ගුණපාල කාරියවසම්
බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පැමිණීම සැදැහැවත් බෞද්ධ අප කාගේත් ඒකායන පරමාර්ථයයි. බුද්ධ බෝධිය, පච්චේක බෝධිය හා අරහන්ත බෝධිය යනුවෙන් ද මෙය හැඳින්වේ. මේ උතුමන්ගේ පහළ වීම අති දුර්ලභ ය. දස දහසක් සක්වළ යනුවෙන් බෞද්ධ සාහිත්‍යයේ සංඛ්‍යාත්මක ව සඳහන් වුව ද එය අනන්ත බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. සක්වළක් ලෝක තල 31කින් සමන්විත වන බවත් ඒ සෑම සක්වළක් ම නිර්මාණය වී ඇත්තේ එක ම ආකාරයෙන් බවත් සඳහන් ය. මනුෂ්‍ය ලෝකයත්, අපායන් සතරත්, දිව්‍යලෝක හයත්, බ්‍රහ්මලෝක 20ත් යන අයුරින් සක්වළ නිර්මාණය වේ. මෙසේ සක්වළවල් කොතෙකුත් තිබුණත් පෙර සඳහන් කළ බුදුවරුන්, පසේ බුදුවරුන් පහළ වනුයේ මේ අප ජීවත් වන මනුෂ්‍ය ලෝකය ඇතුළත් වන සක්වළෙහි ම පමණි. ඒ නිසා අප ජීවත් වන මේ සක්වළ උතුම් සක්වළ යන අරුතෙන් ‘මඟුල් සක්වළ’ යනුවෙන් ද හැඳින්වේ.
සම්මාසම්බුදුවරුන් මනුලොව පහළ වීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු වේ. බුදු බව පතා තුසිත දෙව්ලොවෙහි කාලය ගත කරන බෝසතාණන් වහන්සේ දෙවියන් ගෙන් ලත් ආරාධනයෙන් පස්මහ බැලුම් බලා මනුලොව මවු කුසක ඉපිද ගිහි සැප විඳ ගිහිගෙයි කළකිරී අබිනික්මන් කර දුෂ්කර ක්‍රියා සිදු කොට යම් බෝධියක් මුල දී අලුයම් කාලයේ දී බුද්ධත්වයට පත් වෙති. නමුත් පසේබුදුවරුන් එවැනි නිසි ක්‍රමවේදයකට පහළ නො වී තමන් විසින් කරන ලද කුසල් ශක්තිය හා ප්‍රාර්ථනාවන් අනුව එම කුසල් ශක්තිය ඉස්මතු වී ගිහි ඇඳුම් සහිත ව ම ක්ෂණයකින් පසේබුද්ධත්වයට පත් වන අවස්ථාවන් ද ඇත.
බුදුවරුන්, පසේබුදුවරුන් යන දෙකොට්ඨාසය ම දීර්ඝ කාලයක් තිස්සේ පෙරුම්පුරා තිබිය යුතු ය. ඒ අනුව බුදුවරයෙකු වීමට අඩු ම තරමින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වත් පෙරුම්පුරා තිබිය යුතු අතර පසේබුදුවරයෙකු වීමට අඩු ම තරමින් අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක් වත් පෙරුම් පුරා තිබිය යුතු ය. බුද්ධත්වය ලබන බෝසතුන් පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා ලෙසින් දස පාරමිතාවන් නිසි ආකාරනේ ම පූරණය කළ යුතු නමුත් පසේ බුද්ධත්වය ලැබීමට පරමත්ථ පාරමිතා පූරණය කිරීම අත්‍යවශ්‍ය නො වේ. පාරමිතා හා උප පාරමිතා ලෙස පූරණය කිරීම ප්‍රමාණවත් ය.
බුදු බව පතමින් තුසිත දෙව්ලොවෙහි වෙසෙන බෝධිසත්වයෝ මනුලොව ඉපදීමට පෙර පස්මහ බැලුම් බැලීමේ දී තම මවගේ ආයු කාලය කෙරෙහි විමසිලිමත් වෙති. තමන් මිනිස් ලොව උපත ලබා දින හතකින් මිය යන මවක තෝරාගනිති. ඒ එම මවුකුස තුළ තවත් උපතක් සිදු නො විය යුතු නිසා ය. එහෙත් මෙම ක්‍රමවේදය පසේබුදුවරයෙකු උපත ලැබිමේ දී අදාළ නො වන්නේ ය. තවදුරටත් තව කාලයක් මවු සෙනෙහස ලබා පසේබුද්ධත්වයට පත් වූ උන්වහන්සේ වෙත දානමාන පිරිනමා කුසල් එක්රැස් කරගැනීමට ද හැකියාව පවතී.
වරකට බුදුන් වහන්සේලා එක් නමක් පමණක් මනුලොව පහළ වන නමුත් පසේබුදුවරු කිහිප නමක් එකවර පහළ වෙති. බුදුවරු උපත ලබා සිටින කාල පරාසය තුළ පසේ බුදුවරුන් පහළ නො වන අතර, පසේබුදුවරුන් පහළ වනුයේ අබුද්ධෝත්පාද කාලයක දී ය. බුදුවරයෙකු පහළ වී උන්වහන්සේ පිරිනිවන් පා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ලොව පුරා විසිරී වන්දනාමානයට ලක් වන කාලය ඉකුත් ව ධාතු පරිනිර්වාණය සිදුවීම දක්වා ඇති කාල පරාසය බුද්ධෝත්පාද කාලයයි. මේ අප ජීවත් වනුයේ ද එවැනි වාසනාවන්ත කාලයක ය. ධාතු පරිනිර්වාණය ද සිදුවීමෙන් පසු උදා වන කාලය අබුද්ධෝත්පාද කාලයයි. පසේබුදුවරුන් උපත ලබනුයේ මෙවැනි කාලවකවානුව තුළ දී ය.
මෙවැනි කාලවකවානු තුළ දී නිසි ක්‍රමවේදයක් නැති ව ගිහිවෙසින් යුක්ත ව ම පසේබුද්ධත්වයට පත් වූ පසේබුදුන් වහන්සේලා ගැන ද බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු සඳහන් වේ. වරෙක කරන ලද කුසල් ඇති එක්තරා රජ කෙනෙකුට රූමත් සේවිකාවක පවන් සලමින් සිටිය දී රජුගේ බිසව අහම්බයෙන් එම ස්ථානයට ළඟා වේ. රූමත් සේවිකාව රජුට ළං වී පවන් සලනු දැකීමෙන් බිසවගේ සිතෙහි ඊර්ෂ්‍යාවක් හටගනී. එය නවතා එතැනින් ඉවත් ව යන ලෙස සේවිකාවට අණ කළ බිසව වටාපත අතින් ගෙන පවන් සලන්නට වූවා ය. බිසව පවන් සලන විට ඇයගේ අතෙහි තිබූ වළලුවලින් මිහිරි නමුත් දැඩි ශබ්දයක් නිකුත් විය. එහෙත් අතෙහි තනි වළල්ලක් පමණක් ඇති ව සේවිකාව පවන් සලන විට ශබ්දයක් පිට නො වී ය. යමක් ගැන ගැඹුරින් වටහාගැනීමේ ශක්තියක් රජු තුළ තිබිණ. සේවිකාවගේ අතෙහි තිබූ තනි වළල්ලෙන් හඬක් පිට නො වීමත්, බිසවගේ අතෙහි පැළඳ තිබූ වළලු ගොඩ නිසා ශබ්දය පිට වීමේ ඝෝෂාකාරී බවත් ගැන සිතමින් රජතුමා ඒ කාරණා දෙක පිළිබඳව මෙනෙහි කරන්ට විය. ඔහු එය භාවනා අරමුණක් බවට පත් කර ගත්තේ ය. රජුගේ සිත වෙනස් විය. බිසව තවමත් පවන් සලයි. රජතුමා ඇයට වහා ම ඉවත් ව යන ලෙස නියෝග කළේ ය. දැන් තමා පසේබුද්ධත්වයට පත් ව ඇති බව රජතුමා පැවසී ය. පුදුමයට හා කලබලයට පත් බිසව රාජ සේවකයන් කැඳවා සියල්ල පැවසුවා ය. රජුගේ හිසෙහි තවමත් ඔටුන්න තිබෙන බවත් රන් ආභරණ හා දිළිසෙන සළුපිලි තවමත් තිබෙන බව ඔවුහු රජතුමාට පැවසූ හ. රජතුමා තම හිස හා ශරීරය පිරිමදිත් ම ඒ සියල්ල අතුරුදන් වී සිවුරු පිරිකර පහළ විය. රාජ සේවකයන් හා බිසව ද නව පසේබුදුන් වහන්සේට වැඳ නමස්කාර කළ හ.
මෙවැනි ම තවත් අවස්ථාවක් කෙටියෙන් ඉදිරිපත් කරමි. එක්තරා රජ කෙනෙකුට කේශරසිංහ රාජයෙකු දැකගැනීමට ආශාවක් ඇති වී මහ පිරිවර සමග මහ වනයට යන්නේ ය. මහ වනයේ විශාල ගල් ගුහාවක කේශරසිංහ රාජයකු සිටින බවට රජතුමාට තොරතුරු ලැබී තිබුණි. රජු ඇතුළු පිරිස විශාල ගල් ගුහාවක් වෙත ළඟා වූ හ. ගල් ගුහාවෙන් එළියට පැමිණ සිංහ රාජයා පිරිස දැක ඔවුන් බියගැන්වීමට සිතා ටික වේලාවක් බලා සිට ගර්ජනා කළේ ය. පිරිස බිය වී හිස් ලූ ලූ අත දිව ගියෙන් රජතුමා තනි විය. කේශරසිංහ රාජයා ගුහාව තුළට ඇතුළු විය. අතරමං වූ රජතුමා වනයේ ඇවිදගෙන ගිය අතර ගසක් මුල සිටි තාපසයෙකු දැක එතුමා වෙත ළං වී කතාබහ කළේ ය. මේ මහා ඝන වනාන්තරයේ තනි ව ම සිටීමට ඔබතුමාට බය නැද්දැ යි ප්‍රශ්න කිරීමේ දී තමන් සියලු බය, ආශාවන් හා බැඳීම්වලින් ඉවත් වී සිටින බවත්, තමන් පසේබුදුවරයෙකු බවත් ප්‍රකාශ කරන ලදී. එවිට රජතුමා තමාටත් ඒ තත්ත්වයට පත් විය හැකි දැයි ප්‍රශ්න කළේ ය. “පුළුවනි ඒ සඳහා භාවනා කළ යුතුයි” යනුවෙන් පසේබුදුන්වහන්සේ පැවසූ හ. රජතුමා එම උපදෙස් මත භාවනා කිරීම ආරම්භ කළෙන් ටික දිනකින් පසේබුද්ධත්වයට පත් වූ බව සඳහන් ය.
ජාතක කතා කියවන ඔබ මෝර ජාතකය හෙවත් මයුර ජාතකය කියවා ඇත. නැතිනම් අසා ඇත. දිග කතාවක් ඉතා කෙටියෙන් දක්වමි. එක්තරා රජ කෙනෙකුට රන්වන් මොණරෙකු අල්ලා ගැනීමට අවශ්‍ය විය. මේ බව වැදි නායකයෙකුට දැන්වී ය. පරම්පරාවෙන් පැවැතගෙන එන කතා පුවතක් අනුව හිමාලයේ ඝන කැළෑවක රන්වන් මොණරෙකු සිටින බව ඔහු දන්නේ ය. උපක්‍රමශීලී ව ඌ අල්ලා ගැනීමට පුරුදු පුහුණු කරන ලද සෙබඩක හෙවත් ගැහැනු මොණරෙකු ද රැගෙන වනයට ගියේ ය. ඉතා අමාරුවෙන් රන්වන් මොණරා පුඩුවකට හසු කර ගන්නා ලදී. මේ රන්වන් මොණරා බෝධිසත්වයෝ ය. පුඩුවේ හිරවී සිටි මොණරා තමා අල්ලා ගත්තේ ඇයි දැ යි ඇසී ය. එවිට වැදිනෙමේ කරුණු කී පසු රන්වන් මොණරා
ප්‍රාණඝානයේ විපාක හා අභයදානයේ ආනිශංස වටහා දෙමින් වැදි පුත්‍රයාට ධර්මය දේශනා කළේ ය. හොඳින් ධර්මය අසාගෙන සිට ධර්මය අවබෝධ කරගත් වැදි පුත්‍රයා පසේබුදු බවට ක්ෂණයකින් පත් විය. ඉන්පසු සෘද්ධි බලයෙන් හෙතෙම තම නිවසේ හිර කරගෙන සිටි සියලු ම වර්ගයේ සතුන් නිදහස් කළ හ. පාසිවුරු ලැබී ඒවා හැඳ පැළඳගත් පසේබුදු තෙමේ සෘද්ධි බලයෙන් ගන්ධමාන පර්වතයට වැඩම කළ හ.
මේ ක්ෂණික පසේබුදුවරුන් පහළ වීම මෙන්ම එකවර පසේබුදුවරුන් 500ක් පහළ වීමේ කතා පුවතක් ද ඉදිරිපත් කරමි. මෙය ඉතා දීර්ඝ කතා පුවතකි. මෙම කතා පුවතේ ආරම්භය පදුමුත්තර බුදුන් සමය දක්වා දිව යන අතර ගෞතම බුදුන් සමයේ දී අවසන් වන්නේ ය.
පදුමුත්තර බුදුන් දවස එක්තරා භික්ෂුණියකට සෘද්ධිමත් භික්ෂුණින් අතර අග තනතුර පිරිනමනු දුටු එක් සැදැහැවත් තරුණියකට ඒ පිළිබඳ දැඩි සතුටක් හා ආශාවක් පහළ විය. ඒ අනුව නොයෙකුත් පින්දහම් කරමින් එම තනතුර පැතුවා ය. අනතුරු ව එක් භවයක බරණැස් නුවර සිටු මැඳුරක දාසියක ලෙස උපත ලැබුවා ය. සිටුවරයාගේ කුඹුරෙහි කුරුල්ලන් එළවීම පැවරි තිබුණේ ඇයට ය. දිනක් පැසුණු වී කරල් කීපයක් කඩාගෙන ඒවායින් පොරි සකස් කළේ බඩගින්න දුරු කර ගැනීමට ය. මේ අතරතුර ඇය සිටි පැල අසලින් පසේබුදුන් වහන්සේ නමක් වඩිනවා දැක කෑමට පිළියෙල කරගත් විළඳ හෙවත් පොරි සියල්ල පූජා කළා ය. එසේ පූජා කළ ඇය ඉදිරි භවයේ දී රූමත් වේ වා යි පැතූ අතර “ස්වාමීනි, අපි පන් සිය දෙනා ම ඇයගේ දරුවන් බවට පත් වේ වා’ යි ප්‍රාර්ථනා කළ හ. දාසිය මිය ගොස් හිමාල වනයේ පියුම් විලෙක ඕපපාතික ව පහළ වූවා ය. අප මහ බෝසතාණෝ ඒ විල ආසන්නයේ තපස් රකින්නෝ ය. පියුම් විලෙහි සිටි දැරිය තම අසපුවට ගෙන ගොස් රැකබලාගත් අතර දැන් ඇය ඉතා රූමත් තරුණියකි. දිනක් දඩයමේ ගිය වැදි පුරුෂයෙකු මේ ලස්සන තරුණිය දැක රජ මාළිගයට ගොස් සියලු තොරතුරු රජුට පැවසී ය. පිරිසක් සමග පැමිණි රජතුමා තාපසතුමා සමග කතා බහ කර ඇය රජ මාළිගයට ගෙන ගොස් අගබිසෝ තනතුරෙහි පිහිටුවූ හ. කල් ගතවත් ම ඇය පුතුන් 500ක් ම වැදූ අතර අන්තඃපුර ස්ත්‍රීහු උපක්‍රමශීලී ව ඔවුන් සොරකම් කර කරඬුවල තැන්පත් කර තැබූ හ. අගබිසව වැදූ දරුවන් වෙනුවට ලේ තැවරුණු ලී කොටයක් බිසව ආසන්නයේ තැනීමට ද අන්තඃපුර ස්ත්‍රීන් කටයුතු කළ අතර, බිසව ප්‍රසූත කර තිබෙන්නේ ලී කොටයක් බව දැනගත් රජතුමා තම බිසව රජ මැඳුරෙන් නෙරපා දැමූ හ. ඉන්පසු අන්තඃපුර ස්ත්‍රීහු පෙර කියන ලද කරඬු 500 ගඟට ගෙනැවිත් දැමූ හ. රජතුමා බිසෝවරු සමග ගඟට නෑමට ගිය අතර ගඟ මැද එක් තැනෙක නො සෙල්වී තිබෙන කරඬු දැක රාජපුරුෂයන් ලබා ඒවා ගොඩගෙන රජ මැඳුරට ගෙනගොස් විවෘත කළ අතර, සෑම කරඬුවක ම ලස්සන කුමාරවරුන් සිටිනු දැක සතුටට පත් ව ඔවුන් හදා වඩා ගත් හ. ක්‍රමයෙන් ඔවුහු තරුණ බවට පත් වූ හ. දිනක් රජතුමා තම පුතුන් 500 දෙනා සමග ගඟට දියනෑමට ගිය අතර තම ජීවිතය හා සසර ගැන සිතමින් දියකෙළියේ යෙදී සිටි කුමාරවරු ගඟ මැද දී ම පසේබුදුවරුන් බවට පත් ව සෘද්ධියෙන් පාසිවුරු පහළ වී ගිහිවෙසින් අතුරුදන් වූ හ.
මේ හා සමාන තවත් චරිතයකි අජාසත්ත චරිතය. දෙව්දත් තෙරුන් තම සිතැඟි ඉටු කර ගැනීම සඳහා බිම්බිසාර රජුගේ පුත් අජාසත්ත කුමාරයා පොලඹවා ගත් හ. නරක ආශ්‍රය නිසා ම තම පියාණන් මැරවීමට උපක්‍රම යොදවන ලදී. දෙව්දත් තෙරුන් අජාසත් කුමාරයාට ප්‍රකාශ කළේ “මම බුදුන් මරා බුදු වෙන්නම්. නුඹ පියා මරා රජවෙන්න” යනුවෙනි. එබසට මුළා වුණු අජාසත්ත එවකට සෝවාන් ඵලයේ පිහිටා සිටි තම පියා හෙවත් බිම්බිසාර රජුට වධ දී මරා දමා පීතෘ ඝාතක ආනන්තරිය පාප කර්මය කරගත්තේ ය. අදටත් ඔහු නිරයේ දුක් විඳියි. දෙව්දත් තෙරුන්ගේ මරණින් පසු කරුණු හරි හැටි අවබෝධ කරගත් අජාසත් රජු බුදුන්ගේ ශ්‍රද්ධාවන්ත දායකයෙකු බවට පත් වූ හ. බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් අතිශය කම්පාවට පත් වූ හ. අනතුරුව පළමු ධර්ම සංගායනාවේ දී සියලු ම පහසුකම් ද සලසා දුන් අතර වෙහෙර විහාර රාශියක් ම කරවන ලදී. ආනන්තරීය පාපකර්මය නිසා අදටත් නිරයේ දුක් විඳිමින් සිටී. එහෙත් එම විපාකවලට දුක් විද ඒවා ගෙවා අවසන් වූ පසු කරන ලද කුසල් ඉස්මතු වී අනාගත භවයක දී නැවත මනුලොව උපත ලබා “විජිතාබී” නමින් පසේ බුද්ධත්වයට පත් වන බව බුදුන් වහන්සේ වදාරා ඇත.
පසේබුදු පදවිය යනු බුද්ධත්වයට පමණක් දෙවෙනි වූ උතුම් පදවියකි. මේ පිළිබඳව පොත්පත් බලා ධර්ම දේශනාවන්ට හොඳින් සවන් දී ඔබේ දහම් දැනුම තවත් වැඩි කර ගන්න. සැමට තෙරුවන් සරණයිෟ