බුදුදහම හා ආර්ථික ජීවිතය

cmadurawala
5 Min Read

පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි

බුදුරජාණන් වහන්සේ බුදු පිරිස දුටුවේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සිවු පිරිසක් ලෙසිනි. මෙහිදී උපාසක උපාසිකා වශයෙන් අර්ථවත් වන බුදු පිරිස විසින් ප්‍රකට කරනු ලබන ලෞකික ජීවිතයට අදාළ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව බුදු දහමේ ඉගැන්වෙන ආකල්පය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

මනුෂ්‍ය ජීවිතයට අදාළ ලෞකික සමාජ ව්‍යාපාරය හා සම්බන්ධව කරුණු බුදුදහමෙහි ප්‍රකාශ කර ඇත්තේ නිවන් මඟට බැස සිටින ‘පෘථග්ජන’ යන නමට සුදුසු නැති පුද්ගලයකුගේ සමාජ ව්‍යාපාරය සලකා ගෙනය. එනම් ආර්ය ශ්‍රාවකයාගේ සමාජ ජීවිතය සලකා ගෙනය. එහෙත් අද යුගයේ සමාජය පිළිබඳව කතා කිරීමේදී මූලික වශයෙන් ආර්යශ්‍රාවක භාවය අපේක්‍ෂා කළ නොහැක්කක් ලෙස සිතමින් පෘථග්ජන භාවය ප්‍රතිඥා කරගෙන, ස්ථීර කරගෙන කරුණු සලකා බලනු දක්නට ලැබේ. මේ මුහුණුවර ඇති වීම ශාසනයේ පිරිහීමට මූලික වශයෙන් හේතු වී තිබේ.

සද්ධර්ම ප්‍රතිරූප

සංයුක්ත නිකායේ දැක්වෙන ‘සද්ධම්මප්පතිරූපක’ සූත්‍රයෙහි බුදුපියාණන් වහන්සේ විසින් සද්ධර්මයේ පිරිහීමට හේතු වන කරුණු කිහිපයක් ගෙන හැර දක්වා ඇත. සද්ධර්ම ප්‍රතිරූප යනු ධර්මයේ නාමයෙන් බිහිවන, ධර්මය නොවන අදහස් ය. මේ පිළිබඳව කියැවෙන එම සූත්‍රයෙහි මේ කරුණ තේරුම් කරදීම පිණිස ලෞකික සමාජයට අදාළ ප්‍රතිරූපයක් ද පෙන්වා දී ඇත. බුදුදහම හා ආර්ථික ජීවිතය ගැන කතා කරන විටද මෙය වැදගත් වේ. ආර්ථික ජීවිතයේ දී මුදල් වශයෙන් භාවිත වන දෙයක් ද තිබේ. පැරණි මුදල් ක්‍රමය අනුව මුදල ලෙස යොදාගන්නා දෙයෙහි ම වටිනාකම අන්තර්ගත වී තිබේ. රන් රිදී ආදියෙහි වටිනාකම නූතන මුදල් වටිනාකම්වල මෙන් නොව එහිම අන්තර්ගතය ඒවායේ අගය අනුව එහි මූල්‍ය අගය ද නිර්ණය කෙරිණි. එහෙත් කාලාන්තරයක් ගත වීමේදී ජාතරූප වෙනුවට ජාතරූප ප්‍රතිරූප බිහිවන්නට විය. අද මුදල් වශයෙන් භාවිත වන දෙයෙහි ස්වභාවයෙන්ම මූල්‍ය වටිනාකමක් දරන්නේ නැත. එය හුදෙක් කඩදාසි හෝ වෙනත් ලෝහ කැබැල්ලකට හෝ සීමා වී ඇත. එහි ඇත්තේ පිරිනමන ලද වටිනාකම පමණි. ‘ජාතරූප ප්‍රතිරූප’ වශයෙන් හැඳින්වෙන්නේ ඒවා ය.

ඒ අයුරින් අනාගතයේදී ශාසනයෙහි සද්ධර්ම ප්‍රතිරූප බිහිවන බවද බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. නිසර්ග වශයෙන් මූල්‍යමය ඇගයුමක් නැති නමුත් මුදල නාමයෙන් පෙනී සිටින දෙයක් ලෝකයේ ඉදිරිපත් වන්නා සේ ධර්මය පිළිබඳ ඇගයුමක් දිය නොහැකි, එහෙත් ධර්මය නාමයෙන් ඉදිරිපත් වන සද්ධර්ම ප්‍රතිරූප පහළ වන බව වදාරා ඇත. එහෙයින් බුදුසමය තේරුම් ගත යුත්තේ මූලික සූත්‍ර පිටකය ඇසුරෙන් පමණි. ඒ හැර වෙනත් ක්‍රම මගින් ධර්මය තේරුම් ගැනීමට යෑම සද්ධර්ම ප්‍රතිරූපයන්හි එල්බ ගැනීමක් වීමට ඉඩ ඇත. බුදුපියාණන් වහන්සේගේ ධර්මයෙහි මූලික අර්ථයන් ගිලිහී සද්ධර්ම ප්‍රතිරූප බිහිවී ඇති ප්‍රමාණය බෞද්ධ විවරණ සම්ප්‍රදාය රාශියක් බිහි වී තිබීමෙන් සලකා ගත හැකිය. ඒ නිසා සම්ප්‍රදායයන් තුළින් බුදුදහම තේරුම් ගැනීම වෙනුවට බුදුපියාණන් වහන්සේගේ ධර්මය අඩංගු වී තිබෙන පැරණිම ස්වරූපය හැටියට හමුවන පාලි සූත්‍ර දේශනා ඇසුරෙන් ධර්මය තේරුම් ගත යුතු වේ.

