ආනන්ද බෝධීන් වහන්සේ

rashi
By rashi
5 Min Read

මහාචාර්ය පියසිරි අමිලසිත් යාපා

බුද්ධත්වයෙන් 21 වන වසරේ දී බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි අවධියේ උන්වහන්සේ නිතිපතා බැහැ දැකීමට දුර බැහැර සිට එන සැදැහැවතුන්ට උන්වහන්සේ හමුවීමට නොහැකි අවස්ථාවල පූජා ද්‍රව්‍ය ඉවතලා කනස්සල්ලට පත්ව පෙරළා යන අවස්ථා නොයෙක්වර දුටු අනේපිඬු සිටාණන් මේ බව බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද ස්ථවිරයන්ට සැලකොට ඇත.

ආනන්ද තෙරුන් අනතුරුව මේ පිළිබඳව බුදුන් වහන්සේට දන්වා ඇති අතර, බුදුන් වහන්සේ එවිට මෙසේ වදාළ බැව් දැක්වේ.

“ආනන්ද බුදුරදුන් විසින් ප්‍රයෝජන විඳිනා ලද බෝධිය වනාහි සර්වඥයන් විද්‍යාමාන කල්හි ද චෛත්‍යයම වෙයි.”

අනතුරුව ආනන්ද තෙරුණුවෝ ශ්‍රී මහා බෝධියේ බිජුවටක් ජේතවනාරාම දොරටුව සමීපයෙහි රෝපණය කිරීමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියේය. එහිදී බුදුන් වහන්සේ මෙසේ වදාළහ.

“යහපත ආනන්ද රෝපණය කරව, එසේ කල්හි ජේතවනාරාමයෙහි මාගේ නිරන්තර වාසයක් වන්නේය” ආනන්ද බෝධිය රෝපණය කෙරුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ අවස්ථාවේ දී මහා කාරුණිකයාණන් වහන්සේ කාලිංග බෝධි ජාතකය දේශනා කළ බව දැක්වේ.

ඒ අනුව ආනන්ද ස්ථවිරයන් වහන්සේ මුගලන් මහ තෙරුන් වහන්සේ ලවා මහා බෝධි ඵලයක් ගෙන්වා ජේතවන විහාර දොරටුව සමීපයේ අනේපිඬු සිටාණන් ලවා මහත් වූ රන් කටාරමක රෝපණය කරවූහ. එකෙනෙහිම මහජනයා බලා සිටියදීම එයින් පනස් රියනක් උස සතර දිශාවටම විහිඳුණු පනස් රියන් අතු ඇති මහා බෝධි වෘක්ෂයක් පැන නැංගේය. ආනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් රෝපණය කළ බැවින් ඒ බෝධින් වහන්සේ ආනන්ද බෝධිය නම් වූහ. මේ බැව් කාලිංග බෝධි ජාතකයෙහි සඳහන් වේ.

ආනන්ද බෝධිය රෝපණය කළ ඉක්බිතිව ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේට මෙසේ ඇරයුමක් කළහුයැ.

“භාග්‍යවතුන් වහන්ස බුදුවූ දා මෙන් මෙහි ද වැඩ සිටිමින් එම සියලුම ධ්‍යාන සමාපත්තීන්ට සමවදින සේක්වා!”

“ආනන්දය එය කළ නොහැකි වූ දෙයකි. එසේ කළ හැක්කේ එම අපරාජිත බෝධි මූලයෙහිදීම පමණකි. මෙලොව වෙනත් භූමියකට වෙනත් ශක්තියක් නැත.”

එහෙත් තථාගත සම්බුදු රජාණන් වහන්සේ සම්පූර්ණ රාත්‍රියක්ම ආනන්ද බෝධි මූලයෙහි ද ධ්‍යාන සුවයෙන් ගතකළ සේකැ’යි සඳහන් වේ. (බුද්ධරක්ඛිත හිමි 2015)

මේ පුවතින් පැහැදිලි වන්නේ ඇසතු වෘක්ෂයට ගරු බුහුමන් දැක්වීම සම්මා සම්බුද්ධ ඥානයට ද කරනු ලබන ගරු බුහුමන් දැක්වීමක් බවයි. ජම්බුද්වීප වාසීන් අතර මෙසේ බෝධි පූජා පැවැත්වීම ආරම්භ වූයේ ජේතවනාරාමයෙහි බුදුරදුන් වැඩ නොසිටින කල්හි බුදුරදුන් වෙනුවට යොදාගනු ලබන සංකේතයක් වශයෙනි. අනෙක් අතට, බෞද්ධයන් අතර බෝධි පූජා පින්කම් ආරම්භ වී ඇත්තේ බුද්ධත්වයෙන් එක් විසිවන වස සැවැත් නුවර ජේතවනාරාම උද්‍යාන භූමියෙහි සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහිදීම ය.

සෑම බෞද්ධයෙකු විසින්ම දැකිය යුතු පහන් සංවේගය උපදවා ගතයුතු හා සත්කාර සම්මාන කළ යුතු ස්ථාන 4ක් ගැන දීඝනිකායෙහි මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවෙහි දැක්වේ. එම ස්ථාන 4 නම්:

  1. බුදුරදුන් උප්පත්තිය ලද ලුම්බිණි ශාල වනෝද්‍යාන භූමිය
  2. සම්මා සම්බුද්ධත්වයට සපැමිණියා වූ බුද්ධගයා බෝධි මණ්ඩලය
  3. ප්‍රථම ධර්මදේශනාව පැවැත්වූ ඉසිපතන මිගදාය හා
  4. මහා පරිනිර්වාණය සිදු වූ කුසිනාරා නුවර උපවත්තන සල් උයන

මේ අනුව සෑම බෞද්ධයකු විසින්ම සිය ජීවිත කාලය තුළ දී එක් වරක් හෝ වන්දනාමාන කළ යුතු ස්ථාන හතරෙන් දෙවන ස්ථානය ලෙස දක්වා ඇත්තේ බුද්ධගයාහි පිහිටි ඇසතු බෝධීන් වහන්සේය. පසුකාලීනව බෞද්ධයන් අතර බෝධි පූජාව ප්‍රචලිත වන්නට ඇත්තේ ආනන්ද බෝධිය රෝපණය කිරීමේ දී බුදුන් වහන්සේ දැක්වූ අනුමැතියත්, කාලිංග බෝධි ජාතක දේශනාවත්, එසේම එයින් වසර 24කට පසුව මහා පරිනිර්වාණ සූත්‍රයෙන් ඉදිරිපත් කළ උපදේශයනුත් නිසා විය යුතුය.

“බෝධි වුච්චති චතුසු මග්ගෙ ප්‍රඥාණං” – බෝධිය යනු චතුර්විධ වූ ආර්ය මාර්ග ඥානයන්ම වේ යනුවෙන් බුදුන් වහන්සේ වදාළහ. එනම් චතුරාර්ය සත්‍යාවබෝධය පිළිබඳ නුවණයි. තමන්ට සම්බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන් ඇසතු බෝධියට කෘතගුණ සැලකීමක් වශයෙන් උන්වහන්සේ සත් දිනක් අනිමිසලෝචන පූජාවේ යෙදුණාහ. බෝධි පූජා පැවැත්විය යුතු ආකාරය පිළිබඳව කාලිංග බෝධි ජාතකය ඇතුළුව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. බෝධි වෘක්ෂය පාරිභෝගික චෛත්‍යයක් වන හෙයින් ඊට පුද පූජා කළ යුත්තේ බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගැනීමෙනි. අනෙක් අතට සියලුම බෝධි පූජාවන් ආමිෂ පූජාවන් ද වේ. වැඳුම් පිදුම් කරනු ලබන බෝධියකට හානි පැමිණවීම හෝ විනාශ කිරීම ආනන්තරීය අකුසල කර්මයකට සමාන වේ යැයි බෞද්ධයෝ විශ්වාස කරති. අසෝක රාජ්‍ය යුගයේ දී අසෝක රජුගේ තිස්යාරක්ඛා නම් වූ බිසවක් විසින් මඩ, කටු, විෂ යෙදීමෙන් බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධිය මැර වූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. තවද ක්‍රි.ව. 6 වන සියවසේදී සසංක නම් රජ කෙනෙකු විසින් ද බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධිය විනාශ කළ බව දැක්වේ. ක්‍රි.ව. 1201 දී භක්තියාර් වෙල්ර් නමැති මුස්ලිම් ආක්‍රමණිකයකු විසින් ද මෙම පුදබිම විනාශ කළ බැව් ඉතිහාසයෙහි දැක්වේ.

ඒ ආකාරයට ඉතිහාසයේ කිහිප අවස්ථාවකදීම ශ්‍රී මහා බෝධින් වහන්සේට හානි පමුණුවා ඇත. ඉන්දියාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා වූ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් බුද්ධගයා පුද බිම ප්‍රතිස්ථාපනය කොට පුරාණ බෝධිය තිබූ ස්ථානයෙහිම නව ශාඛාවක් රෝපණය කරන ලද බැව් සඳහන් වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *