සිංහල සාහිත්‍ය වංසයට එක් වූ දළදා සාහිත්‍යය

rashi
By rashi
11 Min Read

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
දර්ශනසූරී නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ

සටහන : ආර්. ඒ. නයනානන්ද

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින වාම දළදාවහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන කොට සැලකෙයි. මෙම උතුම් පූජනීය වස්තුව අප රටට උරුම වූයේ කිත්සිරිමෙවන් (කීර්ති ශ්‍රී මේඝවර්ණ)රජ සමයේ දී ය. දඹදිව කළිඟු රට සිට හේමමාලි කුමරිය විසින් දන්ත කුමරු සමග මෙරටට දළදා වහන්සේ වැඩම කළ බව වංස කථා ඇතුළු මූලාශ්‍රයවල සඳහන් වේ.

ලංකා වංසකථාවේ සියවස් ගණනාවක ඉතිහාසයක් ඇති දළදා වහන්සේ නිසා රාජ්‍ය පාලනය නව මඟකට යොමු විය. දළදා වහන්සේ සතු වන තැනැත්තා රාජ්‍යයට උරුමකම් කියන්නා වශයෙන් මුල් බැස ගත් විශ්වසනීය ආකල්පය හේතුවෙන් දළදාව රාජ්‍යත්වයේ සංකේතය විය. එනිසා එය ආගමික පූජ්‍ය වස්තුවකටත් වඩා ජාතික වස්තුවක් බවට පත් විය.

දළදා වහන්සේත්, දළදා පුද සිරිත් මෙන්ම සංස්කෘතික සංවර්ධනය මතු කරන දළදා පෙරහැරත්, දළදා ඉතිහාසයත් අරමුණු කොටගෙන ලියැවුණු පොත්පත් නිසා අපගේ සාහිත්‍ය වංසයට දළදා සාහිත්‍යයක් ද එක් විය.

අපවත් වී වදාළ මහාචාර්ය වරකාවේ ධම්මාලෝක නාහිමියෝ සිය ආචාර්ය උපාධිය සඳහා දළදා ඉතිහාසය ගැන පර්යේෂණය කළ හිමිනමකි. උන්වහන්සේ ශ්‍රී දළදා මාළිගාවේ තේවාව භාර ව ද කටයුතු කළ අතර දළදා පෙරහැර පිළිබඳව ගුවන් විදුලි හා රූපවාහිනී විශිෂ්ටතම විස්තර කථිකයකු ලෙස ද සම්මානයට පාත්‍ර ව සිටිය හ. වරකාවේ ධම්මලෝක හිමියන් දළදා ඉතිහාසය, දළදා පුද සිරිත්, දළදා පෙරහැර, දළදා සාහිත්‍යය ආදිය පිළිබඳ ලිපි ලේඛන ග්‍රන්ථාදිය ද සම්පාදනය කළ අතර, එම තොරතුරු පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වශයෙන් ද පිළිගැනේ. මෙම පුවත්පත් ලිපිය සම්පාදනයේ දී දළදා සාහිත්‍ය පිළිබඳව උන්වහන්සේ එක් රැස් කළ තොරතුරු ද ගුරු කොට ගැනේ. 

දළදා වහන්සේ පිළිබඳ වංස කතාවක් ලෙස ලියැවුණු මුල් ම ග්‍රන්ථය දළදා වංසය (දාඨාධාතුවංසය) යැ යි මහාවංසයේ සඳහන් වේ. මහාවංසය සඳහන් කරන පරිදි මෙම ග්‍රන්ථය 11 වැනි සියවස වන විටත් විද්‍යමාන ව පැවතී ඇත. එනමුත් අද එය දක්නට නැත. පොළොන්නරු යුගයේ දී රාජගුරු ධම්මකිත්ති හිමියන් ලියූ දාඨාවංශ නම් පාලි ග්‍රන්ථයේ සන්නයේ සඳහන් අන්දමට දළදා වංසය, කිත්සිරිමෙවන් රජුගේ ආරාධනය ලැබ එකල විසූ සිංහල කවීන් විසින් කරන ලද එළු (සිංහල) දළදා වංසයකි. කවීන් විසින් කරන ලද හෙයින් දළදා වංසය පද්‍ය රචනාවක් විය හැකි ය. දළදා වහන්සේගේ ඉතිහාසයත්, උන්වහන්සේට කළ යුතු පුදසත්කාර ආදියත් මෙහි සඳහන් වන්නට ඇත.

පොළොන්නරු යුගයේ ලීලාවතී රැජිණගේ පාලන සමයේ දී දළදා වහන්සේ සම්බන්ධ ව ලියූ කෘතිය වන්නේ, දාඨවංශ නම් පාලි ග්‍රන්ථයයි. ශාරිපුත්‍ර සංඝරාජ හිමිපාණන්ගේ ශිෂ්‍යයෙකු වූ රාජගුරු ධම්මකිත්ති නම් හිමිනම මෙම කෘතිය රචනා කර ඇත. දාඨාවංශ සන්නයේ දැක්වෙන්නේ මහාවංසයේ සඳහන් දළදා වංසය පැරණි සිංහල බසින් වූ බවයි. එය සිංහලවාසීන්ගේ පවා අවබෝධයට අපහසු හෙයින් ද, අන්‍යවාසීන්ගේ (සෙසු ලෝකයාගේ) ප්‍රයෝජනය පිණිස ද පාලි පද්‍යයෙන් ලියූ බවත් සන්නයේ සඳහන් ය. එබැවින් දාඨාවංශය යනු දළදා වංසය පාලි බසින් ලියා තැබීමක් හෙවත් පරිවර්තනයක් බව පැහැදිලි ය. දාඨාවංශය දළදා වහන්සේගේ ඉතිහාස කථාව දක්වන පාලි පද්‍යමය රචනාවකි. එහි විවිධ විරිත්වලින් රචිත ගාථා 415කි. (විරිත් යනු තාලය සඳහා අක්ෂර පිහිටුවන ශාස්ත්‍රීය ක්‍රමවේදයයි.) ග්‍රන්ථය ආරම්භයේ බුද්ධ චරිතය දක්වා ඇත. ඛේම නම් රහතන් වහන්සේ බුදුසිරුර ආදාහනය කළ චිතකයෙන් වම් දළදාව ගෙන කළිඟු රට බ්‍රහ්මදත්ත රජුට පැවරීමේ පටන්, ගුහසීව රජු තමා යුද්ධයෙන් පැරදුන හොත් දළදා හිමි රැගෙන ලක්දිවට පලා යන ලෙස දියණිය හේමමාලි කුමරියට හා බෑනණුවන් වූ දන්ත කුමරුට දන්වා සිටීමත්, එම යුවළ බමුණු වෙස් ගෙන දළදා හිමි රැගෙන ලක්දිවට පැමිණීම’ ආදි බොහෝ දෙනා දන්නා දළදා වහන්සේගේ ඉතිහාස කථාව දාඨාවංශයේ සඳහන් වේ. 

කුරුණෑගල යුගයේ රචිත දළදා සිරිත හතර වැනි පරාක්‍රමබාහු රජතුමාගේ ඉල්ලීම මත රචනා වූවකි. මෙම කෘතිය දාඨාවංශයේ ආශ්‍රය ලබා ඇත. කතුවරයා වූයේ දෙව්රද දම් පසඟිනා ය. දළදා වහන්සේගේ ඉතිහාස කථාවත්, හතර වැනි පරාක්‍රමබාහු රජතුමා දක්වා රජවරුන් දළදා පූජාවන් සිදු කළ ආකාරයත් මෙහි ඇතුළත් වේ. කෘතිය අවසානයේ දළදා වහන්සේ විෂයෙහි පැවැත්විය යුතු සිරිත්විරිත් ඇතුළත් කර ව්‍යවස්ථා 38ක් දක්වා ඇත. වෘත්තගන්ධි ශෛලියෙන් ලියැවුණු සිංහල සාහිත්‍යයේ පැරණි ම කෘතිය දළදා සිරිත වේ. පසුකාලීන ව වෘත්තගන්ධි ලක්‍ෂණ සහිත ව ලියැවුණු අඥාත කර්තෘක කුවේණි අස්න සහ සිහබා අස්න යන ග්‍රන්ථයන්ට මූලාශ්‍රය වූයේ දළදා සිරිත ය.

දළදා පූජාවලිය ද කුරුණෑගල යුගයේ හතර වැනි පරාක්‍රමබාහු රජු දවස රචනා වූවකි. මෙම රජ සමය දක්වා දළදා වහන්සේට පුදපූජා පැවැත්වූ රජවරුන්ගේ තොරතුරු මෙහි ඇතුළත් වේ. කතුවරයා අඥාත ය. දළදා පූජාවලිය රචනා වීමේ දී ජාතකට්ඨ කථා, රසවාහිනී, සාර සංග්‍රහ, දීපවංස, ජිනාලංකාරවර්ණනා යන ග්‍රන්ථ ද අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි යන කතිකාවත් ද ඇසුර ලබා තිබේ. දළදා පූජාවලිය ගම්පොළ යුගයේ පස් වැනි බුවනෙකබාහු රජ දවස ලියැවුණු බවට ඇතැමෙක් මත පළ කරති.

දළදා වරුණ පද්‍ය 40කින් යුත් කුඩා ග්‍රන්ථයකි. පළමු වැනි විමලධර්මසූරිය රජතුමා දක්වා ලංකා ඉතිහාසයේ රජවරුන් දළදා වන්දනා කළ තොරතුරු මෙහි ඇතුළත් ය. දෙල්ගමුව විහාරයේ සිට සෙංකඩගලපුරය දක්වා දළදා වහන්සේ වැඩමවීමෙන් පසු මෙම ග්‍රන්ථය කර ඇති බව එහි සඳහන් තොරතුරුවලින් පැහැදිලි වේ.

සෙංකඩගලපුර කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස දළදා පූජාවලිය නමින් තවත් ග්‍රන්ථයක් රචනා වී තිබේ. කුරුණෑගල යුගයේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍යත්වයෙන් හතර වැනි වසර දක්වා වූ කාලය තුළ ඇසූ දුටු දළදා පූජා පුවත් හා ඉතිහාස පුවත් ද උපයෝගී කොටගෙන මෙම කෘතිය කර ඇත. එනිසා මෙහි බොහෝ තොරතුරු විශ්වසනීය වේ. දළදා වහන්සේ දෙල්ගමුව විහාරයේ සිට සෙංකඩගලපුරය දක්වා වැඩමවීම, පෘතුගීසි ආක්‍රමණ හේතුවෙන් සෙනරත් රජු දළදා වහන්සේ මැදමහනුවරට වැඩමවීම, සියම් උපසම්පදාව මෙරට පිහිටුවා සියම් භික්‍ෂූන් මෙරට භික්‍ෂූන්ට විදර්ශනා භාවනාව පුහුණු කිරීම ආදි තත්කාලීන පුවත් ද මෙම ග්‍රන්ථයෙහි සඳහන් වේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍යත්වයෙන් විසි හතර වැනි වර්ෂයේ දී සිංහල දළදා වංසය නම් කෘතිය රචනා විය. ඒ සඳහා කුරුණෑගල යුගයේ රචිත දළදා පූජාවලිය ඇසුරු කොටගෙන ඇත. මෙහි කුරුණෑගල යුගයේ හතර වැනි පරාක්‍රමබාහු රජුගේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ විසි හතර වැනි රාජ්‍ය වර්ෂය දක්වා වූ කාලය තුළ දළදා වහන්සේගේ ඓතිහාසික පුවත් ඇතුළත් වේ.

සිංහල රාජධානි යුගයේ අවසානයේ ලියැවුණු ග්‍රන්ථය දළදා විත්ති නම් වේ. එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස ලියැවුණකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, රජ පදවිය ලැබූ පසු දළදා වහන්සේට පැවැත්වූ පූජාවේ විසිතුරු ගෙන දැක්වීම ග්‍රන්ථකරණයේ අරමුණ වී තිබේ. ඊට අමතර ව අස්ගිරි මහා විහාරයේ කරවූ අලුත් විහාරය සම්බන්ධ පුවත, ඉංග්‍රීසීන් මහනුවර ආක්‍රමණය කළ විට දළදා වහන්සේ ආරක්‍ෂා කරගැනීම උදෙසා විවිධ ස්ථානවල සඟවා තැබූ පුවත් ද මෙහි ඇතුළත් වේ.

සිංහල හා පාලි භාෂාවලින් රචිත දළදා වහන්සේගේ ඉතිහාසය, දළදා පුදසිරිත් හා දළදා වර්ණනා ද ඇතුළත් පුස්කොළ පොත් රාශියක් ද වෙයි. ලංකාවේ වෙහෙර විහාරස්ථානයන්හි පොත්ගුල්වල ඇති මෙම පුස්කොළ පොත්, රචනා විලාසයෙන් හා අන්තර්ගත කරුණුවලින් එතරම් උසස් බවක් නො පෙන්වයි. ඇතැම් ග්‍රන්ථ වරින් වර මුද්‍රණය වී ඇත. ග්‍රන්ථ කීපයක තොරතුරු මෙසේ ය.

වර්ෂ 1818 දී වැලිගල කිවිඳු විසින් පද්‍ය 434කින් යුතු ව කරන ලද දාඨාගොත් ප්‍රදීපය දළදා වහන්සේගේ ඉතිහාස කථා පුවත විස්තර කරයි. දළදා වහන්සේ නොයෙක් වර පෑ ප්‍රාතිහාර්ය, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමය දක්වා දළදා වහන්සේ සම්බන්ධ පුවත් ද මෙහි විස්තර වේ.

දළදා පෙරහැර කලක් නො පවත්වා තිබී යළි වර්ෂ 1828 දී ආරම්භ කරන ලදී. එම දළදා පෙරහැර නිමිති කොට ගෙන මඩිහේ සිරිසුමිත්ත හිමියෝ දළදා පුද නමින් කාව්‍ය ග්‍රන්ථයක් කළ හ. එම වසරේ දී ම මිදෙල්ලව කෝරාල විසින් ලියන ලද දළදා සින්දුව, දළදා වහන්සේට කළ ප්‍රශස්ති කාව්‍යයකි.

දළදා ඉතිහාසය දක්වන දන්ත ධාතු විස්තරය නම් කෘතියේ පිටපත් තෙල්දෙණිය බඹරගල රාජමහාවිහාරයේ පොත්ගුලේ ඇත. දළදා වරුණෙ හෙවත් දළදා වර්ණනාව නම් වූ කවි 101කින් යුත් කවි පොත වර්ෂ 1897 දී මුද්‍රණය වී තිබේ. කේ. ඇම්. සිල්වා මහතා ලියූ දළදා වංශ කාව්‍යය 1916 වර්ෂයේ දී මුද්‍රණය විය. පද්‍ය 238කින් යුත් මෙම කෘතිය රාජගරු ධම්මකිත්ති හිමියන්ගේ දාඨාවංශයේ ආභාසය ලබා ඇත. 1925 වර්ෂයේ පැවැත්වූ දළදා ප්‍රදර්ශනයෙන් පසු ඇති වූ මහා ගංවතුර විෂය කොට ගෙන ලියූ දළදා වතුරකෘතිය පද්‍ය 158කින් යුක්ත වේ. දළදා ඉතිහාස කථාව විස්තර කෙරෙන දළදාවංසය හෙවත් දංෂ්ට්‍රාධාතු කථා නම් ග්‍රන්ථය 1926 වර්ෂයේ දී ද, පද්‍ය 142කින් යුත් දළදා විසිතුරු නම් කෘතිය වර්ෂ 1928 දී ද මුද්‍රණය වී ඇත. ශතක පොත් ගණයට වැටෙන දළදා ශතකය 1934 දී මුද්‍රණය වී ඇත. (ශතක පොත් යනු ශ්ලෝක හෝ ගාථා හෝ කවි හෝ සියයකින් යුත් පොත් ය.)

මීට අමතර ව කතුවරයෙකු, රචිත කාලයක් නො දන්නා ග්‍රන්ථ රාශියක් ද වේ. දළදා අෂ්ටකය, දළදා කතාව, දළදා පූජාව, දළදා පූජා විස්තරය, දළදා වංස සන්නය, දළදා වැඳුම් (සිලෝ), දළදා නැමඳුම (සිංහලසිලෝ), දළදා වන්දනාව, දළදා සරණේකතාව (සිංහල පද්‍ය), දළදාසින්දු (පද්‍ය), දාඨාවංස කවි, දාඨාවංස සන්නය, දාඨාවංස ව්‍යාඛ්‍යා, යනාදි ග්‍රන්ථ කිහිපය ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකි ය. පාලි බසින් කළ දාඨාවංසයට ලියන ලද ටීකාවක් ද, දාඨාධාතු වන්දනා ගාථා යන නමින් යුත් පාලි බසින් ලියූ ග්‍රන්ථ කීපයක් ද හමු වී ඇත.

මෑත කාලයේදළදා ඉතිහාසය හා දළදා පුදසිරිත් ආදිය සම්බන්ධ ව සිංහල හා ඉංග්‍රීසි බසින් රචනා වූ සාරවත්ග්‍රන්ථ ද බොහෝ ය. නිදසුන් ලෙස දළදා ඉතිහාසය සහ සංස්කෘතිය (කුඹුරුගමුවේ වජිර ස්ථවිර), දළදා මැදුර (මහාචාර්ය අනුරාධ සෙනවිරත්න: අනුවාදය මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමි), සිරි දළදා මාළිගාව (මහාචාර්ය ජේ.බී. දිසානායක), දළදා මාළිගාව හා තූර්ය වාදනය (වෛද්‍යවතී රාජපක්‍ෂ) යන ග්‍රන්ථ දැක්විය හැකි ය.

එසේම දළදා වහන්සේ, දළදා පෙරහැර, දළදා පුද සිරිත් හා ඒ සම්බන්ධ ඓතිහාසික පුවත් වස්තු විෂය කොටගෙන සඳැස්, නිසඳැස් කවි හා ගීත රචනා ද බිහි වී ඇත. ‘උත්තම මුනි දළදා වඩම්මන …’ (ධර්මදාස වල්පොල), ‘මගේ රටට දළදා හිමි සෙවණයි…’ (සනත් නන්දසිරි), ‘සෙංකඩගලපුර දළදා බුදුරැස්…’ (අමිතා වැදිසිංහ), ‘සාධු දන්ත දා…’ (සුජාතා අත්තනායක), ‘ලෝනා මුනි රාජගේ – සිරි දළදා පෙන්වමී…’ (නීතිඥ චාල්ස් ඩයස්ගේ හේමමාලි නාට්‍යය) ආදි ගීත බොදු ජනතාව අතර ප්‍රචලිත ය.

මෙම කරුණු විමසා බැලීමෙන් දළදා වහන්සේ මුල් කොටගෙන රචනා වූ ග්‍රන්ථ හේතුවෙන් දළදා සාහිත්‍යයක් සිංහල සාහිත්‍ය වංසයට එක් වී ඇති බව සඳහන් කිරීම සුදුසු ය. 

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *