අරණක නිවෙන සිත

cmadurawala
16 Min Read

ආචාර්ය ප්‍රියන්ත නවරත්න

මනසේ දියුණුව උදෙසා පරිසරයේ බලපෑම විමසුමට ලක්කරන මෙම අධ්‍යයනයේ දී බුදු සමයේ අරණ්‍ය සේනාසන පාදක කර ගනිමින් පර්යේෂණය දියත් කරන ලදී. අරඤ්ඤ නම් වනය වන අතර අරණ්‍ය සේනාසනයන්හි වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා තම මානසික දියුණුව උදෙසා භාවනා අභ්‍යාසයන්හි නිරත වෙති. එසේ මානසික පුහුණුවට කැපවූ පුද්ගලයා යෝගාවචර (යෝගී) නමින් හැඳින්වෙන අතර ආර්ය වූ ශික්ෂණයෙහි යෙදෙන්නා, උසස් ශික්ෂණයෙහි යෙදෙන ශ්‍රාවකයා සෙඛ ලෙසත් තවදුරටත් ශික්ෂණය නොවන්නා අසෙඛ ලෙසත් හඳුන්වනු ලැබේ. අරණෙහි වාසය කරන ස්ථානය සෙනසුන නම් වන අතර ආධ්‍යාත්මික දියුණුවට යෝග්‍ය වීම සඳහා එහි පහත ලක්ෂණ තිබිය යුතු වේ. සෙනසුන ගමට බොහෝ දුර නොවන අතර බොහෝ ළඟ වන්නේ ද නොවේ. පිඬු පිණිස වැඩම කොට නැවත පැමිණීමට සුදුසු ය. දිවා කාලයේ ජනාකීර්ණ නොවේ. රාත්‍රි කාලයෙහි නිශ්ශබ්ද වූ කලබලකාරී බවින් අඩු වූවක් වෙයි. මැසි මදුරුවන්ගේ සුළඟින් අව්රස්නයෙන් හා සර්පයන්ගෙන් පීඩා රහිත වෙයි. එහි විහරණය කරන විට භික්ෂුව පහසුවෙන් සිවුරු පිණ්ඩපාත සෙනසුන් හා ගිලානප්‍රත්‍ය වූ බෙහෙත් ද ලබයි.

මානසික දියුණුව විමසා බැලීමේදී අදියර තුනක් යටතේ මෙම අධ්‍යයනය කරුණු සාකච්ඡා කරයි. ලෝකෝත්තර (නිබ්බානය ද ඇතුළු ව සොතාපත්ති ආදී සතර මාර්ග හා සතර ඵලයි.) තත්ත්වයට පත්වීම නම් පුථුජ්ජන (ලෞකිකත්වයට ඇළුණු පුද්ගලයා) ස්වභාවයෙන් එතෙර වූ යන්නයි. ආරණ්‍යය පරිසරයන්හි දී චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කර ගැනීමට එම පරිසර පද්ධති දක්වන දායකත්වය හා ඊට ඍජුව මෙන්ම වක්‍රව දායක වන පාරිසරික සාධකයන් මෙම අධ්‍යයනය ඔස්සේ හඳුනා ගැනේ. සමාහිතං චිත්තං එකග්ගං – මගේ සිත නන් අරමුණෙහි විසිරයෑම සිඳ හැර එක් අරමුණකට ඒකාග්‍රවීම මෙහිදී චිත්ත ඒකාග්‍රතාව ලෙස අර්ථ ගැන්වේ.

මානසික දියුණුව උදෙසා වීර්යය කරන භික්ෂුන් වහන්සේලා සමග කරන ලද සාකච්ඡාවන්හි දී භාවනා, තපස, සමාධි, ඣාන, ක්ලේශ, සතිය, යෝනිසෝමනසිකාරය, කායගතාසතිය, සමථය, නිරෝධ සමාපත්ති හා නිබ්බාන යන වචන බහුල වශයෙන් භාවිත විය. භාවනා, සමථ හා විපස්සනා වශයෙන් කොටස් දෙකක් යටතේ සාකච්ඡා කෙරේ. සමථය වැඩීම යනු සමාධිය වැඩීම වන අතර විපස්සනා වැඩීම යනු ප්‍රඥාව වැඩීම ය. භාවනාවේ යෙදීමෙන් ලොවුතුරු නුවණ උපදින අතර නොයෙදීමෙන් ප්‍රඥාව විනාශ වේ. එළඹ සිටි සිහි ඇති නොපමා වූ භාවනා කරන පුද්ගල තෙමේ මහත් නිවන් සුවයට පැමිණෙන්නේ ය. තපස් යන්නෙහි අර්ථය තැවීම හෙවත් යම් ආකාරයක කායික මානසික වේදනාව ලෙස අර්ථ ගැන්විය හැකි අතර එය අභ්‍යන්තරික ආශාවන් යටපත් කරමින් අසාමාන්‍ය හැකියාවන් උද්දීපනය කර ගැනීමට මගක් විය. සමාධිය යනු චිත්ත ඒකාග්‍රතාව යි. විශුද්ධිමාර්ගය පෙන්වා දෙන පරිදි සමාධි නම් කුසල් සිත් පිළිබඳ ඒකාග්‍රතාව යි. කාම, රූප, අරූප යන භූමිත්‍රයෙහි කුසල චිත්ත එකඟතාව ලෞකික සමාධිය වන අතර ආර්ය මාර්ග සම්ප්‍රයුක්ත වූ එකඟතාව ලෝකෝත්තර සමාධිය යි. ධ්‍යානයකට සමවැදීම යනු සිත කිලුටු කරන අකුසල ධර්මයන් වන අතර ක්ලේශ දහයකි. සති යනු සිහිය යි. සිහිය පිහිටු වන පදනම් සතර සතිපට්ඨාන නමින් හැඳින්වේ. යෝනිසෝමනසිකාරය වනාහි මගඵල ලැබීමට උපාය වශයෙන් අනිත්‍ය අශුභාදී ගතියෙන් යුත් සංස්කාරයන් එලෙස ඇති සැටියෙන් නුවණින් මෙනෙහි කිරීම වේ. තියුණු අවධානය යොමු කිරීම ලෙස ද එය අර්ථ ගැන්විය හැක. යෝනිසෝමනසිකාරය ඇතුළත්ව සතර ධර්මයක් බහුල කොට වඩන්නා හට එය සෝවාන්ඵල, සකෘදාගාමිඵල, අනාගාමිඵල හා අරහත්ඵල පසක් කිරීම පිණිස පවතින බව සංයුත්ත නිකාය පෙන්වා දෙයි. කය හා බැඳුණු සිහිය කායගතාසතිය නම් වන අතර සමහර අවස්ථාවල දී මෙය කයෙහි කොටස් තිස් දෙක මෙනෙහි කිරීම ගැන පමණක් සඳහන් කරයි. නිවන වනාහි රාග, ද්වේෂ, මෝහ යනාදියෙහි ක්ෂය වීම වන අතර ඒ සඳහා වන මාර්ගය කායගතාසතිය බව බුදුන් වහන්සේ දේශනා කළහ. තවද, යම් භික්ෂුවක කායගතාසතිය බහුල කොට වඩයි ද, හෙතෙම පිළිබඳව මාරයා අරමුණු නොලබන බව ත්‍රිපිටකයේ සඳහන්ව ඇත. නිරෝධසමාපත්තිය, සඤ්ඤාවේදයිත නිරෝධය යනුවෙන් ද හඳුන්වනු ලැබේ. අර්ධ වශයෙන් පමණක් විඥානය පවත්නා තත්ත්වයක් වූ, සඤ්ඤාව ඇත්තේ ද නැති නැත්තේ ද නැති අරූපායතනය (නේව – සඤ්ඤා – නාසඤ්ඤායතන) ලෙස හඳුන්වනු ලබන තත්ත්වයෙන් අනතුරුව ඇතිවන, තාවකාලිකව සියලු විඥානය අත්හිටවූ අවස්ථාව මෙය යි. විදර්ශනානුගත අෂ්ටසමාපත්ති පිළිවෙළින් සම වැද ඒ සමාපත්තියෙහි ප්‍රතිපක්ෂ ධර්මයන් නිරුද්ධ කිරීම වශයෙන් කායාදී ත්‍රිවිධ සංස්කාර පිළිවෙළින් නිරුද්ධ කිරීමෙන් පිරිසිඳි කාලයෙහි චිත්ත චෛතසික ධර්මයන්ගේ නොපැවැත්ම නිරෝධ සමාපත්තිය යි.

මානසික දියුණුවේ ලද හැකි ඉහළම ප්‍රතිඵලය සම්මා සම්බුද්ධත්වය යි. පෙර කිසිදා නොඅසන ලද ධර්ම පිළිබඳ ව තමා විසින් ම අවබෝධ කොට ගෙන පරිපූර්ණ සම්බුද්ධත්වයට පත්වීම සම්මා සම්බෝධි නම් වන අතර ආස්‍රව විනාශ කර දැමූ තැනැත්තා හෙවත් ආස්‍රව රහිත තැනැත්තා ඛීණාසව නමින් හැඳින්වේ. එබැවින්, ඛීණාසව යන්න රහතන් වහන්සේ හැඳින්වීම සඳහා යෙදේ. වචනාර්ථ වශයෙන් සැලකූ කල්හි තථාගත (තථාගතයන් වහන්සේ) යනු එසේ ගිය පුද්ගලයා හෝ එසේ පැමිණි පුද්ගලයා වන අතර එය බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේ පිළිබඳවම සඳහන් කරන අවස්ථාවල දී යොදා ගන්නා ලද විකල්ප නාමයක් විය. වචනාර්ථයෙන් නිබ්බාන (සංස්කෘත – නිර්වාණ) යනු නිවී යෑමයි. අටුවාවන්ට අනුව තෘෂ්ණාවෙන් නිදහස් වීම නිර්වාණය වන අතර සියලු බෞද්ධ අපේක්ෂාවන්ගේ උසස්ම සහ අවසාන පරමාර්ථය එය යි. භවයෙහි පැවැත්ම ගෙන යන තෘෂ්ණා සහගත චේතනාවේ පූර්ණ නිරෝධයෙන් ලබන පරම විමුක්තිය යි. මෙම සංකල්ප විග්‍රහයේ විස්තර කරන ලද කාරණා පදනම් කරගත් විස්තරාත්මක විමසුමක් ඉදිරි පරිච්ඡේදවල ඉදිරිපත් කෙරේ.

අතීතයේ ආගමික ඇදහිලි හා පරිසරය

අතීතයේ පැවති ආගමික ඇදහිලි හා පරිසරය අතර සම්බන්ධය විමසා බැලීමේ දී ආදි ඉන්දියානු ජනයාගේ ඇදහිලි හා විශ්වාසයන් අධ්‍යයනය කිරීම අතිශය වැදගත් වේ. 1931 දී සර් ජෝන් මාර්ෂල්ගේ පර්යේෂණයට අනුව ක්‍රි. පූ. 3250 සිට 2750 දක්වා පැවතියේ යැයි සැලකෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රභවය කෙසේ ඇති වී දැ’යි නිගමනයකට බැසීමට තරම් සාධක හමුවී නැතත් එකල්හි වූ ප්‍රතිමා මුද්‍රා හා ගොඩනැඟිලි අවශේෂයන් මගින් එම ශිෂ්ටාචාරයේ පැවති ඇදහිලි, වන්දනා ක්‍රම, විශ්වාසයන් හා වෙනත් පුද සිරිත් පිළිබඳව විමසා බැලිය හැකි වේ. ටෙරාකොටාවලින් තැනූ අර්ධ නිර්වස්ත්‍ර ස්ත්‍රී රූප බොහොමයක් හමුවී ඇති අතර එක් මුද්‍රාවක නග්න ස්ත්‍රී රූපයක ගර්භාෂයෙන් කුඩා පැළයක් මතු වන ආකාරය දැක්වේ. එහි අනෙක් පස දෑකැත්තක් වැනි ආයුධයක් අතැතිව සිටින මිනිසකු ද, දෙඅත් ඔසවා ගත් ස්ත්‍රියක් ද සිටින අතර ඉන් පෘථිවි මාතාව පිදීම ඔවුන් අතර පවතින්නට ඇතැ’යි අනුමාන කෙරේ. එපමණක් නොව, නාග රූප ඇතුළු විවිධ සතුන්ගේ රූප ද දෙයාකාරයක වූ වෘක්ෂ වන්දනාව ද පැවතුන බවට සාධක හමු වී තිබේ. ඒ අනුව, එකල්හි පැවති වැඳුම් පිදුම්වල දී පවා සොබාදහම සහ ජන ජීවිතය අතර වූ සබැඳියාව තවදුරටත් තහවුරු වේ.

එකී සංස්කෘතික ලක්ෂණ පසුකාලීන ශිෂ්ටාචාර කෙරෙහි ද බලපෑම් කර තිබෙන අයුරු පෙනෙන්නට තිබෙන අතර පෘථිවි මාතාව පිදීම වර්තමාන ඉන්දියාවේ පැවැත්වෙන ශක්ති පූජාව තුළ ද අන්තර්ගත ය. එපමණක් නොව, ඇසතු, නුග වැනි වෘක්ෂ පූජනීය වෘක්ෂ වශයෙන් ඉන්දියානුවන් සලකනු ලබන අතර සත්ත්ව වන්දනාව ද ඔවුන් අතර පවතින්නකි. ඉන්දියාවේ විසූ ආදිම ශිෂ්ට ජනයා මාතෘ දේවතාවියකට හා අං සහිත සශ්‍රීකත්ව දෙවියෙකුට වන්දනාමාන කළ අතර සමහර වෘක්ෂ සහ සතුන් ද ඔවුනට ශුද්ධ වස්තු විය. වෛදික සාහිත්‍යයේ ඍග් – වේදයෙහි හිරු, සඳු, අහසෙහි සමහර විට බැබැළෙන විදුලි එළිය, මිහිපිට නිතර ම දැල්වෙන ගිනිදැල් ඇතුළු ඇසට පෙනෙන නොයෙක් ස්වාභාවික වස්තුන් වැනි ස්වභාව ධර්මයේ විවිධ අංගෝපාංගවලට දේවත්වයක් ආරෝපණය කර වර්ණනා කර තිබීම දැකගත හැකි වේ. එපමණක් නොව ප්‍රතිමා වන්දනය ද ඍග් වේදයේ විශ්වාස හා ඇදහීම් අතර කොටසක් විය. ආරණ්‍යක යුගයේ දී භාවනා කිරීම ප්‍රධාන අරමුණ වෙමින් භාවනා ක්‍රම බෙහෙවින් ජනප්‍රිය වූ අතර සතර ආශ්‍රම ධර්ම ද බිහි විය. ශිෂ්‍යයෙකු වශයෙන් ඉගෙන ගනු ලබන අවධිය බ්‍රහ්මචාරී වන අතර ගෘහස්ථ යනු විවාහ වී අඹු දරුවන් රකින අවස්ථාවයි. වානප්‍රස්ථ යනු වනගත වීම වන අතර සන්‍යාසි යනු භාවනාව සඳහා සියල්ල අතහැර තාපස වෘත්තිය රැකීමට පැමිණෙන අවස්ථාවයි. යාග විධිය අනුගමනය කිරීමෙන් ම මෝක්ෂයට පැමිණීම දුෂ්කර වූ බැවින් වනයෙහි තපස් රැකීම ද භාවනානුයෝගී ව විරාගී සිතකින් බ්‍රහ්ම තත්ත්වය මෙනෙහි කිරීම ද උපනිෂද් කාලයෙහි සිදු විය. තාපසයා තමන්ගේ පවුලේ සාමාජිකයන් හා අනෙකුත් ලෞකික ධනය හැර දමා යෑමෙන් තමාගේ හිස මත ලූ මහත් බරක් ඉවත් වූවා සේ දැනෙන නිදහස් හැඟීම් ඉන්දීය ආගමික සාහිත්‍යයේ ඇති පහන් සංවේගය දනවන පාඨවලින් පැහැදිලි වේ. බුදුන් වහන්සේ පහළ වීමට පෙර අවදියේ පටන් විමුක්තිය උදෙසා මිනිසුන් වනගත වී භාවනා කළ බව මෙම තොරතුරු අනුව තවදුරටත් තහවුරු වේ. හුදෙකලා වාසය පරම විවේකය වන අතර කිසිම මිනිසෙකුට ඇස නොගැටෙන පරිදි ගණ වනයෙහි විසීම පරම විවේකය යි. නිදිධ්‍යසන යනු විවේකගත භාවනාවයි. බුදුන් වහන්සේ ද තම තාපස අවධියේදී යමෙකු දුටු කල්හි (වන මුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට පලා යන්නා සේ) උසස් විවේකය පතා වනයෙන් වනයට ගොස් දිවි ගෙවූ බවට සාක්ෂ්‍ය හමුවේ. මෙසේ හුදෙකලා විසීම පෙරදිග ශ්‍රමණ සම්ප්‍රදායන්හි කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර සාමූහිකව විසීම තුළ තමාගේ වටිනාකම් ගවේෂණයට ඇති ඉඩ ප්‍රස්තා ඇහිරී යයි.”

තවුස්දම් රැකීම වනාහි පුරාතන ඉන්දීය සංස්කෘතියෙන් ලෝකයට දායාද වූ වැදගත් අංගයක් වන අතර එහි මූලික අරමුණ වූයේ සත්‍යය සොයා ගැනීමයි. පූර්ව උපනිෂද් සඳහන් කරන පරිදි මිනිසුන්ගෙන් එක් කොටසක් (Pitrayana) ගම්වල වෙසෙමින් තපස් රැකීම් කළ අතර ඔවුන්ගේ අපේක්ෂාව වූයේ භවය තුළ ඉහළ තලයන්ට ළඟා වීමයි. අනෙක් පිරිස (Devayana) වනගත ව වෙසෙමින් තපස් රැකි අතර බ්‍රහ්මන් හා එක්වීම ඔවුන්ගේ අභිප්‍රාය විය. තම අරමුණට ගැළපෙන පරිදි සුදුසු පරිසරය තෝරාගෙන තිබෙන ආකාරය මෙතුළින් මනාව පැහැදිලි වේ. උපනිෂද් යුගය වන විට තවුස්දම් පිරීම බොහෝ දුරට පැතිර ගොස් තිබුණි. තම උවමනාවෙන් ම වන මැද වාසය කරමින් කුසගින්න, පිපාසය, අධික උෂ්ණ හා ශීතල, වැස්ස ආදී පීඩාවලින් පෙළෙමින් විසූ සමහර තවුසෝ හුදෙකලාව විසූ එක්තරා විධියක මානසික රෝගීහු වූහ. නගර සීමාවන්හි වූ තපෝ වනවල විසූ සමහර තවුසෝ මහ ගිනි අව්වේ ගිනි ගොඩවල් අසල වාඩි වී සිටීම, උල් හා කටු ගැසූ ඇඳන්වල වැතිර සිටීම, හිස පහතට හෙළා ගස් අතුවල පැය ගණන් එල්ලී සිටීම, සිය අත් දිරාපත් වනතුරු හිසට උඩින් නොසොල්වා අත් ඔසවාගෙන සිටීම යනාදී ආත්ම වධබන්ධනයන්හි නිරත වූහ. වන මැද විසූ තවුසන් පමණක් නොව නගර ගම්දනව් ආශ්‍රිතව විසූ තවුසන් ද කෙලෙස් තැවීම සඳහා උග්‍ර තවුස් ව්‍රතයන්හි නිරත වී ඇති බව මෙම තොරතුරු මගින් සනාථ වේ.

ඉහත දී සාකච්ඡා කළ සිව් වැදෑරුම් ආශ්‍රම ධර්ම අතරින් දෙකක් ලෞකික දියුණුව උදෙසාත් ඉතිරි දෙක ආධ්‍යාත්මික දියුණුව උදෙසාත් යොදාගෙන තිබෙන අයුරු දැක ගත හැකි ය. ශිල්ප උගෙන, විවාහ වී සාර්ථක ගෘහස්ථ දිවියක් ගත කර තම දරුවන්ගේ දරුවන් ද දැක තලතුනා වයසට පත්වූ විට නිවස අතහැර අරණට පැමිණ අවසානයේ ලෞකික සියලු දේට තිබූ බැඳීම ලිහා දමයි. එසේ තලතුනා වයසේ දී තවුස්දම් රැකීමට දිරිදුන් සාධකයක් ලෙස වැඩිහිටි විවාහක පුත්‍රයින් තම පාරම්පරික දේපළ අයත් කර ගැනීමට දැක්වූ ආශාව ද පෙන්වා දිය හැක. කෙසේ වෙතත්, ලෞකික සහ ආධ්‍යාත්මික සමබර ජීවිතයක් ගොඩනඟා ගැනීම උදෙසා එකී සාධකය ඔවුන්ට ධනාත්මක ව පිටිවහලක් සපයා ඇති බව පෙනෙන්නට තිබේ. ඉහත කී සාධකය තවුස්දම් රැකීමට දිරි දුන්න ද ඉන්දියානුවන් තවුස්දම් කෙරෙහි පෙළඹ වූ ප්‍රධාන හේතුව නම් ඍද්ධි බලය උපදවා ගැනීමේ චේතනාව යි. එම බලය තමන්ට ජන්මයෙන් හා අභ්‍යාසයෙන් ලැබෙතැයි බ්‍රාහ්මණයෝ සැලකූහ. එසේ තවුස්දම් රකින්නට බලපෑ හේතූන් පහත පරිදි වේ.

. ඍද්ධි බල ලැබීම

. ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව

. අතීත, වර්තමාන, අනාගත තුන්කල් දැකීම

. දෙව්ලොව ගිය පසු හරසරින් පිළිගැනීම

. ඇසෙන් හෙළන බැල්මකින් ජනතාවගේ ගොවිතැන් පාළු කිරීම

. කඳු සුනුවිසුනු කොට මුහුදට හෙළීම

ඉහත හේතූන්වලට අමතරව තපස් රැකීම සඳහා දිරි ගැන්වූ තවත් කරුණක් නම් උත්‍ර තපස් ව්‍රතයක් අනුගමනය නොකළ සාමාන්‍ය තාපසයාට පවා මෙලොව වශයෙන් නොයෙක් දේ ලැබිය හැකි වීමත් සාමාන්‍ය මිනිසෙකු වශයෙන් කිසිකලෙක නොලැබිය හැකි තරමේ ගරු සැලකිලි ලැබීමත් පෙන්වා දිය හැක.

අපර වෛදික යුගයේ දී පැවති ආගමික තත්ත්වය පූර්ව වෛදික යුගයට වඩා වෙනස් වූ අතර භක්ති මාර්ගය පිළිගැනීම නිසා පුද පූජාවල දී පිළිමය අත්‍යවශ්‍ය අංගයක් විය. භක්ති ප්‍රණාමය සඳහා පූජා විධියෙහි යම් ක්‍රියා පද්ධතියක් පහත පරිදි උපයෝගි කර ගැනිණි.

  1. අභිගමන (පූජ්‍ය ස්ථානයට යෑම)
  2. උපාදාන (මල්, සුවඳ විලවුන් ආදිය පුද කිරීම)
  3. පූජා (ප්‍රතිමාව වැඳීම)
  4. ස්වාධ්‍යායය (ගාථා හෝ මන්ත්‍ර ආදිය කීම)
  5. යෝග (භාවනා කිරීම)

ඉහත ක්‍රියා පද්ධතිය විමර්ශනය කළ විට පැහැදිලි ව පෙනෙන කරුණක් වන්නේ ලාංකික බෞද්ධයාගේ ආගමික වතාවත් කෙරෙහි එහි යම් බලපෑමක් ඇති වී තිබෙන බව යි. පුද පූජා පමණකින් යුත් ආගමක් ඇදහීමෙන් මිනිසාට පිරිසිදු සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීමට හෝ මානසික ශාන්තභාවයක් ඇති කොට මනස ඝට්ඨනවලින් මුදවා ගැනීමට හෝ හැකි නොවේ. ඉන්දීය චින්තනයේ නව ලක්ෂණයන් සංවර්ධනය වූයේ උග්‍ර තවුස් දම් වෙනුවට භාවනාව ඔස්සේ මානසික හා ආධ්‍යාත්මික අභ්‍යාස පුහුණු කිරීම ප්‍රධාන මාර්ගය කරගත් තවුසන් නිසා ය. එම තවුසන් අතරින් සමහරෙක් නගර ගම් සීමාවල හුදෙකලාව විසූ අතර ඇතමෙක් නායකයකු යටතේ පැල්පත් කිහිපයක විසූහ. තවත් සමහරු කණ්ඩායම් වශයෙන් පිඬුසිඟමින් තම ධර්මය අසන්නට රිසි වූවන්ට ධර්මය දෙසමින් විරුද්ධවාදීන් හා වාද කරමින් තැනින් තැන සංචාරය කළහ. ඇතමෙකු නිර්වස්ත්‍ර ව සිටි අතර අන්‍යයන් ඇන්දේ සුළු රෙදි කඩක් පමණි. දැහැමි කථාව හෝ උතුම් නිහැඬියාව අගය කළ බුදුන් වහන්සේ භාවනා කර සිත දියුණු කොට සත්‍යාවබෝධය ලැබිය හැකි අයුරු දේශනා කළ සේක. එහිදී, ශාරීරික පාලනය සඳහා ශීලයත්, මානසික පාලනය සඳහා භාවනාවක් අත්‍යවශ්‍ය වේ.

තවද, ආගමික ඇදහිලිවලට අමතරව නිරෝගී ව වෙසෙනු පිණිස මිනිසාට අවශ්‍ය සියලු ඖෂධ සපයනු ලැබුවේ පරිසරයේ වැඩුණු වෘක්ෂලතා මගිනි. ගෙඩි, මුල්, කොළ, පොතු සහ මල් යන ගසක් සතු සියලු අංගයන් ඖෂධ ලෙස භාවිත කළ අතර ගසක පොත්තක් ඉවත් කරගත් පසුව ගසෙහි වූ එම තුවාලය මත පස් පිඬක් ගෙන ආලේප කිරීමට තරම් අතීතයේ පටන් අපගේ මුතුන්මිත්තෝ වෘක්ෂ ලතාවන්ට කෘතවේදී වූහ. තවද, කුඹුරු යායක් වපුරන විට කුරුලු කොබෙයියන්ගේ ආහාරය වෙනුවෙන් කුඹුරු කොටසක් අතීතයේ පටන් වෙන් කළ අතර එය කුරුලුපාළුව නමින් හැඳින්විය. තම කෘෂිකර්මාන්ත කටයුතුවල දී සහාය දෙන ගවයාට ද ආචාර කිරීම පැරැන්නන් තුළ තිබූ තවත් එක් ලක්ෂණයකි. මිනිසා සහ පරිසරය අතර අතීතයේ පටන් පැවති මෙම සම්බන්ධය පහත පරිදි තවදුරටත් විග්‍රහ කළ හැකි වේ.

අනාදිමත් කාලයක සිට ගහකොළවලට යම්කිසි ආධ්‍යාත්මික සංවේදීතාවක් ඇති බව අපගේ පැරැණියන් දැන සිටි බව අපට වැටහේ. දේශීය වෙදකමේ දී බෙහෙත් පැළෑටි නෙලා ගැනීමේදී සාහසිකව සිත් පිත් නැත්තකු සේ එම කටයුතු කිරීමට පැරණි පොත පතේ හැටියට ඉඩක් නොමැත. සුදුසු වෙලාව බලා එම ගස ළඟට ගොස් ගස වටේට පිරිසිදු කොට ගසට නව වැඳුම් වැඳ අවසර ගෙන එම බෙහෙත් ගස නෙළා ගත යුතු වේ. කැලයට යන පැරැන්නෝ අතු කැබැල්ලක් කඩා දෙවියන් සිහි කර උඩකින් එල්ලා යති. පිරිත් මණ්ඩපයක වියන අපි නොයෙක් කොළ වර්ගවලින් සරසමු. අවුරුදු චාරිත්‍රවලදී හිසට පයට කොළ වර්ග තබන්නෙමු. ඒවායින් ම හදා ගත් නානු තෙල් හිසෙහි ගාන්නෙමු. ලොකු කුඩා කවර උත්සවයකට වුවත් ආරාධනය කරන්නේ බුලත් හුරරුල්ලක් දීමෙනි.

ඒ අනුව බලන කල පරිසරය හා මිනිසා යනු දෙදෙනෙක් නොව එකට එකතු වූ ඒකාබද්ධ පද්ධතියක මිත්‍රශීලී සාමාජිකයෝ ය. එම මිත්‍රශීලී බව මිනිසා විසින් ම විනාශ කරමින් පරිසරයට කෘතවේදී නොවීම නිසා බොහෝ පාරිසරික ගැටලු වර්තමානය වන විට පැන නැඟී තිබේ. ආගමික ඇදහිලිවල දී පමණක් නොව ජීවිතයට සම්බන්ධ අනෙකුත් බොහෝ කටයුතුවල දී ද අතීතයේ පටන් මිනිසා පරිසරය සමග දැඩි බැඳීමක් පවත්වා ගෙන තිබෙන බව මේ අනුව සනාථ වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *