සුගත් වීරසූරිය
ගිරි දුදුළු, දිය කඳුරු, සිලිලාර හා මහ රුක් පඳුරු පිසගෙන ආ මඳ සුළඟ අරිට්ඨපුර නුවරට ළඟා විය. ඒ නුවර අලුත් පාලනය භාර වී තිබුණේ තරුණ “සිවි” කුමරුවන්ට ය. සැබැවින් ම ඔහු කොයි තරම් සොඳුරු රූ සපුවකින් යුතු වී ද? ඔහුගේ නැණ නුවණ විලස ද ඒ රූප විලාසයට දෙවැනි නො වී ය. තණ්හා මඩ ගොහොරුවෙහි එරී ගත් අනෙක් රජවරුන් මෙන් සිවි රාජ කුමාරයා බල කාමයෙන් මත් වූවෙක් නො වී ය. ධන තණ්හාසයෙන් උමතු වූවෙක් ද නො වී ය. එහෙයින් ම දෝ ආලකමන්දාවක සුර දූතයකු මෙන් නො වූ ඔහු හද, කරුණා සයුරු දියෙන් පිරී තිබුණේ ය. එමෙන්ම මෙත් සිතිවිලිවල සුවඳ මල් පීදුණු ඔහුගේ හිත ඉවසීමෙන් මුදු සුමුදු වී පැවතුණේ ය. හැම විට උපේක්ෂා ගුණය ද තිබුණු ඒ සිත රාජ මාළිගයට මෙන්ම විශල් අරිට්ඨ නුවර පුරාවට මත් මහා අස්වැසුමක සහන් එළි රැගෙන ආවේ ය. සිවි රට සතර වාසල් දොරටුවල හා නුවර මැද සේ ම සිය මහ මැදුර ඉදිරියෙහිත් දිනකට ලක්ෂ ගණනාවක් වියදම් කොට දන් දෙන්නට සිවි කුමරු මෙහෙයවනු ලැබූවේ ද ඔහු තුළ වූ මේ මහා ගුණ කදම්බය ම ය.
එක් මනරම් උදෑසනෙක සිවි රජ මැඳුරු බිමට අරුණාලෝකයේ ළා හිරු වතුර වැටී තිබුණේ ය. එයින් රාජ මාළිගයේ අවට හැ මතැනක් ම නොයෙක් විසිතුරු සිරි දරා සිටියේ ය. තරුණ සිවි මහ රජතුමා තවමත් සඳලුතලයට පිවිසුණු ගමන් ය. එහි වූ දිගු අසුනෙහි බාපතට බර වී සතර වාහල් දොරටුවල වූ දන් හල් කරා එන මහා ජන කැළ දෙස ඔහු බලා සිටියේ ය. එයින් මෑත් වූ ඔහුගේ දෑස් අනතුරු ව යොමු වූයේ මැඳුරු මිදුලේ ඈත කොනක වූ විශල් නුග ගස වෙත ය. නුග ගසෙහි බොහෝ කොළ කහ පැහැ ගැහී නටුවලින් ගිලිහී වැටෙන්නට ආසන්න වී තිබිණි. මහලු නුග ගහ දෙස බලා ඔහු මේ සිටින්නේ කවර නම් සිතැඟි සයුරක ගිලී අතර මං වී ද? අසුරු සැණෙක් පාසා ම කාලය ගලා යයි. ලෝකයට අයත් ජීව අජීව හැම දෙයක් ම පෙර නො හිතූ විරූ වෙනස්කමකට පෙරළී ඇත. එයින් සිවි මහ රජතුමාගේ හිත කිසියම් ව්‍යාකූල තත්ත්වයකට පත් වුණේ ය. සදා නියත අනිත්‍යයත්, එයින් හිතෙහි නැඟුණු ශෝකාකූල ස්වරයත් සිවි මහ නිරිඳුන්ගේ හදවත පාරා දැමුවේ ය. එම අඳුරු බර සිතුවිලි ටික ම ඊළඟට රජුගේ සිත ඇතුළට කිසියම් තැතිගැන්මක් මෙන්ම කලකිරීමක් ද රැගෙන ආවේ ය. මේ සිතිවිලි අතරින් ම නිරාශාවත්, නිරාමිසයත් හදෙහි වැඩුණු ඔහුට සක්විති සුව සහන ගලා ආවේ ය. ඒ නමුත් ඔහුට හිතුණේ මුළු රාජශ්‍රීය ම දුගී මගී යාචකාදීනට දන් දෙන්නට ය. එහෙයින් ම දෝ ඒ තුෂ්ණිම්භූත උදැහැනැක්කේ සිවි මහ රාජ කුමරුවන් තුළ මෙබඳු සොඳුරු සිතිවිල්ලක් ඇති වුණේ ය. ඔහු තමාට ම මුමුණාගත්තේ ය.
“මෙපමණ කාලයක් මා බාහිර වස්තු දන් දුන්නා. ඒත් ඒ කිසි දීමකින් මගේ හිත නො පිරුණු හැටි. දැන් මා දන්සලට යන්න ඕනෑ. ඒ ගියාම එතැනට ආ යාචකයෙක් ආහාර පාන, මුතු මැණික්, මිල මුදල්, ගේ දොර, වතු පිටි කිසි ම දෙයක් ඉල්ලන්නෙ නැති ව මේ ශරිරයෙන් කිසියම් අවයවයක් ඉල්ලනවා නම්… ඒක කොයි තරම් නම් හොඳ ද? ඇත්තෙන් ම ඒක මට මේ නිසරු රාජාභිෂේකයට වඩා වටිනවා.” සිවි මහ රාජ කුමරා හිතුවේ ය. ඉදින් කිසියම් යාචකයකු අද දන්සලට විත් මේ කයෙහි ඇති දෑස් ඉල්ලනවා නම් එය මට කොයිතරම් නිරාමිස සංසිඳීමක් ගෙන දෙයි දෟ රජ කුමර තෙම යළිත් සිතුවේ ය. එසේ සිදු වන්නේ නම් තල් ලොඳක් උගුළුවා දෙන්නාක් මෙන් සිය ඇස් දෙක ගලවා දෙන්නට ද ඔහුට සිත් විණ. තරුණ සිවි මහ රජතුමා අඩවන් කරගත් නෙතින් යුතු ව දුර ඈත ක්ෂිතිජය දෙස බලා සිටියේ ය. ඉන් ඉක්බිතිව රජ මැඳුර තුළට පිවිසී ඔහු උදෑසන ආහාර අනුභව කළේ ය. එයින් අනතුරු ව සියලු රාජාභරණයෙන් සැරසී නොයෙක් ලෙස සරසා තිබූ ඇතු පිට නැඟී සිව් රඟ සේනාව ද සමග දාන ශාලාව බලා ගමන් ආරම්භ කළේ ය.
සිවි මහ රජතුමාගේ පිරිසිදු දාන චේතනාව සක් දෙවියන් සවන් වැකිණි. එය ඔහුගේ දිව කන් ඔස්සේ ඇදී ගොස් හෘද ස්පන්දනයට ද එක් වී ය. ඒත් සමග ම මේ අපූරු දානපති තෙම පිළිබඳව ශක්‍ර දේවේන්ද්‍රයා තුළ ඉමහත් ගෞරව පූර්වක වූ සෙනෙහසක් ද හට ගත්තේ ය. සිවි රජ සිතෙහි වූ මේ දුලබ දානමය හැඟුම සදා නොවෙනස් වූවක් දැ යි පිරික්සීමේ සිතක් ද සක් දෙවිඳු තුළ ඇති වුණේ ය.
