ධර්ම දේශනා පැවැත්වීම

cmadurawala
9 Min Read

රාණි සේනාරත්න රාජපක්‍ෂ

සූත්‍ර පිටකයේ අප්‍රකට කරුණු

තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති අභිසම්බුජ්ඣිතා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානී කරොති (සං.නි. 3 – පුප්ඵ සූත්‍රය)

පාලි භාෂාවෙහි අර්ථවත් බවටත් ගැඹුරු බවටත් හානියක් නොවන ලෙසින් එහි නෛසර්ගිකව පවත්නා මටසිලිටි බව, කෝමල බව, සුඛනම්‍ය බව, සුන්දරත්වය සහ මිහිරි බව අතිශයින් අගය කරමි. එකල සම්භාව්‍ය භාෂාව වූ සංස්කෘත වෙනුවට පොදුජනයා විසින් භාවිත මාගධී භාෂාව සද්ධර්මය දේශනා කිරීමට සර්වඥයන් වහන්සේ විසින් යොදාගනු ලැබීමට ඉහත කී ගුණාංග ද උපස්තම්භක වන්නට ඇත.

දෙසත භික්ඛවෙ ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සව්‍යංජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ

මේ ඉතා කදිම පාඨය සර්වඥයන් වහන්සේගේ ධර්ම දේශනා පිළිබඳව බොහෝ සූත්‍රවල ඇතුළත්ය. මුලින්ම ඉසිපතන මිගදායේදී මුල්ම රහතන් වහන්සේලාට එක මගකින් නොයන්න. දෙව් මිනිසුන්ට අනුකම්පා පිණිස චාරිකාවේ හැසිරෙන්නැයි උපදෙස් දී එසේ වදලාහ. (දී නි. 1 – අම්බට්ඨ සූත්‍රය, සෝණදණ්ඩ සූත්‍රය, කුටදන්ත සූත්‍රය; සං නි. 1 – දුතියපාස සූත්‍රය; සං. නි. 4 – ඛෙත්තුපම සූත්‍රය) සර්වඥයන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය:

සාමාන්‍ය ශ්‍රාවකයන්ට පළමුවෙන් දාන, සීල, සග්ග, කාමයේ ආදීනව සහ නෙක්ඛම්ම ආනිසංස පිළිබඳව දේශනා කොට, සිත් මෘදු වී ප්‍රබෝධයට පත්වී සකස් වූ කල්හි චතුරාර්ය සත්‍යය දේශනා කරති. ප්‍රඥාව මුහුකුරා ගියවුන්ට කෙළින්ම චතුරාර්ය සත්‍යය දේශනා කරති.

ආදර්ශවත් ධර්ම දේශනා විලාසය: සන්දස්සෙති – උපමා, නිදර්ශන ආදියෙන් පැහැදිලි කිරීම; සමාදපෙති – සිත් කාවදින ලෙස ඒත්තුගැන්වීම; සමුත්තෙජෙති – ප්‍රතිපත්තියට නැංවීමට උත්සාහවත් කිරීම; සම්පහංසති – අසන්නාගේ සිත ප්‍රසාදයට පත් කිරීම.

ශ්‍රී සද්ධර්මය ගම්භීරො අතක්කාවචරෝ දුද්දසො දුරවබොධො යැයි දේශිතය. එහෙයින් ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව එම ධර්ම දේශනා ක්‍රමයද ධර්ම දේශනා විලාසයද යොදාගත් උන්වහන්සේ ඒ ඒ පුද්ගලයාගේ හේතු සම්පත්වලට අනුව විශේෂ ක්‍රමද භාවිත කළ සේක.

ධර්මසුධර්මතාව – උන්වහන්සේ අවධාරණය කළ කරුණක් නම් සියලු ධර්ම දේශනා ධර්මසුධර්මතා ගුණයෙන් යුක්ත වීම අත්‍යවශ්‍ය බවයි: එනම්, ශ්‍රාවකයන් තමා කෙරේ පහදිතියි කිසි සේත් අපේක්ෂා නොකර, ඔවුන් ධර්මයේ ගුණ අවබෝධ කොට ඒවා පිළිපදිත් නම් මැනවැයි අරමුණු කිරීමයි. (සං.නි. 2 – චන්දූපම සූත්‍රය)

සර්වඥයන් වහන්සේ සාමාන්‍යයෙන් එකම කරුණ නැවත නැවතත් දේශනා කිරීම බහුල විය. ඊට හේතු දෙකක් ඇතැයි සිතමි: එකක් නම්, ශ්‍රවණයෙන්ම ධර්ම කරුණු උකහා ගැනීමට අවශ්‍ය වීමයි; අනික, සිහියේ තබා ගැනීම සඳහා වාචෝද්ගත කිරීමේ අවශ්‍යතාවයි. පාලි භාෂාවට අක්ෂර ක්‍රමයක් නොමැති වීම නිසා ලේඛනගත කළ නොහැකි විය. මේ අනුව ශ්‍රාවකයාගේ වගකීම ද ඉතා වැදගත් විය. ධර්ම දේශනා පිළිබඳ කාරණා විදහා දක්වමින් පහත උද්ධරණය කරන්නේ බොහෝ සූත්‍ර අතුරින් එකක් බැගින් පමණකි.

ධර්ම දේශනා පැවැත්වීම පිළිබඳව දැක්වෙන ඉතා කදිම පාඨයක්:

තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති අභිසම්බුජ්ඣිතා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානී කරොති

“භික්ෂූනි, තථාගත තෙමේ යමක් මනා කොට දැනගනියි. මනා කොට අවබෝධ කරයි. මනා කොට අවබෝධ කර මනා කොට දැනගෙන කියයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණ කරයි, බෙදයි, උඩුහුරු කරයි. (සං.නි. 3 – පුප්ඵ සූත්‍රය)

ධර්ම දේශනා කරන ආකාරය සහ ශ්‍රවණය කරන ආකාරය:

භගවා භික්ඛු නිබ්බාණපටිසංයුත්තාය ධම්මියාකථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛු අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතොවා ධම්මං සුණන්ති.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කරුණු දක්වති. සමාදන් කරවති. තෙදගන්වති. සතුටු කරති. ඒ භික්ෂූහුද තමන්ට අර්ථවත් යැයි සලකමින් මෙනෙහි කොට මුළු සිතින් මනා කොට ගෙන යොමු කළ කන් ඇතිව සම්පූර්ණ අවධානයෙන් යුක්තව ධර්මය අසත්. (සං. නි. – පරොසභස්ස සූත්‍රය)

චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්‍රහ්මභූතො චත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දානා ධම්මස්සාමි (ම. නි. 1 – මධුපිණ්ඩික සූත්‍රය)

භික්ෂූන් වහන්සේලාගේ දේශනා කෞශල්‍යය: ධර්මය පිළිබඳව “ව්‍යක්තයහ, විනීතයහ, විශාරදයහ, බහුශ්‍රැතයහ, අනුධර්මාචාරීයහ. ස්වකීය ආචාර්යවාදය උගෙන කියති. හෙළි කරති, දෙසති, පනවති, පිහිටුවති, විවෘත කරති, විභාග කොට දක්වති, හෙළි කරති, උපන් පරප්‍රවාදය කරුණු සහිතව මනා කොට මර්දනය කර නෛර්යාණික කොට ධර්මය දේශනා කරති.” (දී. නි. 2 – මහා පරිනිර්වාණ සූත්‍රය)

ධර්මය ශ්‍රවණය කරන සහ එය ග්‍රහණය කරන ආකාරය:

භාවිතා බහුලීකතා යානිකතා වත්ථුකතා අනුට්ඨිතා. පරිචිතා සුසමාරද්ධා

භාවිත කිරීම, පුනපුනා කිරීම, යුක්ත යානයක් කිරීම, පිහිට කිරීම, ඉටා ගැනීම, පුරුදු කිරීම සහ මනාකොට ප්‍රගුණ කිරීම.

සුතා ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා ශ්‍රවණය කිරීම, දරා ගැනීම, වාචෝද්ග්‍රහණය, තර්කානුකූලව කල්පනා කර බැලීම, දැක්ම ඍජු කර ගැනීම.

සුතං පරියොදපෙති – ඇසූ දෙය පිරිසිදු කර ගැනීම.

දිට්ඨිං උජුං කරොති – වැරදි ලාමක වංක දෘෂ්ටි ඍජු කර ගැනීම. (කංඛාවිතරණය)

චිත්තමසංස පසීදති – සිත පහදා ගැනීම.

සාධුකං මනසිකරොති – සිහිය මනා කොට යෙදවීම.

පරිඤ්ඤෙය්‍යං සච්ජිකාතබ්බං, පහාතබ්බං, භාවෙතබ්බං

ධර්මය ඇසූ කල්හි අදාළ පරිදි පිරිසිඳ දත යුතු, ප්‍රහාණය කළ යුතු, සාක්ෂාත් කළ යුතු, වැඩිය යතු වෙයි. චතුරාර්ය සත්‍යය නිදසුනකි. (ධම්මචක්කපවත්තන සූත්‍රය)

ධර්ම දේශනා:

ධර්ම දේශනාවල අරමුණ: “මාගේ ශ්‍රාවක භික්ෂුන්, භික්ෂුණීන්… යම් තාක් කල් ව්‍යක්තද, විනීතද, විශාරද ද, බහුශ්‍රැත ද, ධර්මධරද, ධර්මානුධර්ම ප්‍රතිපන්නද, සම්‍යක් ප්‍රතිපන්නද, අනුධර්මචාරීද නොවන්නාහු නම්, සිය ආචාර්යවාදය ඉගෙන නොකියන්නාහු නම්, නොදෙසන්නාහු නම්, නොපනවන්නාහු නම්, නොපිහිටුවන්නාහු නම්, විවෘත නොකරන්නාහු නම්, බෙදා නොදක්වන්නාහු නම්, ප්‍රකට නොකරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිතව මනා කොට දක්වා නෛර්යාණික කොට ධර්මය දේශනා නොකරන්නාහු නම්, ඒ තාක් නොපිරිනිවන්නෙමි.” (දී. නි. 2 – මහා පරිනිර්වාණ සූත්‍රය)

උන්වහන්සේ ඇතැම් විට ධර්ම දේශනය ආරම්භ කරන අයුරු බෙහෙවින් සිත් ගනියි. “භික්ෂූනි, ඔබට පටිච්ච සමුප්පාදය දේශනා කරමි. බෙදා දක්වමි. එය අසන්න. මනා කොට මෙනෙහි කරන්න” එකල්හි භික්ෂූහු “එසේය ස්වාමීනි” යි පිළිතුරු දෙති. (සං. නි. 2 – විභංග සූත්‍රය) ඉක්බිති ධර්ම දේශනය ආරම්භ වෙයි.

එහිදී “දැහැමි කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, තෙදගන්වා සතුටු (ප්‍රසාදයට පත්) කළහ” නැතහොත් “දැහැමි කථාවෙන් භික්ෂූන්ට කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සිත් හර්ෂ ගන්වති. භික්ෂූහුද ඒ මෙනෙහි කොට ගෙන මුළු සිතින් එක් කොට යොමු කළ කන් ඇතිව බණ අසති.” යැයි බොහෝ විට දැක්වේ. (සං. නි. 1 – පත්ත සූත්‍රය: ආයතන සූත්‍රය; අං. නි. 1 – පඨම නළකපාන සූත්‍රය; දුතිය නළකපාන සූත්‍රය)

සාමාන්‍යයෙන් තථාගතයන් වහන්සේ දාන කථා, ශීල කථා, ස්වර්ග කථා, කාමයේ ආදීනව, ලාමක බව හා කෙලෙසනසුලු බව, නෛෂ්ක්‍රම්‍යයේ ගුණ ආදී අනුපූර්ව කථා (ආනුපුබ්බී කථා) දේශනා කරති. එයින් ශ්‍රාවකයාගේ සිත “නිරෝගීව මොළොක්ව නීවරණ කෙරෙන් පහව ඔදවැඩී පහන් වෙයි.” ඉක්බිති සාමුක්කංසික දේශනාව (බුදුවරයන්ට පමණක් විශේෂ වූ දේශනා හෙවත් චතුරාර්ය සත්‍ය දේශනාව) කරති. (දී. නි. 1 – අම්බට්ඨ සූත්‍රය; සෝණදණ්ඩ සූත්‍රය: කූටදන්ත සූත්‍රය; ම.නි. 2 – බ්‍රහ්මායු සූත්‍රය; අං. නි. 5 – සීහ සේනාපති සූත්‍රය) ධර්මය දේශනා කරන්නේත් අසන්නේත් සම්‍යක් දෘෂ්ටික භාවය ඇති කිරීමට විනා කෙනකුට වාදාරෝපණය කිරීමට නොවේ. පරවාදවල දොස් දැකීමට හා පරවාදවලින් මිදීමට ධර්මය නොහදාළ යුතුය යැයි උන්වහන්සේ වරෙක වදාළහ. (ම. නි. 1 – අලගද්දූපම සූත්‍රය)

උන්වහන්සේ කථා කිරීමේදී අවශ්‍යයෙන්ම සලකා බලන ඉතා වැදගත් කරුණු කිහිපයක් මෙසේ දක්වති: අභූත, අතථ්‍ය, අනර්ථසංහිත වචන මිනිසුන්ට ප්‍රිය මනාප වුවත් නොකියති. භූත, තථ්‍ය, අර්ථසංහිත වුවත් ඒ වචන මිනිසුන්ට අප්‍රිය අමනාප නම් එය නොකියති. භූත, තථ්‍ය, අනර්ථසංහිත වචන මිනිසුන්ට ප්‍රිය මනාප වුවත් නොකියති. භූත, තථ්‍ය, අර්ථ සංහිත, ප්‍රිය මනාප වචනම කියති. (ම.නි. 2 – අභය රාජකුමාර සූත්‍රය)

ධර්ම දේශකයා තුළ තිබිය යුතු ධර්ම පසක් ගැන වරෙක උන්වහන්සේ වදාළහ : “ආනන්ද, අන්‍යයන්ට ධර්ම දේශනා කිරීම පහසු නැත.” එසේ කිරීමට තමා තුළ ධර්ම පසක් තිබිය යුතුය. අනුපූර්ව කථා කියන්නෙමි පර්යාස දක්වන්නෙමි අනුකම්පාවෙනි ලාභාපේක්ෂා නැත්තෙමි තමා හා අනුන් නොඝටන්නෙමි’ යි ධර්ම දේශනා කළ යුතුය. (අං. නි. 3 – උදායී සූත්‍රය)

සර්වඥයන් වහන්සේ සැබැවින්ම බුදුවරයකු දැයි විමසන්නට බ්‍රහ්මායු පඬිවරයාගේ උත්තර නම් ශිෂ්‍ය මානවක පුරා සත්මසක් උන්වහන්සේ පසුපස ඇවිදිමින් අධ්‍යයනය කළ බව ඉහතදී සඳහන් කළෙමි. හෙතෙම බ්‍රහ්මායු වෙතට පැමිණ ගෞතමයන් සැබැවින්ම සම්‍යයක් සම්බුද්ධ බව පවසා උන්වහන්සේ ගැන දීර්ඝ විස්තරයක් කළේය; ධර්ම දේශනා කරන අයුරු මෙසේ දැක්වීය.

“ගෞතමගේ ආරාමයට ගියාහු පිරිස්හි දහම් දෙසති. ඒ පිරිස් උසස් කොට හෝ පහත් කොට කථා නොකරති. ඒකාන්තයෙන්ම ධාර්මික කථාවෙන්ම කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. තවද ගෞතමයන්ගේ මුවින් බාධිත නොවූ විඥෙය මධුර ශ්‍රවණීය සම්පිණ්ඩික නොවිසිරෙන සුලු ගැඹුරු නින්නාද ඇති අෂ්ටාංග සමන්වාගත ඝෝෂය නික්මෙයි. ඒ ගෞතමයෝ පිරිස් නොඉක්ම ස්වරයෙන් හඟවති. ඒ ස්වරය පිරිසෙන් බැහැර නොනික්මෙයි. ඔවුහු ඒ ගෞතමයන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු ප්‍රහර්ෂ කරවන ලද්දාහු හුනස්නෙන් නැගී අපලෝකනය කරන්නාහු බැස යති.” (ම.නි. 2 – බ්‍රහ්මායු සූත්‍රය)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *