දිට්ඨි විසුද්ධිය

cmadurawala
10 Min Read

සෙනරත් පොන්නම්පෙරුම

සත්ත විසුද්ධියේ තුන්වැන්න දිට්ඨි විසුද්ධියයි. එනම් වැරදි දැකීමෙන් වෙන්වී නිවැරදි දැකීම ඇතිකර ගැනීමයි. සීල විසුද්ධියෙන් කායික හා වාචසික සංවරය ඇතිකරගත් යෝගාවචරයා සමථ භාවනාවෙන් සමාධිය උපදවාගෙන චිත්ත විසුද්ධිය ඇතිකර ගැනීමෙන් පසු විපස්සනාවට යොමුවිය යුතුයි. විපස්සනා යනු (වි+පස්සනා) විශේෂයෙන් බැලීමයි. නැතහොත් ඇත්ත ඇති සැටියෙන් බැලීමයි. මෙය විදස්සනා යන පාලි වචනයෙන් මෙන් ම විදර්ශනා යන සංස්කෘත වචනයෙන් ද ව්‍යවහාරයේ පවතී.

සාමාන්‍ය ලෝකයා සත්වයෙක් පුද්ගලයෙක් දෙස බලන්නේ සත්ව පුද්ගල සඤ්ඤාවෙනි. මේ නිසා එම සත්වයා පුද්ගලයා උපාදාන කරගනී. (දැඩිව අල්වා ගනී.) එම දැකීම වැරදි දැකීමකි. ධර්‍මයේ එය හඳුන්වන්නේ “සක්කාය දිට්ඨිය” ලෙයසි. දස සංයෝජන ධර්‍මයන්ගේ පළමුවැන්න සක්කාය දිට්ඨියයි. මේ නිසා සත්වයා යනු නාම – රූප ධර්‍මයන්ගේ එකතුවක් බව අවබෝධ කරගත යුතුයි. එසේ අවබෝධ කර ගැනීම දිට්ඨි විසුද්ධියයි.

සත්වයා ප්‍රධාන වශයෙන් නාම – රූප යන කොටස් දෙකකට වෙන් කෙරේ. “විඤ්ඤාණ පච්චයා නාමරූපං” යනුවෙන් පටිච්ච සමුප්පාද ඉගැන්වීමේදී ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහළවීමත් සමඟ නාම සහ රූප යනුවෙන් කොටස් දෙකක් ඇතිවන බව පෙන්වා දෙයි. මෙම නාම – රූප යන කොටස් දෙක තවදුරටත් බෙදා දැක්වීමේදී පඤ්ඤස්කන්ධයක් ලෙස දක්නට ලැබෙයි. වෙනත් ලෙසකින් සඳහන් කළහොත් සත්වයා යනු පඤ්ඤස්කන්ධයක එකතුවකි.

රූප ස්කන්ධය
වේදනා ස්කන්ධය
සඤ්ඤා ස්කන්ධය
සංඛාර ස්කන්ධය
විඤ්ඤාණ ස්කන්ධය

යනු එම ස්කන්ධ පඤ්චකයයි. ඉහත කී නාම-රූප දෙකට මෙම ස්කන්ධ පඤ්චකය සංග්‍රහ කළවිට දැක්වෙන්නේ මෙසේය.

රූප ස්කන්ධය – රූප

වේදනා ස්කන්ධය –

සඤ්ඤා ස්කන්ධය – නාම

සංඛාර ස්කන්ධය –

විඤ්ඤාණ ස්කන්ධය –

ස්කන්ධ යන පදයේ තේරුම සමූහය යනුයි. එසේ ගත්විට රූප සමූහයක එකතුව රූප ස්කන්ධයයි. වේදනා සමූහයක එකතුව වේදනා ස්කන්ධයයි. සඤ්ඤා, සංඛාර ආදිය ද මෙසේමය.

රූප ස්කන්ධය

“රූප” යන්න තථාගතයන් වහන්සේ විග්‍රහකර ඇත්තේ “රුප්පතීති ඛො භික්ඛවේ රූපං” යනුවෙන් රුප්පණය වන නිසා (වෙනස් වන නිසා) රූප නම් වන බවයි. කුමකින් රුප්පණය වේද? “..සීතෙහපි රුප්පති. උණෙහනපි රුප්පති” යනුවෙන් සීතලෙන් ද රුප්පණයවේ. උණුසුමෙන් ද රුප්පණය වේ. චිත්ත චෛතසික ධර්‍ම හැර අනෙක් සියල්ලක්ම රූපයෝය. ගස් ගල් පර්‍වත ආදී සියල්ලක්ම රූප ගණයට අයත් වේ. ඒ සියල්ලකම ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුය.

සීතලෙන් හා උණුසුමෙන් රුප්පණය වන ආකාරය මෙම සරල උදාහරණයෙන් තේරුම්ගත හැක. පඨවිධාතු වැඩි ප්‍රමාණයක් ඇති ඉටි පන්දමක් හෝ ඉටි ගුලියක් ගින්නකට හෝ උණුසුමකට ලක්කළහොත් එහි පඨවිධාතු ප්‍රමාණය අඩුවී ආපෝධාතු ප්‍රමාණය වැඩිවී දියාරු වූ වැගිරෙන ස්වභාවයට පත්වේ. මෙසේ මේ රූපය වෙනස් වූයේ උණුසුම නිසාය. වැගිරෙන ස්වභාවයෙන් යුතු ජලය කිසියම් භාජනයකට දමා අධිශීතකරණයක තැබුවහොත් එම භාජනයේ හැඩයට මිදුණු අයිස් කැටයක් දක්නට ලැබේ. එහිදී සිදුවී ඇත්තේ සීතල නිසා ආපෝධාතු ප්‍රමාණය අඩුවී පඨවිධාතු ප්‍රමාණය වැඩිවීමයි. මේ සීතල නිසා රුප්පණය වන ආකාරයයි.

මෙහිදී මතක තබාගතයුතු සුවිශේෂී කාරණය වන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මේ සතර මහාධාතුවෙන් වෙන්ව නොපවතින බව සහ එක් මහා මහා භූතයක් අනෙක් මහාභූත තුන සමඟ සහජාතව පවත්නා බවයි. පට්ඨානප්‍රකරණයේ ඒ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත. එසේම මහාභූත උපාදාය රූප සමඟ ද සහජාතව බැඳී පවතී.

රූපස්කන්ධය යනු මහා භූතරූප සතරක සහ උපාදාය රූප සූවිස්සක එකතුවකි. සතර මහාභූතරූප නැතහොත් සතර මහාධාතු පිළිබඳව අභිධර්‍මයේ මෙන්ම සූත්‍ර පිටකයේ ද කරුණු දක්නට ලැබේ. අභිධර්‍මයේදී මේවා ද්‍රව්‍යාත්මකව දැකිය නොහැකි පියවි ඇසට නොපෙනෙන (විදුලිය වැනි) ශක්ති විශේෂයක් ලෙස දක්වා ඇති අතර සූත්‍ර වලදී සාමාන්‍ය ජනයාට තේරුම්ගත හැකි වන ආකාරයට පෙන්වා දී ඇත. ඒ පිළිබඳ වඩාත් පැහැදිලි කිරීමක් සඳහා මෙහිදී ඉඩකඩ සීමිත බැවින් කෙටියෙන් දැක්වීමට සිදුවී ඇත.

පඨවි ධාතුවේ ලක්‍ෂණය තදගතිය, රළුගතිය, කර්කශ ගතියයි. එහෙත් මොළොක් බවද පඨවිධාතුවට අයත් වේ. මජ්ක්‍ධිම නිකායේ මහා හත්ථිපදෝපම සූත්‍රයේ ශරීරයේ පවත්නා දෙතිස් කුණුපයන්ගෙන් විසි කොටසක් එනම් කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨි, අට්ඨිමිඤ්ජා, වක්කං, හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, මත්තලුංගං යන කොටස් පඨවිධාතුව ලෙස දක්වා ඇත. මේවායේ පඨවිධාතුව වැඩි වශයෙන් පවත්නා නිසා එසේ නම් කොට ඒවා ආධ්‍යාත්මික පඨවි ධාතුව බවත්, තද ගතියෙන් යුක්ත බාහිර වූ යමක් වේ නම් ඒවා බාහිර පඨවි ධාතු ලෙසත් එම සූත්‍රයේ පෙන්වා දී ඇත.

වැගිරෙන ස්වභාවයෙන් යුතු වූයේ ආපෝ ධාතුවයි. එම ආපෝ ධාතු කොටස් දොළසක් මේ ශරීරයේ ඇති බවත්, ඒවා නම් “පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතෝ, සේදෝ, මේදෝ, අස්සු, වසා, ඛේලෝ, සිංඝානිකා, ලසිකා, මුත්තං” යනුවෙන් එම සූත්‍රයේම සඳහන් කොට ඇත. මේ ආධ්‍යාත්මික ආපෝධාතුව වන අතර බාහිර වූ වැගිරෙන ස්වභායෙන් යුත් සියල්ල බාහිර ආපෝ ධාතුව බවත් සඳහන් කොට ඇත.

තේජෝ ධාතුව නම් උණුසුම් ස්වභාවයයි. සතර මහා ධාතූන්ගෙන් බලවත්ම ධාතුව තේජෝ ධාතුවයි. පඨවි, ආපෝ ධාතුවල පවත්නා ශක්තිය අඩු, වැඩි කිරීමේ බලය තේජෝ ධාතුව සතුව පවතී. ශරීරය තුළ යම් තැවීමක්, දැවීමක්, ආහාර පාන දිරවීමක් වේ නම් ඒ සියල්ල සිදුකරන්නේ තේජෝ ධාතුවේ බලපෑමෙනි.

වායෝ ධාතුව යනු වාතයයි. එයද ආධ්‍යාත්මික, බාහිර වශයෙන් දෙකකි. ශරීරය තුළ ද වායෝ ධාතුවේ කොටස් හයක් පවතී. “උද්ධංගමා වාතා, අධොගමා වාතා, කුච්ඡියයා වාතා, කොට්ඨාසයා වාතා, අංගමංගානුසාරිනෝ වාතා, අස්සාසෝ පස්සාසෝ” යනුවෙන් දක්වා ඇති අතර බාහිර වශයෙන් පවත්නා වාතය ද වායෝ ධාතුවම වේ.

මෙම මහාභූතරූප ඇසුරුකොට උපාදාය රූප විසිහතරක් ඇත. ඒවා නම් වශයෙන් මෙසේය.

පසාද රූප 05

ගෝචර රූප 04

භාව රූප 02

හදය රූප 010

ජීවිතින්ද්‍රිය රූප 01

ආහාර රූප 01

ආකාසධාතු රූප 01

විඤ්ඤත්ති රූප 02

විකාර රූප 03

ලක්ඛණ රූප 04

24

මේ සියල්ලේ එකතුව රූපස්කන්ධය වේ. පාදාය රූප එකිනෙකක් පැහැදිලි කිරීමට අවකාශ නැත.

වේදනා ස්කන්ධය.

“වේදයතීති වේදනා” යන විග්‍රහයට අනුව වේදනා යනු විඳ ගැනීමයි. චක්ඛු, සෝත ආදී ඉන්ද්‍රිය මඟින් රූප, ශබ්ද ආදී අරමුණු ලබාගනී. එම අරමුණුවල රස විඳගැනීම වේදනාවයි. වේදනා යනු “සබ්බචිත්ත සාධාරණ චෛතසික” සතෙන් එකකි. මෙම වේදනාව ඇතිවන ආකාරය මජ්ක්‍ධිම නිකායේ මධුපිණ්ඩික සූත්‍රයේ මහා කච්චායන හිමියන් විසින් මැනවින් ඉදිරිපත් කොට ඇත. ඇසත් ඇසට අරමුණුවන රූපයත් ඇති කල චක්ඛු විඤ්ඤාණය උපදී. මෙම ඉන්ද්‍රිය + අරමුණු + විඤ්ඤාණය යන ත්‍රිත්වයේ එකතුව ස්පර්ශයයි. එම ස්පර්ශය නිසා වේදනාව උපදී. ඉන් පසුව එම වේදනාව හඳුනා ගනී. අනතුරුව එම වේදනාව පිළිබඳව විතර්ක ඇතිකර ගනී. එසේ විතර්ක කොට ප්‍රපංච ගොඩනගාගනී. (ප්‍රපංච නම් තණ්හා, මාන, දිට්ඨි වශයෙන් අල්ලා ගැනීමයි.) එම ප්‍රපංච නිධාන කොට සත්වයා සසර ගමන් කරයි. සෝත, ඝාණ, ජිව්හා ආදී අනෙක් ඉන්ද්‍රියයන් පිළිබඳව ද මෙසේමය.

මෙම වේදනාවේ ප්‍රභේද ප්‍රධාන වශයෙන් තුනක් ඇත. සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ අදුක්ඛම සුඛ (උපෙක්ඛා) වේදනා වශයෙනි. මජ්ක්‍ධිම නිකායේ බහ වේදනීය සූත්‍රයේ වේදනා ප්‍රභේද එකසිය අටක් දක්වා දේශනා කොට ඇත. එම සියල්ල වේදනා ස්කන්ධයයි.

සඤ්ඤා ස්කන්ධය.

සඤ්ඤා යනු හඳුනාගැනීමයි. මෙය ද සබ්බචිත්ත සාධාරණ චෛතසිකයකි. සෑම සත්වයෙක්ම, සෑම වස්තුවක්ම, අනෙක් සත්වයාගෙන්, අනෙක් වස්තුවලින් වෙන් කොට හඳුනා ගැනීමට උපකාර වූ අනන්‍යවූ ලක්‍ෂණයක් ඇත. සිතින් අරමුණක් ගන්නා විට එම අරමුණ හඳුනා ගැනීමට උපකාරවූ ස්වභාවය ගැනීම ද ලක්‍ෂණයකි. එය අරමුණෙහි නිමිත්තයි. එම ස්වභාවය සඤ්ඤා චෛතසිකය නම් වේ, එම සඤ්ඤාව සිතෙහි තැන්පත් වන නිසා පසු අවස්ථාවක එම අරමුණ පහසුවෙන් හඳුනාගත හැකි වේ.

නිදසුනක් ලෙස කිසියම් හඬක් මුල්වරට හඳුනාගත් පසු නැවත එම හඬ ඇසුණුවිට මේ අසවලාගේ කටහඬය, මේ අසවල් හඬය කියා හඳුනා ගත හැක. ඒ එම සඤ්ඤාව සිතෙහි තැන්පත්වී පවතින නිසාය. කිසියම් රූපයක්, ශබ්දයක් ආදී යමක නිමිති නොගන්නා ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ මේ නිසාය. එයට හේතුව එම නිමිත්ත නිසා අතීත අරමුණු ඉදිරිපත් වීමෙන් රාගය, ද්වේශය, මෝහය මතුවීමට ඉඩ ඇති බැවිනි.

සඤ්ඤාව ඉන්ද්‍රිය භේදයෙන් රූප සඤ්ඤා, සද්ද සඤ්ඤා, ගන්ධ සඤ්ඤා, රස සඤ්ඤා, පොට්ඨබ්භ සඤ්ඤා වශයෙන් සය වැදෑරුම් වේ.

සංඛාර ස්කන්ධය.

“සංඛාර” යන පදයේ තේරුම් කීපයක් දක්නට ලැබේ. ධර්‍මයේ යෙදීම් අනුව එම තේරුම් ලැබේ. එක් තේරුමක් වන්නේ “රැස්කිරීම” යන්නයි. “අවිජ්ජා පච්චයා සංඛාරා” යන තැන මෙම රැස්කිරීම යන අර්ථය ලැබේ. “ අනිච්චා වත සංඛාරා” යන තැන හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා සියලු දේ යන අර්ථය ලැබේ. මජ්ක්‍ධිම නිතකායේ චුල්ල වේදල්ල සූත්‍රයේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර යනුවෙන් සංඛාර ප්‍රභේද තුනක් දැක්වේ. එහිදී කාය සංඛාර නම් ආශ්වාස ප්‍රශවාස දෙකයි. වචී සංඛාර නම් විතක්ක විචාර දෙකයි. චිත්ත සංඛාර නම් වේදනා සහ සඤ්ඤා යන දෙක ලෙස පෙන්වා දී ඇත. ධම්මපද පාළියේ “යථා සංඛාර ධානස්මිං” යන යෙදුමක් ඇත. එහි සංඛාර යන පදයේ අදහස කසළ ගොඩයි.

ස්කන්ධ විභාගයේදී සංඛාර යන්නෙන් අදහස් කර ඇත්තේ රැස්කිරීම යන අදහස ඇති චේතනා චෛතසිකය ප්‍රධාන වූ වේදනා, සඤ්ඤා චෛතසික දෙක හැර ඉතිරි චෛතසික සියල්ලය. (50) එම සියල්ල සංඛාරස්කන්ධය නම් වේ. එම සංඛාර තුනකි. සරලව ගතහොත් පින් – පව් සහ පින්පව් නොවන රැස් කිරීම්ය.

විඤ්ඤාණ ස්කන්ධය.

වි+ඤාණ = විඤ්ඤාණ, අරමුණ විශේෂයෙන් හඳුනා ගැනීමේ ලක්‍ෂණ ඇති සිත විඤ්ඤාණයයි. එහි ප්‍රභේද අසූ නවයක් හෝ විස්තර වශයෙන් එකසිය විසි එකක් වේ. ඉහත දැක්වූ පරිදි එක් එක් ඉන්ද්‍රිය මඟින් ලබාගන්නා වූ අරමුණු නිවැරදිව හඳුනා ගන්නේ විඤ්ඤාණයෙනි. ඉන්ද්‍රිය භේදයෙන් එය සය වැදෑරුම් වේ. ඒ සියල්ල විඤ්ඤාණ ස්කන්ධයයි.

මෙසේ සත්ව පුද්ගල සඤ්ඤාවෙන් තොරව නාම – රූප වහයෙන් දැකීම නැතහොත් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් දැකීම දිට්ඨි විසුද්ධියයි. එසේ දැකීමෙන් නිස්සරණය ඇතිවේ.

අනුරපුර උතුම් ජයසිරිමා බෝ සෙවනේ සන්නිපාත ශාලාවේදී සෑම පසළොස්වක පෝ දිනකම පස්වරුවේ ගිහි පැවිදි ධර්මධර උගත් පඬිවරුන් පවත්වනු ලබන ධර්ම සාකච්ඡා මාලාවේ මෙවර රථවිනීත සූත්‍රයේ එන සත්ත විසුද්ධිය අළලා විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න ශූරීන් විසින් පැවැත්වූ දෙසුම ඇසුරිනි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *