ශ්‍රද්ධාව සහ ප්‍රඥාව

rashi
By rashi
11 Min Read

රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස හිමි

ඔබ ගිහි කෙනකු වුවත් පැවිදි කෙනකු වුවත් විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක් ගැන සඳහන් කිරීමට කැමැත්තෙමි. අපි මිනිස් බවක් ලබා උපදින්නේත් බුද්ධොත්පාද කාලයක උපදින්නේත් ඉතාමත්ම දුර්ලභව කලාතුරකින් බව දනිමු. මිනිසත් බවක් ලැබීම ඉතාම දුර්ලභ බව බුදුරජාණන් වහන්සේ විසින්ම වදාරා ඇත. ඒ නිසා මෙහිදී ඒ ගැන දිග විස්තරයක් කිරීම අනවශ්‍ය යැයි සිතමි.

ඔබ, උගත් – නූගත් හෝ බාල – මහලු හෝ ධනවත් – දුප්පත් හෝ කවර වෘත්තියක හෝ යෙදෙන්නකු වුවත් ඔබේ සිත සැමටම පොදු රාග, ද්වේෂ, මෝහ යන අකුසල් සිත්වලින් යුක්ත වූවක් වන බව වටහාගත යුතුය. ඇතැම්විට ඔබේ සිතට ‘මට අනුන්ට තරම් ආසාවක් නැත, අනුන් මට වඩා තණ්හාව අධික අය ය’ යනාදී වශයෙන් සිතේ හැඟීම් ඇතිවන්නට පුළුවන. එයින් වන්නේ ඔබ විසින්ම ඔබ රවටා ගැනීමය. ඔබ නොදැනුවත්වම ඔබ තුළින් ආත්ම දෘෂ්ටියත්, මානයත්, අනුන් හෙළා දැක තමන් අගය කිරීමත් (අත්තූක්කංසන ය සහ පරවම්හනයත්) ඔබේ ප්‍රඥාව වසාගෙන එහි ඇති දුර්වලකම් ඉදිරිපත්ව පෙරට පැමිණ ඇති බව සිතන්න. ඔබ නිතර පින් දහම් කරන කෙනෙක් නම් මම අනුන්ට වඩා නිතර පින්දහම් කරන බැවින් උසස් මැයි සිතෙන්නට පුළුවන. අනුන්ට වඩා ධර්මය දනිමැයි සිතෙන්ට ද පුළුවන. එය ද එසේම පැනනැඟෙන මානයකි. අස්මිමානයක් ද එහි වෙයි. ඒවාට අප රැවටිය යුතු නොවේ. එයින් වන්නේ අපේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දුර්වල වීමයි. එය පිනට බාධාකරන මාර බලය ඉදිරිපත්ව අකුසලය බලවත් වීමකි.

උත්පත්තියේදීම අප බොහෝදෙනාට එක්තරා ප්‍රමාණයකට ශ්‍රද්ධාව පිහිටයි. ඒ මවුපියන්ගේ ඇසුරිනි. එය දියුණු වන්නේ අවබෝධය මතයි. ප්‍රතිසන්ධියට හේතු වූ ජනක කර්මයේ අතීත කුසල කර්මයේ විපාක විසින් ලැබෙන ශ්‍රද්ධාව අප බණ අසනවිට පින්කම්හි යෙදෙනවිට වෙනත් ශ්‍රද්ධාවත් අයගේ ආශ්‍රය ලැබෙන විට සහ ඔවුන්ගේ පින්කම් ආදිය අසන්ට, දකින්ට ලැබෙනවිට ආදී විවිධ අවස්ථාවන්හිදීත් ධර්මය උගෙනගන්නා සහ ධර්මසාකච්ඡා ආදියට සහභාගි වනවිටත් වැනි අවස්ථාවල ශ්‍රද්ධාව වැඩේ. එසේ වැඩුණ ශ්‍රද්ධාව ප්‍රඥාවත් බව හා ධර්මඥානයත් සමග එක්ව වැඩෙනවිට එය බලවත් වෙයි. එහි විපාක ද බලවත් වෙයි.

එවැනි බලවත් ප්‍රඥාවකින් යුක්තව ඔබ කරන කියන හා හිතන සෑම කුසල ක්‍රියාවකම ප්‍රතිඵල ද බලවත් වෙයි. ආගමික ශ්‍රද්ධාව බලවත් වූ කල්හිම එහි ආනිසංස හා විපාක ආදියත් වඩාත් විචිත්‍ර ද ප්‍රණීත ද වෙයි. ඒ බව ඔබ එසේ කරන කර්මවල මෙලොවදී ලැබෙන කුශලානිශංස ගැන විමසිල්ලෙන් සිටිහොත් වටහාගැනීම ද කළ හැකිය. මතු ජාතිවලදී විපාක ලැබෙනතෙක් නොසිට ආනිශංස ගැන විමසා බැලීමෙන්ම එය පහසුවෙන් සිතාගත හැකිවෙයි. එවිට බුදුරජාණන් වහන්සේ අපට උගන්වන දෙයෙහි සත්‍යතාවය ඔබට වැටහීමෙන් තව තවත් ඔබේ ශ්‍රද්ධාව වැඩෙනවා ඇත.

එසේ වූ විට එය ශ්‍රද්ධාව වැඩිදියුණුවීමෙන් පමණක් නවතින්නේ නැත. ප්‍රඥාව ද ඒ මගින් ඔබේ මනස තුළ ශක්තිමත් වේ. ප්‍රඥාව වැඩෙන්නේ අපේ අත්දැකීම් බහුල වූ විටයි. අත්දැකීම් අඩු කල්හි ප්‍රඥාව නොවැඩේ. අපට ඇස්, කන්, දිව, නහය, ශරීරය, සිත යන ද්වාර සහ ඉන්ද්‍රීය හයක්ම ලැබී ඇත්තේ මිනිසුන් වශයෙන් දැනීම ලබාගෙන ඒවායින් ලබන අත්දැකීම් මගින් නුවණ දියුණු කරගෙන වඩාත් සැප පහසුකම් ඇති ජීවිත සකස් කර ගැනීම සඳහා ලැබෙන දායාදයන් ලෙසය.

එහෙත් ඒවාම අයහපත සඳහා වැඩිදෙනා යොදාගන්නේ අපට ආශ්‍රයට ලැබෙන දුශ්ශීලයන්ගේත්, අසත්පුරුෂයන්ගේත්, අනුවණ අයගේත් ආශ්‍රය ලැබීම ආදී කරුණු හේතුකොටගෙනය. සංසාරික වශයෙන් අපට ලැබී ඇති පුරුදු නිසා ද අකුසලවලට ගොදුරු වන අවස්ථා බොහෝය. බොහෝ ධනවත් ඇතැම් පවුල්වල දරුවෝ මෙවැනි ඉහත දක්වන ලද හේතු නිසා සත්පුරුෂ ගුණ නුවණ ඇත්තන්ගේ ආශ්‍රයට අවස්ථාව නොලැබ යෑමෙන් පරණ ආවේණික අකුසලයන්ටම වැටී පින් කරගත නොහැකිව මේ ජාතියේමත් ඇතැම්විට මතු ජාතිවලත් දුකට වැටෙති. ධනවත් මව්පියන් නිතර තමන්ගේ දරුවන්ගේ ආශ්‍රිතයන් ගැන සොයා බැලිය යුතුය. මෙය බොහෝ සේ සැලකිලිමත් විය යුතු කරුණකි. සාංසාරික පුරුද්ද නිසා බොහෝදෙනා රාගාදී අකුසල හේතුවෙන් තමන්ට නොගැළපෙන අය කෙරෙහි ඇදී බැඳී ගිය සිත් ඇතිව ආවාහ විවාහ ආදිය කර ගනිත්. එසේ කොටගෙන පසුව පසු තැවෙත්.

පින් – පව් ගැන අවබෝධයක් නොමැති අනුවණ අයගේ ආශ්‍රයෙන් නිතර දෙවේලේ අසන්ට කියන්ට හා සිතන්ටත් ලැබෙන දෙයින් වැඩිය යුතු ශ්‍රද්ධාව වැඩීමටත්, වැඩිය යුතු ප්‍රඥාව වැඩීමටත් අවස්ථාව නොලබති. මේ ජාතියේම පින් මඳ බවට පත්ව ඇතැම්විට දුකෙන් සහ සන්තාපයෙන් ද මහලු කාලය ගත කරන්නට සලසා ගනිති. එවැනි අයට මහලු කල හෝ පින් දහම් කරගන්ට නොලැබ, බඩසයින් පීඩිතව බලා සිටින මහලු කොස්වා ලිහිණියන්ට මෙන් (ජිණ්ණ කොඤ්චා‘ව ඣායන්ති) පසුතැවෙන්ට සිදුවන බව පෙන්වා දිය යුතුය.

මෙහි වඩාත් භයානකම ප්‍රතිඵලය සසර දීර්ඝ කාලයක් කුසලාකුසල විපාකදීමේ දී බලපාන ශ්‍රද්ධා ප්‍රඥා සිත් දෙක දුර්වල කරගන්නට වීමයි. මේ ජීවිතයේ අප කරගත යුතු වැදගත්ම දෙය වන්නේ මතු සසර නිවන් දක්නා තෙක්ම උපදින්ට වන ජීවිත සංඛ්‍යාව ගැන සලකා ඒවා වාසනාවත් පින්වත් බවට පත්කර ගැනීමට අවශ්‍ය පරිදි අපේ සිත්වල ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් දියුණුකර බලවත් කරගැනීමයි.

එහෙත් අප බොහෝදෙනකුට දිනපතාම අපේ ඉන්ද්‍රිය පසට ගොදුරු වන්නා වූ සෑම දෙයකින්ම වන්නේ අපේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වැනසෙන දුර්වල වන මිථ්‍යාදෘෂ්ටික දේ සිත්වලට ඇතුළත් වීමයි. අසවල් තැන මිනීමැරුමක්, අසවල් තැන සොරකමක්, අසවල් තැන අතවරයක් ආදී වශයෙන් නිතිපතා ඇසෙන තොරතුරුවලින් අප රාගයටත් ද්වේෂයටත් මෝහයටත් පහසුවෙන් පොලඹවනු ලබන්නේ අනායාසයෙනි. ඒ පෙලඹවීම කොතරම් භයානකදැයි කියතහොත් බොහෝවිට දෙතුන් දිනක් ගතවන තුරුත් සිත්වල පවත්නා ‘සති’ය. අසනලද මිනීමැරුම හෝ දූෂණය ගැනය. සිතේ භාවනාව වශයෙන් වැඩෙන්නේ ඒ අකුසලය ගැනයි. කතා කරන්නේ නම් අකුසලය ගැනයි. එයින් තමන් එක්කරගන්නා අකුසල් ගැන සිත්වලට නොවැටහෙයි. පව් රැස්වන බව පවා නොදනිමු.

බණ්ඩාරනායක ඝාතනයට සම්බන්ධ තැනැත්තා සිවුරුවලින් සැරසී ආ කෙනකුවීම නිසා සියලුදෙනාම ඇති කරගත් අශ්‍රද්ධාව ගැන සිතා බලමු. වරද කෙළේ එක් මිනිසෙකි. ඒ අනුව රටේ සියලුදෙනා තුළම ඇතිවුණ ශාසනික අශ්‍රද්ධාව මොනතරම් හානිකර වීද? බොහෝදෙනකුගේ නැති වූ ශ්‍රද්ධාව යළි කවර දාවත් ඒ අය ජීවත්ව සිටිනතුරු පෙර පැවැති පරිද්දෙන් ප්‍රතිසංස්කරණය කරගත නොහැකි වී යයි හැඟේ. එක් අයහපතකින් වූ හානිය සිතා බලනු මැනවි.

පවත්නා ශ්‍රද්ධාව වැඩිදියුණු කරගැනීමට අපහසු නම් එය විනාශ කර නොගෙන ඇති සැටියෙන් පවත්වාගෙන යෑම හෝ ආශීර්වාදාත්මකය වැදගත්ය. එය බිඳවැටීමට අපේ රාගය, ද්වේෂය, මෝහය විසින් ද අපේ ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියයන් විසින් ද අප ඇසුරු කරන අයගෙන් ද පැනනැඟෙන ක්ලේෂමාර බලය අතිශයින් බලවත්ය. ඒ නිසා අප ද අතිශයින් බලවත්ව, සතියෙහි පිහිටා ක්‍රියා නොකළොත් මාර බලය අප දුබල කරයි. බුදුරජාණන් වහන්සේ නිතර අපට සතිය ගැන වදාරන්නේ මේ නිසයි.

අපි හැමවිටම සතිය ගැන කල්පනාකාරී නොවමු නම් අපේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් බොහෝ පහසුවෙන් බිඳී යා හැකිය. දුර්වල විය හැකිය. ඒ නිසා අපට සිතින් බොහෝ පීඩා විඳීමට ද සිදුවිය හැකිය. එයින් මිදීමට අපේ ශ්‍රද්ධාව බුදු රජාණන් වහන්සේ, ධර්මය, සංඝයා වහන්සේ යන තෙරුවන පිළිබඳව පවත්නා අවබෝධය සහ විශ්වාසය වැඩිදියුණු කරගැනීමම අවශ්‍ය බව සිතට ගත යුතුය.

ශ්‍රද්ධාව අඩුවන තරමට, ප්‍රඥාව අඩුවන තරමට, අප කරන පින්වල ඵලවිපාක ද අඩුවෙයි. දුර්වල වෙයි. ශ්‍රද්ධාව බලවත් වන තරමට අප කරන පින්වල ඵලවිපාක බලවත් වෙයි. ශක්තිමත් වෙයි. විචිත්‍ර ද වෙයි. එපමණක් නොවේ. පව් විපාක අඩු දුර්වල ඒවා වෙයි. සමහරවිට පින්ඵල වැඩිවීම නිසා අහොසිභාවයට පත්ව විපාක නොදීයන්නට ද හැකිය. (මනොරථපූරණීය බලන්න) එසේ සිතා අකුසලකර්ම ගැන නොසලකා හැරිය යුතු යැයි මින් අදහස් නොකෙරේ. පින් පව් සුළු යැයි නොතකා හැරිය යුතු නොවන බව විශේෂයෙන් මතක තබාගත යුතුය.

බුරුම ජාතික බෞද්ධයන් ගෙවල්වල ළදරු වයසේ අය සිටින තැන්වල ඒ කාලයේ කවදාවත්, ආගම ධර්මය හෝ එහි යෙදෙන අය හෝ විවේචනය කිරීමක්වත්, ඔවුන්ගේ අඩුපාඩු කතා කිරීමක්වත්, නොකරන බව වරක් මා සමග උගත් බුරුම ජාතික මහතෙක් ප්‍රකාහ කළේය. විශේෂයෙන් සංඝයා වහන්සේ ගැන නොදරුවන් ඉදිරියේ ඒ රටේ කවුරුවත් විවේචනය නොකරන බව ඔහු තවදුරටත් කීවේය. ඒ තම දරුවන්ගේ ශ්‍රද්ධාව අඩුවේ යැයි යන බියෙනි. දරුවකු තුළ සහජයෙන් ඇතිවන ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් අඩුවන සේ යමක් කළහොත් එය ඔහුගේ මුළු ජීවිතයටම බලපාන නිවන් දක්නා ජාතිය දක්වාම සසරදීත් බලපාන අයහපතක් කිරීමකි. ඒ නිසා දරුවන්ගේ ශ්‍රද්ධාව අඩු කිරීම ඔවුන්ට කරන බලවත්ම හානියකි, අපරාධයකි, සතුරුකමකියි දත යුතුය.

පෞද්ගලික වශයෙන් ඔබ කිසිවිටෙකවත් භික්ෂු නමකගේ සාංසාරික දුබලකමක් දැක කලකිරීමක් ඇති කර නොගත යුතුය. එය භික්ෂු නමක ලෙස පෙනී සිටින පුද්ගලයාගේ දුබලකමක් හෝ අශ්‍රද්ධාවක් මිස පොදුවේ සියලු සංඝයාගේ හෝ ධර්මයේ හෝ බුද්ධාගමේ හෝ දුබලකමක් ලෙස සිතා, සිත කලකිරවා ගැනීම මහත්ම අනුවණකමකි. බුද්ධ ධර්මය නිවැරදි ධර්මයකි. අනුගමනය කරන්නෝ වැරදි කරති. එය ධර්මය නොවේ. පුද්ගලයන් ධර්මය නොවන බව සිතා ගැනීමටවත් බැරි අය ගැන බුද්ධිමතුන් අනුකම්පා කළ යුතුය.

වෙනත් ආගම්වල පුද්ගලයන් ද පූජකයන් ද එවැනි වූම වරද නොකරන්නේදැයි සිතා බලන්නට පමා නොවිය යුතුය. මෙය පුද්ගලයකුගේ වරදක් මිස ආගමික වරදක් නොවන බව වටහාගත් විට තම ශ්‍රද්ධාව බිඳ නොවැටේ. ශ්‍රද්ධාව අඩු කර ගැනීම තමන්ට කරගන්නා භයානක හානියකි. මේ ගැන හොඳින් සිතා ගැනීමට ධර්මප්‍රදීපිකාවේ එන ‘තුඹරුප්ගිය මහලේ විරිදුනාවන්ගේ’ කතාව කියවා බලන්න. පැවිදි වෙස් ගත්තවුන්ගේ වරදක් දුටු එතුමා තම ශ්‍රද්ධාවට හානි නොකරගෙන වරද දැකීමට නොලැබේවා යයි සිතා ඇස් අන්ධ කරගන්නට උත්සාහ ගත්තේය. ශ්‍රද්ධාව ඒ තරමට අගය කළ යුතු දෙයකි. එය පවත්වාගෙන යමින් එය හා බැඳී ඇති ප්‍රඥාව එයටත් වඩා ඔබට වැදගත් වන බවම සිතන්න. ප්‍රඥාව ඔබ සසර වසනතුරු අපායකට දුගතියකට නොයවා ආරක්ෂා කරගන්ට බැඳී සිටින උසස්ම කුසල අවශ්‍යතාවයයි. එය ආරක්ෂා කරගැනීම ඉතාමත්ම බලවත් පරිශ්‍රමයකින් කළ යුතු වන්නේ ප්‍රඥාවේ ප්‍රධාන බාධකය සසර දිගටම පුරුදු කරගෙන එන අවිද්‍යාව වන බැවිනි.

අවිද්‍යාව යනු, ලෝකයේ සැමතැනම පවත්නා යථා ස්වභාවය වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට අනුව දුක පිළිබඳව දිටිය නොහැකිකමක් එහි හේතුව වූ තණ්හාව හා එහි අභාවය වූ තැන දුකක් නොමැති බවත් එය නැති කරගත හැකි එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් වටහා ගැනීමට නොහැකිකම නිසා බලපවත්නා බුද්ධියෙන් තොර බවයි. සිතීමට දුබලකමයි. මෙය නොයෙක් ආකාරයෙන් විග්‍රහ කළ හැකිය.

ලෝකය කෙනකු විසින් මවන ලදැයි ද එහි සත්ත්ව සංඛ්‍යාව සීමා සහිත යැයි ද ආදී වශයෙන් දක්නා අනුවණ සිතුවිලිවලින් අපේ සිත් පිරී ඇත. සදාකාලික නිත්‍ය තැනක් හෙවත් නොවෙනස් වන තැනක් අපට සිතෙන ගතිය ද අවිද්‍යාව මුල්කොටගෙනම ඇති වේ. එය නොදැනීමයි. පඤ්චස්කන්ධයට යටත් වූ තැන ඇතිවන කර්ම වේගය සත්ත්වයකු හෝ පුද්ගලයකු හෝ ලෙස දක්නා බවත් එහි හිස් බව වටහාගත නොහැකිව බව හා ඒ දැන ගැනීමට හැකි බුද්ධිමත් බව උපදවාගත හැකිකම, සත්‍යය ස්වභාවය දැනගන්නා නුවණ උපදවා ගැනීම විද්‍යාවය. එයට ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වැඩිදියුණු කරගත යුතුය. ඒ නිසා ශ්‍රද්ධාව මොනම හේතුවක් නිසාවත් දුර්වල කරනොගත යුතුය. බලවත් කුසලයකි. ප්‍රඥාව එයටත් වඩා බලවත් කරගත යුතු කුසලයකි. දුර්ලභ වූ මිනිස් බව ලත් අප විසින් ලද මේ අවස්ථාව ලැබිය යුතු නියම ප්‍රයෝජනය ලබාගැනීමට යොදා ගතයුතු බව අධිෂ්ඨාන කරගත යුතුය. සිව්සත නිදුක් වෙත්වා!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *