කපිල පීරිස්
සියලු සත්ත්වයන්ගේ මූලික ම ගැටලුව වන්නේ දුක ය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන්නේ මේ දුක දැන-දැක ඊට හේතු ඇති බව දැන-දැක ඒ හේතු නිරෝධ කිරීම තුළ ඒ දුක නිරෝධ (යළි නූපදින ලෙස) කළ හැකි බව දැන-දැක ඒ සඳහා වන පටිපදාවක් ද ඇති බව දැන-දැක එය දේශනා කිරීමට ය.
මේ දුකට හේතුවක් (හේතු) නො තිබුණේ නම්, එය යම් ආකාරයක ‘ගල් ගැසුණ’ දුකක් වන අතර එය නිරෝධ කළ නොහැකි වනු ඇත. ඕනෑ ම ගැටලුවක් නිරාකරණය කළ හැක්කේ ඒ සඳහා පාදක වූ හේතු වූ කාරණා නිරාකරණය කළ හැකි නම් ය. අහේතුක ගැටලුවක් විසදිය හැකි නො වේ. එය අධිච්ච සමුප්පන්න තත්ත්වයකි.
මේ අනුව සත්ත්වයාගේ සංසාරගත දුක පිළිබඳව බුදුරජාණන්වහන්සේගේ මූලික දේශනාව වන්නේ චතුරාර්ය සත්‍යයයි. මේ චතුරාර්ය සත්‍යයේ පළමු අංගය වන ‘දුක’ එහි දෙ වැනි අංගය වන හේතුව (හේතු) අනුව ඇති වන හැටි පෙන්වා දෙන්නේ පටිච්ච සමුප්පාදය මඟිනි. මේ පටිච්ච සමුප්පාදයේ හේතු-ඵල එකිනෙක බැඳෙන න්‍යාය ඉධප්පච්චේකතාවයි. එමඟින් යළි නූපදින පරිදි දුක ඊට අදාළ හේතු යළි නූපදින අයුරු නිරෝධ කිරීම මඟින් නැති කළ හැකි බව පෙන්වා දේ. මේ සඳහා අනුගමනය කළ යුතු පටිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය චතුරාර්ය සත්‍යයේ සිව්වැනි සත්‍යයයි.
මේ අනුව මේ සියලු අංග එකට සැබැඳි එකක වත් ස්වාධීන පැවැත්මක් නැත. එකක් වත් ඒ අනෙක් අංග ඇසුරෙන් මිස තවත් අන් කවර ධර්මතාවයකින් වත් ඇති වන්නේ නැත. එය අංගයක් ඇති විට අනුගාමී අංගය ඇත යන්න ලෙස පමණක් නො ව එක් අංගයක් උපදින විට අනුගාමී අංගය ඉපදීම ලෙස ද දැක්වීම මඟින් මේ අංග අතර සබැදියාව ප්‍රකට කෙරේ. නිරෝධයේ දී ද එසේ ම ය.
දුක ඇති වෙන්නේ හේතු-ඵල දහමකිනි. (පට්ච්ච සමුප්පාදය) එහි ආත්මීය භාවයන් නැත. එනම් එය කෙනෙකුගේ, දෙවියෙකුගේ, බ්‍රහ්මයෙකුගේ කැමැත්ත – ඇකැමැත්ත අනුව සිදු වන්නක් නො වේ. පටිච්ච සමුප්පාදයේ ක්‍රියා සඳහා කිසිවෙකුට බලපෑම් කළ නොහැකි ය. එහි අනුපිළිවෙළින් ගත් ඕනෑ ම අංග දෙකක පළමු වැන්න ඇති විට දෙවැන්න ඇත. පළමුවැන්න නැති විට දෙවැන්න නැත. පළමු වැන්න උපදින විට දෙවැන්න උපදී. පළමුවැන්න නූපදින විට දෙවැන්න නූපදී. මේ ඉධප්පච්චේකතා න්‍යාය අදාළ වන්නේ පටිච්ච සමුප්පාදයට පමණ ය. කිසිදු විද්‍යාවක කිසිදු හේතුඵල දහමකට ඉධප්පච්චේකතාව ගැළපෙන්නේ නැත. ඒ සෑම එකක ම ඇත්තේ ඉධප්පච්චේකතාවයේ ඉතා සුළු කොටස් පමණ ය. ඒ එකක් වත් භාග්‍යවතුන් වහන්සේ මෙන් ප්‍රඥාවෙන් දැන දැකගත් ඒවා නො වේ. ඒ සියල්ල සොබා (පංචේන්ද්‍රිය ගෝචර) දහම හිතළු රටාගත කෙරුම් පමණ ය.
භවය – දුක ඇති කරවන පටිච්ච සමුප්පාදය හේතු-ඵල ලෙස සිදු වූවත් එය බිඳෙන ක්‍රියාවලිය සොබාවික ව සිදු නො වේ. ඒ සදහා ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් අදාළ මඟ වැඩිය යුතු ය. එය හේතු ඵල දහමක් නො වේ. එය මේ මොහොතේ දී ම (මේ මොහොතේ සිට ම) තමා විසින් ම තමා තුළින් ම වඩා ප්‍රත්‍යක්ෂ කර ගත යුක්තකි. මේ සඳහා කාලය අදාළ නැත. දහමේ ගුණයන් වන ඕපනයික, අකාලික, පච්චත්තං වේදිතබ්බ ආදියෙන් කියැවෙන්නේ මේ තත්ත්වයයි. එය කර්ම ඵලයක් නො වේ.
අදාළ පටිපදාව නිසි පරිදි වැඩුව හොත් අදාළ ඵලය නිශ්චිත දින ගණනක් තුළ ලැබෙන බවට භාග්‍යවතුන් වහන්සේ ඇප වන්නේ මේ සඳහා පමණ ම ය.
පටිච්චසමුප්පාදයේ දී දුක් යනු මොනවා ද යන්නත් ඒ සඳහා පාදක වන සංස්කාර ධර්මයන් සත්ත්වයන් තුළ ඇති වන අයුරුත් දේශනා වී ඇත. මේ සත්ත්වයන් තුළ හටගන්නා සංඛාර (සංස්කාර) දෙවර්ගයක් ඇත. එනම්,
අභිසංඛත සංඛාර
චේතනාත්මක ව කුසලාකුසල කර්ම රැස් වීම නිසා එහි ඵලයන් ලෙස නැවත නැවතත් හටගන්නා පංච උපාදානස්කන්ධයයි. මෙහි දී විශේෂයෙන් ම අදහස් කෙරෙන්නේ කර්ම විපාක වශයෙන් ලැබෙන විපාක සිත් 32, එම සිත්වල යෙදෙන චෛතසික 35 සහ කර්මජ රූප 20 ය. (නා උයනේ අරියධම්ම හිමි)
අභිසංස්කරණ සංඛාර
පංචඋපාදානස්කන්ධයේ පැවැත්ම නැවත නැවතත් සකස් කරන්නා වූ පුඤ්ඤාභිසංකාර (පිං), අපුඤ්ඤාභිසංඛාර (පව්), ආනෙඤ්ජාභිසංඛාර (අරූපාවචර සමාපත්ති) යන කුසලාකුසල චේතනා ය. පටිච්ච සමුපාදයේ අවිජ්ජා පච්චයා සංඛාරා යන තැන සංඛාර යනු ද මේවා ය. වේදනා, සඤ්ඤා දෙක හැර චේතනාව ප්‍රධාන සෙසු කුසල අකුසල, අව්‍යාකෘත චෛතසික පනහ යනු මේවා ය. (නා උයනේ අරියධම්ම හිමි)
මීට අමතර ව හේතුඵල අනුව සැකසුණු අචිත්තක සචිත්තක සෑම දෙයක් ම සංඛත සංඛාර වේ. ‘සබ්බේ සංඛාරා අනිච්චා’ යන බුදු වදනෙහි සංඛාර යනු මේවා ය. මේ අනුව ගස් ගල් ඉරහඳ තාරකා සත්ත්වයන් මේ සංඛත සංඛාර යන ගණයට අයත් වේ.
සත්ත්වයා තුළ දුක හටගැනීමෙහි ලා මූලික වන්නේ අභිසංස්කරණ සංඛාර ඇසුරු කරගෙන පවත්නා අනිච්චයයි. එනම් ඒවායේ උදය වැය යන ලක්ෂණද්වයයි. සංඛත සංඛාරවල අනිච්චතාව මෙහි දී නිමිති වශයෙන් පාදක වේ. ‘යදනිච්චං තං දුක්ඛං’ යන්න මේ අනුව තේරුම්ගත හැකි ය. සංඛත සංඛාර අපි අභිසංස්කරණය කරමු. එනම් අපි ඒවා සක්කාය දිට්ඨිය මුල් කරගත් දිට්ඨි ආශ්‍රව යොදාගෙන ‘මම, මගේ, මට අවශ්‍ය ආකාරයට තබා ගැනීම’ ආදි වශයෙන් සකස් කරමු. එහෙත් මේ සියලු අභිසංස්කරණයන් අනිච්ච ය. එනම් ඉපදී නැති වී යයි. (උදය-වැය) යම් සුඛ වේදනාවක් සහිත අරමුණක් අප අභිසංස්කරණය කළ විට (රාගයෙන්), අනතුරු ව සිදු වන එහි නැති වීම ඇති කරන්නේ දුක් වේදනාවකි. මේ දුක් වේදනාව නැවත ද්වේෂයෙන් අභිසංස්කරණය කරන අපි මේ දුක් වේදනාව සමග ගැටෙමින් වෙනත් අරමුණු ඔස්සේ ඉව අල්ලා නැවත සුඛ වේදනා සහිත අරමුණක් අල්ලාගෙන නැවත එය අභිසංස්කරණය කරමු. එය ද නැති වී වැය වී යන්නකි. එනම් නැවත දුක්වේදනා ඇති කරවන්නකි. මේ අනුව සුඛ වේදනාවලට බැfඳමින් දුක් වේදනා සමග ගැටෙමින් කරන්නා වූ මේ අනිච්ච වූ අභිසංස්කරණය අවසානයේ අපට දුකක් ම ඇති කරන අයුරු තේරුම්ගත හැකි ය. බාහිර සුඛ වේදනා පසුපස යමින් අභිසංස්කරණ ක්‍රියාවලිය ඔස්සේ අපි දුක ම අත්පත් කරගනිමු. එපමණක් නො ව මේ අභිසංස්කරණ ක්‍රියාවලිය එහි ඵල වශයෙන්, විපාක වශයෙන් තවත් මෙවැනි ම දුක් සහගත අභිසංස්කරණ ක්‍රියාවලියකට මඟපාදන අභිසංඛත සංඛාර ගොඩනඟන අයුරු ද තේරුම්ගත හැකි ය.
‘සංඛත කොට අභිසංස්කරණය කෙරෙත් නුයි එයින් සංස්කාරහ කියනු ලැබෙත්’ ලෙස ඛජ්ජණීය සූත්‍රයේ දැක්වෙන සංස්කාර යනු ඉහත දැක්වූ අභිසංස්කරණ සංඛාර විය යුතු ය.
දුක නිරෝධ කිරීමට නම් මේ අනිච්ච වූ අභිසංස්කරණ ගොඩනැඟීම නැවැත්විය යුතු ය. ලෝකයේ සංඛත සංඛාරවලට එලෙස ම පැවතීමට ඉඩ හැර ‘මම’, ‘මගේ ’ ‘මට ඕනෑ ආකාරයට’ ආදි වශයෙන් අප ඒවා සමග නො පැටලිය යුතු ය, උපාදාන නො විය යුතු ය. අභිසංස්කරණය නො කොට සංඛත සංඛාර ලෝකය තුළ ක්‍රියාත්මක විය යුතු ය. සංඛත සංඛාරවල අනිච්චය අපට නැවැත්විය නොහැකි අතර, එය අපේ දුකට අදාළ වන්නේ ද නැත. සංඛත සංඛාරවල අනිච්චතාව අභිසංස්කරණ ක්‍රියාවලියේ දී දුක ඇති කිරීමට නිමිති වන නමුදු දුකින් මිදීමට නම් අප නැවැත්විය යුත්තේ අභිසංස්කරණ ක්‍රියාවලියයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ සතර සතිපට්ඨානය මේ සඳහා පටිපදාව සපයයි. කෙනෙකු මිය ගිය විට අප අත්දකින්නේ සංඛත සංඛාරවල අනිච්චයයි- විපරිණාමයයි. එහෙත් ඒ මිය යෑම තුළ අප දුක් විඳින්නේ එම සංඛත සංඛාරය සමග ගොඩනැඟුණ අභිසංස්කරණ සංඛාරවල අනිච්චතාව නිසා ය.
(මතු සම්බන්ධයි)