අවිද්‍යාව පෙරවීම

rashi
By rashi
8 Min Read

ඌවේ සියම් මහා නිකායේ මහා ලේඛකාධිකාරි, වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කැප්පෙටිපොල, පාලු‍ගම, ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිපති, වැලිමඩ ගුරු මධ්‍යස්ථානාධිපති ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්ය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති

විල්ඔය පඤ්ඤාතිලක හිමි

අවුකන බුදු පිළිමය ජීවමාන බුදුරුවකිගදක්ෂ ගල්වඩුවෙකු විසින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ප්‍රකට වන සේ නෙළන ලද විස්මයජනක නිර්මාණයකි. මෑතක දී කිසියම් පිරිසක් එහි කලාත්මක සිවුරක් පොරවා ඇත. පිළිමයක් උන්වහන්සේ ලොවට දෙසූ අපිස් බව ප්‍රතිනිරූපණය කරයි. ඒ එසේ නම් ඊට යළි සිවුරු පෙරවිය යුතු ද? බෞද්ධ අබෞද්ධ ලෝ වැසියන්ගේ සිත් පහන් කළ මෙම ප්‍රතිමාවට සිවුරු පෙරවීම බොහෝ දෙනාගේ කථා බහට ලක් වූවා පමණක් නො ව සමහර අය ප්‍රකම්පනයට පත් කළ සිදුවීමක් විය.

බෞද්ධයා ආමන්ත්‍රණය කෙරෙන්නේ “පින්වත්නි” යනුවෙනි. පින් ඇති තැනැත්තා යන අර්ථයෙන් යුත් “පින්වත්” යන පදය තද්ධිත නාම පදයකි. බෞද්ධයා පින් ඇත්තෙකු වන්නේ කරුණු කිහිපයක් පදනම් කොටගෙන ය.

● බුද්ධෝත්පත්ති කාලයක ඉපදීම.

● ශ්‍රී සද්ධර්මය පවතින කාලවකවානුවක ඉපදීම.

● මනුෂ්‍යයෙකු ව ඉපදීම.

● ක්ෂණ සම්පත්තිය හෙවත් අංග සම්පූර්ණ මනුෂ්‍යයකු ව ඉපදීම.

● මිථ්‍යා දෘෂ්ටිකයකු නො වී සම්‍යක්දෘෂ්ටික ව ඉපදීම

ඔහු ලද පුණ්‍යවන්තභාවයයි.

මේ විශ්වයෙහි ‘බුද්ධ’ යන වචනය ද නොමැති කාල වකවානු පවතියි. එමෙන් ම බුදුවරයෙකුගේ ධර්මය නොමැති කාලවකවානු වෙයි. දහම්සොඬ රජු ලොව පහළ වූ කල සතර පද ගාථාවක් දත් අයෙකු මුළු රාජ්‍යයේ ම සිටියේ නැත. මනුෂ්‍ය ආත්මභාවය ලබන්නේ දුර්ලභ ව ය. එය කණ කැස්බෑවා විය සිදුරෙන් බලන්නාක් බඳු දුර්ලභ අවස්ථාවකි. මන්දබුද්ධික නො වී ලෙඩ ඇඳේ නො වැටී, අවයව සම්පූර්ණ ව මිනිස් ආත්මභවයක් ලැබීම ද දුර්ලභ ව ලැබූ දෙයකි. මේ සියල්ල පින් කළ හැකි හේතු වෙයි. බුදු කෙනකුන් ලොව නැති කල, ශ්‍රී සද්ධර්මය ලොව නැති කල පින් කළ නොහැකි ය.

මේ සියල්ල සම්පූර්ණ වුව ද පින් කරන තැනැත්තා සම්‍යක්දෘෂ්ටිකයකු නො වී මිථ්‍යාදෘෂ්ටිකයකු වී නම් පින්කම් ලෙස කරනුයේ ගොන්කම් ය. අප දන්නා එක්තරා පුද්ගලයෙක් විය. ආයතනයක සේවය කොට ඉන් විශ්‍රාම ගොස් අර්ථ සාධකය ගත් පසු ඔහුට දානයක් දීමට සිත් විය. ඔහු දානයට තෝරාගත්තේ නගරයේ සිටි යාචකයන් ය. ඔහු යාචකයන්ට ආරාධනා කර තම නිවසට ගෙන්වාගෙන පළමුව කළේ ඔවුන්ට මත් පැන් දීමයි. මත් පැන් බී සමහරු තව තවත් ඉල්ලති. සමහරු කෑ මොර දෙති. සමහරු සණ්ඩු සරුවල් වෙති. එක ම කලබැගෑනියකි. අවසානයේ ඔහුට ද බැන වදිමින් යාචකයෝ විසිර ගිය හ. පිසූ ආහාර කිසිවකුටත් දිය නොහැකි විය. අසල්වාසීහු ද ඔහුට දෝෂාරෝපණය කළ හ. දානය ගැන වැටහීම තිබුණ ද දෙන්නේ කාට ද, දෙන්නේ මොනවා ද? දෙන්නේ කෙසේ ද? යන වැටහීම ඔහුට නො තිබුණි. ඒ නිසා ඔහුගේ දානයෙන් ඔහුට පිනක් සිදු නො විණි.

අප සිත තුළ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මුල් වෙයි. පින්කම් කරද්දී මේ අකුසල් මුල් යටපත් වෙයි. කුසල මුල් වූ අලෝභ, අද්වේෂ, අමෝහ හටගනියි. පින පිනක් වන්නේ මේ කුසල මූලයන් තුළින් පින කළොත් පමණි. මෙලොව සතුට ලැබෙන්නේ එවිට ය. පරලොව සතුට ලැබෙන්නේ එවිට ය. පිනක් කළා යැ යි වඩ වඩාත් සතුටු විය හැක්කේ එවිට ය. බුදු රජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ යම් ක්‍රියාකාරකමක් කොට පසුතැවිලි නො වේ ද, සතුට පිරි මුහුණින් එහි ප්‍රතිඵල භුක්ති විඳී ද ඒ ක්‍රියාකාරකම් කරන්න, එසේ වූ දෙය පින් වේ. එසේ නොමැති ව යමක් කොට පසුතැවිලි වීමට සිදු වේ නම්, එහි ප්‍රතිඵලය කදුළු පිරි මුහුණින් භුක්ති විඳින්නට සිදු වේ නම් එය නො කළ යුතු ය යන්නයි. එය පව් වේ. අප කළ යුත්තේ අපට සතුටු විය හැකි, අනුන්ට සතුටු විය හැකි, දිගුකාලීන සතුටක් විඳිය හැකි කටයුතු ය. කථා කළ යුත්තේ එවන් වචන ය. සිතිය යුත්තේ එවන් සිතුවිලි ය. තමන්ටත් හිරිහැරයක් වූ අනුන්ට හිරිහැරයක් වූ සිතන සිතන මොහොතක් මොහොතක් පාසා පසුතැවිල්ල, දුක, වේදනාව ලැබෙන කටයුතු නො කළ යුතු ය.

ආශාව, ද්වේෂය යටපත් වුව ද අපගේ බොහෝ බෞද්ධයෝ මෝහය, මුළාව, අවිද්‍යාවෙන් යුක්ත වෙති. බුද්ධ පූජාව තබන විට ආහාර පාත්‍රය බුදු පිළිමයේ දෑතෙහි ම තබයි. හඳුන්කූරු දල්වන විට විහාරයෙන් පිටත ඒ සඳහා තැනක් තිබුණ ද විහාරය තුළ ම, බුදු පිළිමය අසල ම පත්තු කරනු ලැබේ. පහන් දැල්වීමෙහි දී ද එසේ ය. එයින් විහාරගෙය, බුදුපිළිමය හඳුන්කූරු හා පහන් දුමින් විනාශ වන බව ඔවුනට නො වැටහෙයි. එසේ කරන ඔවුහු හඳුන්කූරු පැකට්, පහන් තිර පැකට්, තෙල් ගෙනා තෙල් බෝතල් විහාර ගෙය තුළ, විහාර මළුව තුළ දමා ඒ තැන් ද අපිරිසිදු කරති. සමහරු බුද්ධ පූජාව තබන විට සැමට පළමුව තබන්නට අන් අය පෙරළාගෙන ඉදිරියට එති. පිරිත් නූලක් බැඳගන්නට ගිය ද අනුන් පෙරළාගෙන ඉදිරියට එන අවස්ථා වෙයි. වර්තමානයේ පිරිත් නූල් බඳින්නේ අලංකාරයට ය. මේවා බෞද්ධයාගේ මුළාවයි. මෝඩකමයි. අවිද්‍යාවයි.

අවිද්‍යාව යනු නො දැනීමයි. නො වැටහීමයි. අනවබෝධයයි. මුළාව මෝඩකම යනුත් මෙයයි. අවිද්‍යාව ක්ලේශයකි. මේ ක්ලේශය පදනම් කොටගෙන අපි පව් කරමු. පින වරදවා සිතමු. පව වරදවා සිතමු. මිථ්‍යාවන්හි නිරත වෙමු. අවිද්‍යාව නිසා අප කරන සමහර පින්කම්හි පින සම්පූර්ණ ව ලබන්නට අපට හැකියාවක් නැත. අවිද්‍යාව දියුණුවට බාධාවකි.

නක්කත්ත ජාතකයෙහි විවාහයක් තීන්දු කොට අනතුරු ව මනාලිය ගෙන එන දින නැකැත් සුද්ධිය නැතැ යි එදින මනාලිය ගෙන එන්නට නො යා නැකැත් සුද්ධිය ඇති දින මනාලිය ගෙන එන්නට ගිය විට එම මනාලිය වෙනත් මනාලයකුට විවාහ කර දී තිබුණා සේ අවිද්‍යාවෙන් කරන කටයුතු නිසා බොහෝ පාඩු, නින්දා, අපකීර්ති, දුක් ලබන්නට සිදු වෙයි. බෞද්ධයා ප්‍රබුද්ධයකු විය යුතුයි. ලෝකය පිළිබඳ යථාර්ථය දැකිය යුතු ය. එසේ දැකීම විද්‍යා‍වයි.

යමෙකු මේ ලෝකය දුක තුළ පදනම් වූ ලෝකයක් බව දනී නම්, ඒ දුක හටගන්නේ තෘෂ්ණාව, ආශාව නිසා බව දන්නේ නම්, දුක නැති කොට නිරෝධයක් නිවනක් ලැබිය හැකි බව දන්නේ නම්, ඒ නිවන ලබන්නට අංග අටකින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතු බව දන්නේ නම් ඔහු අවිද්‍යාවෙන් බැහැර වූවෙකි. ලෝකයේ යථාර්ථය දන්නෙකි. ප්‍රබුද්ධයකි. නිවන් දකින්නෙකි.

එසේ නො දකින්නා භව සංසාරය තුළ දුක විඳිමින් සැරිසරන්නකි. මන්ද භව චක්‍රයෙහි පළමු ගරාදිය අවිද්‍යාවයි. පටිච්ච සමුප්පාදයෙහි පළමු පුරුක අවිද්‍යාවයි. සංසාරයෙහි අප ඇද බැඳ තබන රැහැන් සංයෝජන තුළ අවිද්‍යාව වෙයි. අවිද්‍යාවෙන් යුක්ත වූ විට පව් කරයි. සසර යළි යළිත් ඉපිද දුක් විඳියි. මතක භක්ත ජාතකයෙහි බමුණෙක් දෙවියන් සතුටු කරන්නට එළුවන් මරා බිලි පූජා පවත්වයි. එසේ මරන්නට ගෙන ආ එළුවකු මරන්නට ගෙන යද්දී බොහෝ සතුටින් යයි. ඊට හේතුව විමසූ විට තමනුත් පෙර ආත්මයේ දී මෙවන් බමුණෙකු වූ බවත් එසේ සතුන් මරා බිලි පූජා කළ නිසා එළු ආත්මයෙහි පන් සිය වතාවක් ඉපිද හාර සිය අනූ නව වතාවක් බෙලි කැපීම් ලද බවත් මේ තමාගේ පන් සිය වන බෙලිකැපීම බවත් ඉන් පසුව යළි බෙලි කැපීමක් නො ලබන බවත් කියයි. මෙය බොරු කරන්නට බමුණා මෙම එළුවා නො මරා තැබුව ද ඌ තණ කොළ කමින් ඇවිද යද්දී අල වූ ගල් පර්වතයට හෙණයක් ගසා එහි ගල් පතුරක් කැඩී එයින් උගේ බෙල්ල කැපිණි. අවිද්‍යාව නිසා සත්ත්වයා දුක් විඳින්නේ මෙලෙසයි.

එහෙයින් සුදනනි, අවිද්‍යාව හැරපියා අවබෝධයෙන් පින්කම් කොට සසර ගමන කෙළවර කරගනිමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *