මෝනෙය්‍ය වත

cmadurawala
8 Min Read

ගුණතිලක මැටියගනේ

කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැටී

ඇත්ත, ගන්දක්කේ බුබුළු දමන යෞවනයේ පසුවන යුවතියකගේ කුලෑටි හැඟීම් ප්‍රකාශනයත් පුබුදාලන පදවැලකුත් මධුර සුගායනීය හඬ පෞරුෂයකුත් සුසංයෝග වන තැන සවන පිනන ගීයක් උපදිනා බව සැබෑයි. එය රසවින්දාට දොසකුත් නැතුවා තමයි. හැබැයි බුදුපියාණන් බාහිය දාරුචිරියට දුන් ධර්‍මාවවාදයට අනුව නම්, එනම් ‘සුතෙ සුතමතතං භවිස්සති (ඇසූ දේ ඇසූ තැනම අතහරින්න). මේ කතාව පොඩ්ඩක් වෙනස්.

බලමු මෙවන් ගීයක් සවනින් අරගෙන අපි කරන්නෙ මොනවද කියල. එයින් කියවෙන කතන්දරේ අපේ එකක් බවට පෙරළා ගන්නෙ නැද්ද කියල. අපි ඒ චරිතවලට ආරූඪ වෙන්නෙ නැද්ද කියල. ඔන්න අතීත මළකඳන් ගොඩදා ගන්නා වෙලාව. වාතලයට වාෂ්ප වෙලා ගිය බොළඳ බස් අවුස්සා ගන්නවා, රාග සිතේ ස්වප්න මායා ප්‍රීණනයක් හටගන්නවා, වටපිට අතගා බැලුවම මොකුත් නෑ, හිස්. අප්‍රමාණ දුකත්, ඒ අතරේ අකුසල් පොදියකුත් බිඳුණු ප්‍රේමයක් නම් ඈ හෝ ඔහු කෙරේ ද්වේෂයකුත් හට අරගෙන. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය බුබුළු මතුකරනවා, මෝහය ඉහින් කනින් දෝරෙ ගලනවා.

හැබැයි මේ ගේය පද වැලේ අන්තිම පදය අපට වැදගත් යමක් කියා දෙනවා. “මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා…// එතැනින් නැවතීම බුද්ධිමත් තීරණයක් තමයි. දෙබස් කියන්නෙ වචන, බොළඳ පෙම්බස් කියන්නෙ සම්පප්‍රලාප, ගිරව් වගේ දොඩ දොඩා පව් පුරෝගන්නවා.

හොඳයි දැන් මෙහි ‘මුනිවත’ යන වචනෙ විතරක් අරගෙන පෙරළා බලමුකො. හෙළ බස් වියරණය ප්‍රකාරව නම් කතා නොකර සිටීම, නෑ, ඔය මුනිවත යන පදයේ මවු පදය ‘මෝනෙය්‍ය වත’. අද අපේ සාකච්ඡාව ඒ ගැනයි. එක් බුදුවරයන් වහන්සෙ නමකගෙ බුද්ධාන්තරයකදි එක් ආර්ය ශ්‍රාවකයකුට පමණක් පුරණය කැරගත හැකි අතිදුෂ්කර රූක්‍ෂ ශ්‍රමණ ප්‍රතිපදාවක්. ගොතම බුදු සස්නෙ ඒ වරම උදාපත් කැරගත් ආර්ය ශ්‍රාවක නම ගැන කරුණු හොයන්න අපට සුදොවුන් මහ රජුගෙ පියරජු වන සීහහනු යුගයට යන්න වෙනවා. සීහහනු රජුගෙ පුරෝහිතයන් අතරෙ අසිත නම් තරුණ අමාත්‍යයෙක් ද වූවා. ඒ රාජ්‍ය තාන්ත්‍රික විශ්වසනීයත්වය නිසාම ඔහු සුද්ධෝදන ඇමැති මඬුල්ලටත් පත්වෙනවා. හැබැයි පිය මහ රජුගෙ ‘කැබිනෙට්ටුවේදි’ ලැබුණු වරදාන, වරප්‍රසාද, සැලකිලි පුතා කෙරෙන් කප්පාදු වී ඇති බව පෙනෙන විට එයින් උකටලී වන අසිත බමුණා, ‘රජතුමනි, දැන් මහලු මගේ අරමුණ තවුස් පැවිදි බව ලබා හිමාලය වෙත ගොස් ධ්‍යාන උපදවා ගැනීම’ යි දැනුම් දෙනවා.

‘ඔබේ අභිප්‍රායට මා එරෙහි වන්නෙ නෑ බමුණු තුමනි, නමුත් මගේ සත්කාර ලබමින් මේ පුරයේම වැඩ වාසය කරන්නේ නම් මැනවි.’ ලෙස තම අදහස් පවසනවා. ඒ අනුව අසිත තවුසා සමථය තුළ ඉහළටම ගොස් පංච අභිඥා ධ්‍යාන උපදවා ගන්නවා. ඒ බලයෙන් හිමාලයට මෙන්ම දෙව්ලොවටත් සංචාරයේ යෙදෙනවා. එලෙස දිනක් දෙව්ලොවට වැඩි මොහොතක මුළු දෙව්ලොවම එකම සැණකෙළියක දෙව්වරු නටනවා, ගයනවා, දිවසළු ඇඟිලිවල කරකවා කරනවා රඟනවා. මේ අරුමැසිය කුමක්දැයි විමසන කල පිළිතුරු ලැබෙන්නේ, ‘ඇයි දන්නෙ නැද්ද තවුස් තුමනි, කිඹුල්වත් පුර සුදොවුන් රජ බිසවට පින්වත් පුත් රුවනක් ලැබිලා බව?

අසිත තවුසා ඊළඟ නිමේෂයේ සුද්ධෝදන රජ මාලිගයෙන් මතුවෙනවා, රජු පුත් කුමරා දෝතට වඩා තවුසාට පිළිගන්වද්දි අසිරිමත් සිදුවීමක් දැකගත හැකි වනවා. එනම් බිලිඳාගේ පා පොඩි එසැවී තවුසාගේ ජටාවට උඩින් ගොස් රැඳෙනවා. (මෙහිදී අපේ මතකයට නැඟෙන්නේ අපේ සිරිලංකාවේ සිදුවූ එවන් සිද්ධියක් මාධ්‍යයෙන් වාර්තා වූ සැටි, තම සිඟිත්තාට අසනීප වී ප්‍රතිකාර ලබාගන්නට එක් මවක් දොස්තර කෙනෙක් ළඟට යනවා. රෝග පරීක්‍ෂාවේදී දඟකාර දරුවා ඊට විරෝධය පාමින් අතපය ගසා දමමින් දඟලද්දී දොස්තරගේ අතට පහරක් වදිනවා. ‘ආ, උඹ මට පයින් ගැහුවා නේද? මටත් පුළුවනි, ඕං බලපන්.’ කියා වෙදකම පසෙකලා අර සිඟිත්තාට ද පෙරළා පයින් පහරක් දෙනවා. ඒත් අසිත තාපසතුමා අර සිදුවීම දෙස බලන්නේ ප්‍රඥාවන්ත ඇසින්. ‘මගේ ජටාව කියන්නෙ මගේ චෛතසික අධිගමයේ උපරිමය. මේ බිලිඳා එය ඉක්මවා යන්නට පින් ඇති අයෙක්. මොහු නවතින්නේ නව ලෝකෝත්තර බුද්ධ ඥානය අවබෝධ කොටගෙන. ‘ඒ අනුව අසිත තවුසා පළමුව සිනාසී දෙවැනුව හඬනවා. සිනාවේ අරුත නම් මෙකුමරු බුදු බව ලබාගැනීම. හැඬීමේ අර්ථය ඒ අසිරිය දකින්නට තමාට ආයුෂ නොමැති වීම ගැන. ඊළඟට තම පරපුරේ පින් ඇති කුමරුවකු ඇත්දැයි විමසා බලන විට, තම නැඟණියගේ පුත් නාලක ඊට ගැළපෙන වයසේ පසුවන බව දකිනවා. ඔහු සොයා ගොස් ‘පුතේ, නාලක, මේ කිඹුල්වතේ සුදොවුන් මාලිගාවෙ පුත් රුවනක් පහළවෙලා. මෙයා නියත වශයෙන්ම බුදු වෙනවා. එදාට එතුමාගෙන් බණ අහන්න මං නෑ පුතේ, නුඹ ඒ වෙනකොට මැදිවියට පත්ව සිටියත් මෝනෙය්‍ය වත පුරා හෝ සසරෙන් එතෙර වෙයං, මයෙ පුතේ. ඒ සිදුහත් වෙනුවෙන් අදම ගිහින් තවුස් පැවිදි වතෙන් පැවිදි වෙයං.’

නාලක එදාම ගිහින් තවුස් ප්‍රව්‍රජ්‍යාවෙන් මහණ වෙනවා. සිදුහත් තවුසා බුද්ධත්වයට පත්ව දින හතකින් උන්වහන්සේ වෙත ගොස්, “මට මෝනෙය්‍ය වත දේශනා කළ මැනවැ’යි ඉල්ලා සිටිනවා.

‘ඔව්, නාලක, මගේ ශාසනයේ මෝනෙය්‍ය වත පුරා නිවන් දකින එකම ශ්‍රාවකයා නුඹ තමයි.’ යනුවෙන් විවරණ දී ඒ අති දුෂ්කර ධූතාංගධාරී ප්‍රතිපදාව සාක්‍ෂාත් කැර ගන්නා විධික්‍රමයට අනුශාසනා කරනවා. එහිදී නාලකට ලැබෙන පළමු අවවාදය වන්නේ, ‘මෝනෙය්‍ය වත පුරන එක ලේසි නෑ. වීරිය උපදවා ගන්න, ඒකාන්තයි, කියා දෙන්නම්’ යනුවෙනුයි.

මෝනෙය්‍ය වත පූරණය කරන මට්ටම් තුනයි. එය අල්ප මට්ටමින් පුරන කෙනකුට අවුරුදු 16ක් පමණ කාලයක් ගතවෙනවා. ප්‍රතිඵල අත්දකින්න. ඊට වැඩි කාලයක් රැඳෙන්න ලැබෙන්නෙ නෑ. පිරිනිවන් පානවා.

තරමක් මධ්‍යම ප්‍රමාණයෙන් මෝනෙය්‍ය වත පුරන ශ්‍රාවකයකුට අවුරුදු හතකදි තම අරමුණ කරා ළඟාවෙන්න පුළුවනි. ඉන් පසු පිරිනිවීමට පත්වෙනවා. ඉතාම දුෂ්කර උග්‍ර විදියට මෝනෙය්‍ය වත පුරන ශ්‍රාවකයා මාස හතක කාලය තුළ කෙලෙසුන් නසා පිරිනිවෙනවා, එයයි ප්‍රතිපදාවේ අන්තර්ගත රූක්‍ෂභාවය. නාලක හිමියන් අයත් වෙන්නෙ ඒ කාණ්ඩෙට. බුදුන් ළඟට තාදි ගුණයෙන් ඉහළම තලයෙ ඉන්නෙ මෝනෙය්‍ය වත පුරන ශ්‍රාවකයා. එනම් අටලෝ දහමට පිරිමහින සිතක් හදාගැනීම. අටලෝ දහමින් කැලතෙන ලෝකයක සමාන සිතක් හදාගැනීම දැඩි රූක්‍ෂ ව්‍යායාමයක්. තමන් වහන්සේගේ ගුණ ගායනා කරන මොහොතකක්, තමන් වහන්සේට ආක්‍රෝෂ පරිභව කරන මොහොතක් සිත අනිසි චංචල භාවයකට පත්කර නොගැනීමයි. සත්ත්ව ඝාතනයක යෙදෙන පව්කාරයකු දෙසත්, කෝටියක් සංවර ශීලයක පිහිටි උපසපන් භික්‍ෂුවක දෙසත් සමාන සිතින් බලන්න. සිව්පස ලාභයක් දෙස ඉඟියක්වත් නොකරන්නා වග බලාගත යුතුයි. එක ගෙදරකට දෙවතාවක් පිඬු සිඟා නොයන්න. තමන්ට දන් පිළිගැන්වූයේ පිරිමියෙක් ද කාන්තාවක් විසින්දැයි හෝ නොවිමසන්න. (ඒකනෙ භික්‍ෂුවකට ඇස් බැල්ම විහිදිය යුතු දුර පය මහපටැඟිල්ලේ සිට දෙවියතක් පමණකට සීමා කොට ඇත්තෙ). රාත්‍රීන් දෙකක් එක ගමක තබා රූක්‍ෂ මූලයකවත් ගත නොකරන්න. කිසිම තැනකට නොඇලෙන්න.

කොටින්ම ගොළු නොවී සිට ගොළු වෙන්න හැකි නම්! එමෙන්ම ඉඳුරන් සය බාහිරට විවෘතව තිබුණත් හොඳයි සැපයි හෝ දුකයි පිළිකුලයි හෝ මධ්‍යස්ථභාවයත් දුරින්ම දුරු කරන තැනකට ගෙන එන අත්ථකිලමථානුයෝගයත් කිව්වත් හරි, මඳ පවනත් ගිනිදලු සැරයත් දෙකම සමව විඳගන්න.

මෙසේ වූ මෝනෙය්‍ය වත පුරන්නෙක් බුදුන් දකින්නේත් එකම එක වතාවක් පමණයි. අහන්නෙ එකම එක බණක් පමණයි. අහන්න ඕනෑ කරන දේ අත ගත්තා ආයෙ බුදුන් දිහාවත් හැරී බැලීමක් නෑ.

බුද්ධාවවාද ප්‍රකාරව සත් මාසයක් තුළ තම දුෂ්කර ගමන් මගේ ගමනාන්තය දුටු නාලක තෙරුන් තම ආයු සංස්කාරය අතහරිනවා. බුදුන් වැඩ සිටින දිසාවට හැරී ඇඟිලි බැඳගෙන ගල් පර්වතයට පිට දී සිට පිරිනිවීමට පත්වෙනවා. ඒ බව දිවසින් දුටු බුදුන් වහන්සේ තම ශාසනය තුළ මෝනෙය්‍ය වත සපුරා නිවන් පත් එකම ශ්‍රාවක නමගේ දේහය ආදාහනය කරවා එම ධාතු නිදන් කොට සෑයක් බඳවන්නැයි උපදෙස් දෙනවා.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *