සත්ත විසුද්ධිය

cmadurawala
9 Min Read

විශ්‍රාමික ගුරු උපදේශක, ශාස්ත්‍රපති අධ්‍යාපන ඩිප්ලෝමාධාරී, වයඹ රාජ්‍ය සම්මානලාභී වඩුගේ කරුණාරත්න මහතාගේ දෙසුමකින් බුදු මගට යොමු කළේ,

සෙනරත් පොන්නම්පෙරුම

සත්වයාගේ පිරිසිදුහාවය සඳහා හෙවත් නිවන සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් සතක් සත්ත විසුද්ධිය ලෙස ඉගැන්වේ. මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ සූත්‍රය ආරම්භයේදීම “සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය……” ආදී වශයෙන් සත්වයන්ගේ පිරිසිදු වීම පිණිස මෙම සතර සතිපට්ඨාන ධර්ම හේතුවන බව දේශනා කළහ. එහිදී “විසුද්ධියා” යන පදයක් යොදාගෙන ඇත. පුහුදුන් සත්වයා නිරතුරුවම ලෝභ, ද්වේශ, මෝහ යන අයහපත් මනෝභාවයන්ගෙන් පෙළෙමින් සිටී. එම අකුසල සිතුවිලි වලින් පිරිසුදුවීම විසුද්ධි යන පදයෙන් අදහස් කෙරේ. සත්ත විශුද්ධිය පිළිබඳ සඳහන් වන ත්‍රිපිටක මූලාශ්‍රය වන්නේ මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට ඇතුළත් වන “රථ විනීත සූත්‍රය”යි. සැරියුත් මහරහතන් වහන්සේ සහ පුණ්ණ මන්තානි පුත්ත තිස්ස මහරහතන් වහන්සේ අතර ඇතිවන ධර්ම සාකච්ඡාවක් වශයෙන් මේ සූත්‍රයේ දක්නට ලැබේ. කොසොල් මහ රජතුමා විනීන අශ්වයන් යෙදූ රථ සතකින් සැවැත්නුවර සිට සාකේත නුවරට හදිසි රාජකාරියක් සඳහා ගමන් කළාක් මෙන් ”අනුපාදා පරිනිර්වාණය” සඳහා මේ විසුද්ධි හත එකිනෙකට උපකාර වන බව මෙම සූත්‍රයේ දී පැහැදිලි කොට ඇත. එම සත්ත විසුද්ධිය නම්,

සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතාරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි යනු විසුද්ධි සතයි. මෙම විසුද්ධි සත එකකට එකක් සම්බන්ධ වේ. ඉහන දැක්වූ උපමාව අනුව එක් රියකින් අනෙකටත් එයින් ඊළඟ රියටන් නැඟ ගමන් කිරීමෙන් සත්වෙනි රියෙන් සාකේත නුවරට ගමන් කළා මෙන් සීලවිශුද්ධියෙන් චිත්ත විසුද්ධියටත්, චින්ත විශුද්ධියෙන් දිට්ඨි විසුද්ධියටත් වශයෙන් පිළිවෙලින් පැමිණ ඤාණදස්සන විසුද්ධියෙන් අනුපාදා පරිනිර්වාණයට හෙවත් උපාදාන රහිත අර්හත්වයටත් පැමිණිය හැකි බව මෙම රථ විනීත සූත්‍රයෙන් පෙන්වා දී ඇත.

රථ විනීත සූත්‍රයේ දී අපට කියවන්නට ලැබෙන්නේ මෙම සත්ත විසුද්ධිය නම් වශයෙන් පමණකි. එම එක් එක් විසුද්ධියක් පිළිබඳව විස්තර දැනගත හැක්කේ “විසුද්ධි මාර්ගය” කෘතියෙනි. ත්‍රිපිටක පාලියට අටුවා සැපයීම සඳහා දඹදිව සිට මෙහි පැමිණි බුද්ධඝෝෂ මාහිමි තමාගේ දහම් දැනුම ප්‍රකට කිරීම සඳහා අනුරාධපුරයේ මහා විහාරවාසී මහතෙරුන් වහන්සේලා විසින් ලබා දුන් “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යන සංයුක්ත නිකායේ ජටා සූත්‍රයේ සඳහන් ගාථාව විවරණය කිරීමක් වශයෙන් ලියන ලද ග්‍රන්ථය “විසුද්ධි මාර්ගය” ලෙස නම් කොට ඇත. එම ග්‍රන්ථය මගින් කර ඇත්තේ සත්ත විසුද්ධිය පැහැදිලි කිරීමයි.

ආර්ය මාර්ගය යනු නිවන් අවබෝධ කරගන්නා පිළිවෙත් මාර්ගයයි. එනම් සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිවිධ ශික්ෂාවයි. සත්ත විසුද්ධිය මගින් ප්‍රකට කෙරෙන්නේද මෙම ත්‍රිවිධ ශික්ෂාවයි. සීල විසුද්ධිය සීල ශික්ෂාවටත්, චිත්ත විසුද්ධිය සමාධි ශික්ෂාවටත් අයත් වන අතර අනෙක් විසුද්ධි පඤ්ඤා ශික්ෂාවට අයත් වේ.

සීල විසුද්ධිය

ත්‍රිවිධ ශික්ෂා අතරින් පළමුවැනි ශික්ෂාව සීලයයි. සීලයෙන් ලබාගන්නා පිරිසිදු බව සීල විසුද්ධියයි. නිවන් මගේ පළමු අදියර සීලයයි.

සීලය යනු කුමක්ද ?

“චේතනා සීලං, චෛතසිකං සීලං, සංවරො සීලං, අවීතික්ක මො සීලං…..” යනුවෙන් සීලයේ ප්‍රභේද සතරක් ඇති බව ත්‍රිපිටක මූලාශ්‍රයවලට අනුව විසුද්ධි මාර්ගයේදී දක්වා ඇත.

  • චේතනාං සීලය නම් ප්‍රාණඝාත ආදියෙන් වැළකීමේ දී වත්පිළිවෙත් කරන්නන්ගේ ‘සිතේ ඇතිවන චේතනා චෛතසිකයයි. එය චේතනා සීලයයි.
  • චෛතසික සීලය නම්, ප්‍රාණඝාතාදියෙන් වැළකීමේ දී එම මොහොතේ ඇතිවන විරති චෛතසිකයයි. සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මෙම මාර්ග අංගයන්ගෙන් කියවෙන විරතිය (වෙන්වීම) යි. අනභිධ්‍යා, අව්‍යාපාද සම්මා දිට්ඨිය යන ධර්මයෝද චෛතසික සීලය නම් වේ.
  • සංවර සීලය නම්, සූත්ත නිපාතයේ පාරායන වර්ගයට අනුව ප්‍රාතිමෝක්ෂ සංවරය ආදී සතර සංවර සීලයද සීතල උණුසුම ඉවසීම ආදී ඛන්ති සංවරයද වීරිය ‘සංවරයද සංවර සීලය ලෙස ඉගැන්වේ.
  • අවිතික්කම සීලය නම් සමාදන් වූ සීලය කයෙන් වචනයෙන් නොබිඳ ආරක්ෂා කර ගැනීමයි.

(1) කුසල කාය කර්මාදීන්ට විසිර යාමට ඉඩ නොදීම සහ කුසල ධර්මයන් ප්‍රතිෂ්ඨා (උපකාර) වශයෙන් දරා ගැනීම යන අර්ථයෙන් සීල නම් වන බවත්, ඇතමෙක් හිස යන අර්ථයෙන් සහ සිසිල් බව යන අර්ථයෙන් සීලය නම් වන බව ප්‍රකාශ කරන බවත් විසුද්ධි මාර්ගය තවදුරටත් දක්වා ඇත.

(1) සිංහල විසුද්ධිමාර්ගය ශ්‍රී ලංකා ධර්ම චක්‍ර ළමා පදනම 8-9 පිටු

සීලයේ ආනිශංස

අංගුත්තර නිකායේ සීලයේ ආනිශංස පහක් දක්වා ඇත.

  1. මහත් වූ භෝගස්කන්ධ ලැබීම
  2. කල්‍යාණ කීර්ති ශබ්ද ඇතිවීම
  3. ක්ෂත්‍රිය, ගෘහපති ආදී කවර පිරිස් මැදව වුවද විශාරදව හෙවත් පැකිළීමකින් ‘තොරව පැමිණීමට හැකි බව.
  4. සිහි මුලා නොවී කලුරිය කිරීම,
  5. මරණින් මතු දෙව් ලොව උපදීම.

යනු ඒ සීලයේ ආනිශංසයි.

සීලයේ ප්‍රභේද

සීලයේ ප්‍රභේද රාශියක් ඇත. ඒ අතරින් චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය වශයෙන් ප්‍රභේද දෙකකි. මේ දේ කළ යුතු යැයි කියා දහමේ උගන්වා ඇති ශික්ෂාපද ආරක්ෂා කිරීම චාරිත්‍ර සීලයයි. මේ මේ දේ නොකළ යුතුය කියා දහමේ උගන්වා ඇති වැරදි වලින් වැළකී සිටීම චාරිත්‍ර සීලයයි.

ආභිසමාචාරික සීලය හා ආදී බ්‍රහ්මචරියක සීලය වශයෙන් ප්‍රභේද දෙකක් ඉගැන්වේ. සෝවාන් ආදී මාර්ගඵල ලබාගැනීම සඳහා ඇති සීලය ආභිසමචාරික සීලය නම් වේ. මෙහිදී ආජීව අට්ඨමක සීලය හැර අනෙක් සීල ගැනේ. (භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සඳහා නියම කොට ඇති චුල්ලවග්ගපාලියෙන් මහාවග්ගපාලියේත් උගන්වා ඇති ඛන්ධ වත්ත සීල පිරීම මෙසින් අදහස් කෙරේ)

මාර්ග බ්‍රහ්මචරියාවට ආදියෙහි (මුලින්) ඇති සීලය ආදී බ්‍රහ්මචරියක සීලයයි. එනම් ආජීව අට්ඨමක සීලයයි.

ලෞකික සීලය හා ලෝකෝත්තර සීලය වශයෙන්ද සීලයේ ප්‍රභේද දෙකක් ඉගැන්වේ.

කෙලෙස් සහිත හෙවත් පෘථග්ජනයා ආරක්ෂා කරන සියලු සීල ලෞකික සීල නම් වේ. සෝවාන් ආදී මාර්ගඵල ලාභීත් විසින් ආරක්ෂා කරන සීල ලෝකෝත්තර සීල නම් චේ.

තවද සීලයේ ප්‍රභේද රාශියක් විසුද්ධි මාර්ගයේ දක්වා ඇතත් ඒ සියල්ලක් මෙහි දැක්වීමට අදහස් නොකරමි.

ප්‍රධාන වශයෙන් ගිහි සීලය හා පැවිදි සීලය වශයෙන් දැක්වෙන සීලයේ ප්‍රභේද පමණක් කෙටියෙන් ඉදිරිපත් කරමි.

ගිහියන් විසින් ආරක්ෂා කළ යුතු සීලය ගිහි සීලය නම් වන අතර භික්ෂු භික්ෂුණීන් සාමණේර සාමණේරි සික්ඛාමාතා යන පැවිදි පක්ෂය විසින් ආරක්ෂා කළ යුතු සීලය පැවිදි සීලය නම් වේ.

ගිහි සීලය

තෙරුවන් සරණ ගිය තැනැත්තා උපාසක යන වචනයෙන් හඳුන්වන බව මහානාම සූත්‍රයේ දී පෙන්වා දී ඇත. එම උපාසක උපාසිකාවන්ගේ සීලය ගිහි සීලයයි. එම ගිහියාගේ නිත්‍ය සීලය ලෙස ආරක්ෂා කළ හැක. ප්‍රාණඝාත, අදින්නා දාන, කාම මිච්ඡාචාරා, මුසාවාදා පිසුනාවාච, පරුසාවාචා, සම්ප ඵලාප හා මිච්ඡා ආජීව යන අටෙන් වැළකීම ආජීව අට්ඨමක සීලයයි. ආජීවය අටවැනි කොට ඇති සීලය බැවින් ඒ නම යෙදේ. මෙම ආජීවට්ඨමක සීලය මගින් සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග තුනක් වැඩේ. මේ හැර උපෝසථ අටඨංග සීලය නවාංග සීලය සහ ගිහි දස සීලයද ගිහි උපාසක උපාසිකාවන්ට ආරක්ෂා කළ හැකිය. එම සීල කිසියම් කාලසීමාවක් අධිෂ්ඨාන කොට සමාදන්ව ආරක්ෂා කළ යුතු සීලවේ.

පැවිදි සීලය

ගිහි ජීවිතය අතහැර පැවිදි ජීවිතයට ඇතුළත් වූ පිරිස ආරක්ෂා කළ යුතු සීලය පැවිදි සීලයයි. එම සීලයද සාමණේර සීලය හා උපසම්පදා සීලය වශයෙන් දෙකකි. සාමණේර සාමණේරීන් විසින් ආරක්ෂා කළ යුතු සීලය සාමණේර දස සීලයයි. “සික්ඛාමානා” යනුවෙන් මුලදී සඳහන් කර ඇත්තේ උපසම්පදාවට සූදානම් වන සාමණේරියක් වසර දෙකක කාලයක් විශේෂිත හික්මීමකට ලක්විය යුතුයි. ඵහෙත් ඵම සික්ඛාමානාවන්ගේ සීලයද සාමණේර (පැවිදි) දස සීලයමය.

උපසම්පදා සීලය නම් සාමණේර භූමියෙන් ඔසවා තබන සීලයයි. මෙම සීලය අධිසීලය ලෙස හැඳින්වේ. භික්ෂු ප්‍රාතිමෝක්ෂයේ නියම කොට ඇති ශික්ෂා පද ආරක්ෂා කිරීම භික්ෂූන් වහන්සේලා විසිනුත්, භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයේ නියම කොට ඇති ශික්ෂා පද ආරක්ෂා කිරීම භික්ෂුණීන් වහන්සේලා විසින් ආරක්ෂා කළ යුතුය. එම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය හා ආජීව පාරිශුද්ධි සීලය පැවිදි සීලයට අයත් වේ.

ත්‍රිවිධ අධිපති ධර්ම

සීලය ආරක්ෂා කර ගැනීම සඳහා උපකාර වන අධිපති ධර්ම තුනක්ද ධර්මයේ ඉගැන්වේ.

● අත්තාධිපති

● ලෝකාධිපති

● ධම්මාධිපති

යනු එම අධිපතින් ධර්මයි.

මෙම අධිපති ධර්ම තුන සීල ප්‍රභේද තුනක් වශයෙන්ද විසුද්ධි මාර්ගයේ දක්වා ඇත.

අත්තාධිපති : තමා අධිපති වශයෙන් සලකා ආරක්ෂා කරන සීලයයි. තමාගේ වයස තනතුරු සමාජයේ තමාට ඇති භූමිකා මේ ආදිය ගැන සිතා මා වැන්නෙකුට මෙවැනි වරදක් කිරීම සුදුසු නොවේ යැයි සලකා ආත්ම ගෞරවය ඇති කරගෙන ආරක්ෂා කරන සීලයයි. තමා ආධිපතිත්වයේලා සැලකීම සීලය ආරක්ෂා කර ගැනීමට උපකාර වේ.

ලෝකාධිපති : මෙවැනි දෙයක් කළහොත් ලෝකයා මට අපහාස කරනු ඇතැයි සිතා ලෝකයා අධිපතිත්වයේලා වේ සලකා වරදින් වැළකීම ලෝකාධිපති නම් වේ. එයද වරදින් වැළකීම සඳහා උපකාර වේ.

ධම්මාධිපති: ධර්ම මහත්වය සලකා ධර්මය නෛ©්‍යානික බැවින් ධර්මය අධිපතිත්වයේලා සලකා මේ ක්‍රියාව ධර්මයට අනුව නොගැළපේ යැයි වරදින් වැළකීම ධම්මාධිපතිත්වයයි. එම ධමමාධිපතිත්වය සැලකීමෙන්ද සීලය ආරක්ෂා කර ගත හැකිය.

අනුරපුර පරම පූජනීය අසමසම රුවන්මැලි මහා සෑය හා උතුම් ජය ශ්‍රී විජය ශ්‍රී සිරි මා බෝරදුන් සමීපයෙහි ඓතිහාසික “සන්නිපාත ශාලාවේ” සෑම පුර පසළොස්වක පෝ දාකම පස්වරුවේ ගිහි පැවිදි පඬිවරුන් එක්ව සිදුකරන ධර්ම සාකච්ඡාවට මෙවර බඳුන් වූ රථවිනීත සූත්‍රය ආශ්‍රිත සප්ත විශුද්ධිය පිළිබඳ කරුණු කාරණා වලින් සැකසූ ලිපි පෙළක පළමුවැන්න

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *