බු.ව. 236 පොසොන් පුර පොහෝ දා ලක්දිවට වැඩම කළ
මිහිඳු මාහිමි දෙසා වදාළමූලික ධර්ම දේශනා
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසියතිස්හය වැන්නෙහි එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝ දින මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේලා ලක්දිවට වැඩම කොට මෙහි බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළහ.ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිවුනමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක නම් අනාගාමී ඵලයට පත් රාජකීය උපාසකයාත් එම ධර්ම දූත පිරිසට අයත් වූහ.
මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කළ දින සිට ම ලක්වැසියන් තුළ චින්තන විප්ලවයක් හා සංස්කෘතික සාමාජික පුනරුදයක් ඇති වූ බව ඉතිහාසගත තොරතුරුවලින් පැහැදිලි වේ.උන්වහන්සේ ලක්දිව දී දේශනා කළ ධර්ම දේශනාවන් පිළිබඳ විමසීම ම ඒ සඳහා ප්‍රමාණවත් ය. මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කොට ගතකළ පළමු දින හත තුළ සිදු කළ ධර්මදේශනාවන් අසා හැටදහසක් පමණ ජනයා බුදුදහම වැළඳගත් බව වංසකථාවන්හි සඳහන් වේ.
එකල පොසොන් සමයෙහි ‘ජෙට්ඨනක්ඛත්ත’ නම් උත්සවයක් පැවැති අතර එහි අංගයක් ලෙස පොසොන් පොහෝ දින දෙවනපෑතිස්ස රජතුමා හතළිස්දහසක පිරිවර සමඟ මිහින්තලාවට මුවදඩයමේ ගියේ ය. රජතුමාට මිහිඳු මාහිමියන් මුණගැසෙනුයේ එහි දී ය.මෙම අවස්ථාවේ දී මිහිඳු මාහිමියන් හා රජතුමා අතර ඇති වූ සංවාදය ‘අඹපැනය’ යනුවෙන් ප්‍රකට වෙයි. එම සංවාදයෙන් රජතුමා බුද්ධිමතෙකු බව වටහාගත් මිහිඳු මාහිමියෝ රජතුමාට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් දහම් දෙසූහ. බුදුදහම ගැන නොදන්නා අයෙකු පළමු කොට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය හඳුනාගෙන අනතුරුව ගිහි ජීවිතයේත් පැවිදි ජීවිතයේත් යථා තත්ත්වය දැනගත යුතුය. චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඒ සඳහා කදිම ප්‍රවිෂ්ටයකි. මජ්ක්‍ධිම නිකායට අයත් මෙම සූත්‍රය ආරම්භ වන්නේ බුදුදහම කෙරෙහි පැහැදුණු පිලෝතික නම් තවුසෙකු හා බුදුදහම පිළිබඳ දැනීමක්, වැටහීමක් නැති ජාණුස්සෝනි නම් බ්‍රාහ්මණයෙකු අතර ඇති වන සංවාදයකිනි. දෙදෙනාම මිත්‍රයෝ ය. පිලෝතික තවුසා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ප්‍රඥාව පිළිබඳ ව ප්‍රසාදයට පත්ව සිටියි. ජාණුස්සෝනි බ්‍රාහ්මණයා ඊට හේතු විමසීය. වාදවිවාදයෙහි සමත් තත්පර ප්‍රඥාවෙන් හෙබි ඇතැම් දක්‍ෂ පණ්ඩිතයන්, බ්‍රාහ්මණයන්, ගිහියන්, ශ්‍රමණයන් බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්නෙමැයි වහසි බස් දොඩා පැමිණ අවසානයේ වාදවිවාද නොකර ම බණ අසා ශ්‍රාවකයන් බවට පත්වනු තමන් දැක ඇති බව පිලෝතික තවුසා කීවේය. ඉනික්බිති බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන පැහැදී ජාණුස්සෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට ගොස් දෙදෙනා අතර ඇති වූ සංවාදය හෙළි කළේය. එහි දී බුදුරජාණන් වහන්සේ ජාණුස්සෝනි බ්‍රාහ්මණයාට ඇත් පා සටහන් උපමා කොට ශ්‍රී සද්ධර්මය පැහැදිලි කළ සේක. තෙරුවන්හි උසස්කමත්, භික්‍ෂුවගේ චාම් ජීවිත පැවැත්ම හා ශ්‍රේෂ්ඨ ගුණගරුක ජීවිතය පිළිබඳවත්, චතුරාර්ය සත්‍යය පිළිබඳවත් කරුණු ඇතුළත් චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව අසා දෙවනපෑතිස්ස රජතුමා ඇතුළු හතළිස්දහසක් පිරිස තිසරණ පන්සිල්හි පිහිටා බෞද්ධයන් වූ බව මහාවංශයේ සඳහන් වේ.
චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව ඇසූ රජු ඇතුළු පිරිස අනුරාධපුරයට ගිය අතර, මිහිඳු මාහිමියෝ අනාගාමී ඵලයට පත් භණ්ඩුක උපාසකතුමා පැවිදි කළහ. අනතුරුව මිහිඳු හිමියන්ගේ අනුදැනුම ඇතිව සුමන සාමණේරයන් වහන්සේ මුළු දිවයිනට ම ඇසෙන සේ ධර්ම ශ්‍රවණය සඳහා දෙවියන්ට ආරාධනා කළ අතර මිහිඳු මාහිමියෝ දෙවියන්ට සමචිත්තපරියාය සූත්‍රය දේශනා කළහ. මෙමසූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් තෙරණුවන්ටත්, සැරියුත් තෙරණුවන් විසින් භික්‍ෂූන් වහන්සේලාටත් දේශනා කරන ලද්දකි. කාම භවයෙහි බැඳීමත්, රූපාරූප භවයන්හි බැඳීමත් පිළිබඳ ගැඹුරු දේශනාවක් මෙහි ඇතුළත්ය. විදර්ශනා භාවනාව වඩන සය ආකාරය පිළිබඳව ද මෙහි විස්තර වේ. මෙම සූත්‍ර දේශනාවසානයෙහි අප්‍රමාණ වූ දෙවිවරු පිරිසක් ධර්මාවබෝධය ලැබූහ. මින් පැහැදිලි වන්නේ ලක්දිව බුදුදහම පිහිටු වූ දින සිටමලක්දිවට සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ඇල්මබැල්ම ලැබුණු බවයි.
මිහිඳු මාහිමියන් දෙවන දින රජගෙදර පිරිසට ධර්මය දේශනා කළ අතරඑහි දී රාජකීය කාන්තාවන් ද වූ බැවින් ඔවුනගේ සිත්සතන් බෙහෙවින් ඇදී යන පරිදි පහසුවෙන් තේරුම් ගත හැකි ස්වභාවයේ විෂයක් ධර්ම දේශනය සඳහා තෝරාගත් බව ද පෙනේ. ඒ අනුව දෙවන දින රජ මාලිගයට වැඩම කළ මිහිඳු මාහිමියෝ දහවල් දන් වළඳා පේතවත්ථු විමානවත්ථු හා සච්චසංයුත්තය යන දහම් කොටස් අනුසාරයෙන් ධර්මය දේශනා කළහ. ධර්ම ශ්‍රවණයට දෙවනපෑතිස්ස රජුගේ මෙහෙසිය අනුලා දේවිය ඇතුළු රාජකීය කාන්තාවන් පන්සියයක් සහභාගි වූහ.
පේත, ප්‍රේත යන වචනවලින් මියගියතැනැත්තා, පරලොව ගියතැනැත්තා යන අරුත් දෙයි. විවිධ අකුසල කර්ම සිදුකරගෙන ප්‍රේත ලෝකයේ ඉපදී දුක් විඳින ආකාරය පිළිබඳ කථාවස්තු පේතවත්ථුවෙහි ඇතුළත්ය. විමාන යනුවෙන් අදහස් කරනුයේ දිව්‍ය ප්‍රාසාදයි. එමදිව්‍ය විමාන අතිශය අලංකාරය; විචිත්‍රය; ශෝභමානය. ශ්‍රද්ධාවෙන් සුළු පින්කමක් හෝ සිදු කොට දිව්‍ය සම්පත්විඳින ආකාරය පිළිබඳ වූ කථාවස්තු විමානවත්ථුවෙහි ඇතුළත් ය. එකී පේතවත්ථුව හා විමානවත්ථුව ඇසුරෙන් වදාළ ධර්මය පරලොව ගැනත්, දෙවියන්, මළවුන්, භූතයන්, යකුන් ගැනත් විශ්වාසයෙන් සිටි ඒ පිරිසට තදින් ම සිත්හි කාවැදී යන්නට ඇත; මෙම නව දහම තමන් පිළපදින දහමට විරුද්ධ නැති දහමක් ය යන හැඟීම ඇතිවන්නට ඇත. බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන කර්මයේ බලපෑම හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සිත් කාවදින ලෙස පැහැදිලි කිරිමක් මින් සිදුවිය. පේතවත්ථුව අසා කම්පාවට පත් ව සිටි පිරිසට සැනසීම දනවනු පිණිස විමානවත්ථුව දෙසූ මිහිඳු හිමි එම පිරිස තුළ දෙව් සැප ගැන ආසාවක්, ලෝලිත්වයක් ඇති නොවී පරමාස්වාදය ලබා දෙන නිර්වාණය පිණිස වෑයම් කිරීමට සච්චසංයුත්තය දේශනා කළ බව පෙනේ.
සංයුත්ත නිකායට අයත් සච්චසංයුත්ත දේශනාව කුඩා සූත්‍ර රාශියක එකතුවකි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත විවිධ ගැඹුරු දහම් කරුණු ඇතුළත් සච්චසංයුත්තයේ දක්නට ලැබෙන්නේ චතුරාර්ය සත්‍යය නොයෙක් ආකාරයෙන් ධර්මානුකූලව විස්තර කිරීමකි. දුක දුකක් වශයෙන් තේරුම්ගෙන අකම්පිත ව කටයුතු කිරීමෙන් ජීවිතය ජය ගත හැකි බව පෙන්වාදීමට මිහිඳු හිමියන් උත්සාහ කළ බව පෙනේ. මෙම දේශනාවසානයෙහි අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සියයක පිරිස සෝවාන් ඵලයට පැමිණි බව මහාවංශයේ, සමන්තපාසාදිකාවේ සඳහන් වේ.
පළමු දින මිහිඳු මාහිමි ඇතුළු ධර්ම දූතයන් වහන්සේලා දුටු පිරිස් ඒ බව අන්‍ය්‍යන්ට ද පැවසීම නිසා දෙවන දින දහස් ගණනින් ජනයා රජමාළිගාව අසළට රැස්වූහ. ඒ සියලු දෙනාට ම ඇතුළුපුරය ඉඩකඩ මදි වූයෙන්, රජතුමා ඇත්ගාල සකසා මිහිඳු හිමි ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේලාට අසුන් පැනවීමට කටයුතු කළේ ය. අනතුරුව මිහිඳු මාහිමියෝ එහි වැඩ සිටිමින් දේවදූත සූත්‍රය දේශනා කළහ. මජ්ක්‍ධිම නිකායට අයත් දේවදූත සූත්‍රය දුෂ්ට – පාපිෂ්ඨ ජීවිත ගත කරන අයට විඳින්නට සිදුවන වධබන්ධන හා ඔවුන් චිත්ත සන්තාපයට ගොදුරුවන ආකාරය විස්තර කරයි. සිත, කය, වචනය යන තුන්දොර සංවර කරගෙන සුචරිතයෙහි යෙදිය යුතුය යන පණිවිඩය ලබා දෙන දේවදූතයන් පස්දෙනෙකු ගැන එම සූත්‍රයේ සඳහන් වේ. ඔවුන් නම් අලුත උපන් දරුවා (බිළිඳා), මහලු වියට පත් පුද්ගලයා, දැඩි සේ රෝගී වූ පුද්ගලයා, රාජ්‍ය නියමයෙන් වධබන්ධනයට ලක්වූ පුද්ගලයා, මරණයට පත් පුද්ගලයා යන පස්දෙනා දෙනා ය. මෙම දූතයන් දැක ‘මම ද මෙබඳු තත්ත්වයට පත්වන්නෙමි’ යි සලකා ක්‍රියා කළ යුතු බව එහි සඳහන් වෙයි. සදාචාර පරිහානියට පිළිපන් අය ඉන් වළකා සුගති මාර්ගයට ගැනීම මෙම සූත්‍ර දේශනාවේ පරමාර්ථය වේ. මෙම දේශනාවසානයෙහි දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ.
ධර්ම දේශනා ඇසීමට පැමිණෙන පිරිස වැඩිවූයෙන් අත්හලෙහි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා අසලපිහිටි නන්දන (මහමෙුවනා උයන/ජෝතිය වනය)උයනෙහි මිහිඳු මාහිමියන්ට අසුන් පැනවීමට දෙවනපෑතිස්ස රජතුමා කටයුතු යෙදීය. එහි දී මිහිඳු මාහිමියෝ බාලපණ්ඩිත සූත්‍රය දේශනා කළ බව මහාවංශයේ සඳහන් වේ. නමුත් සමන්තපාසාදිකාවේ සඳහන් වන්නේ ආසිවිසෝපම සූත්‍රය දේශනා කළ බවයි. බාලපණ්ඩිත සූත්‍රයේ සුචරිතයෙහි යෙදෙන්නා පණ්ඩිතයෙකු නුවණැත්තෙකු ලෙසත්,දුශ්චරිතයෙහි යෙදෙන්නා බාලයෙකු මෝඩයෙකු ලෙසත් හඳුන්වා දී ඇත. බාලයා, අර්ථය (හොඳ) අනර්ථය (නරක) නොදනී. එසේම ඔහු තමාගේ යහපතත්, අනෙකාගේයහපතත් නොදනී. බාලයාගේ ක්‍රියාකලාපය නිසා ඔහු මරණින් මතු දුගතිගාමී වෙයි. ඔහුගේ සසර ගමන දීර්ඝය. පණ්ඩිතයා තුන්දොර සංවර කරගෙන අර්ථය අනර්ථය දැනගෙන ක්‍රියා කරයි. ඔහුගේ කුසල කර්ම නිසා මරණින් මතු සුගතිගාමීව දිව්‍ය මනුෂ්‍ය ලෝකවල උපදී. පින්දහම් කරමින් සසර ගමන කෙටි කරගනී. සතුට, සාමය, සමාදානය, තෘප්තිමත් බව යහපත් ජීවිතය සමග බැඳී පවතින බව මෙයින් පෙන්වා දෙයි.
සංයුත්ත නිකායට අයත් අසිවිසෝපම සූත්‍රයෙන් සසරෙහි පවතින බියකරු බවත්, නිවන් අවබෝධයෙන් ලැබෙන උතුම් සැනසීමත් විග්‍රහ කරයි. එසේම උපමා උපමේය භාවිත කර ගැඹුරු වූ දහම් කරුණු සරලව පැහැදිලි කර ඇත. අපගේ ශරීරය පඨවි, අපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් හා ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචස්කන්ධයෙන්ගෙන් සැකසී ඇත. එම සතර මහා භූත රූප විසඝෝර නාගයින් සතර දෙනෙකුටත්, පංචස්කන්ධය දරුණු වධකයන් පස්දෙනෙකුටත්, අප තුළ ඇති තෘෂ්ණාව කඩුවක් ඔසවා ගෙන හඹා එන වධකයෙකුටත් ආදී වශයෙන් සමකොට සිරුරට ඇති ආසාව, ආලය දුරුකොට ගනිමින් සතර ඕඝයන් තරණය කොට නිර්වාණය ලබන ආකාරය අසිවිසෝපම සූත්‍රයෙන් දේශිතය. [ඕඝ යනු සැඩ ජල පහරයි. කාම (කාමය/ආශාව), භව (භවය/සංසාරය), දිට්ඨි (මිත්‍යාදෘෂ්ටිය), අවිජ්ජා (අවිද්‍යාව/නොදැනීම) යන සතර පුද්ගලයා සංසාර සාගරයට ඇද දමයි.] මෙම සූත්‍ර දේශනාව අසා දහසක් දෙනා සෝවාන් ඵලයට පත් වූ බව කියැවේ. ඒ අනුව මිහිඳු හිමි ලක්දිවට වැඩමකොට දෙවන දින දෙදහස්පන්සිය දෙනෙක් සෝවාන් ඵලයට පත් වූහ.
දහම් දෙසීමෙන් පසුව සවස් යාමයේ මිහිඳු මාහිමියන් මිහින්තලාවට වැඩම කිරීමට සූදානම් වූ කල, දෙවනපෑතිස්ස රජතුමා නන්දන උයන මිහිඳු මාහිමි ප්‍රමුඛ සංඝරත්නයට පූජා කළේය. එදින රාත්‍රිය මිහිඳු මාහිමියෝ නන්දන උයනෙහි වැඩ විසූහ. පසුදින රජ මාළිගයෙන් දන් වළඳා යළිත් නන්දන උයනට වැඩම කොට අනමතග්ගිය සූත්‍රය දේශනා කළහ.සංයුත්ත නිකායේ අනමත්ග්ග නමින් සූත්‍ර කොටසක් ඇත. එහි සූත්‍ර විස්සකි. ඒවායේ සඳහන් වන්නේ සංසාරය පිළිබඳවයි. සංසාරය අනවරාග්‍රය.මුලක් අගක් දත නොහැක. බුදුරජාණන් වහන්සේ දෙසූ මෙම කරුණ අනමතග්ග සංයුත්තයේ නොයෙක් ආකාරයෙන් විස්තර කොට ඇත. සංසාරයේ දීර්ඝ බව පැහැදිලි කිරීමට විවිධ උපමා රාශියක් දක්වා ඇත. නිදසුනක් ලෙස සසරෙහි සැරිසරන කල්හි අයෙක් පානය කරන මව්කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි බව, කල්පයක් සසර සැරිසැරූ පුද්ගලයෙකුගේ ඇටසැකිලි ගොඩගැසුවහොත් එය වේපුල්ල පවතයටත් වඩා වැඩි බව, සමස්ත මහපොළොව ඩෙබර ඇට තරම් කුඩා ගුලි බවට පත් කොට මේ මාගේ මවයි මේ මාගේ පියා යැයි කීවත් පස්ගුලි අවසන් වනවා මිස මව්පිය සංඛ්‍යාව අවසන් නො වන බවආදී වශයෙන් කෙළවරක් නොපෙනෙන සසරෙහි බියකරු බව මෙහි පෙන්වා දෙයි. ඒ අනුව මෙතරම් දිගු සසරෙහි ඉපදෙමින් මියෙමින් සත්ත්වයා අත්විඳින අල්ප වූ සුඛ වේදනාත් අනල්ප වූ දුක් වේදනාත් පිළිබඳව දීර්ඝවශයෙන්මෙහි විග්‍රහ කෙරේ.
ලංකාගමනයෙන් පස්වන දිනයේ දීමිහිඳු මාහිමියෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන ලදහ. බුදුරජාණන් වහනසේගේ පළමු ධර්ම දේශනාව වන මෙම සූත්‍රය බුදුදහමේ මුඛ්‍ය ඉගැන්වීම වන චතුරාර්ය සත්‍යය පිළිබඳ ව කරුණු දක්වන්නකි.
මිහිඳු මාහිමියෝ ලක්දිවට වැඩම කොට සවෙනි දින අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කරන ලද්දේ පැවිද්දන් උදෙසාය. මහා ගිනිකඳක් පෙන්වා දුසිරිත් ව, පාපී ලෙස මිච්ඡා ආජීවයෙන් (වැරදි දිවි පැවැත්මෙන්) ලෞකික සැපසම්පත් විඳිමින් ජීවත් වෙනවාට වඩා එම ගිනි කඳට වැද මියයාම උතුම් බව වදාළහ. විනය නීතිරීතිවලට අනුකූලවආදර්ශමත් භික්‍ෂු ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම මෙන් ම ශ්‍රමණ සාරුප්‍ය නොවූ (නොගැළපෙන) ජීවිත ගත කිරීමෙන් ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල ගැන ද මෙහි දී කතා කරයි. පුද්ගලයාගේ ආත්මීය පිරිසිදු බව තුළින් ඇතිවන සතුට උතුම් බව පහදා දෙන මෙම සූත්‍රය දේශනා කිරීමෙන් ධමාවබෝධය ලබා සසර තතු වටහාගත් පිරිසට නිවන් මග පහසු කරවන පැවිද්ද පිළිබඳ අවබෝධයක් ලබාදීම මිහිඳු හිමි අපේක්ෂ කරන්නට ඇත.
සත්වෙනි දින මිහිඳු මාහිමියෝ දෙවනපෑතිස්ස රජුගේ අන්තඃපුර බිසවුන්ට අප්පමාද (අප්‍රමාද) සූත්‍රය දේශනා කළ සේක. මෙහි අප්‍රමාද යනු සිහියෙන් හෙවත් සතියෙන් කටයුතු කිරීමයි. අප්‍රමාදී යන පදයට සමස්ත බුද්ධ දේශනාව ම ඇතුළත් වෙතැයි පැවසුවහොත් එහි වරදක් නැත. බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවවාදය වූයේ ද ‘සියලු සංස්කාරයෝ නැසෙන සුලුයහ. අප්‍රමාදීව (එළඹ සිටි සිහි ඇතිව) කටයුතු සම්පාදනය කරන්න’ යනුවෙනි. අප්‍රමාදීව කටයුතු කිරීම ලෞකික ලෝකෝත්තර දියුණුවේ රහසයි.
මිහිඳු මාහිමියන් පළමු සතිය තුළ ලක්වැසියන්ට දේශනා කළ අවසාන දේශනාව රාජෝවාද ජාතක්‍රයයි. මෙය බුදුරජාණන් වහන්සේ විසින් කොසොල් රජතුමාට දේශනා කරන ලද්දකි. මිහිඳු හිමියෝ රජතුමා ඇතුළු ශ්‍රාවකයන්ට මෙම ජාතකය දේශනා කළහ. රාජ්‍ය පාලකයා අධාර්මික වන කල සොබාදහමේ අසිරියත් එහි ඵලප්‍රයෝජනත් මිනිසාට අහිමිවන බව ද, රාජ්‍ය පාලකයා දැහැමි වූ විට රටත් ජනතාවත් දැහැමි වන බව දමෙම සූත්‍රයේ සඳහන් වේ.
මෙසේ අන්‍යාගමිකයෙකු දහම් අසා පියවරෙන් පියවර බුදුසසුනෙහි හික්මවීමට සමත් සූත්‍ර දේශනා මාලාවක් මිහිඳු මාහිමියන් විසින් මෙරටට වැඩම කොට දේශනා කර ඇත. එසේ දේශිත සූත්‍ර පිළිබඳ විමසීමෙන් පැහැදිලි වන්නේ ධර්මදූතයෙකු වශයෙන් උන්වහන්සේ කෙතරම් සාර්ථක ද යන්නයි. රජ මැති ඇමතිවරු පෙරටු කොට දහස් ගණන් වූ ලක්වැසි ජනතාව නව දහම වැළඳ ගෙන උසස් අධ්‍යාත්මික තත්වයකට පත්වීම හා ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට හිමිකම් කීම මිහිඳු මාහිමිගේ බණදහම් ඔවුනගේ සිත්සතන් කොතෙක් දුරට පුබුදු කළේ ද, ඔවුන් කෙරේ බලපැවැත්වී ද යන්න ඊට කදිම නිදසුනකි.
රුහුණ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය
ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
ඕපනායක උපේක්‍ෂා ධම්මධීරා මෙහෙණින් වහන්සේ
සටහන : ආර්. ඒ. නයනානන්ද