දිලෙන ළා හිරු පහනේ මඳ උණුසුම හා ආලෝකය ද මඟතොට පුරා විසිර පැතිරී තිබිණි. ඇතුපිට නැඟුණු සිවි රජු පිරිවරා ගත් පෙරහැර මඟ වූ වන වදුළු හා ලිය ගොමු ද පසු කරමින් ඉදිරියට ම ඇදුණේ ය. වයස්ගත බවින් වෙළී ගත් මහල්ලෙකුගේ වේශය ගත් සක් දෙව් තෙම මේ පෙරහැර අබිමුව එක් වර ම පහළ වනු කිසිවෙකුත් දුටුවේ නැත. සා පවස දෙක සංසිඳුවා ගනු පිණිස පාළු වීදියෙහි එහා මෙහා යන යාචකයකු ය යන හැඟීම පමණක් ඔවුන් තුළ ඇති වී ය. මහල්ලාට ළං වත් ළං වත් ම ඔහුගේ දෑස ම නො පෙනෙන බව ද සිව් රඟ සේනාවෝ වටහාගත් හ.
“බමුණ, මේ මහ මඟ වඩිමින් සිටින්නේ සිවි මහ රජතුමා. මාර්ගයෙන් මඳක් ඈත් වී අපට ඉඩ දෙව” යි මෙහි දී කෙනෙක් කී හ. එකෙණෙහි ම ඇස් අඳ මහල්ලා ඒ දෙසට නැවී “ජයතු භවං සිවි මහා රාජ “යි මුමුණා රජුට ආශීර්වාද කළේ ය. සිවි මහ රජු මේ අසරණ මහල්ලා දෙස මද වේලාවක් බලා සිටියේ ය. නියඟයට සිඳුණු දිය කඳුරක වේළී ඉරි තැලුණු රොන්මඩක මෙන් බමුණාගේ සම ද වැහැරී ඉරි තලා ගොස් තිබෙනු රජු දුටුවේ ය. ඔහුගේ දිරා ගිය ඇටසැකිල්ල දෙස බැලූ රජුට එක් වර ම සිහි වූයේ උණ පතුරින් කළ සැකිල්ලකි. මහා දුකකින් රජු හද වෙළී ගියේ ය.. හේ අනාථ මහලු බමුණාගේ, සැඩ සුළඟට ඇඹරී ඇටුවන් බැහැ ගිය ගහක් මෙන් වූ සිරුර දෙස බලා හීන් හඬින් කතා කළේ ය.
“පින්වත් බමුණ, නුඹට අවශ්‍ය කුමක් ද? කවර වූ දෙයක් ලැබුණොත් නුඹේ අනාථ අසරණ සිතත්, ගතත් සැනහී යන්නේ ද” සිවි මහරජතුමාණන්ගේ මේ අසිරිමත් මහා මානව දයාව දෙස බලා සිටි කාගේත් හිත්වලට දැනුණේ සවන් පත්හි අමාවක් වැකී ගියාක් සේ ය. දත් නැති මුව තුළට වැදුණු බමුණාගේ දෙතොල නාසයට යටින් පෙනුණේ කෙළෙන් තෙමුණු සිහින් රේඛාවක් ලෙසිනි. ඔහු ඒ දෙතොල් හෙමි හෙමින් වෙව්ලවා ඇසෙන නෑසෙන සරින් මිමිණුවේ ය.
“පින්වත් මහ රජතුමනි, ජීවිතයේ අගිස්සට ම ගිය මාගේ දෑස ම අන්ධයි. එම නිසා මට හරි හැටි කුසට බත් මිටක් වත් සොයා ගන්න අමාරුයි. එහෙයින් මා ඉතා දුර සිට පැමිණියේ කාගෙන් හෝ එක් ඇසක් හරි ඉල්ලා ගන්නයි. එබැවින් දානයෙහි නො සිඳෙන ආශා ඇත්නම් මට නුඹ වහන්සේගේ නෙතු සඟලින් එකක් වත් දුන මැනවැ” යි බමුණා කීවේ ය. ජීවිතයක දී බොහෝ දේ දන් දෙන්නට හැකි වුවත් ඇසක් දන් දීම කෙනෙකුට මහත් සේ අසීරු වූවකැ යි සිතූ රජ තෙම, එක ඇසක් නො ව දෑස ම බමුණාට දන් දෙන්නට තීරණය කළේ ය. හෙතෙම අනාථ බමුණා රජ මැඳුරු ගැබට කැඳවාගෙන ගියේ ය. මේත් සමගම සිවි මහ රජතුමා තම ඇස් ගලවා අන්ධ බමුණකුට දන් දෙන්නට යනනේ යැ යන පුවත සියලු නුවර එක පැහැර පැතිර ගියේ ය.
“මහ රජතුමා ඇස් උපුටා දන් දෙන්න යනවා.”
සෙනෙවිරත්, යුව රජ හා මහ ඇමතිවරු ද ජනතාව මෙන් එක හඬින් ඇඬූ හ. “මාගේ ප්‍රිය පුතණුවනි, නො හඬන්න. නො වැළපෙන්න. මා මේ දෑස දන් දෙන්නේ කිත් යසස් හෝ මහා රාජ සම්පත්තියක් පතා නො වෙයි. සමත්‍රිංසත් පාරමිතා ධර්මයන් පුරා ලොව්තුරා බුදු වී සියලු සතුන් භව සාගරයෙන් එගොඩ කරනු පිණිසයි.” රජු ශෝකයෙන් දැවුණු තැවුණු සැම අස්වසාලී ය.
සඳ, තරු හා සුළඟ ද නිසල වූවේ ය. ගහ කොළ ගොලු වී නිසොල්මන් ව බලා සිටියේ ය. ඒ මළ ඉර බැස ගිය හැන්දෑ භාගයේ රජ මැඳුර තුළ මැස්සකුගේ පමණ හෝ හඬක් නො වී ය.
ඈත ගං වෙරළ අසබඩ ගස් කොළන් සුළඟට වැනී අවසන් ය. ඝන කලු කොළ කැටියෙන් වැසුණු මහ ගසක දිරා ගිය අතු ඉපලක පිය පතර තබා, සැඟව මැරෙන ඉපදෙන ගඟ දිය රැළි දෙස බලා හිටි උල ලේනා නොකඩවා හැඬුවේ ය. තෙරක් නො පෙනෙන තෙක් පැතිරී ගිය නදී දිය දහරින් හා වන සේයාවෙන් ද පිරුණු මහ නිසල ලෝකයෙහි සිවි රාජ මාළිගය අන්ධකාරයක ගිලුණේ ය. එසේ ඝනඳුරක ගිලුණු එය රාස්සිගේ මළ හිරු එළියේ නිශ්චල ව පෙනිණ.
එම නිශ්චලතාව ලෙන්ගතු වූ රාජ ආරාධනයෙන් ම රජුගේ නෙත් ගලවන්නට ආ “සීවක” නමැති වෙදැදුරාගේ හිත පෑරුවේ ය. රාජ ඇරයුම පරිදි සීවක අතින් ගැලවුණු රජුගේ දකුණැස ඉසියුම් නහරින් එල්ලෙමින් තිබුණේ ය. සිවකයන් කම්පිත සිතින් යොවුන් සිවි රජු දෙස බලා සිටිද්දී ඔහු නෙත් කෙවෙණි කඳුළින් බොඳ වුණේ ය.
“පින්වත් මහ රජතුමනි, මේ අසරණ මහ ජනතාව දෙස මඳක් බලන්න. නැවතත් ඔබ වහන්සේගේ ඇස ප්‍රකෘතිමත් කිරීම මට භාරයි” යි කී සිවක කඳුළු අතරින් වෑයමින් වචන ගැට ගැසුවේ ය. හුදෙක් ම ඒ නහර ද සිඳීමට පෙර යළිදු ඇස් ප්‍රකෘතිමත් කිරීමට වාසනාවක ඇබිති බිඳක් හෝ තමාට ලැබෙතැ යි සිවක සිතූ නිසා ය. එහෙත් එය එසේ නො වී ය.
“පින්වත් වෙදැදුරාණෙනි, මාගේ දාන පාරමිතාවට බාධා නො කළ මැනවි.” රජු කීවේ ය. රජුගේ ඇසින් ගලා ගිය රුධිර දහරින් සළු පිලි ද තෙමී යද්දී සිවක හඬ හඬා ම වමතින් ඇස් අල්ලා දකුණතින් ඇස් එල්බ තිබූ නහර ද සින්ඳේ ය. එලෙස සිඳ ගත් දෑස් සිවි මහ රජතුමාගේ දෝත මත තැබුවේ ය. රජු ඒ ඇස් අඳ බමුණාට දන් දුන්නේ ය. රජුගේ ඇස් දෙක ම තම දෑස් මතුයෙහි තබා පෙනුම ලබාගත් මහලු බමුණා රාජ වීථිය ගෙවා අන්තර්ධාන ව දෙව් ලොවට ද ගියේ ය.
සිවි මහ රජතුමාගේ අසිරිමත් දාන පාරමිතාවෙන් පසුව සිවි රට අරිට්ඨ පුරය නැවතත් පළමු පැවැති ස්වාභාවික තත්ත්වයට පැමිණ තිබුණු බව බැලූ බැල්මට පෙනිණි.ඒ නිසල රාත්‍රියෙහි අන්ධ සිවි මහ රජු බොහෝ වේලාවක් සඳලු තලයේ සක්මන් කළේ ය.
“දෑස ම අන්ධ වූ මට මේ යස ඉසුරින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එහි දී ඔහුට නොයෙක් වර සිතිණි. රජුට ඉන් එහා යමක් හිතුණේ නම් ඔහු සිතට නැඟුණ එක ම එක සිතිවිල්ල වූයේ සියල්ල හැර දමන්නට ය. ඉන් ඉක්බිති ව මගුලුයනට ගොස් තවුස් දම් පුරන්නට ය. මඟුල් උයනට පිය නැඟූ හෙතෙම නිරාමිස කල්පනා සයුරට වැටී තමාගේ දානය ආවර්ජනා කළේ ය. එහි දී සක් දෙවි තෙම හදිසියේ ම සිවි මහ රජතුමා අභිමුවට පැමිණියේ ය. “මිහිරි හඬකින් මට කතා කළ ඔබ කවරෙක් ද?” සිවි රජතුමා හඬ අවදි කළේ ය. “පිනැති මහ රජතුමනි, මම සක් දෙවි තෙම” යි කී සක් දෙවියෝ කැමැති වරයක් තමා ගෙන් ඉල්ලන්නැ යි සිවි මහ රජුට කී ය.
“සක් දෙවිඳුනි, මට රාජ ශ්‍රීයෙන් කිසිදු අඩුවක් නැත. අන්ධ වූ මට දැන් ඇති එක ම අභිප්‍රාය මරණයයි” රජු කීවේ ය.
“මහ රජතුමනි, මිනිස් ලොවට කැමැත්තක් නැති හෙයින් මිය යන්න හදනවා ද?” ශක්‍රයා විමසී ය . “ඇස් දෙක ම නො පෙනෙන හෙයින් මා මරණය ප්‍රාර්ථනා කරනවා” රජු පිළිවදන් දිනි. දානයේ ආනිශංස අනන්ත අප්‍රමාණ යැ යි මෙහි දී සක් දෙව් තෙම රජතුමාට පැහැදිලි කර දුන්නේ ය. සක් දෙවියන්ගේ ආශීර්වාදයෙන් සිවි රජුට යළි ඇස් ද ලැබුණේ ය. ඒ ඇස් පෙර තිබූ ඇස් මෙන් නො වී ය. දිව්‍යමය ස්වරූපය ගත් ඒ දෙනෙත්වලින් ගව් ගණනක් දුර ඇති දේ ද දැක ගත හැකි වී ය. සිවි මහ රජතුමාට යළිත් ඇස් ලැබුණු පුවත රට පුරා ම පැතිර ගියේ ය. රට වැසියන්ගේ දෙනෙත් සතුටු කඳුළින් පිරුණේ ය.