ආචාර්ය කුකුල්පනේ සුදස්සි හිමි
අපි අද ටික වේලාවක් වෙන්කරමු. අපේ සිතේ ස්වභාවය පිළිබඳව විමසා බලන්න. සිත පිළිබඳව නිවැරදිව සොයාබලන්න පුළුවන්නම් ඒක උසස් භාවනාවක් වෙනවා. දහමේ එය සඳහන් වෙන්නේ චිත්තානුපස්සනාව හැටියටයි.
සතිපට්ඨාන සූත්‍රය බොහෝ දෙනෙක් කියවලා ඇති, දැනගෙන ඇති. එහි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා සතර සතිපට්ඨානයක් දේශනා කරනවා. එහි තුන්වෙනුවට පැහැදිලි කරන්නාවූ අනුපස්සනාව තමයි චිත්තානුපස්සනාව.
අනුපස්සනාව කියලා කියන්නේ අනුව දැකීමයි. “පස්සති” කියලා කියන්නේ පාලි භාෂාවෙන් බලනවා දකිනවා කියන එකයි. “අනුපස්සති” කියලා කියන්නේ අනුව දකිනවා, විමසා බලනවා, නිවැරදිව දකිනවා. ඒකට තමයි අනුපස්සනාව කියලා කියන්නේ. එතකොට සිත අනුව ක්‍රමානුකූලව දැකගන්න එකට විමසා බලන එකට, වටහාගන්න එකට කියනවා චිත්තානුපස්සනා කියලා. සතිපට්ඨානයයි කියලා කියන තැන – සති කියලා කියන්නේ සිහියට, සිහිකල්පනාව – පට්ඨාන කියලා කියන්නේ පිහිට්ටුවීමයි. මනාව සිහිය පිහිටුවාගෙන මේ අනුපස්සනාව කළයුතු නිසා ඒකට කියනවා සතිපට්ඨානයයි කියලා. සෑම අනුපස්සනාවක්ම සතිපට්ඨානයෙන් යුක්ත විය යුතුයි. එසේ නොවනවා නම් එය සැබෑ අනුපස්සනාවක් වෙන්නේ නෑ. යමක් අනුව නිවැරදිව දකින්නට නම් විමසා බලන්නට නම් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම සිහිය පිහිටුවා ගත යුතුයි.
ඒ නිසා බුදුහාමුදුරුවො දේශනා කළා කවර කරුණක් හෝ මුල් කරගෙන කවර කර්මස්ථානයක් හෝ මුල් කරගෙන සිහිය පිහිටුවනවා නම් නැවත නැවත ඒ අනුව විමසනවා නම් බලනවා නම් එය සතිපට්ඨානයයි, එය විදර්ශනාවයි, එය අනුපස්සනාවයි. මේ අනුපස්සනාව, මේ විදර්ශනාව බුදු හාමුදුරුවො ක්‍රම හතරකට, එහෙම නැත්නම් මාතෘකා හතරක් යටතේ ගොනු කරලා දක්වපු එක් අවස්ථාවක් තමයි මේ සතිපට්ඨාන සූත්‍රය. එහි තමයි ඒ මා මුලින් සඳහන් කළ මාතෘකා පාඨය සඳහන් වෙන්නෙ.
“පුනචපරං භික්ඛවෙ භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං.”
මහණෙනි, මේ භික්ෂුව නැවත සිත අනුව සිහිය පිහිටුවාගෙන මහත් වූ වීර්ය ඇතිව පඤ්චස්කන්ධ ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කරනවා. අභිධ්‍යාවයි කියලා කියන්නේ දැඩි ලෝභකම – ඇල්ම. දොම්නස කියලා කියන්නේ ගැටීම. මේ කරුණු දෙක ලෝකය සම්බන්ධවයි අපිට පහළ වෙන්නෙ. ලෝකය කියලා කියන්නේ – රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකයයි. මේ පඤ්චස්කන්ධ ලෝකයෙහි ඇලීම හා ගැටීම දුරුකරමින් ඒ තැනැත්තා සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා.
- සිතට මුල් තැන
මේ කාරණයටම තවත් කරුණක් සම්බන්ධ කර ගන්නට වටිනවා. ඒ කුමක්ද? ධම්මානුපස්සනාව සහ වේදනානුපස්සනාව. ධම්මානුපස්සනාව හැටියට බුදුහාමුදුරුවො මේ සූත්‍රයේදී විග්‍රහ කරන්නෙ සිතෙහිම හට ගන්නා සිතුවිලි. නීවරණ ධර්ම හැටියට කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා වශයෙන් දක්වනවා සිතෙහි ඇතිවන අයහපත් සිතුවිලි පරම්පරාව. ඒවා සිතේම ඇතිවන ගුණාංග. ඒවා ධම්මානුපස්සනාව හැටියට හඳුන්වනවා. ඒ වගේම යහපත් පැත්ත වශයෙන් බොජ්ඣංග ධර්ම සහ නිවනට හේතුවන ශ්‍රද්ධා ප්‍රඥාදී ගුණධර්ම ඒවා අනුව නැවත නැවත මෙනෙහි කිරීමත්, ධම්මානුපස්සනාවමයි. මේ කොයි ආකාරයෙන් හෝ සිතුවිලි අනුව නැවත නැවත සිත මෙහෙයවා නිවැරදිව දකිනවා නම් එය ධම්මානුපස්සනාව හැටියට දේශනා කළා.
වේදනානුපස්සනාව හැටියට තවත් එකක් දේශනා කළා. වේදනාව කියන්නේ චෛතසිකයක්මයි. ඒ නිසා වේදනානුපස්සනාව හැටියට දේශනා කළෙත් සිතිවිලි අනුව – සුඛ වේදනා, දුක්‍ඛ වේදනා, උපේක්‍ඛා වේදනා වශයෙන් මනසට වැටහෙන ආකාරයට මෙනෙහි කිරීමයි. දැන් පින්වතුන්ට පැහැදිලි වෙනවා සතර සතිපට්ඨානයෙන් තුනක්ම දේශනා කරලා තියෙන්නේ කුමක් ගැනද? හිත ගැනයි, මනස ගැනයි. එකක් පමණයි බාහිර ලෝකය ගැන හෙවත් කය ගැන දේශනා කළේ. එහෙම නම් මෙයින් පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවො චිත්තානුපස්සනාව හෙවත් මේ සිත පිළිබඳව දකින්නට, එය අනුව මෙනෙහි කරන්නට මුල් තැනක් දුන්න බව.
- සසරත් නිවනත් සිත අනුවයි
ඇයි මේ විදිහට සිත පිළිබඳව දකින්නට, ඒ අනුව මෙනෙහි කරන්නට බුදුහාමුදුරුවො මේ තරම් ප්‍රධාන තැනක් දුන්නේ. පින්වතුනි සසර කියන්නෙත් සිතයි. නිවන කියන්නෙත් සිතයි. ඒ නිසා සසර යායුතු කෙනා සිත ගැන දැනගත යුතුයි. නිවන් අවබෝධ කරගන්නා කෙනාත් සිත ගැන දැනගත යුතුයි. ඉබාගාතේ යන්නට නම් සිත ගැන දැන ගන්නට අවශ්‍ය නෑ. යන ආකාරයකින් යන්නට ඉඩ අරින්නට පුළුවන්. නමුත් සසර සකසා ගෙන කෙනෙකුට යන්නට ඕනෑ නම්, සසර සුවපත්ව සුවසේ යන්නට ඕනෑ නම් ඒ තැනැත්තා සිත ගැන දැනගත යුතුයි. යමෙකුට සසර ගමන අවසන් කරන්නට අවශ්‍ය නම් ඒ තැනැත්තා විශේෂයෙන් සිත ගැන දැනගත යුතුයි.
ඒ කුමක් නිසාද? මේ භව ගමන, සසර ගමන කියලා කියන්නෙ අපේ විඤ්ඤාණ පරම්පරාව මේ විශ්වය තුළ නැවත නැවතත් හට ගැනීමයි. අඛණ්ඩව හටගැනීමයි. ඒකට තමයි සසර ගමනයි කියන්නේ. ඒ අතරතුරේ එක් එක් අවස්ථාවල විවිධ රූපකායන් ලබනවා. ඒ ලබන්නාවූ රූපකායන් අනුව අපි මිනිසාය, තිරිසනාය, යක්ෂයාය, ප්‍රේතයාය, දෙවියාය, බ්‍රහ්මයාය ආදී විවිධ නම් කියනවා. මේ කවර නාමයකින් සඳහන් කළත් සසර භවයෙන් භවය නැවත නැවත අඛණ්ඩව පවතින්නේ එක්තරා චිත්ත ධාරාවක්. අඛණ්ඩ වූ චිත්ත පරම්පරාවක්. එහෙම නම් සසර කියන්නේ සිතයි. වෙන කිසිවක් නෙමෙයි. එහෙම නම් නිවන් දකිනවා කියන්නේ මේ සිත නැවැත්වීමයි. එහෙම නම් කුමක්ද නවත්වන්නට තියෙන්නේ? කය නොවේ, අපේ සිතයි.
මේ විශ්වයෙ නැවත නැවත පරම්පරා වශයෙන් පවත්වන්නාවූ මේ චිත්ත ධාරාව යම් කිසි කෙනෙකුන්ට නැවත හට නොගෙන අවසන් කරන්නට පුළුවන්නම්, ඒ කෙසේද නැවත හට නොගන්නේ? එල්ලෙන්නට තැනක් නැති කරන්නට ඕන. යම් තැනක් අල්ලා ගන්නට තිබුණොත් ඒ අල්ලා ගත්තු සැණින් එය නැවත නැවතත් හට ගන්නවා. ඒ විදිහට හට ගන්නට අවශ්‍ය ශක්තිය නැති වුණොත් පමණයි මේ සිත නිරුද්ධ වෙන්නෙ. යම් දවසක විශ්වය තුළ මේ සිත හටගත්තා නම් එදා පටන් මේ දක්වාම බොහෝ දේ අල්ලාගෙන නැවත නැවතත් ශක්තිමත් වෙමින් ඒ චිත්ත පරම්පරාව විශ්වය තුළ පවතිනවා.
- සිතේ පැවැත්ම හා නැවැත්ම
කුමන හෝ ආකාරයකින් මේ සිත ලෝකයෙහි පළමුවෙන්ම හටගත්තා…. එය ඉතා ගැඹුරු කාරණයක්. එහෙම නිර්මාණය වෙලා ක්‍රම ක්‍රමයෙන් මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කියන මේ භූත රූපයන් ඇසුරු කරමින් සත්ත්වයෙක් වශයෙන් – කුඩා කුහුඹුවන් වශයෙන්, පණුවන් වශයෙන්, කුරුල්ලන් වශයෙන්, ඊටත් වඩා ටිකක් වැඩි පක්ෂීන් වශයෙන් මෙසේ ක්‍රමක්‍රමයෙන් විශාල සත්ත්වයන් දක්වා වර්ධනය වුණා. සිත වර්ධනය වෙන්න වර්ධනය වෙන්න එය ඇසුරු කරන්නා වූ රූප සමූහය ශක්තිමත් වුණා. එසේ වර්ධනයවූ විඤ්ඤාණයක් ඇසුරු කරන්නාවූ සත්ත්වයා දියුණු සත්ත්වයෙක් හැටියට ලෝකයේ පහළ වෙනවා. මේ විදිහට සත්ත්වයා මේ විශ්වය තුළ, මේ විඤ්ඤාණය හටගත් දා පටන් කල්ප අසංඛය්‍ය ගණනක් මුළුල්ලේ භවයෙන් භවයට පැමිණුනා. මේ විදිහට පැමිණුනේ කුමක් නිසාද? බුදුහාමුදුරුවො දේශනා කරනවා අල්ලා ගැනීම නිසයි පැමිණුනේ.
විඤ්ඤාණයට පරම්පරා වශයෙන් පවතින්නට පුළුවන් කමක් නෑ අරමුණු අල්ලා නොගත්තොත්. ඒ නිසා රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශ වශයෙන්, ධර්ම වශයෙන් මෙසේ ෂඩේන්‍ද්‍රියන්ගෙන්ම ගන්නා කවර හෝ අරමුණක් නැවත නැවත අල්ලා ගනිමින් තමයි මේ විශ්වය තුළ අපේ විඤ්ඤාණය නොසිඳී පවතින්නෙ. යම් කෙනෙකුට පුළුවන්නම් අරමුණු අල්ලා නොගන්නා තත්ත්වයට විඤ්ඤාණය පත් කරන්නට, එදයින් පස්සේ විඤ්ඤාණයට මේ විශ්වය තුළ පවතින්නට විදිහක් නෑ. එතනින් නිරුද්ධ වෙනවා. ඒ ශක්තිය අහෝසි වුණායින් පස්සේ එතන සත්ත්වයෙක් නෑ. එතන මනුෂ්‍යයෙක් නෑ. එතන දෙවියෙක් නෑ. එතන බුදු කෙනෙක් නෑ. එතන කිසිවෙක් නෑ. එහි පවතින්නේ නිර්වාණයයි. එතන දුකක් නෑ. එතන ගැටුමක් නෑ. එතන ඇලීමක් නෑ. එහි කිසිවක් නෑ. එතන තියෙන්නේ නිර්වාණයයි. ඒ නිසා මේ තැනට යමෙකුට පැමිණීමට අවශ්‍ය නම් ඔහු අනිවාර්යයෙන් සිත ගැන දැනගත යුතුයි. ඒ වගේම මා මුලින් සඳහන් කළා නැවත නැවත භවයෙන් භවයට යන්නේ මේ කය නෙමෙයි විඤ්ඤාණයයි. ඒ නිසා සුවපත්වූ ආත්මභාවයන් සසර ගමනේ ලබන්නට නම් මේ විඤ්ඤාණය මැනවින් පාලනය කරගෙන ගමන් කරන්නේ කොහොමද කියලා දත යුතුයි.

