විශ්වය හා බැඳුණු බෞද්ධ සංකල්පය පිළිබඳව විමසුමක්

rashi
By rashi
7 Min Read

රුවින්ද කොල්ලු‍රේ

ලොව සෑම ප්‍රධාන ආගමක ම පාහේ විශ්වයේ උපත හා පෘථිවියේ ජීවය ඇරඹුණු ආකාරය පිළිබඳව සඳහන් කොට ඇත්තේ ය. මෙහි දී බුදු දහම හැරුණු විට අනෙක් ආගම්වල මේ කරුණ සම්බන්ධයෙන් දැකිය හැකි වන්නේ දේව මැවුම්වාදය මුල් කොටගත් සංකල්පයන් වීම විශේෂත්වයකි.

දේව නිර්මාණවාදය ප්‍රතික්ෂේප කරන අදේවවාදී ආගමක් වන බුදු දහමේ විශ්වය හා ලෝකයේ ආරම්භය පිළිබඳව සවිස්තර ව දක්වා ඇත. පෘථිවියේ ආරම්භය පිළිබඳ ව දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන ඇතැම් කරුණු නවීන විද්‍යාත්මක සොයාගැනීම් සමග යම් සමානත්වයක් පෙන්වීම විශේෂත්වයකි.

බුදුන් වහන්සේ විශ්වයේ කෙළවර හා ලෝකයේ ආරම්භය ගැන සොයා වෙහෙසෙනවාට වඩා තමන් ගැන සෙවීම වඩා වැදගත් බව වදාළ හ. බුදුන් වහන්සේ විසින් අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කරන ලද්දේ විශ්වය පිළිබඳව සාමාන්‍ය ජනයාට කරුණු පහදා දීමට නො ව තමන් හමු වීමට පැමිණි වාසෙට්ඨ හා භාරද්වාජ යන බ්‍රාහ්මණයන් දෙදෙනා දැක්වූ අදහස්වල සාවද්‍ය බව පෙන්වා දීම සඳහා ය.

“වාසෙට්ඨ, දීර්ඝ කාලයකට පසු මේ ලෝකය විනාශ වූ විට දී බොහෝ සත්ත්වයෝ මෙයින් චුත ව ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඕපපාතික ව උපදිති. ධ්‍යාන චිත්ත බලයෙන් උපන් ඔවුහු, ප්‍රීතිය ම ආහාර කොටගෙන තමන්ගේ ම ශරීර ආලෝකයෙන් අවට බබළවමින් ආකාශයෙහි සැරිසරති. කල් යෑමෙන් යළිත් මේ ලෝකය හටගන්නා කල්හි, ඒ සත්ත්වයෝ මිනිස් ලොව ඕපපාතික ව පහළ වෙති.”‍

අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝකයේ ආරම්භය පිළිබඳ ව මෙලෙසින් සඳහන් වී ඇති අතර කලක් ගත වීමේ දී නැවතත් මහ පොළොව හටගෙන එය සම්පූර්ණයෙන් ම ජලයෙන් වැසී, ජල කඳක් සේ දිස් වන බව කියැවේ. එසේ ම ලෝකය කිසිදු ආලෝකයක් නොමැති ව අන්ධකාරයෙන් වැසී තිබෙන බවත් එහි සඳහන් කොට ඇත. ලෝකයේ ආරම්භය පිළිබඳව නවීන විද්‍යාත්මක මතයෙහි ද දැක්වෙනුයේ පෘථිවිය ආරම්භයේ දී ඝන අන්ධකාරයකින් වැසී තිබුණු බව හා පෘථිවියේ බොහෝ ප්‍රදේශ ජලයෙන් වැසී ගොස් තිබූ බවයි.

අනතුරු ව ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපිද සිටි අය එයින් චුත ව මහ පොළොවෙහි උපදින අතර කලක් යන විට ජල ගෝලයේ “රස පොළොව”‍ හටගනී. උණු කළ කිරි මත යොදය හටගන්නාක් මෙන් ජලය මත සිවියක් ලෙස ගිතෙල් හෝ වෙඬරු පිඬක් මෙන් ඉතා රසවත් බවක් හා සුවඳක් ඒ රස පොළොවේ පවතී.

මේ “රස පොළොව”‍ නම් සංකල්පය, නූතන විද්‍යාවේ දැක්වෙන “‍ආදි සූපය”‍ (Primordial Soup) යන සංකල්පය හා සැසඳේ. මෙම ප්‍රාථමික සූපයේ ජීවය බිහි වීමට අවශ්‍ය ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, ලිපිඩ වැනි මූලික සංඝටක අඩංගු වී තිබුණි. ආදි සූපය නැත හොත් ප්‍රාථමික සූපය පිළිබඳ අදහස මුලින් ම ඉදිරිපත් කරන ලද්දේ ජේ.බී.එස්. හැල්ඩේන් හා ඒ.අයි.ඔපාරින් යන විද්‍යාඥයන් විසිනි. මුල් ම ජීවී සෛලය නිර්මාණය වූයේ ද මෙම ආදි සූපයෙන් බව ඉන් කියැවේ.

වරක් බුදුන් වහන්සේ හමු වූ ආනන්ද තෙරුන් විසින් අභිභූ නම් තෙරුන්ට සහස්සී ලෝක ධාතුව තෙක් ශබ්දය පැවැත්වීමට හැකියාව ඇති බවත් භාග්‍යවතුන් වහන්සේට එසේ කොපමණ දුරක් ශබ්දය ඇසීමට සැලැස්විය හැකි දැ’ යි විමසූ බව කියැවේ. එවිට බුදුන් වහන්සේ, අභිභූ තෙරුන් බුද්ධ ශ්‍රාවකයෙකු බවත් බුදුවරයෙකු පතුරන ශබ්දයේ හඬ ප්‍රමාණ කළ නොහැකි තරම් වන අතර විශ්වයේ අසීමාන්තික ව ගමන් කරන බවත් වදාළ හ. බුදුන්වහන්සේ විසින් මේ කරුණ අරභයා දේශනා කරන ලද අභිභූ සූත්‍රයේ විශ්වය පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් දක්නට ලැබේ.

අභිභූ සූත්‍රයට අනුව විශ්වය නිර්මාණය වී ඇත්තේ සහස්සී චූලනිකා ලෝක ධාතුව, ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව හා තිසහස්සී මහා ලෝක ධාතුව යන ලෝක ධාතු ප්‍රභේද තුනෙන් බව කියැවේ.

“‍එක හිරක් හා එක සඳක් වශයෙන් හිරු සඳු දෙදෙනෙක් ආලෝකය විහිදුවමින් පරිභ්‍රමණය වන්නේ යම් තාක් දුරක් ද, එය ‘සක්වළක්’‍ (චක්‍රාවාටයක්) වන්නේ ය. එබඳු වූ සක්වළ දහසක් ‘සහස්සධා ලෝක ධාතුව’ ලෙස හැඳින්වේ.”‍

විශ්වයේ “‍චක්‍රාවාට”‍ පිළිබඳ බෞද්ධ සංකල්පය එලෙස සරභූ සූත්‍රයේ දක්වා ඇත්තේ ය. එහි දී චක්‍රාවාටයකින් ආවරණය වන ප්‍රදේශය විග්‍රහ කිරීම සඳහා පෘථිවියට සාපේක්ෂ ව සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානී සූර්යයා සහ පෘථිවියේ උපග්‍රහයා වූ චන්ද්‍රයාගේ ආලෝකය පැතිරෙන අවකාශ පරිමාව නිර්ණායකයක් ලෙස යොදා ගෙන ඇත. සූර්යයා මෙන් තාරකා හා චන්ද්‍රයන් දහස් ගණන් ලෝක ධාතුවක පවතින බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. නවීන විද්‍යාවට අනුව විශ්වයේ විශාලත්වය පැහැදිලි කිරීමේ දී ඒ හා බැඳුණු බෞද්ධ සංකල්පය තුළින් ද ඒ පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකි ය.

දීඝ නිකායේ දැක්වෙන “සප්ත සූරියෝද්ගමන සූත්‍රය”‍ මඟින් පෘථිවියේ විනාශය සිදු වන ආකාරය පිළිබඳ ව පැහැදිලි ව දක්වා ඇත්තේ ය. එහි සඳහන් වන පරිදි සූර්යයන් හතක් පහළ වී පෘථිවියේ විනාශය සිදු වේ. එහි දී විශාල ගින්නක් හටගෙන මුළු පෘථිවිය ම දැවී විනාශ වන බව සඳහන් වේ. එම සූත්‍රයේ දක්වා ඇත්තේ සූර්යයාගේ රශ්මිය අධික වීම නිසා පෘථිවිය මත ජීවය තුරන් වී යන බව නො ව සූර්යයන් සංඛ්‍යාව හතක් දක්වා වැඩි වීම නිසා පෘථිවි පෘෂ්ඨය අධික ව රත් වීමෙන් දුම් දමමින් ගිනි ගන්නා බවකි. කෙසේ වෙතත් මෙයින් අවසානයේ දී පෘථිවිය අධික ලෙස උණුසුම් වී ගිනි ගෙන දැවී විනාශ වන බව උපකල්පනය කළ හැකි ය. මේ සම්බන්ධයෙන් පිළිගැනෙන නවීන විද්‍යාත්මක මතය සමග මේ කරුණ සැසඳේ.

බුදුන් වහන්සේ වරක් විශ්වයේ කෙළවර හා ලෝකය බිහි වූ ආකාරය පිළිබඳව අනවශ්‍ය ලෙස සිතා වෙහෙස නො වන ලෙස සඳහන් කර ඇත්තේ අපට හුරු පුරුදු ත්‍රිමාන ලෝකය තුළ හිඳිමින් මේ කරුණු පහදා දීමට ඇති අපහසුතාවය නිසා ද වීමට පිළිවන.

සෘද්ධි බලයෙන් අගතැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ වරක් විශ්වයේ කෙළවර සොයා බැලිය යුතු යැ යි සිතා සෘද්ධියෙන් නො නැවතී දින හතක කාලයක් ගමන් කළ ද විශ්වයේ කෙළවරක් සොයගත නොහැකි ව අතරමං වූ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. නැවත මේ ලෝකය වෙත පැමිණීමට නොහැකි ව අතරමං වූ මුගලන් තෙරුන් ආයු හැර අපවත් වීමට සිතූ අතර මෙය තම නුවණින් දුටු බුදුන් වහන්සේ තමන්ගේ බලය යොදා මුගලන් තෙරුන් නැවත මේ ලොවට කැඳවා ගත් බව කියැවේ. විශ්වයේ කෙළවරක් සෙවීම නිරර්ථක ක්‍රියාවක් ලෙස මුගලන් තෙරුන් හට බුදුන් වහන්සේ පවසා ඇත්තේ මෙම සිදුවීමෙන් අනතුරු ව ය. මිනිස් ලොව මෙන්ම වෙනත් ජීවීන් වසන ලෝක සහ චක්‍රාවාට විශාල ප්‍රමාණයක් විශ්වයේ තිබෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වේ.

මේ අයුරින් විමසා බලන විට දී විශ්වය හා ලෝකය පිළිබඳ බෞද්ධ සංකල්පය, ඒ හා බැඳුණු නූතන විද්‍යාත්මක සොයා ගැනීම් සමග මතවාදී ලෙස නො ගැටෙන අයුරක් පෙනී යයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *