මුළු මහත් සමාජය ම ප්‍රාර්ථනා කරන අභය දානය

rashi
By rashi
10 Min Read

ගම්පහ, අස්ගිරිය පුරාණ ගල්ලෙන් රාජමහාවිහාරයේ භාරකාර විහාරාධිපති,
 ගම්පහ, බැණ්ඩියමුල්ල විද්‍යාශේඛර මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති (විශ්‍රාමික)
 සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක
 ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මපාල පූජ්‍ය


 කරපික්කඩ ජිනරතන නාහිමි

සාකච්ඡා සටහන : ආර්. ඒ. නයනානන්ද

දානය යන සංකල්පයට බුදු දහමින් ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි. දස පාරමිතා (බුද්ධකාරක ධර්ම), ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස පුණ්‍ය ක්‍රියා, සතර සංග්‍රහ වස්තු, දසරාජ ධර්ම අතර පළමුවැන්න වනුයේ දානයයි. මහා මංගල සූත්‍රයේ දන්දීම (දානය) මංගල කරුණක් ලෙස සඳහන් වේ.

‘දාන’ ශබ්දයෙන් සාමාන්‍යයෙන් ‘දීම’ යන අර්ථය ගෙන දෙයි. තමා සතු දෙයක් අන්‍යයන්ට මසුරුකමින් තොර ව පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් යුතු ව පරිත්‍යාග කිරීම මින් අදහස් කෙරේ. (පූජා බුද්ධියෙන් පරිත්‍යාගකිරීම යනු ගුණයෙන් දැනුමෙන් අගතැන්පත් භික්‍ෂූන් වහන්සේලා වැනි අයට කරන

පරිත්‍යාගයයි. අනුග්‍රහ බුද්ධියෙන් පරිත්‍යාග කිරීම යනු කෙනෙකුට අනුග්‍රහ දැක්වීමයි. එනම් දුගී මගී යාචකාදීන්ට නැතිබැරි අයට කරන පරිත්‍යාගයයි.)‘දෙනු ලබන වස්තුව’ සහ ‘දීම’ යන දෙකට ම ‘දානය’ යන වචනය භාවිත කරයි. දානමය කුසලය වශයෙන් ගැනෙන්නේ දීම නො ව, දීම සිදු කරන්නා වූ චේතනාවයි.

බෞද්ධ විග්‍රහයට අනුව දානයෙහි ආකාර තුනකි. ඒ ආමිස දානය, අභය දානය හා ධර්ම දානය වශයෙනි. (ආමිස දානය යනු ජීවත් වීම සඳහා අවැසි ආහාරපාන ඇතුළු භෞතික සම්පත් පරිත්‍යාග කිරීමයි. ධර්ම දානය යනු ධර්ම පොත්පත් ලිවීම, ධර්ම දේශනා පැවැත්වීම වැනි ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකිරීමයි.)

විවිධ ශබ්ද කෝෂයන්හි ‘අභය’ යන වචනයට හා ‘අභය දානය’ යන්නට විවිධ අර්ථකථන ලබා දී ඇත. පොදුවේ ගත් කල අභය යන්නට බිය නැති, නිර්භය, සුරක්‍ෂිත, ආරක්‍ෂාව, ක්‍ෂේමය යන අර්ථ විද්‍යමාන වේ. දඬුවම් හෝ මරණය වැළැක්වීම, ආරක්‍ෂාව හෙවත් රක්‍ෂාවරණය සලසා දීම, සමාව දීම, මරණයට නො පමුණුවා දිවි මුදා හැරීම, දඬුවම් ඉවත් කර සමාව දීම, ආරක්‍ෂාව සලසා දීම, මරණයට පත් නො කර ජීවිත දානය දීම යන අර්ථ අභය දානය යන්නෙන් අදහස් කර ඇත.

මේ අනුව අභය දානය නම් ජීවිතය දීමයි; ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමයි. නැතිනම් මිනිස් හෝ තිරිසන් සත්ත්ව ආදි කවර හෝ ජීවිතයක් විපතින් මුදවා නිදහස් කිරීම වේ. රජ, සොර, සතුරු, ගිනි, ජල යන පංච උපද්‍රවයන් ගෙන් විපතක් වන්නට නො දී ආරක්‍ෂා කිරීමයි. එසේ ම මස් පිණිස මරණයට කැප වූ සතුන් නිදහස් කිරීමත්, සිර කර සිටින සතුන් නිදහස් කිරීමත් අභය දානය ලෙස ගැනීමට පුළුවන.

