ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්
උග්ග සිටුතුමාගේ ප්‍රධානයන් පිළිගත් බුදුරජාණන්වහන්සේ,
“යමෙක් සෘජු වූවන් කෙරෙහි ප්‍රසාදයෙන් තමන් කැමති වස්ත්‍ර, ශයනාසනය, ආහාර පාන, නොයෙක් ප්‍රත්‍ය පරිෂ්කාර දෙයිද තමන් මනාප වූ දෙයම ලබයි. ඒ සත්පුරුෂ තෙමේ, රහතුන් කෙතක් බඳු කොට කැමැත්ත අත්හැර දුෂ්කර වූ දෙය පරිත්‍යාග කොට, මනාප වූ දෙය දෙන්නා මනාප වූ දෙය ලබයි.” යයි ප්‍රකාශ කළ සේක.
බුදුරජාණන්වහන්සේ විසින් දේශිත ධර්මය නිවැරදි දැයි දැන ගැනීමට ශ්‍රාවක අප කළ යුත්තේ එය ක්‍රියාවට නංවා එහි ප්‍රතිපලය පිරික්සීම බව, විමංසක සූත්‍ර දේශනාවෙහිදී බුදුරාණන්වහන්සේ ප්‍රකාශ කළ සේක (මජ්ක්‍ධිම නිකාය මූලපණ්ණාසක පාලි, චූලයමක වග්ගය, විමංසක සූත්‍රය.) මෙහිදී බුදුරජාණන්වහන්සේ පැහැදිලි කරන්නේ, නිර්වාණ
ගාමී ප්‍රතිපදාව පිළිබඳවය. නමුත් බුදුරජාණන්වහන්සේ ලෞකික සැප පිළිබඳව දේශනා කළ ධර්ම කරුණු ද අපට එලෙසම පරික්ෂා කර බැලිය හැකිය. විසාලා නුවර වාසී උග්ග ගහපතියන් එලෙස නිර්වාණගාමී ප්‍රතිපදාව පමණක් නොව ලෞකික සැප පිළිබඳව දේශනා කළ ධර්ම කරුණු ද පරික්ෂා කර බලා එහි විපාකය අත්විඳි ආර්ය ශ්‍රාවකයෙකි.
විසාලා නුවර සිටු කුලයක උපත ලද මෙතුමාට කුඩා කලදී නියමිත නමක් නොතබන ලදි. පසුව සිටුවරයකු ලෙස ලෞකිකව හා ආධ්‍යත්මිකව දියුණුවට පත්වූ නිසා ‘උග්ග’ – උස්ව නැගුණු යන අර්ථයෙන් උග්ග සිටුවරයා නමින් ප්‍රසිද්ධ විය. මෙතුමෝ බුදුරජාණන්වහන්සේ හමුවූ පළමු අවස්ථාවෙහිම සෝවාන් පලයට පත් වූ අතර, පසුව අනාගාමි තත්වය දක්වා තමන්ව උසස් කර ගැනීමට සමත් වූහ. (අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ගහපති වග්ගය, වෙසාලික උග්ග සූත්‍රය).
බුදුරජාණන්වහන්සේ විසින් පැසසීමට ලක්කළ ගුණාංග අටක් මෙතුමන් සතුව පැවතිණි. බුදුරජාණන්වහන්සේ විශාලා නුවර අසල මහවනයෙහි කුටාගාර ශාලාවෙහි වැඩසිටින අවස්ථාවක භික්ෂු සංඝයාට වෙසාලික උග්ග ගහපති සතුව ආශ්චර්ය අද්භූත ධර්මයන් අටක් පවතින බව ධාරණය කරගන්නා ලෙස ප්‍රකාශ කර විහාරයට වැඩිසේක. එම ආශ්චර්ය අද්භූත ගුණාංග අට දැනගැනීමෙහි අදහසින් එක් භික්ෂුවක් උග්ගසිටුවරයාගේ නිවසට ගොස්, ඒ පිළිබඳව විමසා සිටියේය. එවිට බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළ ආශ්චර්ය අද්භූත ධර්මයන් අට තමන් නොදන්නා බවත්, නමුත් තමන් සතු බව දන්නා ආශ්චර්ය අද්භූත ධර්මයන් අටක් පවතින බවත්, එය ධාරණය කරගන්නා ලෙසත්, පවසන සිටුවරයෝ, පහත දැක්වෙන ආශ්චර්ය අද්භූත ධර්මයන් අට එම භික්ෂුවට ප්‍රකාශ කළහ.
- “ස්වාමින්වහන්ස, පළමු කොට දුරදීම භාග්‍යවතුන්වහන්සේ දිටිම් ද, භාග්‍යවතුන්වහන්සේ දැකීම හා සමගම මාගේ සිත පහන් විය. ස්වාමින්වහන්ස, මේ මාගේ පළමු ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, පහන් සිත් ඇති මම භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ ඇසුරු කළෙමි. එසේ පැමිණි මට උන්වහන්සේ අනුපූර්ව කථාව ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන්වහන්සේ මාගේ සිත යම් අවස්ථාවක නිරෝගී, මොළොක්, නීවරණ රහිත, ඔදවැඩී ගිය පහන් තත්වයට පත් ව ඇති බව දත් සේක් ද, එවිට බුදුරජාණන්වහන්සේලා විසින් ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරනු ලබන්නා වූ, චතුරාර්්‍ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. හොඳින් පිරිසිදු කළ වස්ත්‍රයක් හොඳින් වර්ණයන් (සායම්)
උරාගන්නා ලෙස, එම අසුනෙහිදීම, මට ඇතිවන (සමුදය), යමක් ඇත්තේද ඒ සියල්ල නැතිවන (නිරුද්ධ) ස්වභාවය ඇතිබව අවබෝධ වන කෙලෙස් දුවිලි (රජස්) හා කෙලෙස් මල නැති දහම් ඇස (අනාගාමි මග) පහල විය. එසේ මා දකින ලද හාත්පසින් බැස ගන්නා ලද ආර්ය සත්‍යය ධර්ම ඥානය ඇත්තෙමි. එම නිසා පහවූ සැක හා විචිකිච්ඡා ඇත්තෙම්, විශාරද බවට පැමිණ, ශාස්තෘ ශාසනයෙහි අන් සහයක් නොමැතිවම තෙරුවන් සරණ ගියෙමි. බ්‍රහ්මචර්යාව පස්වෙනි වූ ශික්ෂාපද සමාදන් වීමි (බ්රහ්මචරියපංචමක ශීලය). ස්වාමින්වහන්ස, මේ මාගේ දෙවන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, මට තරුණ භාර්යාවෝ සිව් දෙකනු වූහ. මම එම භාර්යාවන් වෙත එළඹ එම භාර්යාවන්ට, මම බ්‍රහ්මචර්යාව පස්වෙනි වූ ශික්ෂාපද සමාදන් වූ බවත්, යම් භාර්යාවක් කැමති නම් මෙහිම සම්පත් පරිභෝජනය කරන ලෙසත්, කුසල් කරන ලෙසත්, එසේ නොමැති නම් සිය නෑ කුලයන් වෙත හෝ යන ලෙසත්, කවරකු හා විවාහ වීමට කැමති නම් ඒ බව පැවසුවොත්, එම පුරුෂයාට විවාහ කර දෙන බවත්, පැවසීමි. එවිට මාගේ වැඩිමහල් බිරිඳ මෙනම් ඇති පුරුෂයාට මාව විවාහ කර දෙන ලෙස මට පැවසීය. මම එම පුරුෂයා කැඳවා වමතින් භාර්යාව අල්වාගෙන දකුණතිත් පැන් කෙණ්ඩිය ගෙන අත පැන් වත්කර ඇයව එම පුරුෂයාට විවාහ කර දුනිමි. එසේ මාගේ තරුණ බිරිද අත්හැරීමෙහිදී මාගේ සිතෙහි වෙනස් බවක් ඇති වූ බව නොදනෙමි. ස්වාමින්වහන්ස, මේ මාගේ තෙවන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, මාගේ කුලයෙහි බොහෝ භෝගයෝ ඇත්තාහ. එම භෝගයෝ යහපත් ගුණදහම් ඇති සිල්වතුන් හා ප්‍රමාණ ලෙස වෙන් නොකර පොදුවේ බෙදාගෙන පරිභෝග කරමි. ස්වාමින්වහන්ස, මේ මාගේ සිව්වන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, මම යම් භික්ෂුවක ඇසුරු කරන්නේ නම්, ගෞරව සහිතව මනාසේ පැමිණෙන්නෙමි. එසේ නොමැතිව නොපැමිණෙන්නෙමි. එම භික්ෂුව මට දහම් දේශනා කරන්නේ නම්, මම ගෞරව සහිතව මනාසේ සවන් දෙන්නෙමි. එම භික්ෂුව මට දහම් දේශනා නො කරන්නේ නම්, මම එම භික්ෂුවට ධර්මය දේශනා කරමි. ස්වාමින්වහන්ස, මේ මාගේ පස්වන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, මම සංඝයා බතින් පැවරූ විට දෙවියෝ මා වෙත පැමිණ, අසවල් භික්ෂුව උභතෝවිමුක්තය, අසවල් භික්ෂුව ප්රඥාවිමුක්තය, අසවල් භික්ෂුව කාය සාක්ෂිය, අසවල් භික්ෂුව දෘෂ්ටිප්රාප්තය, අසවල් භික්ෂුව ශ්රද්ධාවිමුක්තය, අසවල් භික්ෂුව ශ්රද්ධානුසාරීය, අසවල් භික්ෂුව ධර්මානුසාරීය අසවල් භික්ෂුව කලණ දහම් ඇති සිල්වතෙකි, අසවල් භික්ෂුව ලාමක ගති ඇති දුසිල්වතෙකි, යි සැල කරති. එය ආශ්චර්යය නොවේ. මම දන් වළඳවන විට මෙම භික්ෂුවට වැඩියෙන් හෝ මෙම භික්ෂුවට අඩුවෙන් හෝ දෙමියි සිතක් මට ඇති නොවෙයි. සියලුම භික්ෂූනට සම සිතින්ම දෙමි. ස්වාමින්වහන්ස, මේ මාගේ සයවන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, දේවතාවෝ මා වෙත පැමිණ, ‘ගෘහපතිය භාග්‍යවතුන්වහන්සේ විසින් මනාකොට ධර්මය දේශනා කරන ලද්දෙය’යි සැල කරති. එය ආශ්චර්යය නොවේ. එවිට මම ඔවුනට ‘දේවතාවනි ඔබ මට පැවසුවත්, නොපැවසුවත්, භාග්‍යවතුන්වහන්සේ විසින් මනාකොට ධර්මය දේශනා කරන කරන සේක්මය’ යයි පවසමි. එසේ දෙවිවරු මා වෙත පැමිණ කථා කරන්නේ යයි විශේෂ හැඟීමක් මට ඇති නොවේ. ස්වාමින්වහන්ස, මේ මාගේ සත්වන ආශ්චර්ය අද්භූත ධර්මයයි.
- ස්වාමින්වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් දේශනා කරන ලද ඕරම්භාගීය සංයෝජන පහක් වෙයි ද, එයින් කිසිවක් මා කෙරෙහි නොදකිමි. මේ මාගේ අටවන ආශ්චර්ය අද්භූත ධර්මයයි.”
මෙම ආශ්චර්ය අද්භූත ධර්ම අට වෙසාලික උග්ග ගහපතියන්ගෙන් දැනගත් භික්ෂුව තමා හා ගහපතියන් අතර සිදුවූ සාකච්ඡාව බුදුරජාණන්වහන්සේට දැනුම් දුන් විට බුදුරජාණන්වහන්සේ එම ආශ්චර්ය අද්භූත ධර්ම අට වෙසාලික උග්ග ගහපතියන් සතු බව ප්‍රකාශ කළ සේක (අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ගහපති වග්ගය, වෙසාලික උග්ග සූත්‍රය).
උග්ග සිටුතුමා බුදුරජාණන්වහන්සේ විසින් යමකු තමාට මනාප දෙය දන් දුනහොත්, එය තමාට ලැබෙන බව ප්‍රකාශ කරනු අසා එය පිළිගෙන එය ක්‍රියාවට නැංවීමට සිතීය. බුදුරජාණන්වහන්සේ එතුමන්ගේ සිත හඳුනාගෙන එතුමාගේ නිවසට වැඩි සේක. බුදුරජාණන්වහන්සේ ගෞරවයෙන් පිළිගෙන අසුන් පැණවූ උග්ග සිටුතුමා, බුදුරජාණන්වහන්සේ විසින් යමකු තමාට මනාප දෙය දන් දුනහොත්, එය තමාට ලැබෙන බවට කළ ප්‍රකාශය තමා පිළිගත් බව පවසා, තමා මනාප දේ බුදුරජාණන්වහන්සේට ඒ පිළිබඳව සඳහන් කරමින් පිළිගැන්වීය. ඒ සියල්ල එතුමන් ගැන අනුකම්පාවෙන් පිළිගත් සේක.
“ස්වාමීනී තමාට මනාප දෙය දන් දුනහොත්, එය තමාට ලැබෙන බව භාගවතුන්වහන්සේ ගෙන් මම ඇසීමි. ස්වාමීනී මට සල්මල් කැවුම් මනාපය. භාගවතුන්වහන්සේ මට අනුකම්පා කර මාගේ මේ ඛාදනය පිළිගන්නා සේක්වා.”
“ස්වාමීනී තමාට මනාප දෙය දන් දුනහොත්, එය තමාට ලැබෙන බව භාගවතුන්වහන්සේ ගෙන් මම ඇසීමි. ස්වාමීනී මට ඩෙපරඵල යොදා පිසන ලද සූකර මාංස කරන මනාපය. භාගවතුන්වහන්සේ මට අනුකම්පා කර මාගේ මේ ඛාදනය පිළිගන්නා සේක්වා.”
“ස්වාමීනී තමාට මනාප දෙය දන් දුනහොත්, එය තමාට ලැබෙන බව භාගවතුන්වහන්සේ ගෙන් මම ඇසීමි. ස්වාමීනී මට තෙලින් වැටූ නැලිපලා මනාපය. භාගවතුන්වහන්සේ මට අනුකම්පා කර මාගේ මේ ඛාදනය පිළිගන්නා සේක්වා.”
“ස්වාමීනී තමාට මනාප දෙය දන් දුනහොත්, එය තමාට ලැබෙන බව භාගවතුන්වහන්සේ ගෙන් මම ඇසීමි. ස්වාමීනී මට කළුඇට ඉවත් කරන ලද, නොයෙක් සූප ව්‍යංජන සහිත ඇල් සහලින් කරන ලද බත මනාපය. භාගවතුන්වහන්සේ මට අනුකම්පා කර මාගේ මේ ඛාදනය පිළිගන්නා සේක්වා.”
“ස්වාමීනී තමාට මනාප දෙය දන් දුනහොත්, එය තමාට ලැබෙන බව භාගවතුන්වහන්සේ ගෙන් මම ඇසීමි. ස්වාමීනී මට කසී සළු මනාපය. භාගවතුන්වහන්සේ මට අනුකම්පා කර මාගේ මේ කසී සළු පිළිගන්නා සේක්වා.”
“ස්වාමීනී තමාට මනාප දෙය දන් දුනහොත්, එය තමාට ලැබෙන බව භාගවතුන්වහන්සේ ගෙන් මම ඇසීමි. ස්වාමීනී මට අඟල් හතරකට වඩා ඝනකම කළුලොම් ඇතිරි අතුළ, සුදු එළු වලින් සැදූඇතිරි අතුළ, කෙසෙල් මුවන්ගේ සමින් කළ උතුම් උඩුවියන් සහිත, ගෙතූ මල් සහිත එළු ලොම් ඇතිරි දැමූ, හිස සහ පාමුල රතු පැහැති කොට්ට තැබූ පල්ලඞකය – ඇදි නැති ආසනය – මට මනාපය. එහෙත් එය භාගවතුන්වහන්සේට අකැප බව මම දනිමි. ස්වාමීනී මාගේ මේ සදුන් පුවරුව මිල දහසකට වඩා අගනේය. භාගවතුන්වහන්සේ මට අනුකම්පා කර මාගේ මේ සඳුන් පුවරුව පිළිගන්නා සේක්වා.”
උග්ග සිටුතුමාගේ ප්‍රධානයන් පිළිගත් බුදුරජාණන්වහන්සේ,
“යමෙක් සෘජු වූවන් කෙරෙහි ප්‍රසාදයෙන් තමන් කැමති වස්ත්‍ර, ශයනාසනය, ආහාර පාන, නොයෙක් ප්‍රත්‍ය පරිෂ්කාර දෙයිද තමන් මනාප වූ දෙයම ලබයි.
ඒ සත්පුරුෂ තෙමේ, රහතුන් කෙතක් බඳු කොට කැමැත්ත අත්හැර දුෂ්කර වූ දෙය පරිත්‍යාග කොට, මනාප වූ දෙය දෙන්නා මනාප වූ දෙය ලබයි.” යයි ප්‍රකාශ කළ සේක.
එතැන් පටන් තමන් මනාප දෙය බුදුරජාණන්වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයාට පූජා කළේය. පසු කලෙක කළුරිය කළ උග්ග ගහපතියෝ ධ්‍යාන සිතින් උපන් එක්තරා දේවනිකායක (සුද්ධාවාසයෙහි) උපන්නේය. බුදුරජාණන්වහන්සේ, සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන අවස්ථාවක, මනාපැහැති සිරුරු ඇතිව උග්ග දේව පුත්‍රයෝ, මධ්‍යම රාත්‍රියෙහි දෙව්රම් වෙහෙර බබුළුවාගෙන වැඩියහ. එසේ පැමිණි දේව ප්‍රත්‍රයාගෙන් බුදුරජාණන්වහන්සේ, එතුමා ප්‍රාර්ථනා කළ ලෙසම මනාපදායි දෙය ලැබුණේදැයි විමසූ සේක. එයට පිළිතුරු දෙන උග්ග දේව පුත්‍රයානෝ ඒකාන්තයෙන්ම තමා පැතූ පරිදිම ලැබුණු බව පැවසූහ.
අප ගෞතම බුදුරජාණන්වහන්සේගේ ශාසනයෙහි මනාප දායක දෙය දෙන්නවුන් අතර අග තනතුර දරන්නේ ද විසාලා නුවර වාසී උග්ග සිටුතුමාණන්ය. එතුමනට එම තනතුර ලැබෙන්නේ, පියුමතරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි ඉපිද, එම බුදුරජාණන්වහන්සේ විසින් සිය සසුනෙහි මනාප දායක දෙය දෙනනවුන් අතර අග්‍ර තනතුර උපාසකයකුට පිරිනමනු දැක, එයට පැහැදුන මෙතුමා, පින් දහම් කර එම තනතුර ප්‍රාර්ථනා කළ නිසාය. අනතුරුව කල්ප ලක්ෂයක් එම තනතුර අපේකෂාවෙන් කුසල් රැස්කර අප බුදුරජාණන්වහන්සේගේ මනාප දායක දෙය දෙන්නවුන් අතර එම තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගත්තේය (මනොරථපූරණි, වෙසාලිකඋග්ග සුත්තවණ්ණනා).