මහාචාර්ය කපිල අභයවංශ
මේ අනුව පෙනී යන්නේ බුදුදහම නිර්දේශ කරන ක්‍රියාමාර්ගය තුළ උපනිෂද් දර්ශනයට හාත්පසින්ම වෙනස් වූ විශ්ෂ්ටත්වයක් අන්තර්ගත කොටගෙන ඇති බවය. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කොට ලොවට ඉදිරිපත් කරන ලද ධර්මය උපනිෂද් දර්ශනයේ මල්ඵල දැරීමක් නොව උපනිෂද් දර්ශනය නමැති වෘක්‍ෂය මුල්සුන් කොට දැමීමක් ලෙස හැඳින්විය හැකිය.
බුදුදහම හා උපනිෂද් දර්ශනය තුලනාත්මක අධ්‍යයනයකට යොමු කරමින් බුදු දහමේ විශේෂත්වය හඳුන්වා දෙන භාරතීය වියතකු වන මහාචාර්ය භට්ටාචාර්ය මෙසේ පවසයි.
“ආත්මය ප්‍රතික්ෂේප කිරීම බුදුදහමේ මූලික දාර්ශනික ව්‍යායාමය යි. වෙනත් දාර්ශනික ගුරුකුලයන් විසින් පිළිගනු ලැබූ නිත්‍ය ආත්මයක පැවැත්ම බුදුන් වහන්සේ විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කොට ඇත. ආත්ම සංකල්පය සාංසාරික දුකට හේතු වන තෘෂ්ණාවට පදනම් වෙන මූලකරණය ලෙස ද පිළිගෙන තිබේ.”
උපනිෂද් මුනිවරුන්ගේ දාර්ශනික සිද්ධාන්තය වන ආත්මවාදය ප්‍රතික්ෂේප කිරීම තුළින් මිස එය තවදුරටත් ඉදිරියට ගෙනයෑම තුළින් බුදුන් වහන්සේ තම දර්ශනයේ සුවිශේෂත්වයට සම්ප්‍රාප්ත වී නැති බව ආචාර්ය ටී. ආර්. වී. මූර්ති ද ප්‍රකාශ කරයි. පහත දැක්වෙන්නේ ඔහුගේ අදහස් කිහිපයකි.
“බුදුන්වහන්සේ තෘෂ්ණාක්‍ෂය පිළිබඳ නිෂ්ඨාවට පැමිණ ඇත්තේ ආත්ම දෘෂ්ටිය සාමාන්‍යකරණය කිරීම තුළින් නොව එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කිරීම තුළිනි. කවරම දෙයක් හෝ නිත්‍ය හා සුඛ වශයෙන් ගෙන ආත්ම තත්ත්වයෙන් සැලකීමේ දී අපි එයට ඇලෙමු. එසේම එයට ප්‍රතිපක්‍ෂ දෙයට අපි ද්වේෂ කරමු. එවිට එහි ඇත්තේ සංසාරයයි. සියලු තෘෂ්ණාවන්ගේ මූල හේතුව වන්නේ ආත්මදෘෂ්ටියයි. නිර්වාණය සාක්‍ෂාත් කිරීමට නම් ආත්ම සංකල්පය අප තුළින් මුලසුන් කොට දැමිය යුතුය. උපනිෂදයන්ට අනුව ආත්මය සත්‍යයි. බුදුදහමට එය ප්‍රධානතම මිත්‍ථ්‍යාවයි. හෙවත් අසත්‍යයි.”
බුදුදහම උපනිෂද් දර්ශනයේ ආත්මවාදය ඛණ්ඩනය කිරීමෙන් සුවිශේෂත්වයකට පත්වූ බව පිළිගන්නා ඇතැම් වියත්හු විමුක්තිය සම්බන්ධයෙන් බුදුදහම හා උපනිෂද් දර්ශනය සමාන ස්ථාවරයක සිටින බව දැක්වීමට අභිරුචියක් දක්වති. මෙම වියතුන් අතර ආචාර්ය සර්වපල්ලි රාධා ක්‍රිෂ්ණන් හා ආචාර්ය ටී. ආර්. වී. මූර්ති ප්‍රමුඛ වෙති.
“උපනිෂද් හා බුදුන් වහන්සේ අතර විශේෂත්වයක් ඇත්නම් එය පවතින්නේ ආනුභවික ලෝකය (සංසාරය) පිළිබඳ දෘෂ්ටියෙහි නොව සත්‍යය (නිර්වාණය) පිළිබඳ ඔවුන්ගේ සංකල්පයන් අතර” යි පවසන ආචාර්ය රාධා ක්‍රිෂ්ණන් බුදුදහම හා උපනිෂද් අතර පවතින මූලිකම වෙනස පුද්ගලයාගේ ආත්මය ලෙස සැලකෙන අවිනශ්වර මූලද්‍රව්‍යය (Substance) වූ පාරභෞතික සත්‍ය පිළිබඳව වූවකැයි ද පවසයි.
මේ පිළිබඳව සිය අදහස් දක්වන මූර්ති “උපරිම ධ්‍යාන තත්ත්වයේ නිශේධනාත්මක අංශය බුද්ධියේ හා විඥානය ආදියේ ශූන්‍යත්වය ලෙස (negative aspect of the highest trance-states as devoid (sunya) of intellect, Conscious etc.) බුදුන්වහන්සේගේ සිත්ගත් අතර (උපනිෂද් හා බුදුදහම යන) දෙපාර්ශ්වයම සම්පූර්ණ තෘෂ්ණාක්‍ෂය පිළිබඳ එකම නිෂ්ඨාවට සම්ප්‍රාප්ත විය. නමුත් එකිනෙකට වෙනස් මාධ්‍ය දෙකකින්” යැයි සඳහන් කරයි.
මෙම වියතුන් දෙදෙනාම කීමට උත්සාහ ගෙන ඇත්තේ උපනිෂද් හා බුදුදහම එකිනෙකින් වෙනස් වන්නේ ඔවුනොවුන් විමුක්තියට ළඟා වූ මාර්ගය සම්බන්ධයෙන් මිස අත්පත් කරගත් විමුක්තිය සම්බන්ධයෙන් නොවන බවයි. ආගම් හෝ දර්ශන දෙකක් මගින් අත්පත් කරගත් පරම නිෂ්ඨාව එකක්ම නම් ඒ සඳහා උපයෝගි කරගන්නා මාධ්‍යයන්ගේ වෙනස එතරම් සුවිශේෂීවූවක් නොවේ. ඉහත සඳහන් වියතුන් දෙපළගේ ප්‍රකාශවලින් ගම්‍ය වන්නේ බුදුදහම හා උපනිෂද් දර්ශනය ප්‍රත්‍යක්‍ෂ කළ නිෂ්ඨාව සමාන වන අතර එයට ළඟා වූ මාර්ගයේ වෙනස මෙම දර්ශන දෙකේ සුවිශේෂත්වයකට එතරම් හේතු නොවන බවයි.
බුදුදහමේ අනන්‍යතාව සලකා බැලීමේ දී ඉදිරිපත්වන මෙම ගැටලුව පිළිබඳව අපගේ අවධානය යොමු කිරීමට සිදු වෙයි. බුදුදහම හා උපනිෂද් සාක්‍ෂ්‍යාත් කොට ගෙන ලොවට ඉදිරිපත් කළ විමුක්තිය එකක්ම ද යන ප්‍රශ්නය අප ඉදිරියෙහි ඇත. ආචාර්ය මූර්ති සඳහන් කරන උපරිම ධ්‍යාන තත්ත්වය බුදුදහමේ පරම නිෂ්ඨාව හෝ විමුක්තිය ලෙස ආදි බුදු සමයේ කිසි තැනක පිළිගෙන නැත. බුදුන්වහන්සේ තම විමුක්තිය අත්පත් කර ගනු ලැබුවේ එවක මුනිවරුන් ප්‍රකාශ කළ උපරිම ධ්‍යාන තත්ත්වය ලබාගෙන එය විමුක්තිය නොවන බව අවබෝධ කර ගැනීමෙනි. මේ යුගයෙහි විමුක්තිය අත්පත් කරගෙන ඇති බවට ප්‍රතිඥා කළ මුනිවරුන් වෙත ගොස් ඔවුන් සතු සියලු දැනුම් සම්භාරය තමන් ද සතු කොට ගෙන ඔවුන් ළඟ තමා අපේක්‍ෂා කළ විමුක්තිය නොමැති බැවින් ඔවුන් අතහැර යෑමට සිදුවූ බව බුදුන්වහන්සේ නොපැකිළිව පැහැදිලිව සඳහන් කරති. මේ හැර බුදුදහමේ පරම නිෂ්ඨාව උපරිම ධ්‍යාන තත්ත්වය තුළ නොමැති බව බුදුන් වහන්සේ විසින් දීඝනිකාය මහාලි සූත්‍රයේදී සඳහන් කොට ඇත. මෙම සූත්‍රයේදී බුදුන්වහන්සේ විසින් කරන ලද සඳහන බුදුදහම සහ මේ යුගයේ සිටි වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර වෙනස මනාව පැහැදිලි කර දක්වන්නකි. “න ඛො මහාලි එතාසං සමාධි භාවනානං සච්ඡිකිරියා හෙතු භික්ඛුමයි බ්‍රහ්මචරියං වරන්ති” සමාධි භාවනාව තුළින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා පමණක් බෞද්ධ බ්‍රහ්මචරියාව සීමා නොවී ඇති බව ඉහත සඳහන් පරිදි පැහැදිලි කරන බුදුන් වහන්සේ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සමාධි භාවනාවෙන් ලබාගත හැකි උපරිම ධ්‍යාන තත්ත්වයෙන් තෘප්තිමත් වන ආකාරය ද මජ්ඣිම නිකාය සුභ සූත්‍රයේ දී මෙසේ දක්වති. “එවං පරිපුණ්ණං ච භො ආනන්ද අරියං සමාධික්ඛන්ධං ඉතො බහිද්ධා සමණ බ්‍රාහ්මණා අත්තනි සමනුපස්සෙය්‍යුං තෙ තාවතකෙනෙව අත්තමනො අස්සු අලමෙත්තාවතා කතමෙත්තාවතා අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො නත්ථි නො කිඤ්චි උත්තරිං කරණියං”
මෙම සූත්‍රපාඨයෙන් පැවැසෙන්නේ සමාධි භාවනාව තුළින් ලබාගත හැකි උපරිම ධ්‍යාන තත්ත්වයේ දී අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන් එයින් සෑහීමකට පත්ව තවදුරටත් කළ යුතු කාර්යයක් නැතැයි සිතා තමන් අවසානයට පැමුණුනු බව නිශ්චය කරන බවයි.
බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද විමුක්තිගාමී බ්‍රාහ්මචර්යාවෙහි යෙදෙන භික්‍ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ විසින් පෙන්වා දී ඇති ආකාරයට සියලු ආශ්‍රවයන් ක්‍ෂය කොට නිවන මෙම ජීවිතය තුළ අත්පත් කර ගැනීම සඳහා ධ්‍යාන තත්ත්වයන් ඉක්මවා ප්‍රඥාව වර්ධනය කරන ආකාරය ද මහාලී සූත්‍රයෙන්ම පෙන්වා දී ඇත.
“පුන ච පරං මහාලී භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති අයම්පි ඛො මහාලි ධම්මො උත්රිතරො ච පණිත්තරොව යස්ස සච්ඡිකිරියා හෙතු භික්ඛු මයි බ්‍රහ්මචරියං වරන්ති”(12)
බුදුදහමෙහි හා උපනිෂදයන්හි දක්නට ලැබෙන විශේෂත්වය ඇත්ත වශයෙන්ම සමාධිය හා ප්‍රඥාව අතර ඇති වෙනසයි. උපනිෂද් මුනිවරුන්ට සමාධියෙන් ලබාගත හැකි උපරිම ධ්‍යාන තත්ත්වයන් ඉක්මවා යෑමට හැකි ශක්තිය ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ඔවුන් සතුව තිබූ ආත්ම දෘෂ්ටියයි. ආත්මදෘෂ්ටිය ඇතිතාක් ප්‍රඥාවිශොධනයෙන් ලබාගත හැකි අධ්‍යාත්ම විමුක්තිය අත්පත් නොවන බව බුදුන් වහන්සේ විසින් පුන පුනා ප්‍රකාශ කොට ඇත්තේ මේ නිසාය.
මතුසම්බන්ධයි

