ලොවපුරා බෞද්ධයන් උත්සවශ්‍රීයෙන් වාර්ෂිකව සමරනු ලබන වෙසක් පුණ්‍ය මහෝත්සවය මෙවර 2025 මැයි 12 සඳු දිනට යෙදී ඇත. එහෙත් එය 2025 වෙසක් උත්සවය නොවේ. ඒ මන්ද? කෙසේද? යන්න මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.
වෙසක් උත්සවයේ කතානායකයා අන්කිසිවකු නොව, භාග්‍යවත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේය. එහි ප්‍රධාන නිමිත්ත උන්වහන්සේගේ උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම යන සම්බුදු තෙමඟුල බව ද බොහෝදෙනා දන්නා කාරණයකි. එහෙත් බුද්ධ චරිතයේ එම සිද්ධීන්ට අදාළ වසර ගණන් අසන්නට නොලැබෙන නිසාදෝ ඇතැමුන් වෙසක් උත්සවයට ද 2025 යොදන බව පෙනේ. එය වරදකි.
මෙවර වෙසක් මංගල්‍යයට අදාළ වසර ගණන් මෙසේය.
සිදුහත් කුමර උපතින් 2649 වැනි වසර ද,
සම්මා සම්බුදු වීමෙන් 2614 වැනි වසර ද,
බුද්ධ පරිනිර්වානයෙන් 2569 වැනි වසර ද ඇරඹේ.
මේ අනුව සම්බුදු තෙමඟුලට 2025 නොගැළපෙන බව ඔබට වැටහී යනු ඇත. 2025 යනු, අප රට කලක් ග්‍රහණයට ගෙන පාලනය කළ යුරෝපා ජාතීන් පුරුදු කළ භාවිතයේ පවතින ක්‍රිස්තු වර්ෂයයි. බෞද්ධයන් බෞද්ධ කටයුතු කළ යුතු වන්නේ බුද්ධ වර්ෂ ක්‍රමයට අනුවයි.
බුද්ධ වර්ෂ ක්‍රමයෙහි ආරම්භය බුදුන්ගේ පිරිනිවන් පෑමේ සිටය. ක්‍රිස්තු වර්ෂ ක්‍රමයෙහි ආරම්භය කිතු උපතේ සිටය. මේ දෙකෙහි වෙනස බලන්න. අද (ක්‍රි.ව. 2025 අප්‍රේල්) අප සිටින්නේ,
බුද්ධ වර්ෂ 2568
ක්‍රිස්තු වර්ෂ 2025
වෙනස වර්ෂ 543 යි මාස 7ක් පමණ වේ.
මේ අනුව බුද්ධ වර්ෂ ක්‍රමය පැරණි බවත් බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 543කට පසු ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබූ බවත් පැහැදිලිය.
තවද අප සිංහල ද්වීපයේ වෙසක් සැමරුම් පිළිබඳ ලිඛිත ඉතිහාසය දුටුගැමුණු රජ දවස දක්වා (මහා වංශයෙහි) ලියැවී ඇත. දුටුගැමුණු රජු වාර්ෂික වෙසක් උත්සව 24ක් කළ බව කියැවේ. ඒ ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නට වසර 137කට පෙරය.
මෑත ඉතිහාසයේ වෙසක් සැමරුම් මෙසේය.
බු.ව. ක්‍රි.ව.
- 2500 බුද්ධ ජයන්තිය (පිරිනිවන් පෑමෙන්)2500 දී -1956 දී
- 2600 සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය (උපතින්) 2520 දී – 1976 දී
- 2550 බුද්ධ ජයන්තිය (පිරිනිවන් පෑමෙන්)2550 දී – 2006 දී
- 2600 සම්බුද්ධත්ව ජයන්තිය බුදුවීමෙන්2555 දී -2011 දී
ඉහත සැමරුම් අවස්ථාවන්හිදී සමරු කලාප, සමරු කාසි, සමරු මුද්දර නිකුත් කර ඇත.
ඔබ බුද්ධිමත් සැදැහැති බෞද්ධයෙක් නම් ඉහත කරුණු සැලකිල්ලට ගෙන දාන, සීල, භාවනා ආදී පින්කම්වලදී ද තොරණ, වෙසක් පහන් කූඩු, සල් උයන් ඇතුළු වෙසක් සැරසිලිවලදී ද ‘ශ්‍රී බුද්ධ වර්ෂ 2569’ යන්න මාතෘකා කිරීම, සඳහන් කිරීම බෞද්ධයන්ගේ ඓතිහාසික අභිමානය රැකීමකි. ගිහි වේවා, පැවිදි වේවා වෙසක් උත්සවයටත් 2025 යොදයි නම් එවැන්නන් සිටින්නේ (අප රට නිදහස ලබා වසර 77ක් ගිය ද) මානසික වහලුන් ලෙස සුද්දන්ගේ පරගැති චින්තනය තුළය.
තව ද අතැම් ප්‍රසිද්ධ ආයතන සහ ජනමාධ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයන් කළ ද වර්ෂයක් සඳහන් නොකරයි. එය ද අඩුපාඩුවකි. එබැවින් වෙසක් උත්සවයේ සියලු කටයුතුවලදී බුද්ධ වර්ෂ 2569 සඳහන් කරමින් සිදුකරන ලෙස ශාසනාලයෙන් ඉල්ලා සිටිමි.
ලබන්නා වූ ශ්‍රී බුද්ධ වර්ෂ 2569 නව වසර ඔබ සැමට තෙරුවන් සරණින් පින්බර වසරක් වේවා!
මොරටුවේ චන්න පීරිස් මහතා විසින් බුදුමගට එවූ ඉහත සඳහන් කෙටි ලිපිය අපි ඉතා අවධානය යොමු කළෙමු. ඊට හේතුව මේ අදහස ඉතා වැදගත් බැවිනි.

