්‍රතිපදාවන් ප්‍රතික්ෂේප කරමින් ඉදිරිපත් වූ බෞද්ධ භික්ෂු ප්‍රතිපදාව හඳුන්වන ලද්දේ මධ්‍යම ප්‍රතිපදාව (මජ්ඣිමා පටිපදා) යන නමිනි. බොහෝ විට මෙය බ්‍රහ්මචරිය යනුවෙන් ද හඳුන්වා තිබේ. බ්‍රහ්මචරිය වාසයේ මෙන්ම මධ්‍යම ප්‍රතිපදාවේ ද අරමුණ එකෙකි. සාංසාරිකත්වය දුක්සහගත බැවින් සාංසාරික නිරෝධය හෙවත් දුක්ඛ නිරෝධය කිරීම මෙම ප්‍රතිපදාවේ අරමුණ වෙයි. මධ්‍යම ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිණි ප්‍රතිපදාවක් බව ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් අවධාරණය කොට තිබේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයකින් සමන්විත මධ්‍යම ප්‍රතිපදාවත් බ්‍රහ්මචරියාවත් අතර කිසිදු වෙනසක් නොමැති බව බුදුන්වහන්සේ විසින්ම එය තාදාත්ම්‍යතාවෙන් සැලකීමෙන් පෙනේ.
බෞද්ධ භික්ෂු චර්යාවේ විශේෂත්වය වන්නේ එහි ප්‍රතිඵල ශාස්තෘවරයා විසින් ම ප්‍රත්‍යක්ෂ කොට සහතික කරන ලද්දක් වීමයි. නිෂ්ඨාව පිළිබඳ සහතික බවක් නොමැති උපාය මාර්ගයක් අනුගමනය කිරීම අන්ධයින් අලියකුගේ ස්වරූපය නිගමනය කිරීමට පෙළඹීමක් මෙනි. එහෙත් බෞද්ධ භික්ෂුවට තම චර්යාවේ නිෂ්ඨාව පිළිබඳ සහතික බවක් තම ශාස්තෘවරයා විසින් ම ඉදිරිපත් කොට තිබේ. ශාස්තෘන් වහන්සේ පූර්ණ සත්‍යාවබෝධය ලැබුවේ මෙම ප්‍රතිපදාව අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එතෙක් තිබූ ආගමික චර්යා රටාවන් අනුගමනයෙන් අපේක්ෂිත අරමුණ ළඟා නොවන බව ශාස්තෲන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන්ම දැන සිටියහ. විශේෂයෙන් සත්‍යාවබෝධය සඳහා ප්‍රශස්ත මාර්ගයක් වශයෙන් තත්කාලීනව
පිළිගැනී තිබූ අත්තකිලමථානුයෝගය පවා උන්වහන්සේ විසින් අත්හැර දමනු ලැබුවේ එහි ප්‍රතිඵලය තමා බලාපොරොත්තු වන නිෂ්ඨාව නොවන බව අත්හදා බැලීමෙනි. තමන් විසින්ම සොයා ගනු ලැබූ ප්‍රතිපදාව අපේක්ෂිත විමුක්ති සාධනය අත්පත් කර දෙන බවට ශාස්තෘන් වහන්සේ තම පළමු ධර්මදේශනයෙන්ම සහතික කර දී තිබේ. මේ හැර මෙම ප්‍රතිපදාව අනුගමනයෙන් තමන් සත්‍යාවබෝධය කළ බවට උන්වහන්සේ නොසැලෙන ප්‍රතිඥාවක් ද මෙම සූත්‍රය මගින් ම ඉදිරිපත් කොට තිබේ. එම ප්‍රතිඥාව තුළ ගැබ් වී ඇත්තේ තම අවබෝධය පිළිබඳ දැඩි විශ්වසනීයත්වයකි. මෙම ආත්ම විශ්වාසය මතම පිහිටා උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට ද එය අනුගමනය කිරීමට නිර්දේශ කොට තිබේ. මේ නිසා බ්‍රහ්මචරිය වාසයේ ප්‍රතිඵලය නියත බව ශ්‍රාවක භික්ෂූහු දැන සිටියහ. බුදුන් වහන්සේගේ ඇසුර ලබමින් උන්වහන්සේ විසින් නිර්දිෂ්ට මෙම චර්යාව අනුගමනයෙන් විමුක්තිය ක්‍ෂාත් ක්‍ෂාත් කරගත හැකි වීම පිළිබඳ කිසිදු සැකයක් ශ්‍රාවක භික්ෂූන් තුළ නොවීය.
අන්‍ය තීර්ථකයන් භික්ෂූන්ගෙන් කුමක් සඳහා ශ්‍රමණ ගෞතමයන් වෙත බඹසර හැසිරෙවු දැයි විමසන විට උන්වහන්සේලා දුක් කෙළවර කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර හැසිරෙමුයි පිළිතුරු දී ඇත්තේ නිෂ්ඨාව පිළිබඳ තමන් තුළ දැඩි විශ්වාසයක් පැවැති බැවිනි.
“ඉධ නො භන්තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අම්හෙ එවං පුච්ඡන්ති. කිමත්ථාය ආවුසො සමණෙ ගෞතමෙ බහ්මචරියං වුස්සතීති. ඒවං පුට්ඨා මයං භන්තෙ තේසං අඤ්ඤ තිත්‍ථියානං පරිබ්බාජකානං එවං ව්‍යාකරොම. දුක්ඛස්ස ඛො ආවුසො පරිඤ්ඤත්‍ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතීති” (S. iv. 51)
නිෂ්ඨාව පිළිබඳව පැවැති සහතික භාවය හා විශ්වාසය නිසාම තම චර්යාවෙහි දැඩි කැපවීමකින් රැඳී සිටීමට ආදි බෞද්ධ භික්ෂුව ප්‍රයත්න දරා තිබේ. බුද්ධත්වයේ සිට අවුරුදු විස්සක් ගත වන තෙක් භික්ෂු චර්යාව සම්බන්ධයෙන් අණ පණත් නොපැවතිණ. ධර්මය යටතේ පැවැති ශික්ෂණය තුළ චර්යාව ක්‍රමානුකූල වෙමින් අවශ්‍ය නිෂ්ඨාව සාධනයෙහිලා සමත් කම් දක්වා තිබේ. විනය නීතිරීති පැනවෙමින් ශික්ෂාපද බහුලව ගිය යුගයෙහි මෙන් නොව මෙම අවධියෙහි ධර්මාවබෝධය කරමින් අභිමතාර්ථ සාධනය කළ භික්ෂු සංඛ්‍යාව වැඩි වූ බව කියවෙයි. පසු කාලයෙහි ශික්ෂාපද බහුල වෙමින් අවබෝධ කරන්නන්ගේ සංඛ්‍යාව අඩුවීමට හේතු කවරේදැයි භද්දාලි භික්ෂුව විසින් නගන ප්‍රශ්නයෙන් ධ්වනිත වන්නේ මුල් යුගයෙහි භික්ෂු ප්‍රතිපදාව බෙහෙවින් අර්ථවත්ව නිෂ්ඨා සාධනයෙහි වැඩි ශක්‍යතාවක් දක්වා ඇති බවයි. ශාසනය අවුරුදු විස්සක් පමණ කාලයක් තුළ නිරර්බුධව අපගත කලංකව පැවති බව කියවෙයි. මෙම කාලය තුළ භික්ෂු චර්යාවෙහි කිසිදු කැළලක් හෝ කිලුටක් නොපැවැතිණ. විශේෂයෙන් මෙම යුගයෙහි භික්ෂු චර්යාව යොමු වී පැවතුණේ හුදෙක් විමුක්තිය කෙරෙහිය. විමුක්තියට පටහැනි වන කිසිදු ක්‍රියාවක නියැළීමට ආදී භික්ෂුව පෙලඹී නැති බව පෙනේ. තම ශ්‍රාවක භික්ෂූන්ගේ චර්යාව සම්බන්ධයෙන් පැහැදීමකින් යුතුව කථා කරන්නට තරම් ශාස්තෲන් වහන්සේ පෙලඹී ඇත්තේ තම අභිමතය පරිද්දෙන්ම එම භික්ෂූන් ක්‍රියා කොට ඇති බැවිනි. දණ්ඩනය මගින් බල කෙරෙන නීති පද්ධතියක් තුළ භික්ෂු චර්යාව හැසිරවීමට ශාස්තෘවරයාට අවශ්‍ය නොවූයේ ස්වේච්ඡාවෙන්ම තම ප්‍රතිපත්තිය තුළ රැඳී සිටීමට භික්ෂුන් පෙලඹී ඇති බැවිනි. චර්යාවෙන් අපේක්ෂිත නිෂ්ඨාව වූයේ දුක්ඛ නිරෝධය යි. දුක්ඛ සමුදය තෘෂ්ණාව හෙවත් රාගය පදනම් කොට ගත්තකි. එබැවින් දුක්ඛ නිරෝධය විරාගය ඔස්සේ සම්ප්‍රාප්ත වීමක් වන බැවින් භික්ෂු චර්යාව විරාගය තුළ ක්‍රියාත්මක වන්නක් විය. එබැවින් විරාගයට බාධා වන ක්‍රියාකාරකම් භික්ෂුචර්යාවෙන් ඉවත් විය.
භික්ෂු චර්යාව හුදෙක් දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවක් වූ බැවින් එම චර්යාවේ සෑම අංගයක්ම අපේක්ෂිත නිෂ්ඨාව සාධනයට හේතු කාරක වන ආකාරයෙන් සැකසී තිබිණ. දුක් කෙළවර කිරීම වූ කලී ආධ්‍යාත්මික පවිත්‍රත්වය හා පූර්ණත්වය මත රඳා ඇති බැවින් එය ආධ්‍යාත්මිකත්වයේ පූර්ණ සංශෝධනයකට මග හෙළි කරන ත්‍රිවිධ ශික්ෂාවකින් සමන්විත වූයේ වෙයි. මේ නිසා භික්ෂු කාර්යභාරය ත්‍රිවිධ වූ ශික්ෂාවකින් සමන්විත වී ඇති බව ශාස්තෘන් වහන්සේ විසින්ම පැහැදිලි කොට තිබේ. එම ශික්ෂාත්‍රය හැඳින්වී ඇත්තේ අධිසීල සික්ඛා, අධිචිත්ත සික්ඛා හා අධි පඤ්ඤා සික්ඛා යනුවෙනි. කායික ශික්ෂණය, මානසික ශික්ෂණය හා ප්‍රඥා විශෝධනය අනුක්‍රමයෙන් මෙම ත්‍රිවිධ ශික්ෂාවෙන් අපේක්ෂා කෙරෙයි. කායික මානසික සමාචාරයකින් තොරව පූර්ණ ප්‍රඥාවක් ලබාගත නොහැකි ය. මේ නිසා ආදි භික්ෂු චර්යාව ස්වාභාවික මානව ප්‍රවණතාවක් අවශ්‍ය ඵල ප්‍රාප්තිය තෙක් අපේක්ෂිත අරමුණක් ඔස්සේ විශෝධනයකට පත් කරවන්නක් ලෙස හඳුන්වා දිය හැකි ය. සරාගී පැවැත්ම ස්වභාවික මානව ප්‍රවණතාවකි. එය විරාගිකත්වයකට යම් චර්යාවක් මගින් මෙහෙයවනු ලබයි නම් එය පහසු කටයුත්තක් නොවිය හැකිය. මේ නිසාම තමන් වහන්සේ විසින් අවබෝධ කළ ධර්ම මාර්ගය යටිගම් බලා යන දිය දහර උඩුගං හැරවීමක් ලෙස බුදුන්වහන්සේ විසින් හඳුන්වා තිබේ.

