ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී, දේශාභිමානී
පී.චන්ද්‍රරත්න
අද ඇසළ පොහෝ දිනයේ දී බොදු ගී විමසුම යටතේ ඇසළ මෙදිනට සුවිශේෂී වූ ගීතයක් තෝරා ගතිමු. ඇසළ පොහෝ දිනය බුදු සිරිතේ තීරණාත්මක සිදුවීම් රැසක් හේතුවෙන් වැදගත් වේ. සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම, ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වීම, පෙරවස් සමාදානය, රාහුල කුමරුගේ උපත, ලංකාවේ සම්බුදු සසුන ස්ථාපිත වීම සඳහා අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනකු පැවිදි වීම හා උපසම්පදාව ලැබීම, සියම් නිකාය ස්ථාපිත කිරීම ඉන් ප්‍රධානය. මෙම සිදුවීම්වලින් සාහිත්‍යයේ විවිධ නිර්මාණ සඳහා පාදක කරගත් සිදුවීමක් වනුයේ සිදුහත් කුමරුන් ගිහිගෙයින් නික්මීම වේ. අතිශය සංවේදී මෙම සිදුවීම අරභයා සිංහල ගීත සාහිත්‍යයේ බෙහෙවින් ජනප්‍රිය ගීතයක් වන “නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා…” නම් ගීතය අද විමසුමට ලක් කෙරේ. වසන්තා සන්දනායක ශිල්පිනියගේ ගායනයෙන් ඔපවත් වූ මෙහි ප්‍රබන්ධය මර්වින් සේනාරත්නයන් විසින් කර ඇත.
නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ
දැනුණා නම් පැන යන බව නැහැ යන්නට දෙන්නේ
මේ මාළිගයේ …
මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
මා තාම නැතේ සඳළුතලෙන් පහළට බැස්සේ
පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රාජා
සංසාර සැපේ කළකිරුණලු ඇත්තද ඒක
සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක
ගලවාල දමා …
ගලවාල දමා කණකර අබරණ හැමදාක
වැළපේවි යසෝදරා සොහොන් පිටියකි මේක
නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙන යන්න
ගීතයෙහි ආරම්භයෙහිම සඳහන් “නොකියාම එදා” යන යෙදුම හා බැඳුණු පුවත් රාශියකි. අටවිසි බුදුවරුන්ගෙන් දීපංකර බුදුන් හැර අනෙක් සියලු බුදුවරයන් වහන්සේ සිය බෝධිසත්ව කුමාර අවධියේ ගිහිගෙයින් නික්ම ඇත්තේ සිය බිසොව හා ළදරු පුත් කුමරුන් හැර දමමිනි. “දහම් සරණ” නම් කෘතියෙහි වෙන් වෙන්ව බෝධිසත්ත්ව චරිතය, බිසවගේ නම හා පුත්‍ර කුමාරයාගේ නමද වෙන් වෙන්ව සඳහන් කර ඇත. එනම් ගෞතම බුදුන් සිද්ධාර්ථ බෝධිසත්ව කුමරු ලෙස යශෝධරා කුමරිය හා රාහුල කුමරු හැර දමා ගිහිගෙයින් නික්ම ගිය ලෙසම අන් බුදුවරයන් වහන්සේද එලෙසම සිදු කර ඇති බවය. මෙම පොදු සිදුවීම “මහාභිනිෂ්ක්‍රමණය” ලෙස හැඳින්වේ. ගිහිගෙයින් නික්මීම ලෙස සරල අර්ථ ගැන්වීමක යෙදෙන නමුත් “මහාභිෂ්ක්‍රමණය” යනු කුමක්දැයි මුලින්ම පැහැදිලි කර ගනිමු. “නොකියාම එදා” යෙදුම පිළිබඳව පුළුල් වැටහීමක් ලැබෙනුයේ ඉන් අනතුරුවය.
නිෂ්ක්‍රමණ – අභිනිෂ්ක්‍රමණ – මහාභිනිෂ්ක්‍රමණ යනුවෙන් ව්‍යවහාර තුනකි. නිෂ්ක්‍රමණ (පා: නික්ඛමන) යනු නික්මීම හෙවත් පිටව යාමය. ලෝකයේ කවර පුද්ගලයකු හෝ කවර කාර්යයකට හෝ නිවසින් පිටවීම නිෂ්ක්‍රමණයකි. කිසියම් පුද්ගලයෙක් ගිහිගෙය කෙරෙහි කළකිරී පැවිදි වීමට නික්මේ නම් එය අභිනිෂ්ක්‍රමණයකි. බෝසතුන් ගිහිගෙයින් නික්මෙනුයේ උතුම් වූ බුදුබවම ප්‍රාර්ථනයෙනි. එයට වඩා උතුම් වූ තවත් නික්මීමක් ලොවෙහි නොමැති බැවින් එය “මහා අභිනිෂ්ක්‍රමණය” ලෙස හැඳින්වේ. ගීතයේ ආරම්භක යෙදුමෙහි අරුත එයයි. එසේම එම නික්මීම කිසිවකුට නොදන්වා රහසින්ම වූයේද නැතහොත් නිවැසියන් දකිමින්ම සිදුකළේ ද යන මත දෙකද විමසිය යුතුය. බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන්නේ රාත්‍රියේ සියල්ලන්ට රහසින් එසේ කළ බවය. සුප්‍රකට සඳකිඳුරු කවෙහි සඳහන් වන්නේද එළිපත්තේ සිට රාහුල කුමාරයන් දැක පිටවූ බවය.
කුමරු දැක ඹත්තේ
එමී යන සිත ඇත්තේ
ගොසින් එළිපත්තේ
සිටම දැකලා නැවැත්තේ
(සඳකිඳුරු දා කව – 75 පද්‍යය)
යසෝදරාවත නම් වූ ජනකවියේ ද එලෙසින්ම සඳහන්ය.
සිතා ගෙනම වෙර වෑයම කරදු නිමි
පතා පෙරුම් බලයෙන් නෑරම ආමි
ගොතා දෑත බැඳලා අප දන් දුනිමි
කතා මට නොකර වැඩියේ මන්ද හිමි
(යසෝදරාවත – 76 පද්‍යය)
එහෙත් මෙම සිදුවීම ත්‍රිපිටකයට අයත් මජ්ක්‍ඩිම නිකායේ එන ආරියපරියේසන සූත්‍රයේ දැක්වෙන්නේ මෙසේය. (සිංහල පරිවර්තනය) මහණෙනි, මම ඒ කාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළු කෙස් ඇත්තෙමි. පළමුවන වයස් වූ සොඳුරු යෞවනෙන් යුක්ත වූයෙමි. නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති දෙමව්පියන් හඬද්දී, කෙස්රැවුළු බා කසාවක් හැද ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි….” (මජ්ක්‍ඩිම නිකාය – සූත්‍රාන්ත පිටකය – ප්‍රථම භාගය – බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා) මෙයින් පෙනී යන්නේ සිදුවීම පිළිබඳව පසුකාලීන සාහිත්‍ය නිර්මාණය වඩාත් ජනගත වූ බවය. ගීත රචකයා ඇසුරු කර ඇත්තේ එම පසුකාලීන මතයයි. එය සම්භාව්‍ය සිංහල සාහිත්‍යයටද එකසේ බලපා ඇති බව සිංහල බෝධිවංශයෙහි මතු දැක්වෙන පාඨයෙන් පෙනේ.
“….පුත්‍ර රත්නය දක්නා කැමැත්තෙන් බඳනා ලද ධවල වූ මල්දම් සිය ගණන් ඇති දිලිසෙන්නා වූ මංගල ප්‍රදීපයන් ඇති බිම්බා දේවියගේ ශ්‍රී යහන් ගබඩාවට වැද, නොහරන ලද ගර්භ රාග ඇත්තා වූ සූර්යෝදයෙහි රත් වූ රශ්මි මණ්ඩල ඇති සූර්යා වැනි වූ සඳමාලා පටලයෙන් වසන ලද රන් වූ ශරීර ඇති චන්ද්‍රයා බඳු වූ සිරියා වූ රන් පියුම් කලබක් බඳු වූ පබළු ලීය දලුයෙන් කරන ලද්දක් වැනි වූ ද පද්මරාග මාණික්‍ය රශ්මීන් කරන ලද්දාත් වැනි වූද ශරීර සොභා ඇති දෙවඟනන් අතින් ගිලිහී වැටී ගියා වූ දිව්‍ය කුමාරයකු වැනි වූ කකියවන ලද රන් රසයක් හා සමාන ශරීරාලෝකයෙන් පුරන්නාක් වැනි වූද….. ශ්‍රී යහන් මස්තකයෙහි ඔත්තා වූ පුත්‍ර රත්නය දැල්වූ ඇස් ඇති නිශ්චල වූ ඇසිපිය ඇති සතුටු ක`ඳුලින් පිරුණා වූ මිඟිනි ඇති ඇසින් රූප රසය බොන්නාක්හු මෙන් බලාද…”
(සිංහල බෝධි වංශය- 62 පිටුව, ඤාණරතන සංස්)
ගීතයෙහි දෙවන අන්තරා කෙටසට පාදක වූයේද ඉහත ප්‍රකාශයම බව පෙනේ. සියලු බුදුවරුන් වහන්සේගේ චරිතවල සිදු වූ මෙම මහාභිෂ්ක්‍රමණය සිද්ධාර්ථ බෝසතුන් හටද පොදු වූ නමුදු එහි අනුවේදනීය බව උත්කර්ෂයට නංවමින් සාහිත්‍යයෙහි රසවත් නිර්මාණ කර ඇත. මෙම ගීයද ඊට නිදසුනක් නමුදු ප්‍රකට කෘතිය වන සඳකිඳුරු දා කවෙහිද දැක්වෙන ලෙසට යශෝදරාවනට බුදුබව හෝ පැවිදි ජීවිතය පිළබඳව කිසිදු අවබෝධයක් තිබූ බවක් ගීතයෙන් නොකියැවේ. එය තාර්කිකය. එකල බුදුසසුනක් නොතිබූ බැවින් තම සැමියා තමා හා පුතු තනිකර රහසින් පිටව යාම ඕනෑම බිරිඳකට වටහා ගත නොහැකි කරුණකි. ගීතයෙන් යළි යළිත් හුවා දක්වන්නේ එම මානසික වියවුලයි.
පුතු සමඟ මාළිගයේ හුදකලාවූ යසෝදරාවන් යටත් පිරිසෙයින් උඩුමහලෙන් බිමට හෝ නොබැස සොවින් කල් ගෙවූ බව “මම තාම නැතේ සදළුතලෙන් මිදුලට බැස්සේ” යන කොටසෙන් කියැවේ. බුදුවූ පසු ඇයගේ මාළිගයට වැඩි ගෞතමයන් වහන්සේගේ දෙපාමුල වැටී හඬන යසෝදරාවන් ගේ දුක්ගැනවිල්ල සුදෝවුන් රජු මුවින් පවසන ගුරුළුගෝමීන් අමාවතුරෙහි ඒ බව මෙසේ සඳහන් කරයි.
“…..වහන්සෙ මද තොප කහවත් හන්හ යනු අසා කහවත් හන. තොප එක් වේලෙහි වළදති අසා එක් වේලෙ වළදති. තොප මහත් සම්පත් පී – බව් දැනැ මහත් සම්පත් පිවැ. මහයහන් පීහ යනු දැනැ මහ යහන් පියා පට හැඳෙක හොවී, තොප මල්ගඳ නොපළඳනා බව් දැනැ මල්ගඳ හළ…..”
(අමාවතුර – 46 පිටුව – කෝදාගොඩ ඥානාලෝක සංස්)
යසෝදරාවනට වූ පැනය නම් මෙතරම් සැප සම්පත් හා තමා සමඟ පුතුද හැර දමා තපස් රැකුමට ගියේ මන්ද යන්නය. ඇය ඊට හේතු වූ කරුණු දෙකක් පිළිබඳව අනුමාන කරන්නීය.
- සංසාර සැපෙහි කළකිරුණා යන්න සත්‍යයක් ද?
- තමාගෙන් යම් අපහසුවීමක් හෝ අඩුපාඩුවක් වීද?
මෙහිදී ගීත රචකයා යසෝදරාවතෙහි එන සඳහන එලෙසම පිළිගෙන ඇත.
රුව ඇති පුතුන් වැදුවා මා වැරදී ද
රුව ගුණ තේජසක් මගෙ අඩුවුණා ව ද
ගරු සරු නැති කමක් මාතින් යෙදුණා ද
මරු බිඳ බුදුවෙන්න සීනෙන් පෙනුණා ද
(යසෝදරාවත – 79 පද්‍යය)
ගීත රචකයාගේ ප්‍රබල තර්කය නම් “සංසාර සැපේ කළකිරුණලු ඇත්තද ඒක” යන ප්‍රකාශයයි. එය වඩාත් ධර්මානුකූල තර්කයද වේ. සිදුහත් කුමරු නික්මෙන්නට පෙර කන්ථක අසුගෙන් කරනු ලබන ඉල්ලීම මෙහිදී එක්වරම සිහියට නැගේ. ගිහිගෙය තවදුරටත් සිටීම සංසාරයේ තවදුරටත් අත්විදීමට හේතුව බැවින් ඉන් අතමිදීමට නම් සංසාරයෙන් එතෙර විය යුතුය හෙවත් නිවන් දැකිය යුතුය. එහෙත් තම කළකිරීම හා සංසාරයෙන් එතෙරවීම වැනි ගම්භිර වදන් කන්ථක අසු වැනි තිරිසන් යෝනියෙහි වූවකුට නොවැටහේ. ගුරුළුගෝමීහු එහිදී සිදුහත් කුමරුගේ මුවට නංවන ප්‍රකාශය කෙතරම් විසිතුරුද බලන්න.
“බෝසතාණෝ රහල් කුමරුන් දැකැ පහයින් බැසැ අශ්වයා කරා එළබැ “මේ රෑ තො මා භරවා, මම මුළු ලො තරවමි….” (අමාවතුර – 18 පිටුව)
(අශ්වය) නුඹ මා ගඟෙන් එගොඩ කරව. මම මුළු ලෝකයම එගොඩ කරවමි) ගීත රචකයා සංසාර සැපේ කළකිරුනලු ඇත්තද ඒක යනුවෙන් යසෝදරාවන්ගේ මුවට නංවන්නේ එම යථාර්ථවාදී ප්‍රකාශයයි.
මීට පෙරද සඳහන් කළ පරිදි මෙම සංවේදී සිදුවීම බොහෝ සාහිත්‍යකරුවන් බෞද්ධ පරිසරයක නිර්මාණය කිරීමට තැත්කර ඇති නමුත් මහාභිනිෂ්ක්‍රමණය කරන විට ලෝකයේ බුදු සසුනක් නොවූ බැවින් ගීතයේ රචකයා යසෝදරාවගේ මුවට නංවන දුක් ගැනවිල්ල අතිශයින් තාර්තිකය. එකල තිබූ ආගමික සිරිත තපස් රැකීමට යෑම බැවින් ගීත රචකයාද ඉතා නිවැරදි ලෙස එය භාවිත කර ඇත. එම යුගයට අනුව සැමියා හැර යෑම කවර ස්ත්‍රියකට වුවද මහත් නින්දාවකි. රජුගේ ලේලියට එය මහත් නින්දාවකි. ඇය දන්නා බුදුවීමක් හෝ බුදු සසුනක් නොමැති බැවින් තමා හැර යෑමේ නින්දාව ගීත රචකයා අපූර්ව ලෙස ගීතයේ අවසානයට යොදා ගනී. සිදුවූ නිග්‍රහය හේතුවෙන් තවදුරටත් කපිලවස්තු පුරයේ විසීමට නොහැකිය.
එහෙත් ඇය තමාටත් රජ පවුලටත් නින්දා ගෙන දෙන තීරණයක්ද නොගනී. ඇය අතිශය මානුෂීය ආයාචනයක් කරයි. සිදුවූ වරද නිවැරදි කිරීමට ඇගේ ආවේගශීලී දැඩි ඉල්ලීම, මෑත යුගයේ විදුලි පණිවුඩයක් බඳු තීරණාත්මක ඉල්ලීමකි. “නොපමාවම පැමිණ අපවද ඔහි ගෙනයන්න” සිදුහත් කුමරු වෙසෙන ස්ථානය කවර එකක් වුවද ඇයට කම් නැත. ඔහු පිටව ගියේ තපස් රැකුමට බව ඇය හොඳින්ම දන්නා බව ගීතයෙහිද සඳහන් බැවින් ඔහු වෙසෙන්නේ මහ වනයේ බව දනිමින්ම ඇය එම ඉල්ලීම කරනු ලබයි. සාමාන්‍යයෙන් ගීතයක් අවසන් වන්නේ මුල් ස්ථායි කොටස යළි ගැයීමෙන් පසුව වුවද මෙම ගීතයේ මුල් ගැයුමේදී අවසන් කොටස වන්නේද “අපවද එහි ගෙනයන්න” යන ඉල්ලීමෙනි. එය ප්‍රබල කූඨප්‍රාප්තියකි.
මෙම ගීයෙහි භාෂාව එතරම් උසස් මට්ටමක නැතැයි බැලූ බැල්මට පෙනී යා හැකිය. මා උන්නේ. ඇත්තද ඒක, දුක් ගින්දර දීලා වැනි යෙදුම් ඊට හේතු වේ. හින්දි ගීතයක තනුවට යෙදූ පද බැවින් තාලය රැක ගැනීමට එසේ කර ඇතැයි ඇතැමෙකුට පැවසිය හැකි නමුත් රචකයාගේ අරමුණ දරාගත නොහැකි ශෝකයකින් පෙළෙන කාන්තාවකගේ ළසෝ තැවුල වචනවලට නැඟීමය. උගත් නූගත් සැවොම පොදු වියෝ දුක ප්‍රකාශ කිරීමට සාහිත්‍යමය රසයක් ඇති වදන් තේරීමට වඩා අව්‍යාජව ගලා එන දුක්ඛ දෝමනස්ස හැඟීම පිටකරන වචන තෝරා ගැනීමට රචකයා පෙළඹී ඇති බව පෙනේ.

