මහාචාර්ය ආනන්ද ගුණසිංහ
සන්නිවේදනය යනු කිසිවකු විසින් කිසියම් අදහසක් තවත් කෙනකුට හෝ පිරිසකට දැනුම් දීමයි. මානව ශිෂ්ටාචාරයේ මුල් අවධියේ මෙන්ම අදත් මෙම ක්‍රියාවලිය විවිධාකාරයෙන් සිදුවේ. මෙම ක්‍රියාවලියේදී සන්නිවේදකයකු මෙන්ම සන්නිවේදිතයකු සිටීම ද අවශ්‍ය වේ. ඒ අනුව මෙම නිවේදන සහ නිවේදිත යන ප්‍රභේදය මෙබඳු විමසුමකදී මූලික වශයෙන් සැලකිල්ලට ගැනීම අවශ්‍ය වේ.
මානව ශිෂ්ටාචාරයේ මුල් අවධිය දෙස හැරී බලනවිට පැහැදිලි වන එක් වැදගත් කරුණක් නම් සන්නිවේදනය මිනිසාට පමණක් සීමා වන බවද එය ඔහු අන් ජීවීන්ගෙන් වෙන්ව සිටිය ජීවියකු බව පෙන්නුම් කෙරෙන ප්‍රධාන ලක්ෂණයක් බවද සැලකිය හැකි බවයි. මානව පරිණාමය වශයෙන් ජීව විද්‍යාඥයන් විසින් හා මානව විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන ක්‍රියාවලිය සිදුවීමේදී මිනිසා භෞතික වශයෙන් දියුණු වන්නට පටන් ගත් අතරම ඔහුගේ මානසික තත්ත්වය ද ක්‍රමයෙන් දියුණු වන්නට වූ බව පෙනේ. එසේ වෙනත් ජීවීන්ට වඩා දියුණු ආකාරයට සිතන්නට ශක්තිය ලබාගැනීමත් සමග තම චින්තන ධාරාව ද තව කෙනකුට ඇඟවීමට ද මිනිසාට අවශ්‍ය විය. මේ සඳහා ඔහු යොදාගත් ප්‍රධානතම මාධ්‍ය වූයේ භාෂාවයි. භාෂාව දියුණු තත්ත්වයකට පත්වෙමින් ක්‍රම ක්‍රමයෙන් මිනිස් සිතේ පහළ වන හැඟීම විවිධ අයුරින් පළ කිරීමට හැකි වන පරිදි විවිධ ස්වරූප ගැනීම නිසා වචන, වාක්‍ය, ගීත පද්‍ය වැනි ප්‍රභේදවලින් දීර්‍ඝ කාලයක් තිස්සේ වැඩී ආ ආකාරය භාෂා ඉතිහාසය පරීක්ෂා කර බැලීමේදී තේරුම්ගත හැකිය. භාෂාව වාචික හා ලිඛිත වශයෙන් කොටස් දෙකකට බෙදාගැනීමට හැකි වීම ද සන්නිවේදන ක්‍රියාදාමයේ එක් දියුණු අවස්ථාවක් පළ කරයි.
එහෙත් අන්‍යයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ එකම මඟ භාෂාව නොවේ. මිනිසා ඈත අතීතයේ සිටම විවිධාකාර සන්නිවේදන ක්‍රම ද තම අදහස් අන්‍යයන්ට ප්‍රකාශ කිරීම සඳහා උපයෝගි කරගත් බව පෙනේ. අඬබෙර වාදනය වැනි සංඥා ක්‍රම යම් සිද්ධියක් අන්‍යයන්ට දැනුම්දීම සඳහා මෙරට පැරැන්නන් යොදාගෙන ඇති ආකාරය හා නැටුම්වලදී විවිධ අභිනය යොදාගෙන ඇති ආකාරය මෙහිදී සිහියට නැඟේ. මේවා අපේ සංස්කෘතියේ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම වූ අතර වෙනත් ගෝත්‍රික සමාජවල ද භාෂාමය නොවූ භේරි සංඥා වැනි සන්නිවේදන ක්‍රම භාවිතා වූ බව පෙනේ. මෙම කරුණු මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනේදී සන්නිවේදනය කවර විධියේ යුගයක් පසු කරමින් වර්තමාන තත්ත්වයට පත්වී ඇද්ද යනු පරීක්ෂා කරන කෙනකුට ප්‍රයෝජනවත් විය හැකිය.
නූතන යුගයේ සන්නිවේදන ක්‍රම ශිෂ්ටාචාරයට අයත් විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව පදනම කරගෙන ඇවිත් විශේෂ ස්වභාවයකින් පෙරට ගමන්කොට තිබේ. විද්‍යුත් සන්නිවේදන වශයෙන් සලකනු ලබන ගුවන්විදුලිය, රූපවාහිනිය, දුරකථනය වැනි මාර්ගත් පුවත්පත් සඟරා පොත්පත් වැනි මුද්‍රිත ක්‍රමත් ටෙලෙක්ස් වැනි උපකරණත් මානව සන්නිවේදනයේ සියුම් වූ ද අත්‍යවශ්‍ය වූ ද අංග බවට පත්ව ඇති ආකාරය අපට වැදගත් වේ. එය සන්නිවේදන කාර්යයේ වර්තමාන තත්ත්වය තේරුම් ගැනීමට පමණක්ම නොව මානව ශිෂ්ටාචාරයේ සන්නිවේදන ක්‍රියාදාමය කෙතරම් එකිනෙකට සම්බන්ධ ද යන්න වටහා ගැනීමට ද ප්‍රයෝජනවත් වේ.
පූර්වෝක්ත සහ සම්බන්ධතාව බෞද්ධ සන්නිවේදනයේ විශේෂ ලක්ෂණය පරීක්ෂණයට ලක්කිරීමට පමණක් නොව මානව සංවර්ධනය සම්බන්ධයෙන් හා මිනිසාගේ ඉදිරි ගමන සම්බන්ධයෙන් එමගින් ඉටු වී ඇති සුවිශේෂ අරමුණු පැහැදිලිව අවබෝධ කරගැනීම අවශ්‍ය වේ. මෙම කාර්යයේදී බුද්ධ ධර්මය කවර සුවිශේෂ පරමාර්ථයක් නිර්ණය කරන්නක් ද යන්නට පිළිතුරු සොයා ගැනීම ද අපට අවශ්‍යය.
බුද්ධ ධර්‍මයේ එන චතුරාර්‍ය්‍ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැනි ප්‍රධාන ඉගැන්වීම් අනුව නිගමනය වන්නේ ලෝක සත්වයා සංසාරික දුකින් මුදා ඔහු නිසි මඟ යොදවා ස්ථිර සැනසිල්ලකට පත් කිරීම බෞද්ධ ආගමික නිෂ්ටාව වන බවය. මෙය නිවන නමින් ද හැඳින්වෙයි. වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් මෙන්ම සන්නිවේදනය සම්බන්ධයෙන් ද බෞද්ධ යයි වෙන්කොට දැක්විය හැකි යම් සුවිශේෂ ලක්ෂණයක් වෙතොත් එය ද ඉහත දක්වන ලද ආගමික නිෂ්ටාව වන නිවන් මඟට පුද්ගලයා මෙහෙයවන මාර්‍ගයට ගැළපෙන්නක් විය යුතුය. මෙහිදී අප සාකච්ඡා කරනුයේ බෞද්ධ සන්නිවේදන ක්‍රමය එම පරමාර්ථයට අනුව කවර ආකාරයක් දරයිද? යන්න පිළිබඳවය.
බුදුන් වහන්සේගේ ආරම්භක ධර්‍ම දේශනය ලෙස බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ චතුරාර්‍ය්‍ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ ධර්ම කොට්ඨාස විස්තර කෙරෙන සූත්‍රය ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි. තථාගතයන් වහන්සේ බුද්ධත්වය ලැබූ පසු තමා අවබෝධ කරගත් ධර්මය සම්මර්ශනය කරමින් සිටින විට උන්වහන්සේට එහි ගැඹුරු බව අවබෝධයට දුෂ්කර බව පෙනුණ නිසා කෙළෙස්වලින් භරිතව සිටින පෘථග්ජන ලෝක සත්වයාට එය සන්නිවේදනය කරන්නට යෑම නිෂ්ඵල ක්‍රියාවක් ලෙස වැටහුණු බව මහාවග්ග පාලියේ සඳහන් වෙයි. ඉන්පසු උන්වහන්සේ ධර්ම දේශනා කිරීමේ අදහස ගැන උදාසීන වූහ. මේ බව වටහා ගත් සහම්පති නම් මහා බ්‍රහ්මයා බුදුන් කරා පැමිණ ලොව කෙළෙස් අඩු සත්වයන් ද සිටින හෙයින් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා තමන් අවබෝධ කරගත් ධර්මය සන්නිවේදනය කරන ලෙස ආරාධනය කළේය. ඔවුන්ගේ ඉල්ලීම යළිත් විමසා බැලූ උන්වහන්සේට ධර්මය තේරුම් ගැනීමට සමත් හේතු වාසනා ඇති පුද්ගලයන් ද සිටින බව වැටහිණි. එබඳු පුද්ගලයන් අතර ද ප්‍රමුඛත්වයක් දැරූ පස්වග මහණුන් සොයා ගොස් ප්‍රථම ධර්මදේශනාව පවත්වන ලද්දේ ඉන් අනතුරුවය. මෙහි ඉතා සාර්ථක ධර්ම සන්නිවේදනයක් විය.
තමන් වහන්සේගේ පැරණි සගයන් වූ පස්වග තවුසෝ ආරම්භයේදී බුදුන්ට ගරු බුහුමන් නොකළහ. මෙය තමන් කිරීමට පැමිණි සන්නිවේදන කාර්යයට බාධාවක් බව වටහා ගත් බුදුන් සන්නිවේදකයකු වශයෙන් තමන් සුදුසු බව පළමුව පස්වග තවුසන්ට ඒත්තු ගැන්වූහ. “මම බුදු වී සිටිමි. මට ආවුසෝවාදයෙන් ඇමතීම නුසුදුසුය” යනු උන්වහන්සේ තම පැරණි සගයන්ට තමා ලබාගත් උත්තරීතර තත්ත්වය පළ කළ ප්‍රථම අවස්ථාව වෙයි. මෙම මූලික කාරණය ප්‍රකාශ කිරීමට ශාස්තෘන් වහන්සේට අවශ්‍ය වූයේ සන්නිවේදකයා කෙරෙහි ගෞරවාන්විත භක්තිය සන්නිවේදිතයා තුළ පිහිටිය යුතු මූලික ලක්ෂණයක් ලෙස බෞද්ධ ඉගැන්වීම්වලට අනුව පිළිගැනෙන හෙයිනි. කිසියම් පුද්ගලයකුට ධර්ම දේශනාවක් කිරීමට ආරාධනා කිරීමට පෙර බුදුන් වහන්සේ ‘සෝතං ඔදහථ – භාසිස්සාමි’ මට කන් යොමු කරන්න. මම එය පහදා දෙන්නම් යනුවෙන් මූලික වශයෙන් නිවේදිතයාගේ මානසික පසුබිම් සකස් කරන්නේ ඒ නිසාය. මේ සඳහා ධර්මයේ භාවිත වන වචනය ‘සද්ධා’ යන්නය.
සද්ධාව හා බෞද්ධ සන්නිවේදනය එකට ගමන් කරන අංග දෙකක් ලෙස හැඟේ. බොහෝ වියතුන් කල්පනා කරන හැටියට බුද්ධාගමේ විද්‍යාත්මක ස්වරූපයට අනුව එහි ගෞරව භක්තියට තැනක් නැත. එහෙත් සන්නිවේදනයට සම්බන්ධ සියලු අවස්ථාවලදී බෞද්ධ සන්නිවේදකයාට පරමාර්ථ සත්‍ය අවබෝධ කරවන්නේ සද්ධාව පදනම් කරගෙනය. විද්‍යාත්මක විවරණයකදී මෙන් නොව බෞද්ධ සන්නිවේදනයේදී වචනවල තර්කානුකූල වාච්‍යාර්ථවලට ලැබෙන්නේ සුළු තැනකි. ගැඹුරු මුහුදේ ඈතින් දකින කන්දක් උඩින් මතු වී පෙනෙන මුදුනත මෙන්ම වචනයක ගැබ් වූ අර්ථ රාශියේ සුළු කොටසක් වාච්‍යාර්ථය ලෙස සැලකිය හැකිය. සන්නිවේදනය වාච්‍යාර්ථයට සීමා කළහොත් එයින් ඉෂ්ට වන කාර්යය ද බෙහෙවින් අල්ප වෙයි. බෞද්ධ ධර්‍ම දේශනාවල කවර හෝ ස්ථානයක කවර හෝ කරුණක් සම්බන්ධයෙන් විද්‍යාත්මක අර්ථකථනයක් දැක්වීමට උත්සාහ කොට නැත්තේ ඒ නිසාය. (අටුවාවල ගැඹුරු ධර්‍ම කරුණුවලට දක්වා ඇති අර්ථකථන පශ්චාත් කාලීන බව මෙහිදී සැලකිල්ලට ගත යුතුය.) සත්‍ය සතරින් එකක් වන දුක්ඛ සත්‍යය විස්තර කරන අවස්ථාවේදී දුක යනු කුමක්ද? යන්නට අර්ථ දැක්වීමක් වෙනුවට බුදුන් කර ඇත්තේ මිනිසුන්ට දුක ප්‍රකට වන හෙවත් දැනවෙන අවස්ථා ඉදිරිපත් කිරීමකි. ඉපදීම, වයස්ගත වීම, ලෙඩ වීම, මරණයට පත්වීම වැනි ජීවිතයට සම්බන්ධ පොදු අවස්ථාවන් ද ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම කැමති දේ නොලැබීම වැනි ඒ ඒ පුද්ගලයන්ට සම්බන්ධ සුවිශේෂ අවස්ථා ද දුක පිළිබඳ විස්තර කිරීමේදී ඉදිරිපත් කළා මිස ඒ වචනයකට අර්ථ දැක්වීමට උන්වහන්සේ උත්සාහ කොට ඇත. මෙම තත්ත්වය සියලුම බුද්ධ දේශනාවලට පොදු වූවකි. ශාස්තෘන් වහන්සේ මෙහිදී අපේක්ෂා කොට ඇත්තේ සන්නිවේදකයාගේ පෞද්ගලික අත්දැකීම හා මිශ්‍රිත හැඟීම් සමුදායකට සම්බන්ධ කරගත හැකි ආකාරයෙන් යම්කිසි ලෞකික සත්‍යයක් සන්නිවේදනය කිරීමය. ඒ සඳහා උචිතතම ක්‍රමය වූයේ අර්ථකථන වැනි වචන හරඹ දැක්වීම නොව හැඟීම් සංවිධානය කිරීමට අවශ්‍ය වන ආකාරයට වාක් ශක්තිය උපයෝගි කර ගැනීමයි. බෞද්ධ සන්නිවේදන ක්‍රම නම් හැමවිටම පුද්ගල මනස මුල් තැන්හිලා තබාගෙන කෙරුණු සන්නිවේදන ක්‍රමයක් වශයෙන් සැලකීමට සිදුවන හෙයිනි.