බුදු දහමින් මිනිසා ඇතුළු සත්ත්ව ප්‍රජාවට ම ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට ලැබෙනුයේ ප්‍රබල දායකත්වයකි. බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පඤ්ච ශීලයේ පළමු ශික්‍ෂා පදයෙන් ද (පාණාතිපාතා වේරමණී සික්‍ඛාපදං සමාදියාමි – ප්‍රාණඝාතයෙන් වෙන් වීමේ ශික්‍ෂාපදය සුරකිමි) ඒ බව තහවුරු කරයි.

බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේ දණ්ඩ වග්ගයේ එන පළමු වැනි හා දෙ වැනි ගාථා ධර්ම කෙරෙහි අවධානය යොමු කරන්න.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ

මෙම ගාථා පාඨයේ අර්ථය මෙසේ ය. “සියලු සත්ත්වයෝ ම දඬුවමට බිය වෙති. සියලු සත්ත්වයෝ ම මරණයට බිය වෙති. තමා උපමා කොට කිසිදු සතෙකු නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය”.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ

“සියලු සත්ත්වයෝ ම දඬුවමින් තැති ගනිති. සියල්ලන් ම ජීවිතයට ප්‍රිය ය. එබැවින් තමා උපමා කොට නුවණැත්තා කිසිදු සතෙකු නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය”, යනු ඉහත ගාථා පාඨයේ අර්ථය වේ.

මේ අනුව බුදුදහම පුද්ගලයාට, සත්ත්වයාට අභය දානය දිය යුත්තේ කුමන හේතුවක් නිසා ද යන්න පැහැදිලි කරයි. ඉහත ගාථා ධර්මයන්ගේ අර්ථය අනුව සියල්ලෝ ම දඬුවමටත්, මරණයටත් බිය වෙති; ජිවිතය ප්‍රිය කරති. මෙහි දී සියල්ලෝ ම යනුවෙන් අර්ථ ගැන්වෙන විට ඊට තමා ද ඇතුළත් වේ. එසේ නම් තමාත් දඬුවමට, මරණයට බිය වෙයි; ජිවිතය ප්‍රිය කරයි. එනිසා තමා උපමාවට ගෙන සත්ත්වයන් දඬුවමට, මරණයට පත් නො කළ යුතු ය. අන්‍යයන් ලවා වත් එබඳු ක්‍රියාවන් සිදු නො කළ යුතු ය.

බුදු දහම බුද්ධිගෝචර දහමකි. බුද්ධිමත් ව සිතා බලා අයහපත් ක්‍රියාවන් ගෙන් මිදී යහපතෙහි ක්‍රියා කළ යුතු බව බුදුදහම උගන්වයි. ඒ සඳහා බුදුදහම අත්තුපනායික ධර්ම පර්යාය හඳුන්වා දෙයි. ඉන් අදහස් වන්නේ බුද්ධිමත් ව සිතා බලා අයහපත් ක්‍රියාවන් ගෙන් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතකි. තමන්ට ආරෝපණය කළ යුතු, තමන් කෙරෙහි පැමිණවිය යුතු යන අදහස ‘අත්තුපනායික’ (අත්ත + උපනායික) යන්නෙහි ඇත. කිසියම් සිද්ධියකින් අනුන්ට ඇති විය හැකි සිතිවිලි, වේදනා, පීඩා, සතුට ආදිය කෙබඳු වේ ද කියා එබඳු සිද්ධියක දී තමන්ට ඇති වන සිතිවිලි, වේදනා, පීඩා, සතුට ආදියට ගළපා බැලීම අත්තුපනායික ධර්ම පර්යායයි. මෙය තමන් උපමා කොට (අත්තානං උපමංකත්වා) බැලීමේ ක්‍රමය ලෙස ද හැඳින්වේ.

“මම ජීවත්වීමට කැමැත්තෙමි; නොමැරී සිටීමට කැමැත්තෙමි; සැපතට කැමැත්තෙමි; දුකට අකැමැත්තෙමි. එබඳු වූ මම කවරෙකු විසින් හෝ මරනු ලබන්නේ නම්, මම ඊට අකැමැත්තෙමි. එය මට අප්‍රිය වූ දෙයකි. අන් අය ද එසේමය. ඔවුන් ද ජීවත්වීමට කැමතිය; මරණයට අකැමැතිය; සැපතට කැමතිය; දුකට අකමැතිය. එබැවින් ජීවිතයට කැමති, මරණයට අකමැති, සැපතට කැමති, දුකට අකමැති අයෙක් මා විසින් මරනු ලබන්නේ නම් එය ඔහුට ප්‍රියමනාප වූ දෙයක් නොවේ. මම අකමැති, අප්‍රිය දේට අනෙකා ද අකමැති – අප්‍රිය වේ. එබැවින් මා අකමැති වූ, අප්‍රිය වූ තත්වයකට අන් අයෙකු පත් කරන්නේ කෙසේද?”

මෙසේ සිතන්නා ජීවිත විනාශ කිරීමෙන් වළකින අතර, ඊට පෙලඹෙන අය ද ඉන් වළකනු ලබයි. එසේම ප්‍රාණඝාතය නොකිරීමේ වැදගත්කම ද කියා දෙයි. එනම් මුළු මහත් සමාජයට ම ඔහු ‘අභය’ දෙයි. හෙතෙම අභය දානය ප්‍රගුණ කරයි.

මෙම විග්‍රහයන්ට අනුව බලන කල අභය දානය සම්බන්ධයෙන් බුදුදහම අත්තුපනායික ධර්ම පර්යාය මත පදනම් වූ ප්‍රවේශයක් දක්වාලනු පෙනෙයි. ඉහත දැක්වූ ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ එන පළමුවන හා දෙවන ගාථා දෙකෙන් ගම්‍ය කරන්නේ ද මෙම අදහසම වේ.

මජ්ක්‍ධිම නිකායේ චුල්ලකම්මවිභංග සූත්‍රයේ හා මහාකම්මවිභංග සූත්‍රයේ ප්‍රාණඝාතයෙන් මිදීමේ ආදිනව දක්වමින් අභය දානයේ ආනිසංස දක්වා ඇත. ඒ අනුව ප්‍රාණවධ කරන්නෝ මරණින් මතු නිරයෙහි උපදිති. යම් හෙයකින් මිනිස් ලොව උපත ලද්දේ නම් අල්පායුෂ ලබති. නොමැති නම් කර්කෂ වූ අත් පා බිඳීම් – බිහිරි වීම, කුදු වීම වැනි වූ කායික අඩුපාඩු – දිගු කලක් පීඩා විඳින කායික මානසික රෝග ආදි වූ බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ධනසම්පත් හානි වීම්, සොරසතුරු උපද්‍රව ආදි විපත්වලින් පීඩා ඇති වීම් ද සිදු වේ. ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සත්ත්වයන්ට හිතානුකම්පාවෙන් ක්‍රියා කරන්නා මරණින් මතු සුගතියෙහි උපදියි. මනුලොව උපත ලද්දේ නම් දීර්ඝායුෂ ලබයි. අල්පාබාධ ඇත්තෙක් වෙයි.

සියලු සත්ත්ව ප්‍රජාවට ම මෛත්‍රිය දැක්වීම, අභය දානය දීමක් වශයෙන් පෙන්වා දිය හැකි ය. “මවක් සිය එක ම පුතු තම ජීවිතය මෙන් රකී ද, එමෙන් සියලු සත්ත්වයන් වෙත අපමණ මෙත් සිත වැඩිය යුත්තේ ය”, යනුවෙන් කරණීය මෙත්ත සූත්‍රය මෛත්‍රිය වැඩිය යුතු ආකාරය පැහැදිලි කරයි. තවදුරටත් කරුණු දක්වමින් කරණීයමෙත්ත සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

“යේ කේචි පාණභූතත්ථි
තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා
මජ්ක්‍ධිමා රස්සකාණුකථූලා

දිට්ඨා වා යේව අදිට්ඨා
යේ ච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසී වා
සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා”

“තැති ගන්නාසුලු කෙලෙස් ඇති සත්ත්වයෝ ය, සෙවිය නොහැකි ස්ථිරසාර ගුණ ඇති රහතන්වහන්සේලා බඳු සත්ත්වයෝ ය, දිග් ශරීර ඇති සත්වයෝ ය, මහත සිරුරු ඇති සත්ත්වයෝ ය, මධ්‍යම ප්‍රමාණයේ සත්ත්වයෝ ය, මිටි ශරීර ඇති සත්ත්වයෝ ය, ඉතා කුඩා ශරීර ඇති සත්ත්වයෝ ය, තරබාරු සත්ත්වයෝ ය, යන මොවුන් ද, ඇසට පෙනෙන්නා වූ සත්ත්වයෝ ද, ඇසට නො පෙනෙන සත්ත්වයෝ ද, දුර වසන හෝ ළඟ වසන සත්ත්වයෝ ද, උපන්නා වූ හෝ ඉපදීමට සිටින්නා වූ සත්ත්වයෝ ද යන මේ සියලු ම සත්ත්වයෝ සුවපත් වෙත් වා යනුවෙන් හෙතෙම මෛත්‍රිය වඩන්නේ ය”.

එසේම ඛන්ධ පිරිතෙහි ද අපා, දෙපා, සිවුපා, බහුපා ආදි කිසිවෙකුට හිංසා නො කළ යුතු බවත්, සියලු දෙනාට ම නිරතුරු ව යහපත දැක්විය යුතු බවත් පෙන්වා දී ඇත.

වසල සූත්‍රය සඳහන් කරන අන්දමට පුද්ගලයෙකු වසලයෙකු වන එක් කරුණක් වන්නේ අනුන්ට හිංසා පීඩා කිරීම ය.

ඒකජං වා ද්විජං වාපි
යෝ ’ධ පාණානි හිංසති
යස්ස පාණේ දයා නත්ථි
තං ජඤ්ඤා වසලෝ ඉති

“යමෙක් තෙමේ එක් උපතක් ඇති හෝ දෙඋපතක් ඇත්තා වූ ප්‍රාණීන්ට මෙලොවහි දී හිංසා කෙරේ ද, යමෙකුට ප්‍රාණීන් කෙරෙහි දයාව නැත්තේ ද ඔහු වසලයෙකැ යි දන්නේ ය” යනු ඉහත ගාථා පාඨයේ අර්ථයයි. (ඒකජං – එක් උපතක් ඇති මිනිසුන්, ගොනුන්, බල්ලන් මෙන් වැදෑමසින් මවුකුසින් එකවර ම උපදින සත්තු මෙයින් ගැනෙති. දිජං – දෙඋපතක් ඇති මසුන්, විහඟුන්, උරගුන් වැනි එක්වරක් මවු කුසින් ද දෙවැනි වර බිජුවටින් ද උපදින සත්තු මෙයින් ගැනෙති.)

ඉහත ගාථා පාඨයේ සඳහන් නොවුණත් සංසේදජ හා ඕපපාතික සතුන් ද මීට අයත් කර ගත යුතුය. කුණුකසල, මළමුත්‍ර, මළකුණු ආදියෙන් උපදින සත්වයින් සංසේදජ සත්වයෝ වෙති. ඉබේ හටගන්නේ ඕපපාතික සත්වයෝය.

අභය නොදෙන්නාට අත් විඳීමට සිදුවන බිය පහක් ගැන භය සූත්‍රයේ (අංගුත්තර නිකායේ දසක නිපාතය) දැක්වේ. මෙලොව බිය හා වෛරයත්, පරලොව බිය හා වෛරයත්, මානසික දුක් දොම්නස් ඇතිවීමත් යනු එම බිය පහයි. අභය දෙන පුද්ගලයාට, ප්‍රාණඝාතයෙන් මිදුණ පුද්ගලයාට මෙලොව හා පරලොව බියත් වෛරයත් සංසිඳෙන අතර මානසික දුක් දොම්නස් ද නොමැති වෙයි.

මිනිසා සත්වයින් වැනි ජීව වස්තූන්ට ද ගහකොල වැනි අජීවි වස්තූන්ට ද ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බුද්ධ දේශනාවේ වැදගත් ඉගැන්වීමකි. ගස්වැල් කැඩීම හා අතු කපා දැමීම ආදිය සිදුකිරීමෙන් උපසම්පදා භික්‍ෂූන්ට ඇවැත් සිදුවෙන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. එසේම කුඩා ප්‍රාණීන් විනාශ වන බැවින් කෙළ ගැසීම, මළමුත්‍ර කිරීම ආදියෙන් ජලය අපවිත්‍ර කිරීම, වනාන්තර ගිනිලෑම වැනි දේ ද උපසම්පදා භික්‍ෂූන් නො කළ යුතු දෑ ලෙස දක්වා ඇත.

චක්කවත්ති සීහනාද සූත්‍රයේ එන දස සක්විතිවත්හි සඳහන් එක් සක්විතිවතක් වන්නේ සියලු සතුන්ගේ ජීවිත රක්‍ෂාවරණය සැලසීම රජුගේ ප්‍රමුඛ වගකීමක් බවයි.

බුදුදහම අභය දානයෙහි අගය පහදා දෙමින් මිනිසා ඇතුළු සියලු සත්ව ප්‍රජාවගේ ම ජීවත්වීමේ අයිතිය මෙන්ම අජීවී පරිසරයේ පැවැත්ම ද තහවුරු කර ඇති බව මින් පැහැදිලි වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *