හිත කරදර කර ගැනීමෙන් මිදෙන්න

cmadurawala
2 Min Read

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

“මගේ හිතට මහ කරදරයක්” යනු බොහෝ දෙනා නොයෙක් අවස්ථාවල කියනු ඇසේ.

“හිතට මහ කරදරයක්” යැයි නොකියන කෙනකු හමුවන්නේ කලාතුරකිනි. ඉංග්‍රීසියෙන් එයම පවසන්නේ ‘I am worried’ යනුවෙනි.

කරදරයකින් මිදෙන්න කෙටි මාර්ග කීපයක් ඇත. හැම දේකටම කෙටි මාර්ග සෙවීම මිනිසුන් වන අපේ පුරුද්දකි. එහෙත් ඇතැම් කෙටි මාර්ගවලින් විටෙක අත්පත්වන පලය මෙතෙකැයි කිව නොහැකිය.

තමන්ට කරදරයක් වන්නේ කුමකින්ද? කරදරයක් වන්නේ කාගෙන්ද? කොහෙන්ද? මක්නිසාද යන ප්‍රශ්න කඩදාසියක් මත ලිවීම ඇතැම් මනෝ විද්‍යාඥයෝ අනුමත කරති. කරදරයක් සිදුවූ විට මනෝ වෛද්‍යවරයෙක් මුණගැසීමට යන පුද්ගලයාගෙන් මුලින්ම අසනු ලබන්නේ මෙබඳු ප්‍රශ්නයකි.

ප්‍රශ්නය: ඔබේ හිතට කරදරයක් ගෙන දෙන්නේ මොකක්ද කියල කෙටි විස්තරයක් කරන්නට පුළුවන්ද?

එවිට මනෝ වෛද්‍යවරයා මුණගැසීමට ගිය පුද්ගලයා මෙබඳු ප්‍රතිචාරයක් දක්වතැයි සිතමු.

ප්‍රතිචාරය: මගෙ මහත්මයා මට මුලින් මුලින් පුදුම ඇල්මක් දැක්වුවා කියල මම හිතනවා. ඒත් එයාගෙ බිස්නස් කටයුතු පුළුල් වෙනවත් සමගම එයාට විවේකය අඩු වුණා. ගමන් බිමන් හෙමත් වැඩිවුණා. මාත් එක්ක කතා කරන්ටත් ඒ හැටි කාලය නැතිවුණා. මම හුඟක් වෙලාවට තනි වුණා. අපට මොන තරම් සල්ලි කන්දරාවක් ගලාගෙන ආවත් වැඩක් නෑ. අපේ මහත්තයයි මායි දුරස් වෙලා ඉන්නෙ කියල මට හිතුණ වාර අනන්තයි. දැන් උදේට නැගිට්ටහම මගේ හිසත් කකියනවා. මට මහා බරක් දැනෙනවා.

හැමදේම ඉතා හොඳින් අසා සිටි මනෝ වෛද්‍යවරයා කී දේ අනුව තමන් හමුවට “කරදරය” රැගෙන ආ ගිලනා සැනසිල්ලට පත් වූයේ දැයි බලන්න.

මනෝ වෛද්‍යවරයාගේ පිළිතුර: ඔබ හිතන්නේ ඔබේ සැමියා ඔබට ලොකු වරදක් කෙරුව කියලද? හොඳට කල්පනා කරන්න. ඔහු විශාල බිස්නස් එකකට කරගහල ඒ වැඩ කටයුතු බහුල වීම නිසා ඔබගෙන් විටින් විට ඈත් වෙලා ඔහුගේ වැඩ කටයුතු කරගෙන යෑමට සිද්ධ වෙලා තිබෙනවා. මේ නිසා ඔබට තියෙන්නේ ඔහුගේ වැඩකටයුතු ගැන ඉඳල හිටල හෝ විමසලා ඔහුගේ හිත වටහාගන්න. එතකොට ඔබේ හිත ඉබේටම ‘කරදරවලින්’ මිදෙන්න පුළුවන්. ඉතා සුළුවෙන් මුලින් පෙනුණද ‘කරදරය’ යනු කෙමෙන් උත්සන්න වෙන අවස්ථා ද නැත්තේ නොවේ. එබැවින් පවතින ‘කරදරය’ වටහාගෙන සිත සමනය කරගැනුම තමන්ටම භාර කාර්යයක් බවද වටහා ගත යුතුය.

නැති කරදර පටවා ගැනීමද සිදුවන බව අප වටහා ගත යුතුය. අනුන්ගේ කරදර තමන්ගේ කරදර බවට පත් කොට නිකරුණේ දුක් විඳින පිරිසක් ද අපට හමුවේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *