නව නාලන්දා විශ්වවිද්‍යාලයේ කඨින පිංකම

cmadurawala
6 Min Read

ආචාර්ය කුඹුකේ චන්දාලෝක හිමි

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ රාජ්ගිර් සිට (රජගහ නුවර) කිලෝමීටර් 15 ක් පමණ දුරින් පිහිටි නාලන්දා ප්‍රදේශයේ පැරැණි නාලන්දා විශ්වවිද්‍යාලයේ නටබුන් තිබෙන ස්ථානයට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් නව නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටා තිබේ. මෙම සරසවිය ජගදීප් කාශ්‍යප හිමියන් විසින් ආරම්භ කරන ලද්දක් වන අතර, දැනට භාරතයේ මධ්‍යම රජය මගින් පාලනය වේ.

සෑම වසරකම පාහේ (2016, 2017 යන වසර දෙකේදීම) අරුණාචල් ප්‍රදේශයෙන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන් සමන්විත දෙසීයකට ආසන්න පිරිසක් කෝච්චියෙන් නව නාලන්දා මහා විහාර විශ්වවිද්‍යාලයට ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල පැමිණෙති. මෙසේ මා ලද අපූරු අත්දැකීම ඔබට දැනගන්නට සලසන්නෙමි.

මොවුන් මෙහි පැමිණෙන විට දුම්රියේම අසුරාගෙන උණබට හා ලීවලින් තැනූ රෙදි වියන යන්ත්‍ර 05ක් පමණ ගෙන එනු ලැබේ. එම උණ බට හා ලී මිටි වශයෙන් ගැටගසා ගෙන එන අතර නව නාලන්දා විශ්වවිද්‍යාලයේදී සකස් කරන ලද කූඩාරමක එම යන්ත්‍ර සවිකරනු ලැබේ.

අරුණාචල් බෞද්ධ පිරිස එන විට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ඔවුන්ට නවාතැන් ගැනීමට සම්පූර්ණ නේවාසිකාගාරයක්ම වෙන් කරනු ලැබේ. එම නේවාසිකාගාරයට නුදුරින්ම අඩි 80×30 ක පමණ විශාල මඩු කූඩාරමක් වේදිකාවක් ද සහිතව ඉදිකරනු ලැබේ. මෙම කූඩාරම උණලී වලින් සැකිල්ල සකස්කොට රෙදිවලින් ආවරණය කර මල් සැරසිලිවලින් අලංකාර කරනු ඇත.

අරුණාචල් බෞද්ධ පිරිස සුදුවතින් සැරසී එම මඩු කූඩාරම දික් අතට දෙකට බෙදා එක් පසෙක ලී රෙදි වියන යන්ත්‍ර පහ සවිකරනු ලැබේ. එම යන්ත්‍ර ක්‍රියාකරවන්නේ ස්ත්‍රී පාර්ශ්වය පමණි. එක් යන්ත්‍රයකට පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සිටිති. ඔවුහු සුදු වතින් සැරසී මුඛ ආවරණ ද පැලඳ හිස ද ආවරණය කොට ගෙන සිටිති.

ලී යන්ත්‍ර පහ මහාමායා, යශෝධරා, විශාඛා, ගෝතමී, ඛේමා යන නම්වලින් නාමපුවරු සවිකොට ප්‍රදර්ශනය කරනු පෙනේ. යන්ත්‍ර අසලට එන ස්ත්‍රීන් පංචශීලය සමාදන්වීම අනිවාර්යයි. යම් අත්‍යවශ්‍ය දෙයකට එළියට පැමිණි පසුත්, ආපසු යන්ත්‍රය අසලට යන්නේ පංචශීලය සමාදන්වීමෙන් ඉක්බිතිවය.

පුරුෂ පාර්ශ්වයට රෙදි වියන යන්ත්‍ර තිබෙන කොටසට යෑම සපුරා තහනම් වේ. ඔවුහු බෙදා වෙන්කළ කොටසින් මෙහා පැත්තේ සිටිති. රෙදි යන්ත්‍රවල සිට තැඹිලි පැහැති නූල් මීටර් 15ක් පමණ ඈතට අදිනු ලැබේ. පළපුරුදු කාන්තාවෝ එම නූල් විවීමට සුදුසු ආකාරයෙන් අවුල් හැර සකස් කරති. කඨින චීවරය පූජා කරන දිනයට පෙර දිනයේ පෙරවරු දහයේ පමණ සිට මෙම කටයුත්ත කරනු ලැබේ.

මේ දිනවල බිහාර්හි පවතින්නේ සීත දේශගුණයකි. එය පීඩා සහිත සීතලක් නොවේ. මේ කටයුතු මෙසේ සකස් වන අතර, අරුණාචල් බෞද්ධ පිරිසේ ප්‍රධානියා ඇතුළු පිරිසකුත්, විශ්වවිද්‍යාලයේ උපකුලපති (ඩිරෙක්ටර්) ලේඛකාධිකාරී සහ ගුරුවරුන් ඇතුළු පිරිසත් ශිෂ්‍යයෝත්, ගමේ අයත් බෙරවාදන හා ගායනා සහිතව පෙරහැරක් යති.

එම පෙරහැරේ කඨින චීවරයක් රැගෙන නොයන අතර පළතුරු වට්ටිත්, මුදල් කොළ රාශියක් එල්ලූ ගසකුත් රැගෙන යනු ලැබේ. එම පෙරහැර විශ්වවිද්‍යාලය වටාත්, ගමේ මදක් දුරකටත් ගොස් මඩු කූඩාරම පිහිටි තැනට පැමිණ පළතුරු වට්ටිත්, මුදල් කොළ එල්ලූ ගසත් වේදිකාව මත තබනු ලබයි.

නූල් සකස් කිරීමෙන් අනතුරුව පස්වරු හතරේ පමණ සිට රෙදි වියන යන්ත්‍ර පහේම රෙදි කඩ පහක් විවීමට පටන් ගනී. නියමිත කණ්ඩායම් කඩිසරවත්, සංගමයෙනුත් එම කාර්යයෙහි නිරතවන අතර, තවත් පිරිස් බෙර තාලම්පට ආදී වාi භාණ්ඩ වාදනය කරමින් කවි සින්දු ගායනා කරති. තවත් පිරිසක් රස කැවිලි තෙල් තාච්චිවල දමා බඳින්නට පටන් ගනිති.

සුදු ඇඳුමින් සැරසුණු කාන්තා කණ්ඩායම් රෙදි කඩ පහ මැසීම සිදුකරති. මුව ආවරණ ද හිස් ආවරණ ද බොහෝ විට පලඳිති. පංචශීලය රැකීම සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරති.

රාත්‍රී 2.00 ට පමණ පටන්ගෙන පසුදා පාන්දර වනවිට රෙදිකඩ පහ මසා අවසන් කොට එළියේ කොටසේ සිටින පිරිමි පාර්ශ්වයට දෙනු ලැබේ. පිරිමි පාර්ශ්වය රෙදි කඩ පහ අවශ්‍ය පරිදි කපා සකස් කොට කඨිනය සඳහා සිවුරක්, අඳනයක් මැසීමට කටයුතු කරති. පාන්දර 3.30 පමණ වන විට ඔවුන් සිවුරත් අඳනයත් මසා ඒ දෙකටම නෙළුම් මල් රේණුවලින් යුත් සුදු පැහැති නූලක් ද ගෙත්තම් කරනු ලබයි. මෙම නූල ඉතා වටිනාකමින් යුක්ත වූවකි.

පාන්දර හතර වන විට මසා නිමකළ කඨින චීවරය මහා සංඝරත්නයට පූජා කිරීම සිදුවේ. වේදිකාව මත කඨින චීවරය, හෙප්පුවක් වැනි ගෘහ භාණ්ඩයක් මත තැන්පත් කරනු ලබයි.

ඇපල්, දොඩම්, දෙළුම් වැනි පළතුරු විශාල ප්‍රමාණයක් වට්ටි වශයෙන් සකස් කොට තබයි. පෙරදින සිට සකස් කළ කැවිලි වර්ග ද තබනු ලැබේ. මුදල් එල්ලූ ගසද වේදිකාව මතම තිබෙන්නට හරී.

පාන්දර හතරට පමණ කඨින චීවරය පූජා කිරීම ආරම්භ කරනු ලැබේ. 2016 වසරේ මා හට කඨින චීවරය පවරා පූජා කරන ලදී. ශ්‍රී ලාංකේය ථෙරවාදී භික්ෂුවකවීමත්, ආචාර්ය උපාධිය හදාරණ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වීමත් එම තෝරා ගැනීමට හේතු වන්නට ඇත.

කඨින චීවරය, ගිහි ඇත්තන්ම පංචශීලය සමාදන් වී අවශ්‍ය පාලි පාඨද සජ්ඣායනා කොට පූජා කරනු ලැබේ.

පූජා කිරීමෙන් පසුව අරුණාචල් ප්‍රදේශයෙන් පැමිණි ස්ත්‍රී පුරුෂ සෑම දෙනාටත්, විශ්වවිද්‍යාල ප්‍රජාවටත්, ගමේ ඇත්තන්ටත් හිසේ තබා ගාථා කියා කඨින පිංකමේ පින් අනුමෝදන් කරනු ලැබේ.

මෙම කඨින චීවර පූජා මහා දානයට අමතරව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය, කඨින චීවර පූජා දානය සහ වස්සාවාසය යන උද්ධෘතය මත සම්මන්ත්‍රණයක් ද පැවැත්වීම සිරිතකි.

එහිදී මහාචාර්ය ව්‍යාස වැනි විද්වතුන් (ඔවුන් හින්දූන් වුවත්) මහාවග්ග පාලිය වැනි මූලාශ්‍ර ඇසුරුකරමින් සාරගර්භ දේශනයක් ද කඨින චීවර පූජාව සම්බන්ධයෙන් සිදුකිරීම ආකර්ෂණීය චාරිත්‍රයකි.

එම කටයුතු අවසන් වී අරුණාචල් සිට පැමිණි පිරිස නාලන්දා නටබුන් හා රජගහ නුවරත් නරඹා ලී යන්ත්‍ර සහ අනිකුත් උපකරණත් රැගෙන පිටත්වී යති. ඔවුන් රැඳෙන සම්පූර්ණ දින ගණන හතරක් හෝ පහක් පමණ වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *