වරදකට දඩුවම් කිරීමෙහි ක්‍රමවේදය හඳුනාගනිමු

rashi
By rashi
8 Min Read

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය නිශාදිනී පීරිස්

බෞද්ධ ඉගැන්වීම්වලට අනුව වරදක් කරන්නා එසේ කරන්නේ ඔහු නීරෝගී පුද්ගලයකු නො වන නිසා ය. රෝගී තත්ත්වයකට පත් ව සිටින නිසා ය. එම නිසා වරදක් කළ පුද්ගලයකුට සැලකිය යුත්තේ රෝගියකුට සලකන ආකාරයට ය. රෝගියකුට අප එම රෝගයෙන් මිදීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු ය. එසේ ම වරදක් කළ තැනැත්තාට එම වරදින් මිදීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උපකාර කළ යුතු ය. දඬුවම යනු එසේ ලබා දෙන ප්‍රතිකාරයයි. වරදක් කළ තැනැත්තාට කරන ප්‍රතිකාරයේ පළමු පියවර වන්නේ එම තැනැත්තා කළ වරද පෙන්වා දී එය පිළිගැනීමට යොමු කිරීම ය. එහෙත් අප සැමට ම බොහෝ විට භාර ගැනීමට අපහසු ම දේ අප වරදක් කළ බව පිළිගැනීමයි. මේ නිසා වරද පෙන්වා දීම ඉතා පරිස්සමින් එම පුද්ගලයාට වරද භාර ගැනීමට පහසුවක් වන ලෙස කළ යුතු ය. එම නිසා අන් කෙනකුට චෝදනා කිරීමට පෙර අප සැලකිලිමත් විය යුතු කරුණු පහක් බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙති (අංගුත්තර නිකාය, පංචක නිපාතය, ආඝාත වග්ගය, චොදනා සූත්‍රය). එම කරුණු පස මත පිහිටා අප අන් කෙනකුට චෝදනා කළ යුතු ය.

  1. කීමට සුදුසු කාලය ගැන සැලකිලිමත් වීම (සුදුසු කාලයෙහි මිස නුසුදුසු කාලයෙහි නො කියන බව)
  2. සත්‍යයක් ම පැවසීම (වූවක් මිස නො වූවක් නො කියන බව)
  3. පිළිගත හැකි ලෙස පැවසීම (මෘදු ලෙස මිස රළු ලෙස නො කියන බව)
  4. එම පුද්ගලයාට ප්‍රයෝජනවත් වන නිසා පමණක් පැවසීම (වැඩ සහිත වූවක් මිස අවැඩ සහිත වූවක් නො පැවසීම
  5. එම පුද්ගලයා ගැන වෛරයකින් නො ව එම පුද්ගලයා ගැන ඇති මෛත්‍රී සහගත බව නිසා ම පැවසීම (මෛත්‍රී සහගත සිතින් මිස ද්වේෂ සහගත සිතින් නො පැවසීම)

යනු එම කරුණු පහයි.

මෙම කරුණු පහ දෙස බැලීමේ දී අන් අයගේ වරදක් පෙන්වා දීමට පෙර තමන් පිළිබඳ ස්වයං විවරණයක් කළ යුතු බව පැහැදිලි ය. අප වෙනත් කෙනකුගේ වරදක් පෙන්වා දෙන්නේ එම පුද්ගලයා පිළිබඳ මෛත්‍රී සිතින් එම පුද්ගලයාට භාර ගැනීමට හැකි මානසිකත්වයක පවතින්නේ දැ යි බලා පිළිගත හැකි ආකාරයට නම් එය ධර්මානුකූල ය. එසේ නොමැති නම් වරදක් පෙන්වා දෙන චේතනාව අධාර්මික ය. එවැනි අවස්ථාවක වරද පෙන්වා දීමට යෑම නිසා ඇතැම් විට අපට අකුසල කර්මයක විපාක විඳීමට සිදු විය හැකි ය.