සද්ධර්ම ප්‍රතිරූප බිහි වීමට අමතරව ශාසනයේ පිරිහීමට හේතුවන අනෙක් කරුණක් නම් සසුන තුළ සදහම් මඟ නොදත් හිස් පුරුෂයන් බිහි වීමයි. එබැවින් පුද්ගලයකු සසුනට අයත් වීමට අවශ්‍ය ධර්මානුකූල ආර්ය ශ්‍රාවක භාවයක් ඇති බව අමතක කර දමා ගෘහස්ථයාට ශාසනික දිවියක් තිබිය නොහැකි යැයි යමකු සිතන්නේ නම් එයද සද්ධර්ම ප්‍රතිරූපයකි.

ධනය හා ශ්‍රමය

නිවන් මඟට පිවිස ගත් ගෘහස්ථ ආර්ය ශ්‍රාවකයකුගේ ආර්ථික ජීවිතය හා සම්බන්ධව ‘ධනය’ වශයෙන් දහමෙහි හඳුන්වනු ලබන්නේ ශ්‍රමය මත බිහි වන ධනය වේ. ධනය උපයනවාය යනුවෙන් කතා කරන හැම තැනකම සඳහන් කර ඇත්තේ කුසලතාව, ශක්තිය, ශ්‍රමය මතම ධනය ඉපයීම වේ. පෙර පිනට ද කෙනකුට ධනය ලැබෙන්නට පුළුවන. කෙනකුට හෝ කීපදෙනකුට හෝ පෙර පිනින් ධනය ලැබුණ ද සමාජයක ආර්ථික ශුභ සිද්ධිය පිළිබඳව කතා කිරීමේදී වැදගත් වන්නේ එය නොව පොදුවේ ධනෝපායනය සඳහා කැප කළ හැකි ශ්‍රම සම්පතයි. ගෘහස්ථ ආර්ය ශ්‍රාවකයකු හා සම්බන්ධව ධනය පිළිබඳව කතා කිරීමේදී වැදගත් සූත්‍ර දේශනාවක් වන අංගුත්තර නිකායේ පත්තකම්ම සූත්‍රය මෙහිදී මූලාශ්‍රය කරගත හැකියි.

පත්තකම්ම සූත්‍රය

‘ඉධ ගහපති අරියසාවකෝ…. යනුවෙන් මෙහිදී ආරම්භයේ දීම ආර්ථික ප්‍රයත්නයෙහි නියුක්ත ආර්ය ශ්‍රාවකයකු සැලකිල්ලට ගෙන ඇත. මෙහිදී නිවන් මඟට පිවිස ගත් ගෘහස්ථයෙක් ගැනේ. ‘පෘථග්ජන’ යන වචනයෙන් හැඳින්විය හැකි පුද්ගලයෙක් නොවේ. ගෘහස්ථ ආර්ය ශ්‍රාවකයකු විසින් ධනය උපයනු ලබන්නේ කෙසේද? ශ්‍රමය පදනම් කර ගෙනයි. තමා ඇතුළු සමාජ ආයතනය සැපතට පත් කරන්නේ උත්සාහයෙන් වීර්යයෙන් ඉපයූ ධනයකිනි. (උට්ඨානවිරියාධිගතෙහි). බාහු බලයෙන් දෑතේ ශක්තියෙන් උපයන ලද්දකිනි (බාහාබල පරිචිතෙහි) දහදිය මහන්සියෙන් ඉපයූවකිනි. (සෙදාවක්ඛිත්තෙහි) දැහැමි ව උපයන ලද ධනයකිනි (ධම්මිකෙහි ධම්මලද්ධෙහි භොගෙහි). මේ අනුව ගෘහස්ථ ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතයට අදාළ වනුයේ ශ්‍රම ශක්තිය කැප කර උපයනු ලබන ධනයකි.

සේව්‍ය සේවක සම්බන්ධතාව

ධනෝපායනය සම්බන්ධයෙන් ශ්‍රමයට තිබෙන වැදගත්කම අද යුගයේ සේව්‍ය – සේවක සම්බන්ධතාවක් යටතේ සංවිධානය වී තිබේ. එබැවින් ශ්‍රමය කැප කිරීම හා ශ්‍රමය ලබාගැනීම සම්බන්ධව බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළ සඳහන් වන ආකල්පය පිළිබඳව සොයා බැලීම ද වැදගත් වේ. සිඟාලක සූත්‍රය අප දන්නා ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවකි. සේව්‍ය-සේවක සම්බන්ධතාව පැවැත්විය යුතු විධිය පිළිබඳව එහි සඳහන්ව ඇත.

නූතන ලෝකයේ ගොඩනැඟී ඇති ආකල්ප අනුව ශ්‍රමය ලබා ගන්නාගේ අදහස වනුයේ අඩු වැටුපක් දී වැඩි ශ්‍රමයක් ලබාගැනීමයි. අනෙක් අතින් ශ්‍රමය කැපකරන්නාගේ බලාපොරොත්තුව අඩු ශ්‍රමයක් කැප කර වැඩි වැටුපක් ලබාගැනීමයි.

මතුසම්බන්ධයි

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *