කොළඹ 7. ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වෑඋඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ
විසින් සිදු කරන ලද සම්මා දිට්ඨි සදහම් දේශනා ඇසුරින් සැකැසූ ලිපි මාලාවක නවවැනි කොටස.
එම උභය අරණ්‍යවාසී හල්තොට අස්සජි හිමියන් විසින් සකසන ලදි.
මෙතෙක් සාරාංශය
“යේධම්මාහේතුප්පභවා තේසං හේතුං තථාගතෝ ආහ…”සත්පුරුෂ මහා ආර්යොත්තමයාණන් වහන්සේ නමක වූ අස්සජි මහා රහතන් වහන්සේ විසින් වදාරන ලද මෙම ගාථා රත්නයේ පළමු පද දෙක පමණක් ශ්‍රවණය කිරීමෙන් උපතිස්ස පිරිවැජිතෙමේ සෝවාන් ආර්යශ්‍රාවකයෙකු බවට පත් විය. එම ගාථා පද දෙකක අරුත පමණක් ඒ සඳහා කෙසේ ප්‍රමාණවත් වූයේ ද යන්න පැහැදිලි කරමින් ආර්යෝත්තමයාණන් වහන්සේගේ දේශනාව ප්‍රඥාවෙන් විමසීමේ දී පිරිවැජිතෙමේ විසින් සාක්ෂාත් කරගනු ලබන්නේ හේතුඵල දහම බවත්, සියල්ල ම හේතු ඇති ව සැකසෙන හෙයින් අපේ සිත් තුළ හටගන්නා දුක උපදින්නේ ද හේතුවක් ඇති ව ම බවත්; එසේ නම් ඒ හේතූන් නිසා හටගන්නා දුක් එම හේතූන් නැති වුව හොත් නැවත ඇති වන්නට පිළිවන්කමක් නොමැති බවත් ඔබ වටහාගෙන ඇත.
එසේ නම් අපේ සිත් තුළ ඇති වන්නා වූ දුකට හේතුව සොයන්නේ කෙසේ ද? සෝක බිය දුක ඇති වන්නට එක ම හේතුව ඒ මොහොතේ ක්‍රියාත්මක වන්නා වූ තණ්හාවයි. දුක සහ තණ්හාව අතර ඇති අවස්ථා සම්බන්ධය (සබ්බාසව සූත්‍රය ඇසුරින් සෝවාන් ඵලස්ත පුද්ගලයකු බවට පත් වීමට අවශ්‍ය කෙරෙන මනසිකාරය වූ මෙම අවස්ථා සම්බන්ධය) පිළිබඳව ද, “ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි” යන්න විමසීමේ දී ඔහු මෙනෙහි කරනුයේ දුක සහ දුකට හේතුවත්; දුක නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගයත් යන කාරණාවන් පිළිබඳව ද දීර්ඝ ව කරුණු පැහැදිලි කරන ලදී.
සැම දුකකට ම මුල් වන තණ්හාව අපව රවටමින් සසරේ රැගෙන යන්නා බවත් ප්‍රබල වන තණ්හාව අපට අල්පාශ්වාදයක් ලබා දී එම උපාදානය වූ වස්තූන් තුළ දැඩි ව ග්‍රහණය කරවමින් දෘෂ්ටි මාන වශයෙන් අල්ලා ගැනීම් තුළ පරිග්‍රහණය කරගනිමින් අනතුරු ව එම වස්තූන් නො වෙනස් ව තබාගැන්මට ගන්නා උත්සාහය රැක්ම හේතු කොටගෙන කුඩා දරුවෙකු පිළිබඳව මවකට අරමුණු වන හැඟීමක් මෙන් තණ්හාවෙන් උපාදානය වූ අරමුණ බොහෝ අකුසලයන්ටත් ඊළඟ භවය තීරණය කෙරෙන කර්ම පථයන් සඳහාත් අපට හේතු සකසා දෙන කරුණු පිළිබඳ වත් දුක හා තණ්හාව අතර වූ බැඳීම පිළිබඳ වත් ඉකුත් කලාපවලින් විස්තර කරන ලදි.
පින්වත් බුදුමඟ පාඨකයනි, අපි මෙම සටහන් සමඟින් මේ වන විට වසරක පමණ කාලයක් පින්වත් ඔබ සැම මුණගැසුණෙමු. භාග්‍යවතුන් වහසේ විසින් දේශනා කොට වදාරන ලද උතුම් ධර්ම කාරණාවන් සරලව වටහා දීමේ අදිටනින් ඉතා ම ධර්ම ගෞරවයකින් යුතු ව මෙසේ කොටස් වශයෙන් සටහන් තබා යොමු කරනු ලැබුවේ එක් දීර්‍ඝ සම්මා දිට්ඨි සදහම් දේශානාවක් ඇසුරිනි.
මෙම කොටසින් අද විශේෂයෙන් අවධාරණය කිරීමට බලාපොරොත්තු වන දුක සහ අරිඅටඟි මඟ පිළිබඳ වූ ධර්ම කාරණාවන් කෙරෙහි ඔබ අවබෝධයෙන් යුතු ව කටයතු කරනු ඇතැ යි සිතමු.
හොඳයි පින්වත්නි, දැන් ඉතින් ඔබට මේ ඇත්ත තත්ත්වය වැටහුණා. දැන් අතීතයේ සිදු වූ බොහෝ දේවල් යම්කිසි කරුණු කාරණා බොහොමයක් අරගෙන පෙර නිදසුනින් ම ගෙන මෙනෙහි කර බැලුුව හොත් මේ පරුෂ වචන නිසා නො ව මේ මගේ සිතේ දුක් ඇති වුණේ මා ප්‍රිය වචන කෙරෙහි දැක්වූ තණ්හාව නිසා. ඒ නිසා තමයි මේ දේ සිදු උනේ කියලා වැටහේ වි. ඒ විදිහට වර්තමානයේ දී කවුරුන් හෝ අයෙක් මට පරුෂ වචනයක් කියනවා දැන් මට දුකක් ඇති වෙනවා. නමුත් මම දැන් පුරුදු කළ සිතින් මෙය විමසුව හොත් අනිවාර්යයෙන් ම ‘මෙයා ගෙන් ප්‍රිය වචන බලාපොරොත්තු වෙන හින්ද නේ ද මට දුක් ඇති වුණේ? මෙයාගේ පරුෂ වචනය හින්දා නෙවෙයි එයා ගේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාවයි මට දුක් ඇති කළේ’ කියන සිතිවිල්ල ඔබට එකවිට ම ඒ මොහොතෙ ම මතකයට නැඟේ වි.
ඒ අයුරින් මතක් වෙන විදිහට අපිට අපේ හිත හදන්න පුහුණු කරන්න පුළුවන්. අනිත් දේවලුත් ඒ වගේ ම දුකක් ඇති වන විට තණ්හාව නිසා ඇති වෙනවා ය යන්න අපේ මනසට එන විදිහට සිත සකස් කරගන්න ඕනෑ. ඒක තමයි නිවැරදි කතාව. නිවැරදි කාරණාව. ඇත්ත තත්ත්වය ඒකයි. පින්වත්නි එනිසයි අපි කියන්නේ එහෙම සිත පුහුණු කර හදාගන්ඩ. එහෙම නැති උනොත් එතන තියෙන්නේ මුළාවක්.
දැන් එහෙම හිත පුරුදු කොට හදාගත්තා කියා සිතන්න. එහෙම නම් අපි ඊළඟ පියවරට යා යුතු වෙනවා. ඊළඟ පියවර තමයි පින්වත්නි නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගය. අපි දෙක ම එකට ගමුකෝ. මෙයත් අපේ හිතෙන් නැඟී එන විදිහට සිත සකස් කරගත යුතු වෙනවා. කුමක් ද මේ නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගය කියන කාරණා දෙක? එයත් අපේ හිතෙන් නැඟිලා එන විදියට සිත සකස් වෙන්න ඕන කොහොම ද?
ඇත්තට ම පින්වත්නි, මෙහි දී නැති කිරීම හා නැති කිරීමේ මාර්ගය කියලා කියන්නේ මොකක් ද? නැති කිරීම කියන්නේ නිරෝධයයි. නැති කිරීමේ මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගය තමා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය. එතකොට මේ මාර්ගය ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් කර තියෙන්නේ භාවිත කළ යුතුයි යනුවෙනුයි. එහෙනම් දුක් ඇති වෙනකොට ඒ දුක් නැති කරගන්න පාවිච්චි කරන්න ඕන මෙවලම තමයි මෙන්න මේ කියන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය.
දුක් නැති කරගන්න භාවිත කළ යුතු ඖෂධ මංජුසාවක් බඳු වූ මෙන්න මේ කියන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් පමණයි වට්ටෝරුව අපි ගළපාගත යුත්තේ. දැන් අපි කරන්නේ එහෙම ද?
ඉතා විමසිලිමත් ව ඉතා ම විමසිල්ලෙන් පින්වත් ඔබ සැම මඳක් බලන්න. දැන් ඔබ දුක යන්න පිළිබඳව දකින්නේ එහෙම ද? හිතෙන්නේ අරිඅටඟිමඟ ඇසුරින් ද?
මෙයත් අපි සරල නිදසුනකින් ගළපා බලමු. යම් පුද්ගලයෙක් දෙයක් මට අහිමි වී දුකක් ඇති වෙනවා, නැතිනම් යමෙකු අපෙන් දුරස් වෙනවා, වෙන් වෙනවා වගේ දැනෙන විට බොහෝ දෙනා කියන්නේ අහවල් පුද්ගලයා දැන් අපිව දකින්න එන්නෙත් නැහැ, අපිව බලන්න එන්නෙත් නැහැ කියලා. එයා තමන්ගේ පුතා වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් සමීප අයෙක් වෙන්නත් පුළුවන්. අපි කියන්නෙ, අපිට හැඟෙන්නෙ පින්වත්නි, දකින්න නැති හින්ද දුකක් ඇති වෙනවා කියලයි. අපේ හිත අපිට කියන්නේ එයා දුරස් වීම නිසා දුකක් ඇති වුණා කියලයි.
නමුත් පින්වත්නි පෙර කී පරිදි පුරුදු කළ සිතකට එවැනි සංඥාවක් එන්නේ නැහැ. ඔහු හෝ ඇය කෙරෙහි තණ්හාවක් තිබුණේ නැත්නම් එයාව දැක්කෙ නෑ කියල, දුරස් වුණා කියල මට කිසි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. එයා කෙරෙහි තණ්හාවක් දැකීමේ ආසාවක් මට නො තිබ්බා නම් එයා ආවේ නැති ය, මෙතන හිටියේ නැති ය යන්න පිළිබඳ ගැටලුවක් මතු වෙන්නෙ නැහැ. පුහුණු කළ සිතකට එන හැඟීම නම් හිටියත් එකයි නැතත් එකයි යන්නයි. මොකද එයා ගැන මට තණ්හාවක් නැහැ. දැන් ඔබ අවබෝධයෙන් දකින්න ඇති දුකට හේතුව වුණේ නැති ය යන හැඟීම බව. ඒ පිළිබඳව වූ තණ්හාව බව. දැන් මෙතන තිබෙන ප්‍රශ්නය තණ්හාව නම් මේක නැති කරන්න ගන්න ඕන කරන පියවර මොකක් ද පින්වත්නි? මේක කාමච්ඡන්දයක්. මෙය දුරු කරන්නට අප අනුගමනය කළ යුතු සැබෑම වැඩපිළිවෙළ ඉදිරි ලිපිවලින් තවදුරටත් විග්‍රහ කරගනිමු.
තෙරුවන් සරණයි