වරදක් කළ පුද්ගලයකු එම වරද කළ අවස්ථාවෙහි ම එය වරදක් බව වටහා ගන්නේ ඉතා කලාතුරකිනි. අප සැම ක්‍රියා කරන්නේ අප කරන දේ නිවැරැදි ය යන ආකල්පයෙහි පිහිටා සිට ය. කළ දේ වරදක් බව වැටහෙන්නේ එම ක්‍රියාවෙහි ප්‍රතිඵල අත්දකින විට ය. ඇතැම් අවස්ථාවල අප කළ ක්‍රියාව වරදක් ලෙස පිළිගැනීමට අප කිසිසේත් සූදානම් නැත. ඒ වරද පිළිගැනීමෙන් එහි විපාකය භාර ගැනීමට අපට සිදු වන නිසා ය. එහෙත් කළ වරද භාර නො ගත්තොත් එයට අවශ්‍ය ප්‍රතිකාරය කළ නොහැකි ය. අසනීප වූවකු තමන් රෝගියකු බව නො පිළිගන්නා තාක් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු නො වන ලෙස ම, වරද කළ තැනැත්තා, එම වරදින් මිදීමට උත්සාහ නො කරයි. එම නිසා වරද කළ තැනැත්තා එම වරද භාර ගැනීමට සුදුසු මානසිකත්වයකට පත් අවස්ථාවක එය පෙන්වා දිය යුතු ය.

එසේ ම වරදක් පෙන්වා දිය යුත්තේ වරදට දඬුවම් කිරීමෙන් තමා තෘප්තිමත් කර ගැනීමට නො වේ. එම වරද නැවත ඇති නො වන තත්ත්වයට පත් කර ගැනීම සඳහා ය. අප වරදක් පෙන්වා දිය යුත්තේ, වරද කළ තැනැත්තා පිළිබඳ වෛරය නිසා නො ව, වරද කළ තැනැත්තා ගැන ඇති මෛත්‍රිය නිසා ය. එම නිසා ම එම පුද්ගලයාට භාර ගත හැකි ආකාරයට එම වරද පෙන්වා දිය යුතු ය.

වරදක් කළ කෙනකුට වරද පෙන්වා දෙන විනිශ්චය සභාවක ප්‍රධානත්වය ගන්නා පුද්ගලයා පහත ගුණාංගයන් ගෙන් යුක්ත විය යුතු බව විනය පිටකයෙහි දක්වා ඇත.

■ ඡන්දය, මෝහය, දෝසය, හා භය යන සතර අගතියට නො ගිය පුද්ගලයකු වීම

■ ආපත්ති අනාපත්ති පිළිබඳ පැහැදිලි අවබෝධයක් පැවතීම

■ බහුස්‍රැත පුද්ගලයකු වීම

යනු එම ගුණාංගයන් ය. ඒ අනුව විනිශ්චය ආසනයෙහි වාඩි වන පුද්ගලයා නිදහස් මානසිකත්වයකින් යුක්ත වීම අත්‍යවශ්‍ය කරුණක් බව පැහැදිලි ය.

යමක් දැඩි ව අල්ලා ගන්නා පුද්ගලයාට නිදහස් මනසකින් ක්‍රියා කළ නොහැකි ය. එසේ ම යමකට දැඩි ව අකැමැති වන්නාට ද යමක් දෙස නිදහස් ව බැලීමට නොහැකි ය. එම නිසා කැමැත්ත අකැමැත්ත පිළිබඳ දැඩි මතධාරීන් සැම විට ම ඒකපාර්ශ්වික ය. එසේ ම ව්‍යාකූල මනසක් පවතින පුද්ගලයාට නිවැරැදි තීරණ ගැනීමට අපහසු ය. එසේ ම නිරතුරු ව භයෙන් පාලනය වන පුද්ගලයා තමා ගන්නා තීරණය නිසා තමාට වන බලපෑම ගැන භයෙන් පසු වේ. එම නිසා සතර අගතියට ගිය පුද්ගලයකුට අන් අයගේ වරදක් පෙන්වා දීමට මෙන්ම වරදකට දඬුවමක් තීරණය කිරීමට අපහසු ය. යම් වරදකට ලබා දිය යුත්තේ එම වරදින් මිදීමට හේතු වන දඬුවමකි. එනම් වරද කළ තැනැත්තාට ප්‍රතිකාරයකි. මේ තීරණය ගන්නා පුද්ගලයා නිවැරැදි මානසිකත්වයකින් පසු විය යුත්තේ එම නිසා ය.

එසේ ම වැරැදි හා නිවැරැදි බව අතර වෙනස පිළිබඳ පැහැදිලි අවබෝධයක් විනිශ්චය ලබා දෙන්නා සතු ව පැවතිය යුත්තේ වරදක ස්වභාවය තීරණය වන්නේ ක්‍රියාව මත නො ව ක්‍රියාව කරන්නාගේ මානසිකත්වය මත වීම නිසා ය. බුදුදහමට අනුව ක්‍රියාව කරන්නාගේ මානසිකත්වය එම පුද්ගලයාගේ ක්‍රියාවෙහි වැරැදි හා නිවැරැදි බව තීරණය කරයි. නිදසුනක් ලෙස වරදක් ලෙස සලකන ක්‍රියාව සිදු වන්නේ රහතන්වහන්සේ නමක අතින් නම්, වරදක් කිරීමෙහි චේතනාවක් උන්වහන්සේට නොමැති නිසා එය වරදක් ලෙස නො සැලකෙයි. භික්ෂු භික්ෂුණි විනයට අනුව, මෙවුම් දම් සෙවීම භික්ෂු භික්ෂුණීනට භික්ෂු භාවය අහෝසි වීමට හේතු වන වරදකි. එහෙත් දූෂණයට ලක් වූ උත්පලවන්නා තෙරණියට ඒ සඳහා චේතනාවක් නො තිබූ නිසා එය වරදක් ලෙස නො පිළිගැනිණි. එපමණක් නො වේ.

පෘතග්ජන භික්ෂු භික්ෂුණීන් පවා අන් අය විසින් බලහත්කාරයෙන් විනය කඩ කරන ක්‍රියාවල යෙදවූ අවස්ථාවල එම වරද කිරීමට චේතනාවක් නො තිබූ නිසා ඒවා වැරැදි ලෙස නො පිළිගැනිණි. එසේ ම උන්මත්තක තත්ත්වයෙන් සිටින්නන්ට ද නිවැරැදි මානසිකත්වයක් නැත. එම නිසා පියවි සිහියෙන් වරදක් නො කරන්නාට දඬුවම් කළ නොහැකි ය. මේ ආකාරයට වැරැදි හා නිවැරැදි බව තීරණය කරන්නා ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයකින් යුක්ත වීම අත්‍යවශ්‍ය ය.

එසේ ම බොහෝ අත්දැකීම් සහිත වීම ද යමක් දෙස මධ්‍යස්ථ ව බැලීමේ හැකියාව පුද්ගලයාට ලබා දෙයි. විවිධ පරිසර තත්ත්ව යටතේ වැරැදි හා නිවැරැදි බව තීරණය වන ආකාරය වෙනස් විය හැකි ය. එක ම ක්‍රියාව සිදු වන අවස්ථාව අනුව හෝ, සමාජ පිළිගැනීම අනුව හෝ, වැරැදි නිවැරැදි බව වෙනස් විය හැකි ය. සත්ත්ව සම් ඇතිරි භාවිතය භික්ෂු භික්ෂුණිනට තහනම් කළ පැනවුමක් පැවතිය ද, අවන්ති ජනපදයෙහි ඇතිරි ලෙස බහුල ව සත්ත්ව සම් භාවිත කරන නිසා, අවන්ති වැසි භික්ෂුනට සම් ඇතිරි භාවිතයට අවසර දී තිබීම මෙයට එක් නිදසුනකි (විනය පිටකය, මහවග්ගපාලි, චම්මක්‍ඛන්‍ධකය). මේ ආකාරයට බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, වරදක් වරද කළ තැනැත්තාට වටහා ගත හැකි ආකාරයට පෙන්වා දීමට මෙන්ම, නිවැරැදි ව තීරණ ගැනීමට උපකාරී වේ.

බෞද්ධ සම්ප්‍රදාය සැම විට ම අගය කරන්නේ චෝදකයා හා චූදිතයා එකිනෙකා මුණගස්වා ගැටලුව නිරාකරණයට උපදෙස් දීම ය. මෙහි දී වූදිතයාට හා චෝදකයාට එකිනෙකා දන්නා දේ ප්‍රකාශ කිරීමටත්, වැරැදි වැටහීම් නැති කරගැනීමටත්, හැකියාව ලැබේ. එසේ ම මෙම ක්‍රමවේදය චූදිතයා වරදක් කර ඇත්නම් එය භාර ගැනීමට පහසුවක් සලසයි. සම්මුඛා විනය ලෙස හැඳින්වෙන මෙම ක්‍රමවේදය දෙපාර්ශ්වයට ම තමන්ගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීමට අවස්ථාව සලසා දෙයි. බෞද්ධ සම්ප්‍රදාය උපදෙස් දෙන්නේ සෑම අවස්ථාවක ම විනය විරෝධී ක්‍රියාවන් හා අදාළ ගැටලු විසඳීමේ දී සම්මුඛා විනය භාවිත කරන ලෙස ය. එය අසාර්ථක වන අවස්ථාවල දී පමණක් වෙනත් ක්‍රමවේද භාවිත කරන ලෙස ය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *