පරිහරණය කරන්නේ මෙහෙමයි
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමි
“යේ කේචි සෝකා පරිදේවිතා වා දුක්ඛාච ලෝකස්මිං අනේකරූපා
පියං පටිච්ච පභවන්ති ඒතෙ පියේ අසන්තෙ න භවන්ති ඒතේ
තස්මා හි තෙ සුඛිනො වීතසෝකා යේසං පියං නත්ථි කුහිඤ්චිලෝකේ
තස්මා අසෝකං විරජං පත්ථයානො පියං න කයිරාථ කුහිඤ්චි ලෝකේති”
“ලොව යම් නන්වැදෑරුම් ශෝක ද හැඬුම් ද වැලපුම් ද දුක් ද ඇත්නම් ඔහු ප්‍රියවස්තු හේතු කොටගෙන පහළ වෙත්. ප්‍රිය වස්තුවක් නැති කල්හි එම ශෝක හැඬුම් වැලපුම් පහළ නොවෙති”
“එහෙයින් යම් කෙනකුන් හට ලොව කිසිදු තැනක ප්‍රියයෙක් නැත් ද ඔහු සුවැත්තෝය. පහ වූ ශෝක ඇත්තෝය. එබැවින් ශෝක නැති බව කෙලෙස් ධූලි නැති බව හෙවත් රහත් බව කැමැත්තේ ලොව කිසිවකුත් කෙරෙහි ප්‍රිය බවක් නොකරන්නේය.
ඉහත සඳහන් කරනු ලැබුවේ ඛුද්දක නිකායේ උදාන පාලියෙහි පාටලීගාමීය වර්ගයට අයත් විශාඛා සූත්‍රයෙහි අඩංගු වූ ගාථා රත්න දෙකකි. එමෙන්ම ඒවායේ අර්ථය ද සඳහන් කරමු. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර මිගාරමාතු පාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩවසන සේක. එක්දිනක් විශාඛා උපාසිකාව තෙත් වූ වස්ත්‍ර ඇතිව, තෙත් වූ හිසකෙස් ඇතිව මධ්‍යහ්නයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියාය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ පැමිණීමට හේතු විමසන ලද්දේ මා ප්‍රිය මිනිපිරියක් කලුරිය කළ බැවින් මෙසේ ශෝකීව පැමිණියේ යැයි විශාඛා තොමෝ පිළිවදන් දුන්නාය. භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක වාඩි වූ විශාඛා උපාසිකාවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ප්‍රශ්නකොට වදාළහ. “විශාඛාවෙනි, මේ සැවැත්නුවර යම් පමණ මිනිස්සු ඇත්නම් එපමණම දූ පුතුන් ද මුනුබුරු මිනිබිරියන් ද ලබන කැමැත්තහු ද?” විශාඛා උපාසිකාවන්ගේ පිළිතුර වූයේ “එපමණම මුනුබුරු මිනිබිරියන් ලබනු කැමැත්තෙමි”යි යනුවෙනි. නැවතත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “විශාඛාවෙනි, දිනපතා කොපමණ මිනිස්සු සැවැත්නුවරෙහි කලුරිය කෙරෙත්ද?” “භාග්‍යවතුන් වහන්ස, දිනපතා සැවැත්නුවර දස දෙනෙක් මිනිස්සු කලුරිය කෙරෙත්. නව දෙනෙක් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා අට දෙනෙක් කලුරිය කෙරෙත්.” විශාඛා තොමෝ පිළිතුරු දෙන්නීය.
“දිනපතා සත්දෙනෙක් කලුරිය කෙරෙත්. දිනපතා සය දෙනෙක් කලුරිය කෙරෙත්. දිනපතා පස් දෙනෙක් කලුරිය කෙරෙත්. දිනපතා සතර දෙනෙක් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා මිනිස්සු තුන් දෙනෙක් කලුරිය කෙරෙත්. දිනපතා මිනිස්සු දෙදෙනෙක් කලුරිය කෙරෙත්. දිනපතා එක් මිනිසෙක් හෝ කලුරිය කෙරෙත්. කලුරිය කරන මිනිසුන්ගෙන් සැවැත්නුවර හිස් නොවේ.” භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ ප්‍රශ්නකොට වදාළහ. “විශාඛාවෙනි, කුමක් සිතන්නේ ද, මේ සැවැත්නුවර සියලු දූ දරුවන් මුනුබුරු මිනිබිරියන් වන්නේ නම් සෑම දවසකම දස දෙනෙක් හෝ අඩුම තරමේ එක් අයෙක් හෝ මියැදෙන්නේ නම් නුඹට කිසිවිටෙකත් තෙත් නොවූ වස්ත්‍ර ඇතිව හෝ තෙත් නොවූ කෙස් ඇතිව සිටින්නට නොහැකි වන්නේය. එසේවනු හැකිදැ”යි භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නකොට වදාළහ. විශාඛා උපාසිකාවෝ කරුණු වටහාගෙන මෙසේ පිළිවදන් දුන්නාය. “භාග්‍යවතුන් වහන්ස, එය නොවන්නකි. මට එතරම් බොහෝ දූ පුතුන්ගෙන් මුනුබුරු මිනිබිරියන්ගෙන් කම් නැත.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. විශාඛාවෙනි, යම් කෙනකුට ප්‍රිය වස්තු සියයක් වේ නම් ඔවුන්ට සියයක් දුක්වේ. යම් කෙනෙකුන් හට ප්‍රිය වස්තු අනූවෙක් වේ නම් ඔවුන්ට අනූවක් දුක්වේ. යම් කෙනෙකුන්ට ප්‍රිය වස්තු අසූවක් වේ නම් දුක් අසූවක් වේ. යම් කෙනෙකුට ප්‍රිය වස්තු සැත්තෑවක් නම් දුක් සැත්තෑවක් වේ. ප්‍රිය වස්තු සැටක් නම් දුක් සැටක් වේ. ප්‍රිය වස්තු පනහක් නම් දුක් පනහක් වේ. ප්‍රිය වස්තු හතළිහක් නම් දුක් හතළිහක් වේ. ප්‍රිය වස්තු තිහක් නම් දුක් තිහක් වේ. ප්‍රිය වස්තු විස්සක් නම් දුක් විස්සක් වේ. ප්‍රිය වස්තු දහයක් නම් දුක් දහයක් වේ. යම් කෙනෙකුට ප්‍රිය වස්තු නවයක් නම් දුක් නවයක් වේ. ප්‍රිය වස්තු අටක් නම් දුක් අටක් වේ. ප්‍රිය වස්තු සතක් නම් දුක් සතක් වේ. ප්‍රිය වස්තු සයක් නම් දුක් සයක් වේ. ප්‍රිය වස්තු පහක් නම් දුක් පහක් වේ. ප්‍රිය වස්තු සතරක් නම් දුක් සතරක් වේ. ප්‍රිය වස්තු තුනක් නම් දුක් තුනක් වේ. ප්‍රිය වස්තු දෙකක් නම් දුක් දෙකක් වේ. යම් කෙනෙකුට ප්‍රිය වස්තු එකක් නම් දුක් එකකි. යම් කෙනෙකුට ප්‍රිය වස්තුවෙක් නැත්නම් ඔවුනට දුකක් නැත. ඔව්හු ශෝක නැත්තෝ රාගාදී රජස් නැත්තෝ උපායාස නම් වූ බලවත් සිත් තැවුල් නැත්තෝ යැයි කියමි.” මෙසේ භාග්‍යවතුන් වහන්සේ දේශනා දහම් පෙළෙහි සාරාංශකොට ගත් දහම් පෙළ මේ ආකාරයෙන් මතක තබා ගන්න. “යේසං නත්‍ථි පියං නත්‍ථි තේසං දුක්ඛං” යම් කෙනෙකුට ප්‍රිය වස්තුවක් නැත්ද ඔවුනට දුකක් නැත.
සම්මුති “මම” සමග සිටිමින් පරමාර්ථ වශයෙන් ඒ මම අත්හැරීමට ඔබට දැනුමක් සහ විදර්ශනා නුවණක් අවශ්‍යය. එසේ විදර්ශනා නුවණින් ඇතිකර ගන්නා වූ භාවිත සිතක් සකස් කර ගැනීමට නොහැක්කේ නම් සවිඥානක හෝ අවිඥානක වස්තූන් කෙරේ ඇලීමෙන් යුතුව ප්‍රිය බවට පත්වීමත් එමගින් බොහෝ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමටත් සිදුවේ. ප්‍රිය වස්තූන් කෙරේ ඇලීම හෙවත් රාගයෙන් අල්ලා ගැනීම යනු ආශ්‍රවයන්ගේ වැඩීමට හේතුවකි. මෙහි ආශ්‍රව ලෙස සඳහන් කරනු ලැබුවේ තණ්හා මද මාන දිට්ඨි නම් වූ ප්‍රපඤ්චයන්ය. මේවා සතර අපාය ප්‍රධාන කොට ගත් භවය සැදීමට මුල් වන්නෝය. මේ නිසා සම්මුති “මම” නම් ස්කන්ධ පඤ්චකය ආශ්‍රව මුළුමනින්ම බැහැර කරගන්නාතාක් පවත්වා ගත්තත් “මෙය මාගේය” නම් උපාදානයන්ගෙන් තොරවම පවත්වා ගනී. එනමුත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණයට යටත් කොට දකින්නට සිත භාවිත කර ගැනීම නිසා ස්කන්ධ පඤ්චකය මුල්කොට ගෙන ආශ්‍රව වැඩීමට අවස්ථාවක් සලසා නොගනී. සම්මුති පැවැත්ම පිණිස ඇස ආදී ඉන්‍ද්‍රියන් මුල් කොටගෙන රූපාදී අරමුණු පැවත්වුවත් එම ඉන්‍ද්‍රියන් ද ආරම්මනයන් ද විඥානය ද ස්පර්ශය ද විඳීම් ද හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාවලියක් මිස ස්ථිරව පවත්නා වූ යමෙක් හෝ යමක් නොවන බවට අවබෝධයෙන් සිත වඩා ඇත. අස්සාද, ආදීනව හා නිස්සරණය (කෙලෙස් සහිතව ඇසුරු නොකිරීම) පිළිබඳව සතර සතිපට්ඨානයෙන් සිහිය පැවත්වීමට භාවිත සිත සමර්ථය.
මෙසේ භාවිත සිතක් නොමැතිව අභාවිත සිතකින් ගන්නා වූ අරමුණු කෙරේ ඇලීම හෝ ගැටීම සිදුවෙයි. යම් තැනෙක ඇලෙන්නේ ද එම ඇලුණු වස්තුවේ විපරිණාමය හෙවත් වෙනස් වීමේදී ශෝක පරිදේව නම් වූ ගැටීම ඇතිවෙයි. ප්‍රිය වස්තු සියයක් ඇත්තාට දුක් හෙවත් ගැටීම් සියයක් ඇත්තේය යනුවෙන් වදාළේ මෙයයි. ප්‍රිය ස්වභාවයෙන් සිතින් උපාදානය කරන්නාවූ අරමුණු වැඩි වෙන්නට වැඩි වෙන්නට ඇතිවෙන්නා වූ දුක් ප්‍රමාණය ද ඒ ප්‍රමාණයටම වැඩි වෙයි. එසේ නම් යම් අයකුට සම්මුතියෙහි ප්‍රිය වස්තු පැවතුණත් පරමාර්ථ වශයෙන් ඇතිකරගත්තා වූ අවබෝධය ඔස්සේ එම ප්‍රිය වස්තු හේතුකොට ගෙන අභිජ්ඣ දෝමනස්ස එනම් දැඩි ඇලීම් ගැටීම් සංසිඳවීමට හැක්කේ නම් එය පරමාර්ථ වශයෙන් ප්‍රිය වස්තු නැත්තෙක් ලෙස සැලකේ. එවිට ඔහුට හෝ ඇයට දුක් දොම්නස් ද නැත්තේය.
මෙම පරමාර්ථ ධර්ම අවබෝධය පිණිස සමථ විපස්සනා දියුණුව ඇතිකර ගැනීමට ආරාධනා කරමින් එසේ සිතෙහි භාවිත බවක් නොමැති පෘථග්ජන ලෝකයට දෙසූ දහම් පෙළක් මෙසේ සඳහන් කරන්නේ අභාවිත සිත් ඇත්තන්ට උරුම වන ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස පිළිබඳ සිහි කැඳවීමක් සිදු කිරීමටය.
මා පියේහි සමාගඤ්ජි අප්පියෙහි කුදාචනං
පියානං අදස්සනං දුක්ඛං අප්පියානං ච දස්සනං
ප්‍රියයන් හා එක් නොවන්න. අප්‍රියයන් හා කිසිසේත් එක් නොවන්න. ප්‍රියයන්ගේ නොදැක්ම දුකකි. එසේම අප්‍රියයන්ගේ දැකීම ද දුකකි.
තස්මා පියං න කයිරාථ පියාපායෝහි පාපතො
ගන්ථා තේසං නවිජ්ජති යේසං නත්ථි පියාප්පියං
. ඒ නිසා කිසිවකු හෝ කිසිවක් හෝ ප්‍රිය කොට නොසිතන්න. ප්‍රිය විප්‍රයෝගය තද දුකකි. යම් කෙනකුන් හට ප්‍රිය බවක් හෝ අප්‍රිය බවක් හෝ නැත්තේ නම් ඔවුන්ට කෙලෙස් ගැට ද නැත්තාහ.”
“සබ්බේ හි මේ පියේහි මනාපේහි නානාභාවෝ
විනාභාවෝති”
සියලු ප්‍රිය මනා වස්තූන්ගේ වෙනස්වීම සහ විනාශ භාවයට පත්වීම ලෝක ස්වභාවයයි. සම්මුතියෙහි යමෙක් හෝ යමක් කෙරේ කායික, වාචසික සංවරයෙන් යුතු සීලයෙන් යුතුව ප්‍රිය භාවය පැවත්වුව ද පරමාර්ථ ලෙස සිත පුරුදු කරමින් කිසිවෙක් හෝ කිසිවක් කෙරේ උපාදානයන් නොකර ගන්න. එනම් සිතින් දැඩිව නොගන්න. මෙයට සිව්පස් දහම් අවබෝධය පිණිස ද මාර්ගය සැලසෙන්නේය.
උතුම් තුණුරුවන් සරණයි.

